රහත් වී ඇතැයි වදාරණ හිමිවරුන්ගේ රහත් බව මැන බලමු?

319

විවිධ ආර්ථික අර්බුද කම්කටොළුවලින් පිරී ගත් වත්මන් සමාජය එපමණකටම ආධ්‍යාත්මික හා පිපාසාවකින් ද දැවෙමින් තිබේ. මෙම දැවීමට වැඩිපුර නතුව ඇත්තේ දිනෙන් දින විස්තාරණය වන අප රටේ මධ්‍යම පන්තිය බව ද පෙනී යයි. වත්මන් සමාජයෙන් රහතුන් පහළ කරවා ගැනීම ද අප රටේ මධ්‍යම පාන්තික ප්‍රජාව අතරේ ඇති ප්‍රධානතම ලෞකික අභිලාෂවලින් එකක් බව ද පෙනෙයි. මේ පින් බිමේ ලක්ෂ ගණන් රහතුන් පහළ වේවා! යන ප්‍රාර්ථනය සහිත ‘කාර් ලේබල්’ පවා අපට මඟ තොට දී දක්නට ලැබෙනුයේ ඒ ඉහ වහා යන මධ්‍යම පාන්තික සමාජ අවශ්‍යතාවේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ කෙසේ හෝ එම කාලීන පරිභෝජනවාදී සමාජ අවශ්‍යතාව සපුරාලමින් සියලු කෙලෙසුන් නැසූ බව හා රහත් බව ලැබූ බව පැවසෙන භික්ෂු චරිත කිහිපයක් ද නූතන සමාජයේ ජනකාන්ත චරිත අතරට එක් ව තිබේ.

අරහත්ත හෙවත් රහත් සංකල්පය බුද්ධ දේශනාවෙන් මුල් වරට හඳුන්වා දුන් තත්ත්වයක් නොවේ. බුද්ධ කාලයට පෙර සිටම රහතුන් වශයෙන් සමාජය හමුවේ පෙනී සිටි පිරිස් බොහොමයක් සිටි බවට බෞද්ධ සාහිත්‍යයෙන් ලද හැකි සාක්ෂි අපමණ ය. බුදුන්වහන්සේ විසින් සිදු කොට ඇත්තේ ඒ අරහත්ත නම් තත්ත්වය බුදු දහමින් පැවසෙන ආර්ය මාර්ගයට සම්බන්ධ කොට ඊට ප්‍රඥාවන්ත අර්ථකථනයක් දීම පමණි.

බුදු දහමේ ඉගැන්වෙන අන්දමට ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කරන්නකු හට හමුවන ගමනාන්තය හෙවත් පරම නිෂ්ටාව නිර්වාණයයි. වාණ යනුවෙන් දක්වා ඇති තෘෂ්ණාවෙන් මිදීම නිවන වශයෙන් පොදුවේ විස්තර කෙරේ. ලෝභ, දෝෂ, මෝහ වශයෙන් සඳහන් කෙලෙසුන් මුළුමනින් ප්‍රහීණ කළ තැනැත්තා රහතන් වහන්සේ ලෙසින් දහමෙහි විවිධ තැන්වල සඳහන් ය. නමුත් අප කවුරුත් දන්නා ධම්මපදයේ අරහත්ත වග්ගයේ ගාථා දහය මඟින් ඉතා සරල ලෙස රහත් බව විස්තර කරයි. රහත් හෙවත් අරහත් යන්න අර්හ යන ධාතුවෙන් නිපදී තිබේ. මෙහි නිරුක්ති අර්ථ රැසක් විසුද්ධි වග්ගයෙහි දැක්වෙන අතර ඒවායේ පොදු අරුත වනුයේ “පූර්ණ සුදුසුකම් ලත් පුද්ගලයා” යන්න ය. ඒ පූර්ණ සුදුසුකම නිවන සඳහා බව අමුතුවෙන් කිව යුතු නැත.

කාම, භව, දිට්ඨි, අවිජ්ජා යනුවෙන් ආශ්‍රව හතරක් ඇති බවත් යමකු රහත් බවට පත්වීමේ දී මේ ආශ්‍රව සියල්ල ඒ පුද්ගලයාගේ සන්තානයෙන් ඉවත් වී සිත නික්ලේෂී හෙවත් පරම පවිත්‍ර තත්ත්වයට පත් වන බවත් බුදු දහමේ දැක්වෙයි. රහතන් වහන්සේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ලෙස හැඳින්වෙනුයේ ද ඒ අනුව ය. ‘ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථාය’ යනුවෙන් දහමේ විස්තර කෙරෙන අන්දමට එම පුද්ගලයා ඉපදීම නිමා කොට ඇත. ඒ සඳහා වන පිළිවෙත හෙවත් බ්‍රහ්ම චර්යාව සම්පූර්ණ කොට ඇත. ඒ සඳහා කළ යුතු කිසිවක් ඉතිරි වී නැත. සියලු කෙලෙසුන් නසා ඇත.

රහතන් වහන්සේ ලා ගේ මෙම චර්යා රටාව විවරණය කරන බුදුන් වහන්සේ ඊට කදිම උපමාවක් ගෙන හැර දක්වති. එය රහතන් වහන්සේලා ලෞකිකත්වය ග්‍රහණය කර නොගැනීම සම්බන්ධ රසාලිප්ත උපමාවකි. ආහාර සොයා කුඩා විලකට බසින හංසයෝ ඒවා ලබා ගෙන ඉන් නික්මෙන විට මේ මගේ ජලය ය. මේ මගේ නෙළුම් ය. මේ මගේ උපුල් ය. මේ මගේ මල් කෙම් ය ආදී වශයෙන් එහි ඇති කිසිවක් පිළිබඳ කිසි ම ඇලීමක් ගැලීමක් නොමැති ව අපේක්ෂා රහිත ව ම ඒ විල හැර දමා අන් දෙසකට ඉගිලී යන්නෝම ය. රහතන් වහන්සේ ද එම හංසයන් මෙන් කිසි ම තැනෙක හෝ කිසි ම දෙයක හෝ කිසි ම කෙනෙකු කෙරෙහි නො ඇලෙති යන්න ඒ උපමාව ය.

තමන් පරිභෝග කරන සියලු දේ සම්බන්ධ තත්වාවබෝධයක් උන් වහන්සේලා සතුව තිබේ. ඒ අනුව ඉහත සඳහන් බුදුන් දැක්වූ උපමාවේ එන හංසයන් නූතනයේ රහතුන් ලෙස පෙනී සිටින භික්ෂූන් සම්බන්ධයෙන් ආදේශ කළහොත් එය ඉදිබුවන් ලෙස වෙනස් විය යුතු යැයි යමකුට සිතෙන්නට පිළිවන.

ධර්මයේ සඳහන් අන්දමට රහතන් වහන්සේලා අතරේ ද ප්‍රභේදයක් තිබේ. ඒ ශුෂ්ක විදර්ශක මහ රහතන් වහන්සේ, සිව් පිළිසිඹියාපත් හෙවත් සමථයානික මහ රහතන් වහන්සේ වශයෙනි. ශුෂ්ක විදර්ශක මහ රහතන් වහන්සේ යනු ධ්‍යාන ආදිය උපදවා ගනිමින් කෙලෙස් නසා ලූ රහතුන් නොවේ. එබැවින් උන්වහන්සේට පංච අභිඥා ආදිය නොමැත. එනිසාම උන්වහන්සේලාට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ශක්තියක් ද නැත. උන්වහන්සේලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලෝක ස්වභාවයන් මත විදසුන් වඩා රහත් ඵලයට පත් වන්නෝ ය.

ඉහත සඳහන් මාතෘකාව යටතේ තව තවත් කරුණු ගොනු කළ හැකි වුවද සාමාන්‍ය කියැවීමක් උදෙසා සකස් කෙරෙන මෙම ලිපියට අනවශ්‍ය ධර්ම ශාස්ත්‍රීය ආරෝපණයක් හිමි වන බැවින් එසේ නොකළ යුතුයැයි මට සිතේ.

එහෙත්, බුදුන් සමයේ පවා භික්ෂුන් අතුරින් තමන් රහතුන් යැයි කියාගත් භික්ෂුන් සිටි බවත් ඒ බවට සෙසු භික්ෂුන් ගෙන් බුදුන් වහන්සේට පැමිණිලි පවා ලැබුණු බවත් සූත්‍ර පිටකයේ සඳහන් වේ. නමුත් එසේ තමන් තුළ නොමැති උසස් ආධ්‍යාත්මික තත්ත්වයන් ජනතාව හමුවේ හෙළි කිරීම භික්ෂු උපසම්පදාව අහිමි කෙරෙන පාරාජිකාප්පත්ති නම් බරපතල විනය නීති උල්ලංඝනය කිරීමක් ඇති අතර එහි සිව් වැන්න වන උත්තරීතර මනුෂ්‍ය ධර්ම පාරාජිකාපත්තිය වශයෙන් දක්වා තිබේ. විනයට්ඨ කතාවේ සඳහන් අන්දමට, හිස සුන් මිනිසකුට ජීවත් විය නොහැක්කාක් මෙන් එම උත්තරීතර මනුෂ්‍ය ධර්ම පාරාජිකාපත්තියකට පත්වන භික්ෂුවකට පැවිදි උපසම්පදාවේ රැදී සිටිය නොහැකි මය. කාටත් වැටහෙන ලෙසින් කිවහොත් මේ බොරු රහත් බව පැවිද්දේ ද “බෙල්ල ගහලා යන” වැඩකි.

නමුත් බුද්ධ කාලයෙන් පසුව බුද්ධ ඥානය විසින් පමණක් ප්‍රකාශයට පත් විය යුතු රහත් භාවය පිළිබඳ තීරණය විවිධ පුද්ගලයන් අතට පත්වීම නිසා රහත් භාවය පිළිබඳ ප්‍රමිතිය අහෝසි වී ගිය බවක් හැඟී යයි. විශේෂයෙන් අටුවා ග්‍රන්ථ සහ දේශීය ශාසන ඉතිහාස මූලාශ්‍රවල මෙම රහතුන් ගේ සංඛ්‍යාවන් දැක්වීමේ දී එම රචකයන් තමන්ට නියමිත සීමාවන් ඉක්මවා බොහෝ දුරක් ගොස් ඇති බවක් පෙනෙයි. ඇතැම් මූලාශ්‍රයකට අනුව අනුරාධපුර රාජධානී සමයේ කොතෙක් රහතුන් වහන්සේලා වැඩ සිටියේ ද කිවහොත් නිරතුරුව සෘද්ධි බලයෙන් අහසින් ඒ මේ අත වඩින රහතුන් වහන්සේලා ගේ සෙවනැලිවලට හිරු මුවාවීම මත කාන්තාවකට වී පැදුරක් වේලා ගත නොහැකි තත්ත්වයක් එකල උද්ගත වී තිබේ. ජෝන් ද සිල්වා සූරීන්ගේ සිරිසඟබෝ නාටකයේ ‘දන්නෝ බුදුන් ගේ’ ගීතයේ එන “සෘද්ධියෙන් යන්නා වූ නෙක් රහතුන් ගේ සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ” යන කොටස ඉහත සඳහන් පුරාවෘත්තය අනුව සැකසුණකි.

එමෙන්ම සිතුල්පව්ව විහාරයේ රහතුන් වහන්සේලා විසි හතර දහසක් වැඩ සිටි පුවත සහ අනුරාධපුර මහා විහාර දොරටුව අබියස සිට රුවන්වැලි සෑය දෙස බලා සිටි භික්ෂුන් වහන්සේලා තිස් දහසක් එක් වරම රහත් ඵලයට පත් පුවත එවන් අභව්‍යාත්මක කතා ප්‍රවෘත්තීන් සේ සැලකිය හැක. මනෝ රථ පූර්ණයේ එන කුජ්ජ තිස්ස (සිහලවත්ථුවේ ද එම ප්‍රවෘත්තිය දැක්වෙන අතර එහි එම නම සඳහන් වනුයේ කුණ්ඩල තිස්ස යනුවෙනි.) පුවත ද එවැන්නකි. සද්ධාතිස්ස රජතුමා තමන් වහන්සේගේ රහත් භාවය පිළිබඳ සැක උපදවා ගෙන සිටින බැවින් එම සැකය දුරු කරනු පිණිස කුජ්ජ තිස්ස මහ රහත් හිමියන්ගේ පිරිනිවන් පෑමෙන් පසු දැක්වූ ප්‍රාතිහාර්යයන් කිහිපයක් පිළිබඳව එහි සඳහන්ය. ඉන් එක් ප්‍රාතිහාර්යයක් වනුයේ කුජ්ජතිස්ස හිමියන්ගේ දේහය ආදාහනය සඳහා වැඩමවන අවස්ථාවේ එම පෙරහැරට ඉඩ දෙනු පිණිස ථූපාරාමයත්, ලෝවා මහා පායත් අතර වූ ශිලා ථූපය නම් දාගැබ එක්වරම අහසට නැගී ආදාහන පෙරහැර නික්ම ගිය පසු යළි මහ පොළොව මත ප්‍රාදූර්භූත වීම ය.

එහෙත්, ත්‍රිපිටක සාහිත්‍යයෙන් අපට උකහා ගත හැකි සාක්ෂි අනුව බොහෝ භික්ෂුන් රහත් ඵලය මහන්තත්ත කමක්; ලොකුකමක් ලෙස වටහා ගත් බවක් නොපෙනේ. උන් වනසේලා එදිනෙදා ජීවිතවල දී සාමාන්‍ය භික්ෂූන් ලෙස ජීවත් වී තිබේ. අද ද අප භික්ෂු සමාජයේ අප්‍රකටව රහතන් වහන්සේලා වැඩ සිටිය හැකිය යන තාර්කික අදහස සමාජ ගත වී ඇත්තේ ඒ අනුව ය.

බෞද්ධ විනය පිටකයට අනුව වුවත් රහත් ඵලය යනු භික්ෂුවකගේ සාංසාරික විමුක්තිය ශාක්ෂාත් වීම පිළිබඳ තත්ත්වයක් මිස විනයානුකූලව ශාසනයේ ජ්‍යෙෂ්ඨත්වයක් හිමි වන තත්ත්වයක් ද නොවේ. කිසියම් රහත් භික්ෂුවක් පැවිදි උපසම්පදාවෙන් බාල නම් පැවිදි උපසම්පදාවෙන් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ පුහුදුන් භික්ෂුවක් වෙනුවෙන් වුව පා දෙවීම් ආදී වත් පිළිවෙත් හි යෙදිය යුතු බව විනයානුකූල නියමයයි.

නමුත් එදා මෙදා තුර මෙම රහතුන් ලෙස තමන් හඳුන්වා ගන්නා භික්ෂුන් අතරේ කොටස් දෙකක් සිටි බව පෙනේ. ඉන් පළමු කොටස වනුයේ තම නොදැනුවත්කම හෝ මානසිකත්වය මත තමන් රහත් යැයි සිතා සිටින කොටසය. එමෙන්ම එම භික්ෂුන් තුළ පවත්නා දුර්මත මැඩලීම පිණිස සෙසු භික්ෂුන් යොදා උපාය මාර්ග පිළිබඳව මජ්ඣිම නිකාය අටුවාවේ සඳහන්ය. එලෙස තමන් රහත් කෙනකුන් වශයෙන් පෙනී සිටි භික්ෂුවක් හමුවට ගිය වසභ රජතුමා ඒ භික්ෂුව ඉදිරියේ සිට ඇඹුල් අච්චාරුවක් අනන්නට වූ පසු එය දැක ඉබේම මුවට කෙළ ඉනීම නිසා තමන් තුළ රස තෘෂ්ණාව පවතින බවත් ඒ අනුව තමන් රහත් වී නොමැති බවත් ඒ භික්ෂුව වටහා ගෙන තිබේ. එමෙන්ම තමන් රහත් වී යැයි සිතා සිටි තවත් එක් භික්ෂුවක ගේ දුර්මතය දුරලනු පිණිස දීඝභාණක අභය නම් භික්ෂුවක් යෙදූ උපායක් පිළිබඳව ද සඳහන් වේ. එනම් ඒ රහත් යැයි සිතා සිටි භික්ෂුව කැලණි ගඟේ දිය නාමින් සිටින විට තරුණ භික්ෂුවක් දිය යටින් යවා රහත් යැයි සිතා සිටි භික්ෂුවකගේ පාදයකින් අදින ලෙස දැන්වීම ය. එවිට ඒ කිඹුලකුගේ ඇද ගෙන යාමකැයි වරදවා සිතා සිටි ඒ භික්ෂුව මරහඬ දී කෑගසා තිබේ. රහතුන් කෙසේ වත් තැති නොගන්නා (තිට්ඨන්තීති ථාවරා) බැවින් ඒ රහත් නාටකය ද එතැනින්ම නිමා වන්නට ඇත.

අංගුත්තර නිකායේ මනෝරථ පූර්ණී අටුවාවේ සඳහන් මලියදේව මහරහතන් වහන්සේ අප රටේ වැඩ සිටි ප්‍රකටම රහත් හිමි නම බව පොදු සම්මතයයි. නමුත් මලියදේව නමින් රහතන් වහන්සේ හය දෙනකුම සිටි බව මහාවංශය, බෝධි වංශය, ධාතුවංශය, සද්ධර්මාලංකාරය යන ග්‍රන්ථවල සඳහන් ව තිබේ. මේ අතරින් අවසන් මලියදේව රහතන් වහන්සේ ගෝඨාභය රජ දවස වැඩ සිටි වනගුප්ත මලියදේව රහතන් වහන්සේ ලෙස හැඳින්වීමෙන් මලියදේව යනු බුදු සසුනේ සඳහන් නොවන රහත් වංශයක්ද? යන කුකුස අප තුළ හට

ගනී. එමෙන්ම අප රටේ පැරණි විහාරස්ථානවලින් හමු වන දඹරන් පිළිම නමින් හැඳින්වෙන පිළිම සම්බන්ධ පුරාවෘත්තවලටත් මලියදේව රහත් නාමය සම්බන්ධ ය. මලියදේව රහතන් වහන්සේ දඹදිවට වැඩම කළ අවස්ථාවක දඹරන් පිළිම සතරක් ලැබුණු බවත් උන් වහන්සේ ඒ පිළිම සතර සෘද්ධියෙන් ශ්‍රී ලංකාවට වැඩම කොට ඒවා කෑගල්ලේ වට්ටාරම, කොත්මලේ පුහුල්පිටිය, මහනුවර මාදන්වල සහ මොරපාය යන විහාරයන් හි තැන්පත් කළ බවත් පැවසෙයි. එහෙත්, මේවා තුනී රන් තට්ටුවක් ආලේපිත ලෝහමය පිළිම මිස සැලකිය යුතු රන් සංයුතියකින් යුතු පිළිම නොවන බව මේ වන විට සනාථ වී තිබේ. නමුදු අදටත් සමාජය පුරා පැතිර ගත් දඹරන් මිථ්‍යාව නිසා ජාතියට අහිමි වන පුරාවස්තු ප්‍රමාණය සුළු පටු නැත. ඒ අනුව මෙම මලියදේව රහත් වෘත්තාන්තය ද මෙම දඹරන් පිළිම කතාවට නොදෙවෙනි බවට සැක නැත. ඒ කෙසේ හා දහතුන් වන සියවස පමණ වන විට අප රටේ භික්ෂූන් රහතුන් ලෙසින් හැඳින්වීමේ යුගය නිමා කළ ගත් කතුවරුන් ඒ වෙනුවට “රහතුන් සේ” යන වදන යොදා තිබේ.

මේ සියලු තත්ත්වයන් යටතේ වත්මන් සමාජයේ කෙලෙසුන් නැසූ බව, රහත් බව ලැබූ බව පවසා සිටින භික්ෂුන් ගෙන් සැලකිය යුතු කොටසක් හුදෙක් ලාභ ප්‍රයෝජන සලසා ගැනීම පිණිස වන ‘ගුණ්ඩුවක්’ ලෙස බුදු දහමේ පරමාදර්ශයක් වන අරහත් ඵලය අවභාවිතා කරන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. “හැබැයි ඉතින් ඕක වුණත් බොහොම සිහි කල්පනාවෙන් කරන්න ඕනේ වැඩක්” වරක් ඒ සම්බන්ධයෙන් කළ කතා බහක දී පේරාදෙණිය විශ්වවිද්‍යාල බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්ත විමල හිමියෝ සිනාසෙමින් කීහ. “මොකද ඔය කොල්ලෙක් විහිළුවට හරි රබර් නයෙක් හංගගෙන ඒ වගේ හාමුදුරු නමක් ළඟට ගිහින් එක පාරටම මෙන්න හාමුදුරුවනේ කියලා ඒ රබර් නයා හාමුදුරුවන් ගේ ඇඟට විසි කළොත් ඔක්කොම ඉවරයිනේ”. එහෙත්, ශාන්ත විමල හිමියන් හුදෙක් සරදම් පිණිස කළ ඒ ප්‍රකාශයේ කිසියම් ප්‍රායෝගික වැදගත්කමක් ද තිබිය හැකියැයි වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙන සිදුවීම් අනුව මට හැඟේ.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment