සුන්දරත්වය විඳින්නම හදාපු ලාහුගල මහවැව බංගලාව…

කිතුලාන-සෙන්ගමුව බලාගෙන අලි බලන්න රොට්ටෙ වැවට යමු

ලාහුගල ගිය ගමනේ අපගේ නවාතැන බවට පත්වූයේ ලාහුගල- මහවැව ආසන්නයේ පිහිටා ඇති ‘මහවැව’ සංචාරක නිවහනයි. තට්ටු දෙකකින් සමන්විතව 7 දෙනකුට පමණ නවාතැන් ගත හැකි මේ සුන්දර, අපූරු සංචාරක නිවහන කොළඹ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන් කරගත හැකිය. කෙසේ හෝ ලාහුගල වන උයනට ඇත්තේ එක සංචාරක නිවහනක් බවත්, කඳවුරු බිම් දෙකක් ඇති බවත් අපි පසුගිය සතියේ ඔබට කීවෙමු. නමුත් තරමක් විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරන හා ඉතා හොඳ මාර්ග පද්ධති ජාලයක් ඇති ලාහුගල ජාතික උද්‍යානයට අවම වශයෙන් තවත් එක් කඳවුරු බිමක් හා එක් සංචාරක නිවහනක්වත් අවශ්‍ය බව අපගේ අදහසයි. මෙම කඳවුරු බිම හා සංචාරක නිවහන ස්ථානගත කළ යුතුව ඇත්තේ සෙන්ගමුව වැව ඉස්මත්තේ බවට ද අපට අදහසක් පැමිණියේ සෙන්ගමුව වැව බලා උද්‍යානය තුළින්ම සමීර මල්ලීගේ ජීප් රථයෙන් ගමන් ගත් අවස්ථාවේදීය.

මහවැවට හාත්පසින්ම විරුද්ධ පැත්තක පිහිටා ඇති සෙන්ගමුව වැව ආසන්නයේ මෙසේ සංචාරක නිවහනක් සහ වැඩිමනත් කඳවුරු බිමක්ද ඇති කළහොත් මෙම ප්‍රදේශයේ වෙසෙන වන සතුන්ට ආරක්ෂාවක් සැපයෙන අතර උද්‍යානයට පැමිණෙන සංචාරක පිරිස්වලටද වෙනස් අත්දැකීමක් ලැබීමට හේතු වනු ඇතිය යන්න සමීරත්, මමත්, රවීත් අදහසකට පැමිණියෙමු. ඒවා හීන බවට පත්විය හැකි නමුත්, උද්‍යාන භාරකාර බුද්ධික සිටියහොත් එය ඉතා ඉක්මනින් යථාර්ථයක් වනු ඇතිය යන්න ද අපගේ අදහස විය.

කිතුලාන-සෙන්ගමුව බලාගෙන අලි බලන්න රොට්ටෙ වැවට යමු
ලාහුගල – මහවැව

ලාහුගල සංචාරය සංවිධානය කළේ ප්‍රකට පරිසරවේදියකු වන අපගේ හිතවත් සමීර වීරතුංග විසිනි. එහෙමත් නැතිනම් සමීර මල්ලී විසිනි. ඔහු විසින් මෙම සංචාරය සංවිධානය කරන ලද්දේ එක පැත්තකින් තරමක් පැරණි වනෝද්‍යානයක් නමුත් එතරම් සංචාරක ආකර්ෂණයක් නැති ලාහුගල ගැන ප්‍රවර්ධන කටයුත්තක් සිදුකර මීට සංචාරකයින් ආකර්ෂණය කරවීම අරමුණු කරමිනි. මන්ද, සංචාරක පුරවරයක් වන අරුගම්බේ සිට ලාහුගලට ඇත්තේ අත දිගුකරන තරමේ දුරකි. එවන් උද්‍යානයක් ගැන නොදැන මෙහි සංචාරකයින් නොපැමිණෙන්නේ නම්, එහි වරද කාගේදැයි අපි නොදනිමු. එනමුත් එසේ කියමින් කල් නොමරා, ඊට යම් ප්‍රචාරයක් ලබාදී ලාහුගල උද්‍යානය ප්‍රකට කිරීම අප විසින් හැකි පමණ කළ යුතු යැයි සමීරගේ අදහස විය. එසේම, ලාහුගල උද්‍යාන පාලකවරයා ලෙස කටයුතු කරන අපගේ හිත මිත්‍ර බුද්ධික විදානගේ ලාහුගල ජාතික උද්‍යානයේ පාලකවරයා ලෙස පත්ව පැමිණ උද්‍යානයේ දියුණුවට කරන ලද සේවය ඇගයීමත් අපගේ ලාහුගල ගමනට එක හේතුවක් විය.

කිතුලාන-සෙන්ගමුව බලාගෙන අලි බලන්න රොට්ටෙ වැවට යමු
උද්‍යාන කාර්ය මණ්ඩලය

තවත් පැත්තකින් සමීර ගේ ඉල්ලීම මත ‘ශ්‍රී ලංකා වන ජීවී සහ ස්වභාවික ආරක්ෂක සංගමය’ – WNPS මගින් අනුග්‍රහය දක්වා උද්‍යාන සේවක නිලධාරී මහතුන් වෙනුවෙන් නිමකරන ලද කැලෑ ටී ෂර්ට් ප්‍රමාණයක් ප්‍රදානය කිරීමත් මේ සමගම සිදුකිරීම අරමුණ විය. මේ කරුණුවලට අමතරව ලාහුගල උද්‍යානයේ පමණක් නොව, උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය සොයා යෑම සඳහා “දිවයින-සංචාරේ” කණ්ඩායමටද සමීර ආරාධනයක් කරන ලද අතර, එහි ගිය අපට ඔහුගේ වියදමෙන් වෙන්කරගත් ලාහුගල-මහවැව සංචාරක නිවහනේ ගතකරන්නට අවස්ථාව උදා කරදුන් අතර, සමීරගේ මිට්සුබිෂි 4DR5 ජීප් රථයද එහි ගෙන්වා තිබුණේ අපගේ සංචාරය පහසු කරදෙනු පිණිසය. එනම්, ලාහුගල උද්‍යානය තුළ සංචාරය පමණක් නොව, පොතුවිල්, අරුගම්බේ, උල්ල, රොට්ටේ ඇතුළු ප්‍රදේශයේ වැදගත් තැන් රැසක් දැක බලාගන්නට අප ගියේ සමීරගේ ජීප් රථයට පිං සිදුවන්නටය. එය ඔහු මනාව සංවිධානය කර තිබුණා පමණක් නොව, අපගේ ගමනේ පහසුවට කදිම මිතුරෙකු ජීප් රථය ධාවනය කරවීම සඳහා කැඳවාගෙන විත් තිබිණි. ඔහු ද ඉතා හොඳ පරිසර ක්‍රියාකාරිකයෙකි නමින් ඔහු රවී නොහොත් ගීෂිත රවිසංක කොඩිකාර ය. සමීරගේ බිරිඳ ගයනි, පුතා තරුක් සහ දියණිය මංජරී ද මේ ගමනට එකතුවී සිටියහ.

කිතුලාන-සෙන්ගමුව බලාගෙන අලි බලන්න රොට්ටෙ වැවට යමු

පෙර අප පැවසූ පරිදි, උද්‍යාන පාලක බුද්ධිකගේ සැලසුමට අනුව කඳවුරු බිම් බලන්නට ගිය අපි, ඉන් පසු දහවල් විවේකය සඳහා මහවැව-බංගලාවට පැමිණ, සවස් යාමය යොදාගත්තේ සෙන්ගමුව වැව ඉස්මත්තට යෑම සඳහා ය. වන ගත මාර්ගවල ඉතා හොඳින් ජීප් රථ ධාවනයට දක්ෂ රවී පැයක පමණ කාලයකදී අපව සෙන්ගමුව වැව අසලට රැගෙන ආවේය. ඒ එන අතරතුර විටින් විට පාර හරහා යන තිත් මුවන්, වල් ඌරන්, වඳුරන්, මොනරුන් හා ඇතැම් තැනක පලු ගස් බෙනවල කැදලි බඳින රෑන ගිරවුන් වැනි චමත්කාරයන් ද හරි අපූරුවට අප විඳ ගත්තේ සමීරගේ පුත් තරුක් සහ දියණිය මංජරී ගේද සතුටු සිනා මැදය.

සෙන්ගමුව වැවත් සමග මේ අනුව අප උද්‍යානයට අයත් වැව් තුනක අසිරිය විඳ ගත්තෙමු. ඒ සෙන්ගමුව, කිතුලාන සහ ලාහුගල-මහවැව යි. දහසකුත් සියොත් කැළ අතරේ මේ වැව් තුන ඇසුරේ ගත කළ කාලය අතිශය මිහිරි වූවක් බවද සිහිපත් කළ යුතුය. සිය ගණනක තඹ සේරු රංචු බලන්නට අප ගියේ සියඹලාණ්ඩුව-ලාහුගල පාරේ කිලෝමීටර් 300 කණුව ආසන්නයට වන්නට පිහිටි මහවැවේ දර්ශන තලය වෙතය. එම ස්ථානයේදී වල් ඌරන් මෙන්ම වන වදුලු ප්‍රදේශයේදී ගෝනුන් මෙන්ම වන අලින්ද අපේ නෙත ගැටිණි. එනමුත් ලාහුගල-මහවැවේ කලකට වැවුණු වන අලින් ඉතා ප්‍රියකරන “බෙරු” නම් ජලජ වල් විශේෂය දැන් එයින් වඳව ගොස් ඇති බැවින් ඉස්සර තරම් වතුරේ බැසගෙන බෙරු කන වන අලි බලන්නට නම් පොතුවිල් හි රොට්ටේ වැවට යායුතු බවත්, මහානාම නමැති ඇතා බලන්නට අරුගම්බේ පාලම අසල කලපුවට යායුතු බවත් උද්‍යාන පාලක බුද්ධික අපට දැනුම් දුන් නිසා, සෙන්ගමුවේ චාරිකාව නිමවූ වහාම අපි “රොට්ටෙ” බලා පිටත්ව ගියෙමු.

(ලබන සතියේ අලි බලන්න රොට්ටෙ වැවට හා අරුගම්බේ කලපුවට යමු.)

කිතුලාන-සෙන්ගමුව බලාගෙන අලි බලන්න රොට්ටෙ වැවට යමු
කරඳඔය

සැරිසර – ජගත් කණහැරආරච්චි
කැමරාව – සමීර වීරතුංග/ රවිසංක කොඩිකාර

advertistmentadvertistment
advertistmentadvertistment