ටයිටැනික් නැවේ කපිතාන් ජීවිත සිනමාවෙන් බැස යයි

179

‘ටයිටැනික් ’ හා ‘ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ චිත්‍රපට ත්‍රිත්වයෙන් දෙකක් ඇතුළු චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක රඟපාමින් ජනප්‍රියත්වයට පත් බටහිර රංගන ශිල්පියකු වන බර්නාඩ් හිල් පෙරේදා (05දා) උදෑසන මියගොස් තිබේ.

එංගලන්ත ජාතික රංගන ශිල්පියකු වන හීල් මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිපද වූ 1997 වසරේ තිරගත වූ ටයිටැනික් චිත්‍රපටයේ ගිලුණු ටයිටැනික් නෞකාවේ කපිතාන් එඩ්වඩ් ස්මිත්ගේ චරිතය හා ද ලෝ ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට මාලාවේ තියෝඩන් රජුගේ චරිතය රඟදක්වමින් ඔහු අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.

එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේදී 1944 වසරේ උපත ලබා ඇති බර්නාඩ් හිල් චිත්‍රපට රංගනයට පිවිසීමට පෙර බීබීසී රුපවාහිනී සේවයෙන් විකාශනය වූ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇත.

එම ටෙලිනාට්‍ය අතර 1976 වසරේ තිරගත වූ ‘ක්ලෝඩියස් ’,1982 වසරේ තිරගත වූ ‘ගාන්ධි’ ‘බෝයිස් ෆ්‍රොම් ද බ්ලැක්ස්ටෆ්’, 1989 වසරේ තිරගත වූ ‘ෂර්ලි වැලන්ටයින් ’, ‘ද ස්කෝපියන් කිංග් ’ (2002) හා ‘වැල්කයිරි’ (2008) ප්‍රධාන වේ. ටයිටැනික් නෞකාවේ කපිතාන්වරයා ලෙස ඔහු ඉදිරිපත් කළ රංගනය මෙන්ම ‘ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ’ චිත්‍රපට ත්‍රිත්වයට අයත් ‘ද ටු ටවර්ස්’ හා ‘රිටන් ඔෆ් ද කිංග්’ යන චිත්‍රපටවල ඔහු ඉදිරිපත් කළ රංගනයන් විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ඇගයීමට පාත්‍ර විය.

සිය සිනමා දිවියේදී ඔස්කාර් සම්මානයක් හිමි කරගැනීමට නොහැකි වුවද ඔහු රංගනයෙන් දායකත්වය දැක්වූ ටයිටැනික් හා ද ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. බර්නාඩ් හිල් මියගිය පෙරේදා ඔහු විසින් රංගනයෙන් දායක වූ නවතම ටෙලි නාට්‍ය මාලාව වන ‘රිස්පොන්ඩර්’ බීබීසී රුපවාහිනී සේවය ඔස්සේ විකාශය වීම අරඹා තිබිණි. හිල්ගේ මරණය සම්බන්ධයෙන් බටහිර සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ශිල්පීන් විශාල පිරිසක් ශෝක පණිවිඩ නිකුත් කර තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment