සොබා දහමට ඉඩක්…

සංචාරකයන්ට සේම වන අලින්ටත් තෝතැන්නක් වූ රොට්ටේ සහ අරුගම්බේ

අම්පාර – ලාහුගල ගමනේ අද අප කතාකරන්නේ අවසන් චාරිකාව ගැනය. පළමු චාරිකා දෙකේදීම අප කතා කළේ ලාහුගල උද්‍යානය තුළ සංචාරය සහ ලාහුගල – මහවැව සංචාරක බංගලාවේ අප ගත කළ අයුරුය. සමීර වීරතුංග මල්ලී නිසාම මෙම ගමන සැලසුම් වූ අතර, උද්‍යාන පාලක බුද්ධික විදානගේ කලක පටන්ම ලාහුගලට අපගේ ආගමනය බලාපොරොත්තුව සිටියේය. ඒ අනුව ලාහුගල සිහිනය සැබෑකරගත් අපි දින කිහිපයක් ලාහුගල – පොතුවිල් – අරුගම්බේ – උල්ල ප්‍රදේශවල සැරිසරමින් පහළ නැගෙනහිර වෙරළ තීරයේ සුන්දරත්වය විඳගැනීමටද අමතක නොකළෙමු. නමුත් ඒ සියල්ලටත් වඩා අප අමතක නොවන අත්දැකීමක් ලබාගත්තේ ලාහුගල වන මැද පිහිටි ලාහුගල ජාතික උද්‍යානයේ වන ගොමුවෙන් සහ ලාහුගල – සෙන්ගමුව – කිතුලාන වැව් ඇසුරෙන් බවද කිව යුතුය.

වැඩිමනත් පොතුවිල් රොට්ටේ වැව තුළ ආහාර බුදින අලි – ඇතුන් නිසාද, අරුගම්බේ කලපුවේ දිවිගෙවන “මහානාම” නිසාද සුන්දර අත්දැකීම් ලබාගත් බවද කිවයුතුය.

සංචාරකයන්ට සේම වන අලින්ටත් තෝතැන්නක් වූ රොට්ටේ සහ අරුගම්බේ

ඉස්සර වන අලින් සඳහා ඉතා ප්‍රකටව තිබුණු ලාහුගල ජාතික උද්‍යානයේ මහවැව තුළ “බෙරු” නම් දිය තණකොළ විශේෂය බුදින්නට අලින් මහත් ගිජුකමක් දැක්වූ නිසා එහි යහමින් අලින් දැකගන්නට ලැබුණත් කුමන හෝ හේතුවක් මත, බෙරු එයින් වඳවී ගොස් ඇති නිසාදෝ දැන් එහි අලියකු දැකගැනීම උගහටය. මේ නිසාම ලාහුගල අලින් බලන්නට දැන් යායුතුව ඇත්තේ රොට්ටේ වැවටය. මේ ආරංචිය අපට දුන්නේ බුද්ධික විදානගේ බව අපි පසුගිය සතියේ ඔබට කීවෙමු. මේ නිසාම එහි අසිරිය විඳ, අලි – ඇතුන්ගේ ඡායාරූප ගන්නටද අපට අවශ්‍ය විය. මේ නිසා සමීර මල්ලී රොට්ටේ වැවට යන්නට අපට යෝජනා කළේ ලාහුගල උද්‍යානය තුළ අප සෆාරියේ යෙදී සිටින අවස්ථාවේදීමය. ඒ අනුව උද්‍යානයේ සැරිසැරීම නිමා කළ අපි රොට්ටේ වැව බලා ගමන් ගත්තේ හිරු බැස යන්නට බොහෝ කලිනි. සමීරගේ 4DR5 වන්ඩිය පදවන රවී නොහොත් රවී සංක කොඩිකාර සමීර කියන කොයි ගමනටත් එක පයින්ම කැමති හාදයෙක් නිසා අපි කණ්ඩායමම රොට්ටේ වැවට ගියේ තරමක් ගිනි ගහන අව්වේය.

සංචාරකයන්ට සේම වන අලින්ටත් තෝතැන්නක් වූ රොට්ටේ සහ අරුගම්බේ

එහි ගිය වෙලාව අනුව වැවට අලි බහින්න හවස් වෙයි කියා කිව්වත් අපි යනවිටත් වන අලි රැළක් වැවේ ඈත කෙළවර වතුරේම තණ බුදිනවා දැකීමෙන් අපට දැනුණේ නිම් හිම් නැති සතුටකි. ඒ ක්ෂණයෙන්ම ජීප් රථය වැව් බැම්ම දිගේ අප දකුණු දිසාවට පදවාගෙන ගිය අතර, අවරට හැරුණු සූර්යයාගේ දීප්තිමත් කිරණින් එළිය වැටුණු අලුතෙන්ම වපුරා කණු ඇදුණු තෙර නොපෙණෙන කෙත් යායේ ධාන්‍ය ගිල දමන මොණර රංචු අමුතු අලංකාරයක් පරිසරයට එක් කළහ. තවත් තැනකදී අප නෙත ගැටුණේ වන වදුලක් අතර සිටි තනි අලියෙකි. මේ සියල්ල විඳිමින් මද වේලාවකින් අපි රොට්ටේ වැවේ “වාන” (වැඩි වතුර ගලාගෙන ඉවතට යන තැන) අසළට පැමිණි අතර, ඒ වන විටත් වැව මැදට වන්නට වතුරේ බැසගෙන තෘණ බුදින අලි රංචුවට මෙපිටින් ඔරුවල නැගී මසුන් මරණ ධීවරයන් පසුබිම් කරමින් අලින්ගේ ඡායාරූප ග්‍රහණය කරගන්නට වැව් බැම්මට සේන්දු වූයෙමු. මමත්, සමීර හා රවීත්, සමීරගේ බිරිඳ ගයනි, පුතා තරුක් සහ දියණිය මංජරී සහ මඟපෙන්වන වන ජීවී නියාමකවරයකුද සමග අප මෙදින වැව් කණ්ඩියට වී ඇතිවනතුරු වන අලින්ගේ කෙළි සෙල්ලම් නැරඹුවෙමු.

මෙවන් දසුනක් ඇස යොමන මානයේ දැකගැනීම ඉතා අපහසු කටයුත්තකි. එපමණක් නොව මේ දර්ශන සහ රොට්ටේ වැවේ අලින්ගේ කතාන්දරය ඔස්සේ කියවෙන තවත් වැදගත් කතාවක්ද ඔබට කිව යුතුව ඇත. එනම්, ඇති තරම් ජලය සහ ආහාර රොට්ටේ වැවේ ඇති බැවින් මෙම වන අලින්ට එහි දිය මත ඔරුවලින් මසුන් මරණ ධීවරයන් ගැන ඔවුන්ගේ වගේ වගක් නැත. එම ධීවරයන්ට අලින්ගෙන් කරදරයක් නැත. මෙය අලින් සහ මිනිසුන් අතර සහජීවනය ගැන කියන්නට ඉතා කදිම නිදසුනකි. එහෙමත් නැතිනම් අලි – මිනිස් ගැටුම පිළිබඳ ඉතා හොඳ තිරසර කතන්දරයක් රොට්ටේ වැවේදී දක්නට ලැබේ. තම තමන්ගේ පාඩුවේ තම කටයුතු කරගෙන යන්නේ නම් එහි ගැටුමක් නැති බව මෙහිදී අපට පසක් වූ කාරණාය. එකම දෙයකට (ආහාර හෝ ජලය) සඳහා පවතින තරගය ගැටුමකට මුලපුරන බව එය සරළව හැඳින්විය හැකිය.

සංචාරකයන්ට සේම වන අලින්ටත් තෝතැන්නක් වූ රොට්ටේ සහ අරුගම්බේ

රොට්ටේ වැවේ ඇති වෙනකම් අලි කෙළි දැක බලාගත් අපි ඊළඟට යන්නට තීරණය කළේ අරුගම්බේ පාලම වෙතය. ඒ මහානාම නමැති ඇතා එහි සිටින නිසාය. ඒ අනුව පොතුවිල් නගරය ඔස්සේ අපි අරුගම්බේ කලපු ප්‍රදේශයට ආවේ ජීප් රථයට ඉන්ධන ලබාගැනීම, පානීය බෝතල් ජලය ලබාගැනීම මෙන්ම, රාත්‍රී ආහාරයට අවශ්‍ය අඩුම-කුඩුමද ලබාගැනීමට ලාහුගලට ඇති ළඟම කඩ මණ්ඩිය වන්නේ පොතුවිල් නිසාය. ඒ අවශ්‍යතා ඉටුකරන අතරතුරේ අපි අරුගම්බේ පාලම ප්‍රදේශයේ සිට ඈත කලපුවේ තණ බුදින “මහානාම” ඇතුගේ ඡායාරූප ගන්නට උත්සුක වුවත්, ඊට පිටුපසින් බැස යන හිරු ඊට හරස් කැපුවේ “එගේන්ස්ට් ලයිට්” ඇති කරමිනි. වෙනත් කරන්නට දෙයක් නැති නිසාම “මහානාමගේ” අඳුරු ඡායාරූප ගොන්නක් එකතුකරගත් අපි එදින හිරු බැස යන සන්ධ්‍යාවේ අරුගම්බේ ප්‍රදේශයෙන් සමුගත්තේ යළිත් ලාහුගල සංචාරක බංගලාව බලා එන බලාපොරොත්තුවෙනි. එසේම, පසු දින අපගේ “සංචාරේ” කණ්ඩායම සමීරගේ කණ්ඩායමෙන් සමුගත යුතුව තිබුණත්, සමීර තවත් දිනයක් ප්‍රදේශයේ නතරවන හෙයින් පසුදා හිරු නැගෙන උදයේ යළි අරුගම්බේ පැමිණ අරුණාලෝකයෙන් “මහානාම” ඇතුගේ ඡායාරූප ගන්නට සමීර තීන්දු කළේය.

එදින අප නැවත ලාහුගලට එන ගමනේදී පොතුවිල් පොලිසියේ ප්‍රජා පානීය ජල ඒකකයෙන් බොන වතුර ලබාගෙන, මුස්ලිම් පල්ලියෙන් පොලිසියට ලබාදී.. පොලිස් නිලධාරීන් අප වෙත ලබාදුන් රාමදාන් කැඳ සංග්‍රහයද ඉතසිතින් භුක්ති විඳි බවද පවසන්නේ සතුටිනි. එදින ලාහුගල සංචාරක නිවහනට පැමිණි වන ජීවී නිලධරයන්ට සමීර විසින් සකසාගෙන එන ලද කැලෑ ටී ෂර්ට් ප්‍රදානයද සිදුකරන ලද අතර, බුද්ධික මහතා ප්‍රමුඛ නිලදරුවන් සහ අපගේ කණ්ඩායම ලාහුගල නිවහනේ ගෙවා දැමූ රාත්‍රිය අතිශය සුන්දර බවද සිහිපත් කළ යුතුය. ඒ සියලු ගෞරවයන් සමීර වීරතුංග නමැති හිත හොඳ පරිසරවේදියාට හිමිවිය යුතුය.

සංචාරකයන්ට සේම වන අලින්ටත් තෝතැන්නක් වූ රොට්ටේ සහ අරුගම්බේ

සැරිසර – ජගත් කණහැරආරච්චි
කැමරාව – සමීර වීරතුංග/
රවිසංක කොඩිකාර

advertistmentadvertistment
advertistmentadvertistment