බෝ නොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ වර්ග සීමා කළ හැකිද සොයයි

301

උපරිම සංඛ්‍යාව 3ක් කිරීමට නිර්දේශ

රජයේ හා පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් විසින් දියවැඩියාව, වකුගඩු රෝග, හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා නිර්දේශ කරනු ලබන අධික බෙහෙත් වර්ග සීමා කිරීමට හැකිද යන්න පිළිබඳව සොයා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශ මාර්ග පවසයි.

බෝ නොවන රෝග සඳහා නිර්දේශ කරන බෙහෙත් වර්ග සීමා කිරීමේ හැකියාව සොයා බැලීමට බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවත්, රෝගයක් සඳහා නිර්දේශ කරන උපරිම බෙහෙත් වර්ග සංඛ්‍යාව 03ක් කිරීමේ හැකියාව සොයා බලාගෙන යන බවත් එම ආරංචිමාර්ග පැවසීය. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දීපව්‍යාප්ත මට්ටමින් බෙහෙත් වර්ග සීමා කිරීමට නිර්දේශ කළ හැකි වන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ දිනවල බෝ නොවන රෝග ඇතුළු බොහෝ රෝගාබාධ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙකුත් වෛද්‍යවරුන් රෝගීන්ට දිනකට ලබා ගැනීම සඳහා දරා ගැනීමට නොහැකි තරම් ප්‍රතිජීවක බෙහෙත් හා අධික මිල විටමින් වර්ග නිර්දේශ කරන බව අනාවරණය වී ඇත. වයෝවෘද්ධ රෝගීන් හට එකවර මේ සා විශාල බෙහෙත් තොගයක් ගිල දැමීමට ඇති අසීරුතාව සැලකිල්ලට ගෙන මෙසේ නිර්දේශ කරන බෙහෙත් වර්ග සංඛ්‍යාව සීමා කිරීමේ හැකියාව සොයා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක් පැවසීය.

මේ දිනවල රජයේ රෝහල්වල හා පෞද්ගලික ඔසුසල්වල පවතින බෙහෙත් හිඟය මෙන්ම ඔසුසල්වලින් අලෙවි කරන බෙහෙත් හා විටමින් වර්ගවල මිල ඉහළ යෑම හේතුවෙන් බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් දෛනිකව ලබා ගැනීමට නිර්දේශ කරන බෙහෙත් වර්ග මිල දී ගැනීමෙන් වැළකී සිටීමද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හේතු වී ඇති බව එම නිලධාරියා කීවේය.

දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීම සඳහා බොහෝ වෛද්‍යවරුන් බෙහෙත් පෙති වර්ග 3ක් හෝ 04ක්ද, අධිරුධිර පීඩනය පාලනය කිරීම සඳහා බෙහෙත් පෙති වර්ග දෙකක් පමණද එම බෙහෙත් වර්ගවලට අමතරව අධික මිල විටමින් වර්ගද නිර්දේශ කරන බව වාර්තා වී තිබේ. මෙසේ රෝගීන්ට විටමින් වර්ග නිර්දේශ කිරීමේ කිසිදු ප්‍රායෝගික හේතුවක් නොමැති බව වෛද්‍ය ක්ෂේත්‍රයේම ඇතැමුන්ගේ මතය වී තිබේ.

විටමින්වලින් අමුතු පෝෂණයක් සිරුරට නොලැබෙන බවත් පලා වර්ග, කිරි, බිත්තර හා එළවළු වර්ග හරහා විටමින් වර්ග ශරීරයට පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබීම නිසා විටමින් පෙති හා කරල් අමුතුවෙන් ගිල දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක් මේ පිළිබඳව කළ විමසීමකදී සඳහන් කළේය.

කෙසේ වුවද මෙම දිනවල විටමින් පෙති හෝ කරල් හරහා තබා ආහාර මාර්ගයෙන් හෝ ශරීරයට අවශ්‍ය විටමින් ඇතුළු පෝෂණ පදාර්ථයන් ලබා ගැනීම අසීරු වන තරමට ඒවායේ මිල ගණන් ඉහළ යමින් පැවතීම නිසා ජනතාවට වාසිදායි වන අයුරින් පෝෂ්‍යදායි ආහාර වර්ගවල මිල ගණන් අඩු කිරීමට බලධාරීන් පියවර ගත යුතුව ඇති බව ඔහු කීවේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment