විදුලි බිලට ‘හ්ම්’ නැතත් කුට්ටම ඇනිල්ල ගැන නම් පොහොට්ටුවේ කනස්සල්ල

252

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් විසින් මැදපෙරදිග පමණක් නොව වෙනත් බොහෝ රටවල සමාජ ආර්ථිකය හා දේශපාලනය ද තිගැස්සීමකට ලක් කරන ලද මොහොතකි මේ. ඇමෙරිකානු ජනාධිපති බයිඩන් හා බි්‍රතාන්‍ය අගමැති සුනක් ද දහස් සංඛ්‍යාත ජනතා අඳෝනා හා ඔවුන්ගේ මළ සිරුරුවලට ද උඩින් පනිමින් ගොස් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු දිරිමත් කළ අයුරු ජගත් ප්‍රජාවම බලා සිටියහ. මේ බරපතළ යුද ගැටුම සමනය කිරීම වෙනුවට ඊශ්‍රායලයේ ප්‍රහාර අනුමත කරන බලවතුන් ගැන අපට ඇත්තේ සංවේගයක් පමණක් නොව දැඩි විවේචනයකි. ඇත්ත වශයෙන්ම මේ ගැටුම විසිඑක් වන සියවසේ මහා ඛේදවාචකයක් බවට පත්වීම වැළැක්වීමට ලෝක බලවතුන් ක්‍රියාකළ යුතු වුවද ඔවූහු ඒ ලෝක මානව වගකීමට පිටුපා සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානයට වුවද මෙම අර්බුදයට සෘජු මැදිහත්වීමක් කළ නොහැකි බව ද තහවුරු වී තිබේ. යුක්තියේ හා සාධාරණත්වයේ මිනුම් දණ්ඩ ඇත්තේ ඔවුන්ට නොව ලෝක බලවතුන් අතෙහිය. කොහොමටත් අප වැනි කුඩා රටවල්වල අභ්‍යන්තර ගැටුම්වලට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මතක් කර දීමට ද තරම් ධෛර්ය සම්පන්න මේ බලවතුන්ගේ සැබෑ ස්වරූපය කෙබඳු ද යන්නත් මේ අර්බුදය විසින්ම පැහැදිලි කරනු ලැබ ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විටත් මානුෂික මැදිහත්වීම් සිදු කරන බව ද අපට පෙනේ. ඒ කුමක් වුවත් මෙම අර්බුදයේ නියත විපාක ලංකාවේ අපේ හිසමතට කඩා වැටෙන බව ද අප තේරුම් ගත යුතුය.

ලෝකයේ බලශක්ති සැපයීමේ ප්‍රමුඛයා අරාබි රටවල් බව කවුරුත් දනිති. මැදපෙරදිග කලාපය තුළ සිදුවන සමාජ – දේශපාලනයේ පීඩනය ගෝලීය වශයෙන් ගලා යන්නකි. තෙල්, ගෑස් වැනි බලශක්තීන්ගේ මිල ඉහළ යෑම අප කිසිවෙකුට පාලනය කළ හැකි දෙයක් නොවේ. විශේෂයෙන් ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන ඉන්ධන හා ගෑස් මිල ඉහළ යෑම ආර්ථිකය බිඳ වැටී තිබෙන ලංකාවට කිසිසේත් ඔරොත්තු දෙන්නක් ද නොවේ. රුසියන් හා යුක්රේන යුද ගැටුම් නිසා තෙල්, ගෑස් හා ගල්අඟුරු මිල ගණන් ඉහළ ගිය ආකාරය ද කවුරුත් දනිති. මේ සංකීර්ණ ප්‍රශ්නය යළිත් උත්සන්න වීමක් මෙම ඊශ්‍රායල – පලස්තීන ගැටුම් නිසා සිදුවන බවට ආර්ථික විශේෂඥයෝ දැනටමත් පුරෝකථනය කර සිටිති.

කෙසේ හෝ මේ ගෝලීය අර්බුද පිළිබඳ අනතුර කුමක් වුවත් රටක් වශයෙන් අප සිටින්නේ ද යහපත් තැනක නොවන බව ද කිව යුතුය. මේ වනවිට සමාජ – ආර්ථික හා දේශපාලනය ද කළඹවමින් වාද – විවාද, සංවාද පමණක් නොව ජනතා විරෝධතාවන් ද උත්සන්න කෙරෙන සිදුවීම් කීපයක්ම දැකගත හැකිය. පොදු ජනතාවගේ හිස මතට හෙණයක් සේ පතිත වූ විදුලි බිල ඉහළ යෑම මේ අතර අතිශය ආන්දෝලනාත්මක සිදුවීම ලෙස දැක්වීම වටී. නගර, ගම් වෙනසක් නොමැතිව ජනතාව වීදි බැස පන්දම් දල්වමින් ආණ්ඩුවට දෙස් දෙවොල් නගති. සිවිල් සංවිධාන, දේශපාලන හා ආගමික නායකයෝ ද මේ සම්බන්ධයෙන් විරෝධය දක්වති. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කංචන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ දුකට වැටී සිටින ජනතාවට තවදුරටත් නොතලන ලෙසටය. ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් ද ඉදිරිපත් වූයේ දැඩි චෝදනා පත්‍රයකි.

විදුලි බිල මෙවර වැඩි වූයේ තුන්වන වරටය. එහි ප්‍රතිශතය සියයට තුන්සීයක් ලෙස සමහරු දක්වති. තවත් සමහරුන්ගේ අදහස එය සියයට පන්සියයක් බවය. මෙලෙස විදුලි බිල ඉහළ යෑම ජනතාවගේ එදිනෙදා ජීවන වියදමට වැටෙන තවත් බරකි. කුඩා ව්‍යවසායකයන්, ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි තැන්වල විදුලි උපකරණ භාවිතය දරාගත නොහැකි බවට විවේචන තිබේ. හිටපු විදුලිබල ඇමැතිවරු වුණු පාඨලී චම්පික මෙන්ම උදය ගම්මන්පිල ද විදුලිබල නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව මෙන්ම දූෂණ ක්‍රියාකාරකම් ගැන බරපතළ චෝදනා නගති. ඒ සියලු පව් පොදුජන කරපිටින් තබා සැහැල්ලුවෙන් ජීවත්වන විදුලි නිලබල ගැන ඇමැතිවරයා ද නිහඬව සිටින සෙයකි. පසුගිය දිනවල ගෙවා අවසන් කළ 26 ලක්ෂයේ නාමල්ගේ මඟුල් බිලට වසර තුනකට වඩා ගත විය. එබඳු හිඟ බිල්, නොගෙවා අත්හරින ලද විදුලි බිල් තවත් තිබෙන බව ද කියනු ඇසෙයි. ඇත්තටම ඒවාට බිහිරිව සිටින ආණ්ඩුවේ ප්‍රතිචාරය බරපතළ වරදකි. විපක්ෂ නායක සජිත් චෝදනා කරන්නේත් ගජ මිතුන්ට බදු සහන දෙන මේ ආණ්ඩුව ජනතාවට අසාධාරණ ලෙස බර පටවන බව කියමින්ය.

පොහොට්ටුවේ නායක හිටපු අගමැති මහින්ද පසුගිය දිනක ගෙදර යන ගමන් වොයිස්කට් එකක් දෙමින් කියා සිටියේත් විදුලි බිල වැඩි බවය. ජනතාවට සහන දිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් පක්ෂ හමුවකදී කතා කරන බවය. මහින්දගේ දේශපාලන පිළිතුර බැලූ බැල්මට නිවැරදි විය හැකිය. එහෙත් අද මෙරටේ ජන ජීවිත පීඩාවට පත් කරන ප්‍රශ්නවලට ඔවූහු වගකිව යුතු නොවෙත්ද? දකුණු අත කරන දේ වම් අත නොදන්නේද? අද ජනාධිපති රනිල්ගේ සියලු දේශපාලන ක්‍රියාන්විතවලට සහාය දක්වන්නේ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව බව මහින්ද නොදන්නේ යැයි කිව හැකිද?

ජනාධිපති රනිල් මේ සතියේදී යළි කැබිනට් සංශෝධනයක් කළේය. මහජන විවේචනයට මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙහි ද බොහෝදෙනකුගේ විවේචන, චෝදනා එල්ල වූ කෙහෙළිය රඹුක්වැල්ල එම ඇමැති ධුරයෙන් ඉවත් කිරීම සුවිශේෂ සිද්ධියකි. පාර්ලිමේන්තුවේදී කෙහෙළියට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය පරාජය කර ඔහු රැකගත් ආණ්ඩුව විසින්ම අද ඔහු ධුරයෙන් ඉවත් කිරීම උත්ප්‍රාසය දනවයි. එහෙත් එයින් සුව සේවයේ ගැටලු විසඳේද? අලුතින් එම ධුරයට පත් රමේෂ් පතිරණ දේශපාලන පාරාජික චරිතයක් නොවූව ද ඔහුට මේ දූෂිත, අක්‍රමිකතා පිරුණු කුණු කන්ද පිරිපහදු කිරීම දැවැන්ත අභියෝගයක් බව අපට ද සිතේ. සමහරු දැනටමත් සිය කුතුහලය පවසති. විපක්ෂනායක සජිත්ට අනුව නම් ජනාධිපතිවරයාගේ මෙම කැබිනට් සංශෝධනය දේශපාලන විගඩමකි. එයින් ස්මාර්ට් රටක් කෙසේ වෙතත් ජිල්පිට් රටක් ඇති විය හැකි බවද ඔහු කියයි. මහාචාර්ය ජී. එල් එය දකින්නේ හිසරදයට කොට්ට මාරු කිරීමක් ලෙසය.

ජනාධිපතිගේ මෙම කැබිනට් සංශෝධනය ගැන තම පක්ෂය කනස්සල්ලට පත්ව සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් පොහොට්ටු ලේකම් සාගර මධ්‍යයට පවසා ඇත. ජනාධිපති රනිල් මෙහිදී ශ්‍රී ල.නි.ප.යට තවත් ඇමති ධුර ලබාදීම තම පක්ෂය නොතකා හැරීමක් ලෙස සාගර දකී. ඇත්තටම මේ සංශෝධනය අද තිබෙන සංකීර්ණ දේශපාලන ප්‍රශ්නවලට විසඳුමක් නොවේ. ජනාධිපතිවරයාගේ ඇමැතිවරුන් බහුතරයකට කිසිදු ජනප්‍රසාදයක් ද නැත. ඔවූහු ගෝඨාභයගේ අසාර්ථක මෙහෙයුම්වල දායකයෝ ද වෙති. ගොවියන්ගේ උදහසට ලක්ව සිටින අමරවීර ගැන ජනාධිපති විශ්වාසයක් තබා ඇති බව පෙනුනත් ඔහුට තිබෙන විවේචන සුළුපටු නැති බවද කිව යුතුය. ගෝඨාභයට ගෙදර යෑමට හේතු වූ කෘෂිකර්මයේ අර්බුද කිසිවකට සාධනීය විසඳුම් ලබාදීමට මේ ඇමැතිට නොහැකි විය. අද රට වැටී තිබෙන අවුලට මෙන්ම අසාර්ථකභාවයට කවර හෝ සාධනීය වෙනසක් කළ ඇමැතිවරු කී දෙනෙක් සිටිත් ද යන්න අපට ද ගැටලුවකි. ජනාධිපතිවරයාගේ ලිබරල් ආර්ථික සැලසුම් සමග මේ බොහෝ ඇමැතිවරු එකඟ වෙත්ද යන ප්‍රශ්නයද රටට තිබේ. ඒ ඇතැම් අය විසින් කරනු ලබන ප්‍රකාශ නිසාය. කොහොමටත් පොහොට්ටුව හා ජනාධිපති අතර විශ්වාසය කෙමෙන් දුරස් වන බවක් ද අපට දැකගත හැකිය. ජනාධිපති රනිල් මීට වඩා සුහුරු ලෙස හෙවත් ස්මාට් අයුරින් දේශපාලන ප්‍රතිචාර දැක්විය හැකි පරිණත නායකයකු වුවත් ඔහු වටකර ගෙන සිටින බහුතරය විකටයෝ නොවෙත්ද?

විදුලි බිලට ‘හ්ම්’ නැතත් කුට්ටම ඇනිල්ල ගැන නම් පොහොට්ටුවේ කනස්සල්ල

ජනතාවට ඔරොත්තු නොදෙන අයුරින් විදුලි බිල ඉහළ දැමූ ආණ්ඩුව ජල බිලත් වැඩි කිරීමට සූදානම් බවට ද රාවයක් නැගුණි. එහෙත් එබඳු යෝජනාවකට සහාය නොදීමට ඇමැතිවරුන් පිරිසක් තීරණය කර ඇතැයි ද වාර්තා වී තිබේ. කුමක් වුවත් රට අතිශය තීරණාත්මක ගමනක නිරතව සිටින බව නම් පැහැදිලිය. ජනතා පීඩනය හා බදු බර දරාගත නොහැකි බව වෙරිටේ රිසර්ච් වැනි ආයතන මෙන්ම ප්‍රාමාණික ආර්ථික විශේෂඥයන්ගේ ද විවේචනය වී තිබේ. රාජ්‍ය ආදායම් සීමාකර නොගැනීම, දූෂණ වංචා ඔඩු දුවමින් තිබීම. නීතියේ ආධිපත්‍ය ගිලිහී යමින් පොලිසිය ද පසුබෑමට ලක්ව තිබීම වැනි කරුණු පිළිබඳව ආණ්ඩුව දක්වන අවධානය ප්‍රමාණාවත් නොවේ. මැති ඇමැති වරප්‍රසාද හා ඇතැම් ආයතන ප්‍රධානීන් හා උසස් නිලධාරීන් වගේ වගක් නැතිව සරල සැහැල්ලු ජීවිත ගෙවද්දී ජන ජීවිතවල බිඳ වැටීම ඉතා දැඩි බව ඔවූහු නොදකිති. ආර්ථික යුක්තිය කොහිද?

මේ අන්තෝ ජටා බහි ජටා සමාජ දේශපාලනය තුළ ආණ්ඩුව අලුත් මැතිවරණ ක්‍රමයකට හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ක්‍රියාන්විතයකටද අතගසා තිබෙනු පෙනේ. හිටි හැටියේ මෙබඳු දේශපාලන වෙනසකට ආණ්ඩුව යොමු වූයේ ඇයි? යන ප්‍රශ්නය බොහෝ දෙනෙක් නගති. නීතිඥ සාමූහිකය මෙන්ම සිවිල් සංවිධාන හා විපක්ෂවල මන්ත්‍රීවරු ද මේ සූදානම දෙස සැක මුසුව බලති. මෙය පාර්ලිමේන්තුවේ ද සංවාදයට නිමිති වූවකි. විජයදාස ඇමැතිවරයා නම් ප්‍රකාශ කළේ එය සද්භාවයෙන් කෙරෙන දෙයක් බවය. එහෙත් විපක්ෂ ඉඳුරාම පවසන්නේ මෙය මැතිවරණ කල් දැමීමේ කූට ප්‍රයෝගයක් බවය. මේ ආණ්ඩුවට මැතිවරණ කල් දැමීම ගැන කුප්‍රකට කීර්තියක් ද ඇත. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය රටම දනී. (මේ පිළිබඳව මෙම තීරුව මගින් මීට පෙර කරුණු දක්වා ඇත.)

ආණ්ඩුවේ මැතිවරණ භීතිකාව හා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලීමේ කූට ප්‍රයෝග සමාජ දේශපාලන අංශවල විවිධ ආකාරයෙන් විවේචනය වෙද්දී ඉකුත් සති අන්තයේ (22) පැවති එ.ජා.ප. විශේෂ මහා සමුළුවේදී ජනපති රනිල් ප්‍රකාශ කළේ ව්‍යවස්ථාව අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වන බවය. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් සභා මැතිවරණය ද පවත්වන බව ද ඔහු සඳහන් කළේය. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මෙරටේ පක්ෂ නායකයන් විසින් දක්වන ලද ප්‍රතිචාර බොහෝ විට යහපත් ඒවා නොවීය. එ.ජා.ප නායකයා ලෙස ජේ. ආර්. ජයවර්ධන විසින් මැතිවරණ සිතියම හකුලන ලද ආකාරය, මැතිවරණ මංකොල්ල සිදු කිරීම ආදිය සම්බන්ධයෙන් කුප්‍රකට දූෂිත වාර්තා කීපයක්ම තබා ඇත. ඔහුගේ ප්‍රෝඩාකාරී ජනමත විචාරණය කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී හෝ ආචාරශීලී සමාජයකට අනුමත කළ නොහැක්කකි. අනෙක් පක්ෂවලට ද එබඳු නරක වාර්තා එකක් දෙකක් හෝ තිබේ.

මේ දුර්ගන්ධ දේශපාලන ඇවතුම් පැවතුම් තවදුරටත් පවත්වාගෙන යා හැකි දේවල් නොවේ. මේ රටේ සිටින බොහෝ මහජන නියෝජිතයන්ට ජනතාව විසින් දක්වන විරෝධය පිළිකුල හා අප්‍රසාදය සුළුපටු ද නැත. එහෙත් ඔවුන්ගෙන් බහුතරය කිසිවිටෙක ජනතා ප්‍රශ්න කෙරෙහි සංවේදී නොවෙති. විධායක ජනාධිපති ක්‍රමය මෙන්ම අදත් පවත්වාගෙන යනු ලබන මැතිවරණ ක්‍රමය වන සමානුපාතික ඡන්ද ක්‍රමයක් ඒ හා බැඳුනු බොහෝ දේත් වෙනස් විය යුතුය යන ජනතා හඬ 1978 දක්වාම පැරණිය. මෙරටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අර්ථවත් කළ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මේ ව්‍යවස්ථාවට එදා දැඩි එහෙත් සාධනීය විවේචන කළාහුය. සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ද පසුව ශ්‍රී. ල. නි. පයද ඒ අදහස අනුමත කළහ. අනතුරුව පැවති ජනාධිපතිවරණ කීපයකදීම ප්‍රමුඛ ප්‍රතිඥාවක් වූයේ ද මෙම විධායක ක්‍රමය වෙනස් කරන බවය. වත්මන් ජනාධිපති රනිල් ද මේ ක්‍රමය වෙනස් කළ යුතු බව පිළිගත් නායකයෙකි. එහෙත් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව විධායකයට පත්වීමේ අවස්ථාව හිමිකර ගත් රනිල්ගේ වර්තමාන භූමිකාව කුමක්ද? එය මෙතෙක් ඔහු උද්යෝගයක් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට පටහැනි විධායක බලය කෙරෙහි ලොල් වූවක් බව ද පැහැදිලිය. එහෙත් තමන්ට දේශපාලන අනුමැතියක් නැතැයි යන තර්කය ඔහුට එරෙහිව සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල තිබෙන බව ද ඔහු දනී.

මේ වනවිට ජනාධිපතිවරයා විසින් දෙන ලද ජනාධිපති මැතිවරණය පැවැත්වීමේ ප්‍රතිඥාව මෙන්ම, විජයදාස ඇමැතිගේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව ද සද්භාවයෙන් සිදු වන්නේ ද යන්න අපට කිව නොහැක. එහෙත් එය එසේ වන බවට ක්‍රමයෙන් තහවුරු වන්නේ නම් ඒ යෝජනාවට සහාය දීම වරදක් නොවේ. එය නිසැකයෙන්ම දේශපාලන අවස්ථාවාදය විසින් යට ගසන ලද ජනතා අපේක්ෂාවක් දිනා දීමකි. ව්‍යවස්ථානුකූලව සිදුකළ හැකි වෙනස්කමක් සඳහා කැපවීම වගකිව යුතු විපක්ෂවල ද යුතුකමකි. මහාචාර්ය ජී. එල්. පීරිස් පවසන්නේ විධායක ක්‍රමය අහෝසි කිරීමට රනිල්ට ජනවරමක් නැති බවත් ගෝඨාභය එබඳු වෙනසක් සඳහා රටට ප්‍රතිඥාවක් ලබාදී නැති බවත්ය. එහෙත් සියලු පක්ෂවල හා දේශපාලන නායකයන්ගේ එකඟතා නිසැකයෙන්ම හිමි වන්නේ නම් මේ දේශපාලන උරචක්‍ර මාලාවෙන් ජනතාව නිදහස් කිරීම සාධනීය පියවරකි.

ජනාධිපති රනිල්ගේ යටි අරමුණ තව මාස ගණනාවකින් අහෝසි වන විධායක බලය වෙනස් කර පාර්ලිමේන්තුවේ අගමැති ලෙස යළිත් බලය හිමිකර ගැනීම බවට තිබෙන විපක්ෂයේ චෝදනාව ගැන අපට කිසිවක් කිව නොහැක. ඒවා එකඟතා සම්මුති අනුව සිදු වුවත් මේ පාර්ලිමේන්තුව 2025 දී නිශ්චිතවම අහෝසි වන හෙයින් රනිල්ට මැතිවරණ ජයග්‍රහණයකින් තොරව රාජ්‍ය නායකයා ලෙස සිටිය නොහැකි බව නම් පෙනේ. විධායකය අහෝසිය දික් ගැසෙන වැඩපිළිවෙළක් නම් මැතිවරණ ක්‍රමයවත් වෙනස්කර ගත හැකිද යන කාරණය ගැන හෝ ගැඹුරින් සිතාබැලීම කාගේත් වගකීමකි. ජනාධිපති රනිල් ඒ සඳහා විශේෂ කොමිසමක් ද පත්කර ඇත. මෙම කොමිසමට ජනාධිපති රනිල් විසින් සඳහන් කරන ලද කරුණු කීපයක්ම සලකා බැලීමට ද සිදු වේ. එක් අපේක්ෂකයකුට පාර්ලිමේන්තුව හා පළාත් සභාව එකවර නියෝජනය කළ හැකිද යන්න පිළිබඳව ද කොමිසම නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. මෙය කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි සමහරු දැනටමත් ප්‍රශ්න කරති. කුමක් වුවත් අපි විමසිල්ලෙන් බලා සිටිමු.

අවසන් වශයෙන් සමාජ දේශපාලන අංශ වල දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා රාජ්‍ය ඇමැතිවරිය හා සජබ සුජිත් සංජය පෙරේරා අතර ඇති වූ ගැටුම පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. මේ ගරු මන්ත්‍රීවරුන්ට ගහ ගැනීමට පමණක් නොව මරා ගැනීමට වුවද වරප්‍රසාද තිබේ දැයි අපි නොදනිමු. එහෙත් මේ සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ටෙලිනාට්‍යයක කොටසක් මෙන් විකාශය කර තිබෙනු දකින යහපත් හා ශීලාචාර පුරවැසියන් තුළ ඇති වන්නේ සංවේගයකට වඩා පිළිකුලකි. සජබයේ විජයමුණි මේ ගැන කීවේ ජාතික ලැයිස්තුවකින් මෙබඳු අය පත් කිරීම ගැන ඒ අය විසින්ම තමන්ගේ පසුපසට කෙවිටකින් තලා ගත යුතු බවය. එහෙත් ඒ පත්කිරීම ඔසවා තබා රාජ්‍ය ඇමැති ධුරයක් ද පිරිනමා තිබෙන බව ද පෙනී යයි. අපට වැඩිමනක් දෙයක් කීමට අවශ්‍ය නැත. පෙනෙන දෙයක් පමණක් කිව හැකිය. ජා.ජ.බ ජාතික ලැයිස්තුවෙන් හරිනි අමරසූරිය වැනි චරිතයක් තෝරා ගනිද්දී සජබ තෝරාගෙන ඇත්තේ කවරෙක්ද? කුමක් වුවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය මත පැහැරූ කිසිවකුට ඒ උත්තරීතර ආයතනයේ රැඳී සිටීමට ඉඩදිය යුතු නැති බව අපගේ අවධාරණයයි. අපේ දේශපාලනයත්, පක්ෂ විනයත් මේ තරම් සිල්ලරට වැටුණු යුගයක් ඉතිහාසයේ මින් පෙර නොවූ බව ද සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment