ඉපයීම හා පරිභෝජනය හරියට කළමනාකරණය නොකළොත් රටට ගොඩයෑමක් නෑ- සජබ මන්ත‍්‍රී කබීර් හෂීම්

102

ආණ්ඩුව රාජ්‍ය සේවකයින් රැකගෙන  පෞද්ගලික හා ස්වයං රැකියා කරන අය අමතක කරලා – සජබ මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න

මූල්‍ය පද්ධතිය ප‍්‍රතිව්‍යූහගත කොට මූල්‍ය වෙනස්කම් කිරීමට රටක් ලෙස සියලූම රජයන් අපොහොසත්ව ඇතැයි සමගි ජන බලවේගය කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

ආර්ථිකයේ නිවැරදි දිශාව යන මැයෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (05) දින පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

2019 අවසන් වෙනකොට මැතිවරණයට පෙර මේ රටේ ප‍්‍රධාන ආර්ථික දර්ශක යම් යහපත් තත්ත්වයක තිබුණා. අයවැය හිඟය 5%ට අඩුවෙන් විදේශ සංචිතය ඩොලර් බිලියන 7.8 ක ඉලක්කයක් ජීවන වියදම පාලනය වෙමින්, බඩු මිල අඩු වෙමින්, අපනයන ආදායම සහ ඩොලර් ආදායම වැඩි වෙමින් පවතින තත්වය සහ විදේශ ආයෝජන වර්ධනය වන තත්වයක තිබුණු රට 2020 මැද වෙන විට යම් හේතු නිසා කණපිට හැරෙන්නට පටන් ගත්තා. සමහර අය කිව්වේ මේක කෝවිඞ් නිසා කියලා. හැබැයි අද අපි දන්නවා එතනින් එහාට ගියපු ප‍්‍රශ්නයක් තියෙන බව.

1948 නිදහසෙන් පසුව අවුරුදු හැත්තෑ හතරක් වෙනවා මේ වසර වෙනකොට. අපි විවිධ ආර්ථික ප‍්‍රහාරවලට ගැස්සීම්වලට රටක් හැටියට මුහුණ දුන්නා. හැබැයි ඒ හැම එකකටම ඔරොත්තු දෙන්න පුළුවන් රටක් අපට තිබුණා. මේ ප‍්‍රශ්නවලට මුහුණ දීලා ඔරොත්තු දුන්නා වුණාට මේ ප‍්‍රධාන ප‍්‍රශ්න වල අරටුවට විසඳුම් දුන්නේ නැහැ. යම් ආණ්ඩු වෙනසක් ඇති කරනවා. ඊළඟ ආණ්ඩුව ඒක නතර කරනවා. එම නිසා ජාතික වශයෙන් හැදුණු මේ ප‍්‍රශ්නයට මෙහි මූල්‍ය පද්ධතිය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මූල්‍ය වෙනස්කම් කිරීමට රටක් හැටියට අපි අපොහොසත් වෙලා තියෙනවා.

ඉතිහාසයේ පළවෙනි වරට අපි රටක් හැටියට වස්තු භංගත්වයට යනවාද? සමහර අය අහනවා අපි බංකොළොත්ද කියලා. ඒ වෙනුවෙන් කතා කරේ නැත්නම් ප‍්‍රශ්නයක් වෙනවා. අපේ රටේ පළවෙනි වතාවට අපි බාහිර ණය පැහැර හරින තැනකට වැටිලද කියන ප‍්‍රශ්නය සමාජයේ කතා වෙනවා. මේවා හංගලා තියාගන්න එක තේරුමක් නැහැ. ඒ වගේම රටේ ඩොලර් ද්‍රවශීලතාවයක් බරපතළ ලෙස තියෙනවා. ඒවා අද මුළු රටම පිළිගන්නවා. මේ ප‍්‍රශ්න වල පැහැදිලිව කුමක් හෝ පසුබිමක් තියෙනවා. කෙටියෙන්ම කියන්නම් මේ රජය තමන් උපයනවට වඩා වියදම් කරනවා. නිෂ්පාදනය කරනවට වඩා පරිභෝජනය කරනවා. මේ ප‍්‍රශ්න දෙක හරියට කතා කරේ නැත්නම් ආණ්ඩුවට බැරි නම් වියදම් කිරීමට වඩා උපයන්නයි පරිභෝජනය කරනවට වඩා නිෂ්පාදනය කරන්නයි කිසිම දවසක අපි මෙතනින් ගොඩ යන්න විදිහක් නැහැ. අපි තවත් වල හාරගෙන යනවා කියලා අපි විශ්වාස කරනවා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා

සමගි ජන බලවේගය අලූත් දේශපාලන පක්ෂයක්. අපේ මතවාදය මානව අයිතිවාසිකම් රකිනවා විතරක් නෙමෙයි සමාජීය ආර්ථික අයිතිවාසිකමත් රකින පක්ෂයක්.

ආණ්ඩු බලය ලැබුණොත් අද රට මුහුණදෙන ප‍්‍රශ්නය ඇද වැටී තිබෙන අගාධයෙන් රට ගලවා ගන්න පුළුවන් කියන විස්වාසය අපි තුළ තියෙනවා.

ගනුදෙනුවක් කරනකොට ඒ අය අතර විශ්වාසයක් තියෙන්න ඕන. බැංකුවකට ගියොත් ව්‍යාපාරයකට ණයක් ගන්නවනම් බැංකුව ඔබ කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕන. එහිදී එක් කෙනෙකුට ලක්ෂ පහක් දෙනවා තවත් කෙනෙක් ගියොත් ලක්ෂ දහයක් දෙනවා. එය විශ්වාසය උඩයි පවතින්නේ. රටකත් එහෙම වෙනසක් නැහැ. රටවල් ශ්‍රේණිගත කිරීම් කරනවා. දැන් ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනකින්ම අපිව පහත දාලා. රජය හිතනවනම් බැසිල් රාජපක්ෂ හිතනවා නම් ඔය ගමන යන්න පුළුවන් කියලා ඒක මෝඩ වැඩක්. ශ්‍රේණිගත කරන්නේ ලංකාව විතරක් නෙමෙයි. ලෝකයේ සියලූම රටවල් ශ්‍රේණිගත කරනවා. විශ්වාසය ප‍්‍රශ්නයක් මෙහෙ තියෙන්නේ.

අපේ රජයක් තුළ මහ බැංකුව ස්වාධීන කරනවා. මොකක්ද මේ රජය කරලා තියෙන්නේ මහ බැංකුව දේශපාලනීකරණය කරලා. පසුගිය දා අපිට ඇහුණා බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ නිවාඩුවක් ගත කරලා මේ රටට ඇවිත් එකපාරින්ම රුපියල් දාහක් අරයට දෙනවා. අනිත් එක්කෙනාට පන්දාහක් දෙනවා. රාජ්‍ය සේවකයෝ ලක්ෂ පහළොවක් ඉන්නවා. නමුත් ලක්ෂ හැත්තෑවකට වැඩිය ඉන්නවා පුද්ගලික අංශයේ වැඩ කරන අය. ඒ අයට මොකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි ස්වයං රැුකියා කරන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඒ අයටත් සහනාධාරයක් නැහැ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment