රතු වරෙන්තුත් අරන් ගේම ගැහුවේ සී.අයි.ඩීයෙන්

මැඩගස්කරයෙනුත් ඉඩම් අරන්

කුඩුවලට පොල්ල තියපු අයව මරණවා

දෙදෙනා පාසල් කාලයේ සිට ම මිතුරන්

රටටම පිළිලයක් වූ කුඩු සලිඳුගේ සහ පියුමාගේ කෙරුවාවල් මෙන්න

නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා සහ මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සලිඳු රැඳවුම් නියෝග මත දැන් සිටින්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ය. දැනට මාස කිහිපයකට ඉහත දී මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්වූ මොවුන් දෙදෙනා කලක් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ගැන පාතාලය මෙහෙයවූයේ කිසිදු බියක් සැකක් නොමැතිව ය.

වසර තුනක කාලයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් තුළින් කුඩු සලිඳු රුපියල් මිලියන පන්දහසකට අධික මුදලක් උපයාගෙන තිබුණි. එම මුදල්වලින් මැඩගස්කරයේ මහා පරිමාණ ඉඩම් කිහිපයක් සහ මෙරට විවිධ පුද්ගයින්ගේ නම්වලින් දේපළ සහ ඉඩම් රැසක් ද මිලදී ගෙන තිබුණි. එපමණක් නොව, මොහු මෙම කුඩු සල්ලිවලිනුත් මෝටර් රථ, බස්, ලොරි, රථ ආදී වාහන සියයකට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබුණි. එම වාහන සියල්ල ද මිලදී ගෙන තිබුණේ මොහුගේ හිතවතුන්ගේ නම්වලිනි.

සලිඳු විසින් අයථා අන්දමින් උපයාගත් සියලුම දේපළ නීති විරෝධී වත්කම් වශයෙන් රාජසන්තක කරන බවත් දැනටමත් එලෙස උපයාගෙන මිලදී ගත් සහ මුදල් සම්බන්ධයෙන් නීති විරෝධී අපරාධ කොට්ඨාසය පරීක්‍ෂණ සිදුකරමින් පවතී. එම පරීක්‍ෂණ අවසන් වූ පසු කඩු සලිඳුට යන එන මන් නැතිවන්නේ ඔහු අයතු අන්දමින් උපයාගත් අන්තිම සතය ද රාජසන්තක වන නිසා ය. එපමණක් නොව, ඔහුගේ ගජ මිතුරා වන හරක්කටා ද උරුම වන්නේ මෙයයි.

තවද හරක්කටා සහ කුඩු සලිඳු පාතාල අපරාධ සඳහා භාවිත කළ ආයුධ කිහිපයක් සොයාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්වූයේ මොවුන් දෙදෙනාගෙන් ලද තොරතුරු මතයි. ඒ අනුව එම නිලධාරීන් ටී. 56 ගිනි අවියක්, රිවෝල්වර 03ක් සහ පිස්තෝල 3ක් සොයා ගත්තේය. මෙම ආයුධ භාවිත කර මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම සිදුකර තිබුණි.

එතැනින් නොනැවතුණු පොලිස් නිලධාරීන් කුඩු සලිඳුගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කරමින් සිටියේය. එහිදී ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් ප්‍රබලයකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය. ඔහු නමින් හපුආරච්චිගේ දොන් පියුම් හස්තිකයි. පියුමා යන අන්වර්ථ නාමයෙන් ද ඔහුව හඳුන්වයි. පානදුර අළුබෝමුල්ල, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු විසිපස් හැවිරිදි වියේ පසුවෙයි.

පියුම් හස්තික පියුමා කුඩු සලිඳුගේ පාසල් වියේ මිතුරෙකි. හරි හමන් අධ්‍යාපනයක් නොමැති මෙම දෙදෙනා පාසල් වියේ සිට සිදුකළේ දඩබ්බර වැඩයි. එම නිසා පාසල් අධ්‍යාපනය හමාර කළ කුඩු සලිඳු කෙලින්ම පාතාලය සමග සම්බන්ධ විය. අඩු වයසින් පාතාලයට සම්බන්ධ වූ සලිඳු කලක් යද්දී පාතාලයේ කෙරුමෙක් බවට පත්වූයේය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවී යහමින් මුදල් උපයනු නිසාය. එපමණක් නොව, මොහු තම ගෝල බාලයින් යොදවා මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම සිදුකළේය. තවත් වරක් මොහු අනියම් පෙම්වතිය ඉතා අමානුෂික ලෙස කපා කොටා දැමුවේ ඇය සමග ඇතිවූ සුළු ආරවුලක් හේතුවෙනි.

මෙලෙස පාතාලයේ ප්‍රබල චරිතයක් බවට පත්වූ කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයෙන් බවට පියුමා පත්විය. පියුමා පාසල් වියේ සිට ම මිතුරකු වූ නිසා කුඩු සලිඳු ඔහු කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ගත්තේය. වසර කිහිපයක් ආරක්ෂක අංශවල ඇස් වලටත් වැලි ගසමින් පියුමා ඉතාමත් සූක්‍ෂම ලෙස කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරගෙන ගියේය.

එකළ මොරටුව සිට කළුතර දක්වා මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළේ කුඩු සලිඳුය. ලක්ෂාන් සඳරුවන් කුඩු සලිඳුගෙන් තොග වශයෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ජාවාරම් සිදුකරගෙන ගිය අයෙකි. එලෙස ලබාගත් හෙරොයින් කිලෝවක් සඳහා රුපියල් කෝටියක මුදලක් සලිඳුට ලබාදිය යුතුව තිබුණත් ලක්ෂාන් එම මුදල් ගෙවීම පැහැර හැරියේය.

අවස්ථා කිහිපයක දීම කුඩු සලිඳු ලක්ෂාන්ගෙන් එම මුදල් ඉල්ලා සිටියේය. නමුත් ලක්ෂාන් එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළේ විවිධ හේතු පවසමිනි. අවසානයේ ඔහු එක හෙළාම කුඩු සලිඳුට පැවසුවේ එම මුදල් ලබා නොදෙන බවයි. එයින් උරණවූ කුඩු සලිඳු ලක්ෂාන් ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඒ අනුව ඔහු ඩුබායි රාජ්‍යයේ සිට දුරකථන ඇමතුමක් ලබාගෙන පියුමා සමග මෙලෙස කතා බහ කළේය.

“මචං පියුමා මට හදිසි වැඩක් කරගන්න තියෙනවා.”

“ඒ මොකක්ද සලිඳු”

“ලක්ෂාන් ඉන්නවා නේද?”

“ඔව් පානදුරේ ලක්ෂාන්නෙ. අපෙන් බඩුත් ගන්නේ.”

“ඔව් ඌ තමයි.”

“ඉතිං”

“ඌ මට පොල්ලක් තිබ්බා”

“ඒ කොහොම ද?”

“මූ මගෙන් ගත්ත කිලෝ එකක සල්ලි දෙන්නේ නැහැ”

“තුන් පාරක් විතර ඉල්ලුවා දෙන්න බැහැ කියනවා.”

“ඌට එච්චර හයියක් කොයින්ද?”

“ඒක තමයි මමත් බැලුවේ. මූ කාට හරි සෙට්වෙලා වගේ”

“මමත් හොයල බලන්නම්”

“හොයල බලන්න දෙයක් නැහැ. මූව ඉවරයක් කරන්න ඕනෑ අද හෙටම’ නැත්නම් මගේ නමටත් හොඳ නැහැ”

“ඔව් ඒක ඇත්ත. අනිත් අයටත් දැනෙන්න එක්ක මූව ඉවරයක් කරලා දාමු එහෙනම්”

“පියුමා උඹට පුළුවන්නේ මේක කරන්න. හැබැයි වරද්දන්න එපා”

“හරි ඒ ගැන හිතන්න එපා. මම අද හෙට ම ඌව ඉවරයක් කරන්නම්.”

ලක්ෂාන් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව කුඩු සලිඳු විසින් පියුමාට ලබා දුන්නේය. ඒ අනුව ලක්ෂාන් ඝාතනය කිරීමට පියුමා සැලසුම් කළේය. 2021 ජනවාරි මස 25 වැනිදා පානදුර සමුද්‍ර මාවතේ දී ලක්ෂාන්ව වෙඩි තබා ඝාතනය කරන්නේ ඉන්පසුවයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් ලක්ෂාන්ට වෙඩි තබා ඝාතනය කරන්නේ මහ දවල් දෙනෝදාහක් බලා සිටිය දීය. එදින යතුරු පැදිය පැදවූයේ පියුමා විසින් ය. පානදුර පොලිසිය විසින් මෙම ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුවත් සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි විය.

මෙම ඝාතන සිදුකර මාසයක් ඇතුළත පියුමා ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීමට කුඩු සලිඳු කටයුතු කළේය. එලෙස ඩුබායි පියුමා ඉන්පසු එහි සිටි කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම සිදුකරගෙන ගියේය. ඒ අනුව දෙදෙනා ඩුබායි සිට තවත් ද්විත්ව ඝාතනයක් සිදු කළේය. ඒ පසුගිය වසරේ දීය.

පිංවත්තේ උක්කුවා යනු පිංවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ සිදු කළ අයෙකි. ඔහුගේ ප්‍රධාන පාතාලයා වූයේ මොහොමඩ් සම්සාඩ්ය. පිංවත්තේ උක්කුවා හෙරොයින් ලබාගත්තේ කුඩු සලිඳුගෙනි. ඔහු ද කුඩු සලිඳුට ලක්ෂ ගණනක පොල්ලක් තැබුවේය. ඒ හෙරොයින්වලින් ලැබිය යුතු මුදලක් නොලැබීම නිසා ය. සලිඳු ඔහුගෙන් කිහිප වරක් එම මුදල් ඉල්ලා සිටියේය. එහෙත් උක්කුවා එය ගෙවීම පැහැර හැරියේය. එයින් උරණවූ කුඩු සලිඳු උක්කුවා සහ මොහොමඩ් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ද පියුමාට ලබා දුන්නේය.

ඩුබායි සිට පියුමා සිය ගෝල බාලයින් යොදවා මොරටුව කටුබැද්ද මන්සන්ධියේදී නිලන්ත කුමාර නොහොත් උක්කුවා සහ මොහොමඩ් සම්සාඩ් වෙඩි තබා ඝාතනය කරන්නේ ඒ අනුවයි. කුඩු සලිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්වූ පසුත් පියුමා ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගියේය. එයින් ඉපැයූ මුදල්වලින් ඔහු ඩුබාහි සැපවත් ජීවිතයක් ගත කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කුඩු සලිඳුගෙන් පියුමා පිළිබඳ එලෙස තොරතරු ලබා ගත්හ. එහෙත් පියුමා මෙරට නොසිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු උත්සාහය අත්හැරියේ නැත. පියුමා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කළේය. ඒ අනුව පියුම් හස්තික නොහොත් පියුමා මොරටුව ද්විත්ව ඝාතන සිද්ධියේ පස්වැනි සැකකරු ලෙස නම්කරමින් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුට විරුද්ධව රතු වරෙන්තුවක් නිකුත් කළේය.

පියුමාට විරුද්ධව රතු වරෙන්තු නිකුත් කළ පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි පොලිසියට ඔහු ගැන සියලු විස්තර ලබාදුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ ඩුබායි පොලිස් නිලධාරීහු ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වා පියුමා අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගත් පියුමා මෙරටට භාර දීමට සියලු කටයුතු එම පොලිස් නිලධාරීන් කඩිනමින් සිදු කළේය.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත නිලධාරීන් තිදෙනෙක් පසුගිය අඟහරුවාදා ඩුබායි රාජ්‍ය වෙත පිටව ගියේ එම සැකකරු රැගෙන ඒමටයි. එලෙස ඩුබායි බලා පිටත්වූයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි වික්‍රම වීරරත්න, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාජිත් සහ උප පොලිස් පරීක්‍ෂක රණසිංහ යන නිලධාරීන්ය.

ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවකුවූ සැකකාර පියුමා හඳුනාගත් මෙම නිලධාරීහු ඩුබායි පොලිසියේ ආරක්ෂාව යටතේ සැකකරු එරට ගුවන්තොටුපළට රැගෙන එනු ලැබුයේ පසුගිය 14 වැනිදා ය. ඒ අනුව එදින රාත්‍රියේ සාමාන්‍ය ගුවන් යානයකින් සැකකරු මෙරට රැගෙන ආවේ ගුවන් යානයේ දී හැඳි, ගෑරුප්පු, ආදිය භාවිත කිරීමට ඉඩ නොදෙමින්ය. එලෙස හැඳි ගෑරුප්පු භාවිත කිරීමට ඉඩ නොදුන්නේ සැකකරු මගින් පොලිස් නිලධාරීන්ට හෝ තමන්ට යම් අනතුරක් කර ගැනීමට හැකියාවක් ඇතැයි යන සැකය මතයි.

එලෙස රැගෙන ආ සැකකරු 15 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආවේ දැඩි ආරක්ෂාවක් මැදය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ඔහු සිදු කළ අපරාධ සහ කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ඒ ඔස්සේ උපයාගෙන ඇති වත්කම් පිළිබඳවත් ප්‍රශ්න කිරීම් අරඹා ඇත. තව නොබෝ දිනකින් ඒ පිළිබඳ තොරතුරු රටට ම දැනගත හැකිය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment