‘හයිලන්ඩ් තියෙනවද කියලා බලන්න.’ ලියුම්කරුගේ මව නිතර කියන වාක්‍යයකි ඒ. නව වෙළෙඳසලකට පිවිසුණත්, දුර බැහැර සිට පැමිණියත් මෙරට රජයට සීයට සීයක් අයිතිය ඇති, මිල්කෝ සමාගම සතු, හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක් සොයාගෙන මිලට ගැනීමට ඇයට ඕනෑ වෙන්නේ එහි පෝෂණය, ප්‍රමිතිය මෙන්ම රසය ගැන ඇති විශ්වාසය නිසාය.

මේ එක් වෙළෙඳ භාණ්ඩයක් ප්‍රවර්ධනය කිරීමක් නොවේ. ඒ ඒ කිරිපිටි වර්ගවලට කැමති ඒ ඒ අය සිටී. හයිලන්ඩ් යනු ලංකාවේ සියලුදෙනා බොන කිරිපිරි වර්ගය නොවේ. විවිධාකාර කිරිපිටි වර්ග ජනතාව පරිහරණය කරයි. එහෙත්, හයිලන්ඩ් යනු සොයන්නට අසීරු, මිලදී ගැනීම අභියෝගයක් වන කිරිපිටි වර්ගයක් බව නොරහසකි. එනම්, හයිලන්ඩ් පරිහරණය කරන්නට කැමති සියලු දෙනාගේම ඉල්ලුමට සරිලන සැපයුමක් හයිලන්ඩ්ට ලබාදිය නොහැකි බව ප්‍රසිද්ධ කාරණයකි.

ලාංකිකයෝ තමන්ගේ ක්ෂීරපායී ජෛව විද්‍යාත්මක පදනම ඉහළින් සමරන්නෝය. අපි කිරි බොන්නට කැමැත්තෝ වෙමු. ඉතින්, මිල්කෝ ඉරණම ලාංකිකයන්ට ඉතා වැදගත් වනු ඇත.

අමුල් විකිණීම

ශ්‍රී ලංකාවේ රජය සතු සමාගමක් වන මිල්කෝ සමාගමත්, එය සතු පශු සම්පත් නිෂ්පාදනාගාර 31කුත් ජාතික පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව දැන් පවතී. එය, ඉන්දියාවේ අමුල් සමාගම සහ මෙරට සමාගමක් අයත් වන හවුල් ව්‍යාපාරයක් වෙත විකිණීමට රජය තීන්දු කර තිබේ. ඒ අනුව ඒකාබද්ධ ආයෝජනයක් ලෙස, මෙරට පෞද්ගලික සමාගමක් සහ අමුල් සමාගම මිල්කෝ ආයතනය ඉදිරියේදී පවත්වාගෙන යෑමට නියමිතය. දැනට වාර්තා වන ආකාරයට මෙරට ප්‍රමුඛ සුපර්මාකට් ජාලයක් හිමි සමාගමක් දේශීය ආයෝජකයා ලෙස එක් වේ. එම සමාගම මෙරට කිරි නිෂ්පාදනය ගැන විශාල උනන්දුවක් දක්වයි. අමුල් සමාගමට සීයට 51ක අයිතිය හිමි වනු ඇත. මෙරට සමාගමට සීයට 49ක් හිමි වනු ඇත.

අමුල් සමාගම පවතින්නේ, ගුජරාට් සමුපකාර කිරි වෙළෙඳ සම්මේලනය යටතේය. මෙය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද්හි සමුපකාර සමාගමකි. එය පාලනය කරන්නේ මිලියන 3.6ක් වන කිරි නිෂ්පාදනකරුවන් විසින්ය.

පසුගිය සතියේ අමුල් ආයතනය පිළිබඳ සංවාදය විශාල අවධානයකට යොමු වුණේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය නිසාය. එහිදී අමුල් ආයතනය සමාජ මාධ්‍යවල පළ කර තිබුණු ප්‍රකාශයටත් අවධානය යොමු වූ අතර, අනුර කුමාර දිසානායක අමුල් ආයතනයට මිල්කෝ විකිණීමට පක්ෂ බව කියමින් චෝදනා පවා එල්ල විය. ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු කියා තිබුණේ, අමුල් ආයතනයට ගිය අවස්ථාවේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කොට, නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකර එය විකිණීමට එරෙහි වූ බවය. රූපවාහිනී ආයතනයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ කියා තිබුණි.

මිල්කෝ අමුල්ට ඈවරයි…බැරි නම් අපට දෙන්න අපි කරලා පෙන්වන්නම් සේවකයෝ කියති

‘මම අමුල් එකට ගියේ අවුරුදු 15කට 16කට කලින්. අමුල් ආයතනය අපි අනූ ගණන්වල පක්ෂය ඇතුළේ අධ්‍යාපන සාකච්ඡාවලට ගෙනාපු එකක්. ඒක ගොඩනැගුණේ සමුපකාර ක්‍රමයකට. මේක ගොඩනගලා ශක්තිමත්ම සමුපකාරයක් දක්වා ගොඩනගනවා. ඔවුන්ගේ කිරි ලීටරයකින්, වෙළෙඳපොළේ විකුණන මිලෙන් සීයට 80ක් ගොවියාට යනවා. අපේ සීයට 35ක් විතර යන්නේ. විශාලම සමුපකාර ජාලයක්. ඒක අත්දැකීමක් හැටියට ඉතාම වැදගත්. මීට කලින් මම දවස් තුනක් ගිහිල්ලා අමුල් එක්ක වැඩ කළා.

ලංකාවේ එන්එල්ඩීබී මිලදී ගැනීම සඳහා සම්බන්ධීකරණය කරන නිලධාරියා එතැන හිටියා. මුලින් ඔවුන්ගේ අමුල් ගැන පැහැදිලි කළා. අපි කිව්වා ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපට ප්‍රශ්න කිහිපයක් තියෙනවා කිව්වා. පළවැනි එක, අපි මූලධර්මයක් ලෙස අපේ රටේ කිරි ක්ෂේත්‍රය, ස්වාධිපත්‍යය ආරක්ෂා කරගත යුතුය කියන ස්ථාවරයේ ඉන්නවා. ඒ වගේම මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ එකක්, අපි විරුද්ධයි කියලා කීවා.

අපේ රටේ 2022 වර්ෂයේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 222ක් වැය වෙලා තියෙනවා. අපේ රටේ කිරි අවශ්‍යතාව අපි සීයට 35යි දේශීය නිෂ්පාදනය කරන්නේ. සීයට 65ක් පිටරටින් ආනයනය කරනවා. අපට කිරිපිටි ආනයනයටත් මුදලක් යනවා. ඔවුන් ලබාගන්නා ලාභයත් ඩොලර් ලෙස ගෙනියනවා. ඒ නිසා අපට විශාල ප්‍රයත්නයක් තියෙනවා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න. දැනට පැලවත්ත, අඹේවෙල සහ කොත්මලේ කිරි නිෂ්පාදනයන් තියෙනවා. කිරි නිෂ්පාදනය වර්ධනය කිරීමට අපට තාක්ෂණය අවශ්‍ය වෙනවා. අපි කියනවා, ඔබේ තාක්ෂණය ලබා ගන්න. අපි අමුල් සමාගම එනවාට එකඟ නෑ. ඔවුන් කී දේ තමයි, අපි මුළුමනින්ම මිල්කෝ එක ඉල්ලුවේ නෑ. අපි මුලින් පොළොන්නරුව ෆාම් එක දෙන්න කියා ඉල්ලුවා. ඔවුන් කීවා පොළොන්නරුව දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ පහක් ඉල්ලුවා. ආණ්ඩුව කිව්වා ඔක්කෝම ගන්න කියලා. ඊට පස්සේ ඔවුන් කීවා, සීයට සීයක් එපා කොටස් අයිතිය දෙන්න කියලා. ආණ්ඩුව කියා තිබුණා නෑ නෑ ඔක්කෝම ගන්න කියලා. අවසානයේ ඔවුන් කීවාලු, අපි සීයට 51ක් ගන්නම් සීයට 49ක් සඳහා දේශීය ආයෝජකයෙකු සොයා ගන්න කියලා. අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ.’

විකිණීමට විරෝධය

අමුල් ආයතනයට නොව, කිසිදු සමාගමකට මිල්කෝ විකිණීමට එහි සේවකයන් එකඟ නැත. මේ වෙද්දී මිල්කෝ සමාගමේ වෘත්තිය සමිති ඇතුළුව, මෙරට විකිණීමට නියමිත ආයතන ගණනාවක වෘත්තිය සමිති ජාතික සම්පත් සුරැකීමේ ජාතික ව්‍යාපාරයට එක්ව සිටී. මිල්කෝ ආයතනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිතියේ බණ්ඩාර රඹුක්වැල්ල සිය හඬ අවදි කළේ වෘත්තිය සමිති නායකයෙකු පමණක් නොව, කලක් තිස්සේ මෙම ආයතනයේ සේවකයෙකු ලෙස ආයතනය කෙරෙහි ඇති භක්ත්‍යාදරය මුසු වූ වේදනාවකුත් සමගයි. වේදනාව, ආයතනය විකුණා දැමීමෙන් සිදුවිය හැකි විනාශය ගැනය.

‘රජයේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ එක්ක මිල්කෝ එකත් විකුණන්න දාලා තියෙනවා. අමුල් සමාගමට 1998 වර්ෂයේ දීලා තියෙනවා. කරගෙන යන්න බැරිව දාලා ගිහින් තියෙනවා කරන්නේ නැතිව දාලා ගිය සමාගමකට දීපු එක. ලංකාවේ සුපර්මාකට් ජාලයක් මේක ඩැහැගන්න බලා ඉන්නවා. ලංකාවේ හොඳ නාමයන් තියෙන කිරි සමාගම් තමන්ගේ යටතට ගන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. මෙය ඒකාධිකාරයට යට වේවි.

කිරි ගොවියන්ට වෙන්නේ රුපියල් 60ට ඉල්ලුවත් කිරි ටික දෙන්න. පොඩි පොඩි ආයතන, ගම් මට්ටමෙන් තියෙන ප්‍රාදේශීය ආයතන වැසී යන්න ඉඩ තියෙනවා. පොඩි ආයතන වසා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා. මිල්කෝ එකත් අරන්, කිරි රේට් එක වැඩි කරලා අඩු කරනවා.

කිරි ගොවියන්ට හොඳ මිලක් තියෙන්නේ මිල්කෝ එක නිසා. එයාලාට ඕනෑ විදියට කිරි මිල වැඩි කරන්න හෝ අඩු කරන්න බෑ.

නවසීලන්ත රජයෙන් දුන් තෑග්ගක් මේ සමාගම. තෑගි විකුණන තැනට මේ රජය ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපට කනගාටු. අපේ දරුවන්ගේ මන්දපෝෂණය තුරන් කරන්න හදපු ආයතනයක් මිල්කෝ එක. පෞද්ගලික ආයතනයකට විකුණුවාම ප්‍රමිතිය නැති වෙනවා. පෞද්ගලික අංශය බලන්නේ ලාභ උපයන්න.

මිල්කෝ අමුල්ට ඈවරයි…බැරි නම් අපට දෙන්න අපි කරලා පෙන්වන්නම් සේවකයෝ කියති

මිල්කෝ ආයතනයට තව කළ හැකි දේ බොහොමයි. අපි මේ ආයතනය කාර්යක්ෂම කළ යුතුයි. එහෙත්, අපේ ප්‍රධාන ඉලක්කය ලාභ ඉපයීම නොවන බවත් මතක තියාගන්න ඕනෑ. අපේ ඉහළම ඉලක්කය ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් දීම සහ ගොවියාට සාධාරණ මිලක් ලබා දීම. මිල්කෝ ලාභ ලබන්න ඕනෑ කියලා කියපු එකක් නෙවෙයි. මේක සීයට සීයක් ජනතාවගේ ආයතනයක්. මේකට උපයන්න තියෙන ඉහළම ලාභය තමයි මිනිස්සුන්ට ඉහළම පෝෂණයක් දෙන එක. මොකද, අයිතිකාරයා මිනිස්සු. මිනිස්සුන්ට ඕනෑ ඉහළම කිරි නිෂ්පාදනයක් සරල මිලට. කිරි ගොවියාට නිසි මිල ගෙවන එක. අඩු මිලට ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් දෙන, හරිහැටි පඩිනඩි දෙන චක්‍රයක් මේක. එක එක්කෙනා ලාභ ඉල්ලුවා කියලා, අපි ලාභ හොයන්න වැඩ කරන්න අවශ්‍ය නැහැ.

කොවිඩ් සමයේ කිරිපිටි පැකට් එක ඉතාම සහන මිලට දුන්නේ අපි. කොවිඩ් කාලයේ කිරි එකතු කරන්නට වෙන කවුරුත් ගියේ නෑ. අපි කිරි ගොවියන් අමාරුවේ දැම්මේ නැහැ. කිරි ගොවියා ගෙදර හිර වුණත් ආදායම් ලබන්න අපි සිස්ටම් එක හැදුවා. අද විවිධාකාර බහුජාතික සමාගම් ඇතුළු අය හයිලන්ඩ් නම විනාශ කරලා, බලාපොරොත්තු නැති කරන්න බලන්නේ.

මම පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිතියක නායකයෙක්. ඒත් අපි ආණ්ඩුවේ නෙවෙයි. මේ ආයතනයේ සේවකයෝ. හෙට ජනාධිපති හමු වුණත් මම මේ ටික කියනවා. අපට කැක්කුමක් තියෙනවා, මේක ඉදිරි පරම්පරාවට රැගෙන යන්න.

දූෂණ වංචා ගැනත් කියන්න ඕනෑ. මේ ආයතනයේ අනන්ත වංචා දූෂණ වෙනවා. මේකේ උඩ ඉඳන් පහළට බැලුවාම වංචා, දූෂණ වැඩියි. හරි නායකත්වයක් නැතිකම. හොඳ සභාපතිවරුන් පෙන්වලා තියෙනවා.

මේ ආයතනයෙන් ලාභ උපයන්න පුළුවන්. හරි පාලනයක් යටතේ. මුලින්ම හොරුන්ව සභාපතිවරුන් විදියට දාන එක නවත්වන්න ඕනෑ. බුද්ධිමත්, විෂය ගැන අවබෝධයක් ඇති, හොරකම් නොකරන හරි නායකයෙක් දැම්මොත් අනෙක් මිනිස්සු හොරකම් කරන්න පුළුවන්. නායකත්වයේ වැරදි අපට නැති කරන්න පුළුවන්. මේකේ කම්කරුවන් හොරකම් කරලා නෑ.’

ඔහු වැඩිදුරටත් කතා කළේ තමන්ට මෙම ආයතනය පිළිබඳ ඇති පුද්ගලික බැඳීමේ තරමයි.

‘හෙට මේක වැහුවොත් අපට යන්න තැනක් නෑ. ඒ නිසා අපට මේ ආයතනය ගැන කැක්කුමක් තියෙනවා. හොරකම් කරන්න එන ඉහළින් දාන මිනිස්සුන්ට ඕනෑ තරම් ආයතන තියෙනවා.

හරකෙක් ඇදලා, කිරි ටිකක් මණ්ඩලයට දීලා තමන්ගේ ජීවිතය පවත්වාගෙන ගොවියන් ඉන්නවා. එවැනි කිරි ගොවීන්ට සුබසාධන වැඩපිළිවෙළවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අප ගැන තියෙන විශ්වාසයට කිරි ගොවීන් ඉන්නේ. මේක විකුණන එකේ බලපෑම අපේ අනාගතයේ, අවුරුදු හයකින් දකින්න පුළුවන්.

මම මේ ආයතනයේ ගිණුම්කරණ පැත්තේ හිටියේ. කිරි නිෂ්පාදනය ගැන ඉගෙනගන්න ඕනෑ නිසා මම නිෂ්පාදන අංශයට මාරු වුණා. යෝගට්, අයිස්ක්‍රීම් ආදී නිෂ්පාදන හදන හැටි මම දැකලා තියෙනවා. අවුරුදු විස්සක් මේ ආයතනයේ ඉඳපු කෙනෙක් මම. හඟුරන්කෙත හැදී වැඩුණු කෙනෙක් විදියට, මමත් කිරි හරක් හදලා තියෙනවා. පොඩි කාලේ කිරි හරක් අරගෙන ගිහිල්ලා පාසල් ගිහින් හැදී වැඩුණ අය අපි.’

ලාභ ලබන්නම්

2021 වසරේදී මිල්කෝ සමාගම කිරි නිෂ්පාදන අලෙවියෙන් රුපියල් බිලියන 8ක ආදායමක් උපයා තිබුණි. පාලනාධිකාරියේ අඩුපාඩු නිසා පසුගිය වසර කිහිපයක් තිස්සේ මිල්කෝ සමාගම පාඩු ලබා ඇති බව ආණ්ඩුව පැත්තෙන් කියයි. එහෙත්, ජනවාරි 10 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් සමග වෘත්තිය සමිති නියෝජිතයන්ගේ සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට උපරිම මැදිහත්වීම කරන බව වෘත්තිය සමිති දැනුම් දී තිබුණි. ඒ ගැන රඹුක්වැල්ල මහතා මෙසේ කීය.

‘මම මීට කලිනුත් යෝජනා කරලා තියෙනවා, ආණ්ඩුවට බැරි නම් මාස හයක් මේකේ සේවකයන්ට කර්මාන්තශාලාව දෙන්න, මට පුළුවන් මේකට නායකත්වය දෙන්න කියලා. උඩට අරන් පෙන්වන්නම් කියලා මම කියා තියෙනවා.

මෙය වඩාත් කාර්යක්ෂම කරන්නට නම් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හෙවත් එන්එල්ඩීබී සමගත් කටයුතු කළ යුතුයි. මේ සමාගමේ කොටස් සීයට සීයක් එම ආයතනයට අයිතියි. ඒ ආයතනය යටතේ ගොවිපොළවල් ආදිය තියෙනවා. ඒත් ඒ ආයතනය කරන්නේ අල හදන එක. ඔවුන්ට ලොකු කැපෑසිටි එකක් තියෙනවා. මිල්කෝ සහ එන්එල්ඩීබී ආයතන දෙක ඒකාබද්ධව තියෙන්න ඕනෑ. අද මේවා එකිනෙකින් වෙන් කරලා තියෙනවා. ආයතන දෙක එකිනෙකට වෙනස්ව තියෙන්නේ. ඒක සංවර්ධනය කරන්න. එන ඇමැතිවරුනුත් මොන ජාතියේ අයද කියා හිතාගන්න බෑ. අපේම පක්ෂවල මිනිස්සු මේ.’

පෝෂණයට බලපානවා

මෙම පෞද්ගලිකකරණය පිළිබඳ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නායකයෙකු වන ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල මෙසේ කීය.

‘මිල්කෝ සමාගම තමයි මේ රටේ කිරි. කිරි කියන්නේ මේ රටේ පෝෂණයට ඍජුව සම්බන්ධ සංඝටකයක්. මේ රටේ කිරිවල මිල සහ ප්‍රමිතිය රඳවාගෙන තියාගන්න ඉවහල් වෙන්නේ මිල්කෝ ආයතනය. පෞද්ගලික අංශයත් ඉන්නවා. පෞද්ගලික අංශය මිල්කෝ එකට වඩා වැඩි මුදලකට අරගෙන කිරිවල ප්‍රමිතිය වැඩිපුර බලන්නේ නෑ. ඒක යම් ප්‍රමාණයකට පාලනය කරගෙන ඉදීමේ හැකියාව තියෙන්නේ රාජ්‍ය සමාගමක් වන මිල්කෝ එකට. මෙය පෞද්ගලික අංශයට ගියාම ඒක බලපාන්නේ මහජනයාගේ සහ දරුවන්ගේ පෝෂණයට.’

1956 දී නවසීලන්ත ආධාර මත ජාතික කිරි මණ්ඩලය පිහිටුවා තිබුණේ, දරුවන්ගේ මන්දපෝෂණය දුරු කිරීමට සහ කිරි ගොවියා නගා සිටුවීමටය. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පාර්ලිමේන්තු පනතකින් මෙම ආයතනය බිහි කර තිබුණි. 1986 දී ජාතික කිරි මණ්ඩලය පිහිටුවීය. 1998 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ මිල්කෝ ආයතනය ‘කිරියා කිරි නිෂ්පාදන සමාගම’ සමග ගිවිසුම්ගත වී සමාගමේ අයිතිය පැවරීමට සැලසුම් කළේය. එම සමාගම අමුල් ආයතනය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ එකකි. එහෙත්, වෘත්තිය සමිතිවල නැගිටීමෙන් එදා, මිල්කෝ සමාගම අත්හැර අමුල් ඉන්දියාවට ගියේය. ඒ අනුව, ඉන්දියානු කළමනාකාරීත්වයෙන් ඉවත් කර මිල්කෝ සමාගම යළි රජයට පවරා ගැනුණි.

මේ වෙද්දීත් මිල්කෝ සමාගම සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත්තේ ‘මිල්කෝ ප්‍රයිවෙට් ලිමිටඩ්’ ලෙසය. එය ඉබේ සිදු වූවක් නොවේ. මෙය පෞද්ගලිකකරණය කිරීම පහසු කිරීමේ අරමුණින් ක්‍රමානුකූලව ඇති කළ තත්ත්වයකි. කොටස් අයිතිය සීයට සීයක් අද රජය සතු වුණත්, ඉතා පහසුවෙන් කොටස් විකුණමින් මිල්කෝ පෞද්ගලිකකරණය කළ හැක. මේ ආකාරයටම මෙරට ආයතන ගණනාවක් විකුණා දැමීම පහසුවන ආකාරයෙන් රජයට ඇති බැඳීමෙන් ඉවත් කර තිබේ. එම ඉවත් කිරීම ජාතික පශු සම්පත් මණ්ඩලයෙන් මිල්කෝ ඈත් කිරීමටත් හේතු විය. ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳවත්, පෝෂණය පිළිබඳවත් නිසි සැලසුම් ක්‍රියාත්මක කරන්නේ නම් එය සිදුවිය යුත්තේ මේ ආයතන හරහාය. එවැනි ජාතික සැලැස්මක් නැතිව, පෞද්ගලික අංශයට පැවරීමෙන් මෙම කර්මාන්තය ගොඩගත නොහැක.

මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණයට එරෙහිව පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදා වෘත්තිය සමිති විරෝධතාවකට සහභාගි විය. එහිදී ප්‍රධාන කාර්යාලයේ සහ දිගන මිල්කෝ සේවකයන් දෙදෙනකු ටැංකි මතට නැගී උපවාසවල නිරත වීමත් සිදු විය. එහිදී මිල්කෝ සභාපති ධුරයෙන් රේණුක පෙරේරා ඉවත් කිරීම ප්‍රධාන ඉල්ලීමක් විය. එයින් පසු රේණුක පෙරේරාව ඉවත් කර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මිල්කෝ සභාපතිවරයා ලෙස පත් කිරීම සිදු වී තිබුණි.

දරුවාට කිරි පැකට්ටුවක් ලබා දෙන්නට යැයි යදින මිනිසුන් මෙන්ම, කිරි පැකට්ටුවක් මිලට ගැනීම වෙනුවෙන් ජීවිත අවදානමට පත්වෙන දේවල් කිරීමට පෙළැඹෙන මිනිසුන් පවා අපි දකින්නෙමු.

ශ්‍රී ලංකාව වාර්ෂිකව කිරි ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 6ක් පමණ වැය කරයි. ඩොලර් මිලියන 200-350 අතර ප්‍රමාණයකි. මෙරටදී නිෂ්පාදනය කරන්නේ දේශීය කිරි අවශ්‍යතාවෙන් සීයට 35- 40 ප්‍රමාණයක් පමණි. සීයට 60- 65 ප්‍රමාණයක් අපි ආනයනය කරන්නෙමු. ඒ අනුව දේශීය කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට සංකල්පයක් විදියට කිසිවකු විරුද්ධ නොවනු ඇත. යම් රටක් සියලු දේ නිෂ්පාදනය කළ යුතු නොවේ. එහෙත්, මෙරට අත්‍යවශ්‍ය ප්‍රධාන ආහාරයක් මෙරටදී වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීම වරදක් නොවේ. සත්ව පාලනය මෙරට ගැමි ගොවි ජනතාවට අසීරු නොවේ. අවශ්‍ය වන්නේ, දැනටත් කිරි ගොවි කර්මාන්තයේ යෙදෙන ගැමි, ගොවි ජනතාව ශක්තිමත් කිරීමය. එහෙත් විකිණීමේ වුවමනාව මිස එවැනි සැලසුම් ආණ්ඩුවට ඇති බවක් නොපෙනේ.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment