දමිතා සහ සැමියා 24 දා තෙක් යළි රිමාන්ඩ්

113

කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අප්‍රේල් 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (17දා) නියෝග කළේය.

නඩුව කැඳ වූ අවස්ථාවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ.

විමර්ශන නිලධාරීන් පැවසුවේ, සැකකරුවන්ගේ වත්කම් අනාවරණය කර ගැනීමට බැංකු වාර්තා කැඳවා ඇති බවයි.

සැකකරුවන්ට එරෙහි විමර්ශනය සංකීර්ණ හා දීර්ඝ බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

එමෙන්ම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ බන්ධනාගාරය තුළ දී සටහන් කර ගැනීමට අවශ්‍ය බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඒ සඳහා බන්ධනාගාර අධිකාරිවරයාගෙන් අවසර අවශ්‍ය බව අධිකරණයට දැන්වූහ.

එහි දී මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර ලබා දුන්නේය.

සැකකරුවන්ට එරෙහිව ආගමන විගමන පනත යටතේ චෝදනා ගොනු කිරීමට අදාළව ඇති සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියෝග කළේය.

විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ පෙනී සිටියේය. දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය 04 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට දී රහස් පොලාසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment