1881 ජුලි 26 යනු මිනිස් ශිෂ්ඨාචාරයට ඓතිහාසික දිනයකි. ඒ විදුලි එළිය පළමුවෙන් ලොව ආලෝකවත් වන්නේ එදින නිසාය. එංගලන්තයේ බි්‍රස්ටල් නගරයේ දැල්වුණු විදුලි බල්බය කියාපෑවේ මිනිසා නව යුගයකට පා තබන සුබ නිමිත්තක පෙර ලකුණකි. මේ ඓතිහාසික පුවත ලොව පැතිර යමින් සිටින සමයේ අප බි්‍රතාන්‍යයන්ගේ යටත් විජිතයකි. 1882දී කොළඹ වරායට සේන්දු වූ එස්එස් හේලියෝස් නෞකාවෙන් විදුලි ආලෝකය දැක ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි විය. ලොව ප්‍රථම විදුලි බල්බය දැල්වී වසර නමයක් පමණ ගතවන්නට මත්තෙන් විදුලිජනක යන්ත්‍රයක් ආධාරයෙන් මෙරට පළමු විදුලිබල්බය දැල්වුණු බව ඉතිහාසය කියන්නේය. කොළඹ කොටුවේ බි්‍රස්ටල් බිලියඩ් කාමරය ඉතිහාසයට එක්වූයේ පළමු විදුලි බුබුළ ශ්‍රී ලංකාවේදී දැල්වුණු ස්ථානය වශයෙනි.

රටටම එළිය දෙන ජල විදුලියේ මහ ගෙදර ලක්ෂපාන

එමෙන්ම 1895 වසරද මෙරට විදුලිබල ඉතිහාසයේ සුවිශේෂී වසරක් වන්නේය. ඒ බූස්ටඩ් සහෝදරයෝ සමාගම පළමු වරට කොළඹ දී විදුලිය සැපයුම ආරම්භ කිරීම නිසාය. මෙරට විදුලි ඉතිහාස මග දිගේ ආපසු ගමන් කිරීමේදී අපට හමුවන දැවැන්ත චරිතය නම් ඩී. ජේ. විමලසුරේන්ද්‍ර යි. මෙරට ජලවිදුලි නිෂ්පාදනයේ පුරෝගාමී චරිතය විමලසුරේන්ද්‍රයි. ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ ඇති ජලාශවලින් ජලවිදුලිය නිපදවීමට ඇති ශක්‍යතාව පිළිබඳ පළමු වරට ගවේෂණය කර හෙළි කළේ ඔහු විසිනි. 1918 වසරේ ඔහු බව හෙළි කළේය.

ඩී. ජේ. විමලසුරේන්ද්‍ර නැත්නම් දේවපුර ජයසේන විමලසුරේන්ද්‍රට එදා ඉංග්‍රීසි ආණ්ඩුවට භාරදුන්නේ මධ්‍ය කඳුකරයේ භූමිය තුළ නිධන්ගතව ඇති රන්, මුතු, මැණික් පිළිබඳ තොරතුරු රජයට වාර්තා කිරීමය. මේ ගමනේදී ඔහු ඇස ගැටෙනුයේ සුන්දර ඇබඩීන් දිය ඇල්ලය. එදා වැඩිහිටි ඇල්ල නමින් හැඳින්වූයේ ලක්ෂපාන දියඇල්ලය. ඉහළ සිට පහළට කඩා හැළෙනා මේ කොමලියන් දෙස බලා ඔහු සිතුවේ රන්, මිණි ගැන නොවේ. ඒ කඩා හැලෙන ජල පහර ජල රෝදයකට ගෙන එහි බලයෙන් විදුලිය නිපදවීම ගැනය. එය යථාර්ථයක් කර ගැනීමට ඔහු මුහුණ පෑ බාධා බොහෝය. අවසානයේ විමලසුරේන්ද්‍ර සුද්දන්ටද ජලයෙන් විදුලිය උත්පාදනයකරන හැටි ඉගැන්වූවේය.

මෙරට ජලවිදුලි නිෂ්පාදනය සඳහා විමලසුරේන්ද්‍රයන්ගේ පරීක්ෂණ, ගවේෂණ නොකඩවා සිදුවුණි. එහි ප්‍රතිඵලයක් අනුව මෙරට පළමු ජලවිදුලි බලාගාරය 1950 වසරේ ලක්ෂපාන නමින් ඉදිවිය. අද වනවිට ඩී. ජේ. විමලසුරේන්ද්‍රයන් මෙරට ජලවිදුලි බලයේ පියා වශයෙන් පිදුම් ලබන්නේ එනිසාය. ලක්ෂපාල ජලවිදුලි බලාගාරය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය විය.

රටටම එළිය දෙන ජල විදුලියේ මහ ගෙදර ලක්ෂපාන
ලක්ෂපාන

“මෙරට කර්මාන්ත සංවර්ධනයට සීමාවීමට එක් ප්‍රබල හේතුවක් නම් ලාභදායක බලශක්තිය නැතිවීමයි. අප අමුද්‍රව්‍ය වශයෙන් පිටරට යවන කොප්පරා, රබර් හා මිනිරන් විදේශිකයෝ කර්මාන්ත ශාලාවල වඩාත් මිලැති නිමි භාණ්ඩ බවට පත් කරනවා. එම කාර්මික ප්‍රවාහයන්ගේ අතුරුඵලවලින් අමතර ප්‍රවාහයන්ගේ අතුරුඵල අමතර ප්‍රයෝජන ගන්නවා. මේ සියල්ල අපේ රටේ ආර්ථිකය සවිමත් කිරීමට රඳවාගත හැක්කේ අඩු මිලට බලශක්තිය (විදුලිය) ජනනය කළ විටය.” මේ විමලසුරේන්ද්‍රයන් ඉංජිනේරු ආයතනයට 1918 වසරේදී ඉදිරිපත් කරනු ලැබූ ‘ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය’ නම් වූ විද්‍යාත්මක වාර්තාවේ උපුටනයකි. මෙරට බලශක්තිය උත්පාදනය සම්බන්ධයෙන් විමලසුරේන්ද්‍ර සතු වූ දුරදක්නා නුවණ, චින්තනය මින් පැහැදිලිය.




රටටම එළිය දෙන ජල විදුලියේ මහ ගෙදර ලක්ෂපාන
විමලසුරේන්ද්‍ර

“කෙහෙල්ගමුව ඔයයි, මස් කෙළිය ඔයයි භාවිත කරමින් ලක්ෂපාන සංකීර්ණයේ විදුලිබලාගාර පහක් තියෙනවා. ජලාශයට ඉහළින් තියෙන පෝෂක ප්‍රදේශයට ලැබෙන වැසි ජලය එකතු කරගන්න ප්‍රධාන ජලාශ දෙක තමයි කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශ. මේක තියෙන්නෙ මස්කෙලි ඔය මුදුනේ. මස්කෙළි ඔය ආශ්‍රිතව තියෙන ප්‍රධාන ජලාශය තමයි මාඋස්සාකැලේ ජලාශය. කෙහෙල්ගමුව ඔය ආශ්‍රිව තියෙන්නේ කාසල්රී ජලාශය. ලක්ෂපාන විදුලි බලාගාරය කියද්දිම අපට ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතාව කිසිසේත් අමතක කරන්න බැහැ. මොකද ඔහු සිවිල් සහ විදුලිබල කියන ක්ෂේත්‍ර දෙකේම ඉංජිනේරුවෙක්. ඔහුට තමයි ලක්ෂපානෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් කියන අදහස ඇවිත් තියෙන්නේ. කොහොම හරි ලක්ෂපාන ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව රජයට ඉදිරිපත් කරන්නේ 1924 අවුරුද්දෙදි. ඒ වුණත් 1930 වෙද්දි ලංකාවෙ තිබුණු ආර්ථික පසුබැස්ම, දෙවන ලෝක යුද්ධය නිසා 1938 දක්වා ලක්ෂපාන ව්‍යාපෘතිය කරගෙන යන්න බැරි තත්ත්වයට පත්වුණා. කොහොම හරි ආයෙත් 1938දී ලක්ෂපාන වැඩකටයුතු ආරම්භ කරල තියෙනවා. අවසානයේ 1950 වෙද්දි ලක්ෂපාන පළමු අදියර නිමාවට පත්වෙන්නෙ මෙගාවොට් 25ක ධාරිතාවකින් යුත් විදුලියක් ජාතියට දායද කරමින්.” මේ ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්. ඉලුක්තැන්න මහතාය.

රටටම එළිය දෙන ජල විදුලියේ මහ ගෙදර ලක්ෂපාන
සමනල

විටෙක වැඩ නතර වෙමින් නැවත පටන් ගනිමින් වසර 25ක පමණ කාලයක් තිස්සේ ලක්ෂපාන බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවිණි. අවසානයේ 1950 වසරේදී මෙම විදුලිබලාගාරයේ පළමු අදියර විවෘත කිරීමේ උත්සවයේ ගෞරවණීය විශේෂ ආරාධිතයා වූයේ විමලසුරේන්ද්‍ර මහතායි. ඒ වනවිට මේ යුග පුරුෂයා 74 වැනි වියේ පසුවිය. “මගේ මනසින් මීට අඩසියවසකට පෙර මා දුටු සිහිනය, මගේ ජීවිතයේ සැඳෑ කාලයේ මෙලෙස සැබෑ වී තිබෙනු දක්නට ලැබීම ඉමහත් ප්‍රීතියක්. මා කෙදිනක හෝ මෙලොවින් නික්ම යන්නේ තෘප්තිමත් හා යුතුකම් ඉටු කළ මිනිසකු ලෙසය.” මේ එදා විමලසුරේන්ද්‍රයන් එම උත්සව සභාව අමතා කළ ප්‍රකාශයේ කොටසකි. තම ජීවිතයෙන් බොහෝ කාලයක් රට දැය සමය වෙනුවෙන් කැප කරමින් මෙරට ජීවමාන ආලෝකය වූ ඒ උත්තම මිනිසාට අප සැමදා හිසනමා ආචාරය කළ යුතුය.

ලක්ෂපාන ප්‍රථම අදියරෙන් කොලොන්නාව සහ ඊරියගමට මෙගාවොට් 25ක විදුලි බලයක් වොට් 66ක සම්ප්‍රේෂණ පද්ධතියක් මගින් බෙදාහැරිණි. එසමය වන විට මෙරට විදුලිබලය ලබා තිබූ නිවාස, කාර්යාල හා වෙනත් ගොඩනැඟිලි තිබී ඇත්තේ 17000ක් පමණි. මෙම පද්ධතිය භාරව කටයුතු කළේ පසුව විදුලිබල මණ්ඩලය බවට පත්වූ රජයේ විදුලිබල දෙපාර්තමේන්තුවයි.
“ලක්ෂපාන සංකීර්ණය කියන්නේ ලංකාවේ පැරැණිම විදුලි සංකීර්ණය. කෙහෙල්ගමු ඔය සහ මස්කෙළි ඔය කියන කැලණි ගඟේ ප්‍රධාන අතු ගංගා දෙක ආශ්‍රිතව තමයි මේ සංකීර්ණය ගොඩනැඟෙන්නේ. අදටත් ලංකාවේ ජල විදුලි සැපයුමෙන් 40%කට දායකත්වය දෙන්නෙ ලක්ෂපාන සංකීර්ණයෙන්.” ඒ ලක්ෂපාන සංකීර්ණයේ සිවිල් ඉංජිනේරු ඉරෝෂ් ප්‍රනාන්දු මහතාගේ අදහස්ය.

රටටම එළිය දෙන ජල විදුලියේ මහ ගෙදර ලක්ෂපාන
කැනියොන්

සැබැවින්ම ලක්ෂපාන ජලවිදුලි සංකීර්ණය 100%ක් ජල විදුලිය උත්පාදනය කරන පද්ධතයකි. ලංකා විදුලි බල මණ්ඩලය සතු ප්‍රධාන ජලාශ දෙකකින් මෙන්ම කුඩා ජලාශ හතරකින් සහ ජලවේලි හයකින් පරිපූර්ණය.

“මේ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ බී කොටස විදිහට තමයි විමලසුරේන්ද්‍ර බලාගාරය ඉදිවෙන්නෙ. ඒකට ජලය ගේන්නේ අඩි 20000ක් දිග උමගකින්. මෙගාවොට් 25 ජනන යන්ත්‍ර දෙකක් මෙහි ක්‍රියාත්මක වෙනවා. මේ අනුව මේ බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව මෙගාවොට් 50ක්.” නැවත අප හා එක්වූයේ එස්. ඉලුක්තැන්න මහතායි.

පසුව 1966දී මස්කෙළි ඔය ව්‍යාපාතිය ආරම්භ වී ඇත. එම ව්‍යාපෘතියේදී ලක්ෂපාන බලාගාරය ආසන්නයේ වේල්ලක් බැඳ අඩි 25000ක් දිග උමගකින් ජලය පොල්පිටිය ප්‍රදේශයේ පිහිටි සමනල බලාගාරය වෙත ගෙන එනු ලබයි. 1969 මෙකී ව්‍යාපෘතියේ වැඩ නිම වූ අතර, මේ මගින් මෙගාවොට් 37.5ක ජනන යන්ත්‍ර දෙකක් ඔස්සේ ජනිත වන මුළු විදුලි ධාරිතාව මෙගාවොට් 75කි.

රටටම එළිය දෙන ජල විදුලියේ මහ ගෙදර ලක්ෂපාන
බ්‍රෝඩ්ලයින්

සියල්ල එතැනින් නවතින්නේ නැත. නව ලක්ෂපාන විදුලි බලාගාරය ඉදිවන්නේ ඉහත කී ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙසිනි. 1971 වසරේ ඉදිකිරීම් ආරම්භ කරමින් 1974 වනවිට විදුලි ජනනය ආරම්භ කර ඇත. කැනියොන් සිට ලක්ෂපාන දක්වා අඩි 17,876ක උමගක් ඉදිකරමින් ඒ ඔස්සේ ජලය ගෙන එමින් මෙගාවොට් 50 ධාරිතාවයෙන් යුත් ජනන යන්ත්‍ර දෙකකින් සමන්විතව නව ලක්ෂපාන බලාගාරය ඉදිකර ඇත. මෙම උමග දේශීය ඉංජිනේරු දැනුමෙන් නිර්මාණය වී ඇත. මෙය පැරැණි ලක්ෂපාන බලාගාරය ආසන්නයේ ඉදිකර තිබේ.

කැනියොන් බලාගාරය මස්කෙළි ඔය ව්‍යාපෘතියේ තෙවැනි අදියරයි. මාඋස්සාකැලේ සිට කැනියොන් දක්වා ජලය ගෙන එන උමග අඩි 13550ක් දිගයි. මෙය 1979 වර්ෂයේදී ආරම්භ කළ අතර 1983දී වැඩ නිම විණි. එහි දෙවැනි අදියර 1998දී අවසන් කරමින් ජාතික විදුලි පද්ධතියට දායාද කරන විදුලි ධාරිතාව මෙගාවොට් 60කි. ඒ සඳහා මෙගාවොට් 30 බැගින් වූ යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මකය.

මෙය ලක්ෂපාන සංකීර්ණයේ අතීත කතාවයි. ඉන්පසු එළැඹෙන්නේ විසිවැනි සියවසටයි. ඒ අනුව අප මේ කතා කරමින් සිටින්නා වූ ලක්ෂපාන සංකීර්ණයේ අවසන් අදියර ලෙසින් 2012දී බ්‍රෝඩ්ලන්ඩ්ස් බලාගාරය තැනීම ආරම්භ විය. එය ලක්ෂපාන සංකීර්ණයේ ලාබාලතම විදුලි බලාගාරයයි. පොල්පිටිය, සමනල බලාගාරය ආසන්නයේ මීටර් 96ක් දිග වේල්ලක් ඉදිකර එම ජලය කිලෝ මීටර් 3.3 ක් පමණ දිග උමං මාර්ගයක් දිගේ ජලය කිතුල්ගල ප්‍රදේශයේ ඉදිව ඇති බෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය වෙත ගෙන යන අතර, එහි වූ මෙගාවොට් 17.5ක විදුලි ජනන යන්ත්‍ර දෙකකින් මෙගාවොට් 35ක් ධාරිතාවක් නිකුත් කරයි. මෙම ව්‍යාපෘතියෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 126ක විදුලි නිෂ්පාදනයක් ජාතික විදුලි පද්ධතියට එක්කරනු ලබයි. මෙහි ජල ධාරිතාව ලක්ෂපාන සංකීර්ණයේ ඇති අනෙක් ජලාශවලට වඩා වැඩිය.

රටටම එළිය දෙන ජල විදුලියේ මහ ගෙදර ලක්ෂපාන
ලක්ෂපාන සංකීර්ණයේ විදුලි ජනන මෙහෙයුම් ක්‍රියාවලිය
රටටම එළිය දෙන ජල විදුලියේ මහ ගෙදර ලක්ෂපාන

මේ අනුව ලක්ෂපාන, විමල්සුරේන්ද්‍ර, සමනල, කැනියොන්, බ්‍රෝඩ්ලයින් යන විදුලි බලාගාර පහකින් සමන්විත ලක්ෂපාන සංකීර්ණය මෙරට විදුලිබල සැපයුමට දායක වන්නේ මෙගාවොට් 390ක් සපයමිනි. මෙහි ඇති අනෙක් සුවිශේෂීතාව නම් මේ සංකීර්ණයේ විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ අවම පිරිවැයකි. විදුලිය නිපදවීමට භාවිතා වන්නේ ස්වාභාවික සම්පතක් වන ජල සම්පතයි. එනිසා ඩොලර් අර්බුදයෙන් කරවටක් ගිලී තිබෙන මෙරට ආර්ථිකයට ලක්ෂපාන සංකීර්ණය යනු දාහෙන් සම්පතකි.

ශ්‍රී ලංකාවේ විදුලි බලය උත්පාදනය කිරීමට භාවිත වන ප්‍රධාන බලශක්තිය ජල විදුලියයි. 1990 වන තෙක් මෙරට විදුලි අවශ්‍යතාව සැපිරුවේද ජල විදුලියෙනි. ලක්ෂපාන සංකීර්ණයේ සියලු සම්පත්වල අයිතිය ලංකා විදුලිබල මණ්ඩලය සතු වේ. එනිසා ඔවුන් නිරන්තරයෙන් ඒ සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව භාවිත කිරීමට කටයුතු කරනු ලබයි. එහිදී ජල මූලාශ්‍ර සුරැකීම වෙනුවෙන් ඔවුන් නිරන්තරයෙන් වෙහෙසෙයි. එමෙන්ම ජල විදුලිය නිෂ්පාදනය කිරීමෙන් පසු මුදාහැරෙන ජලය රටේ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමට ඔවුන් කරන කැපවීම සුවිශේෂීය. සිවිල් ඉංජිනේරු ඉරෝෂ ප්‍රනාන්දු මහතා කියන දේ ඊට සාක්ෂිය.

“ලක්ෂපාන සංකීර්ණයේ සම්පූර්ණ විදුලි ධාරිතාව ගැන කතාකරද්දි, කාසල්රී පැත්තෙන් ගිගාවොට් පැය 102.1ක් සහ මාඋස්සාකැලේ ගිගාවොට් පැය 307.5කි. මොකද ලක්ෂපාන සංකීර්ණය සුවිශේෂීයි. මෙහි සියලු දේවල් පාලනය වෙන්නේ විදුලිබල මණ්ඩලයෙන් විතරයි. කොළඹ සහ අවට ජීවත්වෙන ජනතාවට වතුර සපයන එකම මාර්ගය තමයි කැලණි ගඟ. එතකොට කැලණි ගඟේ ප්‍රධාන ජල පෝෂක තමයි මාඋස්සාකැලේ ජලාශයයි, කාසල්රී ජලාශයයි. ඒ දෙකේ ජලය තිබුණොත් විතරයි කොළඹ ජනතාවට ජලය ලැබෙන්නේ. ඒ නිසා විදුලිබල මණ්ඩලය හැටියට අපි අවුරුද්ද පුරා මේ ගැන විශේෂ අවධානයක් යොමුකරනවා. එතනදී පානීය ජලය ජීවිතය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ලක්ෂපානෙන් ලබාදෙන ජලය රැක ගැනීම සහ තත්ත්වය පාලනය, නිසි වෙලාවට සැපයීම යන සියලු කාර්යයන් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යයන්. ඒ වගකීම ඉෂ්ට කරන්න අපි නිතරම බැඳී ඉන්නවා. හැබැයි එතනදී අපිට බාහිර බලපෑම් රාශියක් තියෙනවා.”

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්. ඉලුක්තැන්න මහතා කියන්නා වූ ඒ බාහිර බලපෑම් මොනවාද….? එය ලබන සතියට…

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment