සැක මරණ හයෙන් 5කටම හේතුව ඇලජික් – සෞඛ්‍ය ඇමැතිට දුන් වාර්තාවෙන් කියයි

168

පසුගිය කාලය තුළ රෝහල් කිහිපයක සිදුවූ සැක කරන මරණ 06කින් මරණ 05ක් දරුණු අසාත්මිකතා හේතුවෙන් සිදුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ (09දා) දුන් වාර්තාව මගින් පෙන්වා දී ඇත.

අසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාවක සඳහන් වේ.

එම කමිටුවේ සභාපති, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් මහතා ඇතුළු කමිටු සාමාජිකයන් පිරිසක් විසින් වාර්තාව සකස් කර ඇත.

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රෝගීන්ගේ සිදු වූ අසාත්මිකතා සහ සංකූලතා හේතුවෙන් ඒ පිළිබඳව විද්‍යාත්මකව සොයා බැලීමට ඉකුත් ජුලි 17 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

එම වාර්තාවේ අරමුණ වූයේ පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වුණු අසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ වූ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමයි.

ඇති වූ සිද්ධි 06 සැලකීමේදී ඉන් 05 ක්ම දරුණු අසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බව වාර්තාවේ සඳහන් වේ. මෙම සිද්ධීන්ට හේතු වූ ඖෂධයන්හි තත්ත්ව පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතින අතර, එම පරීක්ෂණ ගැඹුරින් විග්‍රහ කිරීමට වැඩි කාලයක් ගත වන බැවින් එම වාර්තාවේ නිරීක්ෂණ ද සහිතව සවිස්තරාත්මක ඇගයීම් කමිටු වාර්තාවක් සමග ඉදිරිපත් කිරීමට නියමිතය.

අසාත්මිකතා විෂයට අදාළ සිද්ධීන්ට සම්බන්ධ ඖෂධයන්හි තත්ත්ව පරීක්ෂණ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NDQAL) ආයතනය මගින් සිදුවෙමින් පවතී. ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ තවදුරටත් පෙර සූදානම, හඳුනාගැනීම හා කළමනාකරණය සඳහා නිර්දේශයන් ද වාර්තාවේ ඉදිරිපත් කර ඇත.

මෙම විශේෂඥ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදීමේ අවස්ථාවට කමිටු සභාපති වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිම ජීවන්දර, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ යන මහත්වරුන් ඇතුළු කමිටු සාමාජිකයෝ සහ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment