ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2 වන මහා සම්මේලනය ලබන 15 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මේලනය පැවැත්වීමේ අරමුණ මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2 වන මහා සම්මේලනය දෙසැම්බර් 15 වැනි දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම අවස්ථාවේ දී සම්මේලනයක් පැවැත්වීමට තීරණය කළේ ඇයි?

පිළිතුර- අපේ පක්‍ෂයේ මහා සම්මේලනය කොහොමත් වසර 3කට පමණ වරක් පවත්වනවා. ඒ වගේම ලබන වසර මැතිවරණ වර්ෂයක්. එම මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්‍ෂය වඩාත් ශක්තිමත් කිරීමක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් හඳුන්වාදීමටත් අපේක්‍ෂා කරනවා.

ප්‍රශ්නය- ඔබ සඳහන් කළා පක්‍ෂයේ ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන බව. ඒ සමගම පක්‍ෂයේ තනතුරුවල වෙනසක් සිද්ධ වෙනවා ද?

පිළිතුර- තනතුරුවල පුළුල් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ තුළින් පක්‍ෂය වඩාත් ශක්තිමත් වීමේ අඩිතාලම වැටෙනවා.

ප්‍රශ්නය- අපි දන්නවා ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක නම වෙනස් කර තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා යොදා ගන්නේ. ව්‍යවස්ථා සංශෝධනයත් සමග එම තත්ත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා ද?

පිළිතුර- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ රටේ ප්‍රගතිශීලී ජනතාව පාවා දුන්නා. එම තත්ත්වය තුළ මේ රටට ආදරය කරන ප්‍රගතිශීලි ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියා ඔවුන් සඳහා පක්‍ෂයක් නිර්මාණය කරන්න කියලා. එම ඉල්ලීම මත මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායක්තවය යටතේ සහ බැසිල් රාජපක්‍ෂ කියන අති දක්‍ෂ සංවිධායකයා යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්‍ෂය බිහිවූවා. එම අවස්ථාවේ දී පළාත් පාලන ආයතන දෙකක මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබූ නිසා මැතිවරණ කොමිෂන් සභාව විසින් කිව්වා නව පක්‍ෂයක් ලියාපදිංචි කිරීමට ඉඩ දෙන්න බැහැ කියලා. එම අවස්ථාවේදී අපට සිද්ධ වූවා ලියාපදිංචි පක්‍ෂයක් අරගෙන එහි නම සහ ලාංඡනය වෙනස් කරලා නව පක්‍ෂයක් ලෙස කටයුතු ආරම්භ කිරීමට. මෙවර සම්මේලනයේදී ජනතාව අපේක්‍ෂා කරන ශක්තිමත් පක්‍ෂය පිහිටුවීමට අපි අපේක්‍ෂා කරනවා.

ප්‍රශ්නය- සම්මේලනයේදී පක්‍ෂයේ තනතුරුවල වෙනසක් සිද්ධ කරනවා ද?

පිළිතුර- පක්‍ෂයේ තනතුරු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ පක්‍ෂයේ විධායක කාරක සභාව විසින්. තනතුරුවල වෙනසක් කිරීමට අවශ්‍ය නම් එය ඉදිරි විධායක කාරක සභාවේ දී සිද්ධ වේවී. ඉදිරියේ දී බොහෝදුරට සිද්ධ වෙන්නේ තනතුරුවල වෙනස් වීමකට වඩා තනතුරුවල පුළුල් වීමක් තමයි.

ප්‍රශ්නය- ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා. 15 වැනිදා පැවැත්වෙන සම්මේලනයේ දී ජනාධිපති අපේක්‍ෂකයා නම් කරනවා ද?

පිළිතුර- මම හිතන්නේ මේ අවස්ථාව ඒ සඳහා සුදුසු අවස්ථාව නොවෙයි. එය සුදුසු අවස්ථාවේ දී පක්‍ෂ නායකත්වය සහ පක්‍ෂය විසින් තීන්දු කළ යුතු දෙයක්.

වෙනත් පක්‍ෂවල නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මේ වනවිට නම් කරලා තිබෙනවා. සමහර අපේක්‍ෂකයන් මම කියලා තමාවම නම් කරගෙන තිබෙනවා. නමුත් පක්‍ෂයක් ලෙස අපි ඉන්නේ ඊට වඩා බොහෝ ශක්තිමත් තැනක. අපට නම් අපේක්‍ෂකයන් කිහිපදෙනකු සිටිනවා. මීළඟ ජනාධිපතිවරණය සඳහා තවත් මාස 8ක පමණ කාලයක් තිබෙනවා. එම නිසා සුදුසුම අවස්ථාවේ දී වඩාත් සුදුසු අපේක්‍ෂකයා අපගේ පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය විසින් නම් කරාවි.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අය-වැයට පෙර ජනාධිපතිවරයා වෙත අය-වැය සඳහා යෝජනා කිහිපයක් ම භාර දුන්නා. නමුත් අපට දැන් පේන්න තිබෙනවා ජනාධිපතිවරයා විසින් එම යෝජනාවලින් සමහර යෝජනා නොසලකා හැර ඇති බව. එම තත්ත්වය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අය-වැයට පක්‍ෂව ඡන්දය ලබාදීමට තීරණය කළේ ඇයි?

පිළිතුර- අය-වැය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කිහිපයක්ම භාර දුන්නා. එම යෝජනාවලින් සමහර යෝජනා ජනාධිපතිතුමා විසින් පිළිඅරන් තිබෙනවා. ඒ වගේම අනෙකුත් යෝජනාව අපි අපේක්‍ෂා කළ ආකාරයට ම නැතත් යම්කිසි ආකාරයකට අරගෙන තිබෙනවා. කාරණා කිහිපයක් නිසා ඒ පිළිබඳව අප සෑහීමකට පත්වෙනවා. පළමු කාරණය තමයි, රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව මස් රාත්තලම ඉල්ලලා රණ්ඩු කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අපි තීන්දු තීරණ ගැනීමේ දී මේ රටේ ජන ජීවිතය අඩාල නොවන ආකාරයට කටයුතු කළ යුතු වෙනවා. පක්‍ෂයක් විධියට අපි එම කාරණය පිළිබඳව ඉතාම සංවේදියි. අපේ දේශපාලන බලය වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමේ දී ජන ජීවිතය අඩාල නොවන ලෙස කටයුතු කිරීමට අප සැලකිලිමත් වෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණ වගේ ජනතාවට අපහසුතා ඇති කරලා ඒ තුළින් බලය ලබාගැනීමට උත්සාහ කරන්නේ නැහැ. අපි ජනතාවට කරුණු පැහැදිලි කරලා ප්‍රතිපත්ති මත පදනම් වී බලය ලබාගැනීමට අපේක්‍ෂා කරන පක්‍ෂයක්. පක්‍ෂයක් විධියට අප විසින් ඉටුකළ යුතු සමාජමය කාර්ය භාරය පිළිබඳව අපි හොඳ අවබෝධයකින් සිටිනවා. පක්‍ෂයක් විධියට අපි අපේක්‍ෂා කරන තත්ත්වය 100%ක් නොලැබුණත් ජනතාවට ඉන් විශාල හානියක් නොවනවා නම් අපි එබඳු අවස්ථාවල දී ජන ජීවිතය අඩාල වන විධියේ දේශපාලන ක්‍රියාමාර්ගවලට යන්නේ නැහැ.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ධුරයට පත් කිරීමෙන් පසුව ප්‍රකාශ කළා රටේ නීතිය හා සාමයත්, රටේ ආර්ථික තත්ත්වයත් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා පමණක් එම සහයෝගය ලබාදෙන බව. නමුත් මේ වනවිට ජනාධිපතිවරයා එම සීමාව ඉක්මවා ගොස් එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නව ලිබරල්වාදය ක්‍රියාවට නඟමින් සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය අනුමත කරනවා ද?

පිළිතුර- රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමේ දී මූලික වශයෙන් අපි කරුණු දෙකක් බලාපොරොත්තු වූවා. පළමුවෙනි කාරණය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගැනීම. රටක ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බිඳ වැටුණොත් ඒ රට ගොඩගැනීමට නොහැකි ආකාරයට කඩාගෙන වැටෙනවා. ලිබියාවට අද අත්වී තිබෙන ඉරණම මෑත කාලීන උදාහරණයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ලිබියාව සම්පත් බහුල රටක් වෙලත් අද එම රට විනාශයට පත්වෙලා තිබෙනවා. පැවැති පාලන තන්ත්‍රය බිඳ වැටීම නිසා අද වනවිට ඉරාකය, ඊජිප්තුව වැනි රටවලුත් එම තත්ත්වයට පත්වී තිබෙනවා. අරගල තුළින් බලය ලබාගැනීමට යෑම නිසා තමයි එම රටවල් කඩා වැටුණේ.

එම තත්ත්වයට අපේ රටත් පත් කිරීමට විවිධ විදේශීය බලවේග සහ ඔවුන්ගේ නියෝජිතයන් උත්සාහ කළා. එම තත්ත්වය පරාජය කිරීම අපගේ පක්‍ෂයේ මූලික වගකීමක් ලෙස අපි කල්පනා කළා. එම තත්ත්වය තුළ ඒ සඳහා සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව අපි තීරණය කළා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා වුවහොත් මේ රට යළි ගොඩනැඟිය හැකි බව අපි දැක්කා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේ දී මේ රටේ ආර්ථික සංවර්ධන වේගය ඍණ අගයකට ගියා. නමුත් ඉන් අනතුරුව 2005 දී බලයට ආපු මහින්ද රාජපක්‍ෂ මහතාට යුද්ධයත් අවසන් කරලා රට වේගවත් සංවර්ධනයකට ගෙන යෑමට පුළුවන් වුණා. රටේ ආර්ථිකය කඩා වැටුණත් නිවැරදි නායකත්වයක් යටතේ එම තත්ත්වය යළි නඟා සිටුවීමට පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටුණෙත් එම තත්ත්වය යළි ස්ථාපිත කිරීම පහසු වන්නේ නැහැ. එම කාරණය සම්බන්ධයෙන් සලකා බැලුවහොත් අපි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපේක්‍ෂා කළ දේ ඒ මහතා විසින් ඉටුකර තිබෙනවා.

දෙවනුව අපි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපේක්‍ෂා කළ දේ තමයි මේ රටේ ආර්ථිකය ගොඩනඟාවී කියන දේ. මේ රටේ ජනතාව පාරට බැස්සේ හාල් පොල් නැතිව නොවෙයි. ජනතාව පාරට බැස්සේ විදුලිය කැපීම, ඉන්ධන හිඟවීම සහ ගෑස් නොමැති වීම නිසාය. එම හිඟයට ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතුව වූයේ විදේශ විනිමය හිඟවීමයි. එම තත්ත්වය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපෑවා. කොවිඩ් වසංගතය නිසා විදේශිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය සම්පූර්ණයෙන් ම නොලැබී ගියා. විදේශ ප්‍රේෂණ නැතිව ගියා. අපගේ අපනයන ආර්ථිකය බිඳ වැටීම නිසාත් විදේශ විනිමය නොලැබී ගියා. ඒ වගේම එම අවස්ථාව වනවිට අපේ රට සතුව විශාල සංචිත ප්‍රමාණයක් තිබුණෙත් නැහැ. ඇත්ත වශයෙන්ම අර්බුදයට හේතු වූයේ විදේශ විනිමය හිඟවීම.

අපි අපේක්‍ෂා කළා රනිල් වික්‍රමසිංහ මහතා විදේශ විනිමය ඉපයීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් දියත් කරාවි කියලා. එම කාරණය සම්බන්ධයෙන් නම් අපට සෑහීමකට පත්වෙන්න බැහැ. අපට පෙනෙන ආකාරයට නම් ජනාධිපතිතුමා මේ වනවිටත් කරමින් සිටින්නේ කලින් කළ දේම තමයි. ඒ කියන්නේ විදේශ ණය අරගෙන කන්න බොන්න දීම ඒ වගේම අපේ තිබෙන සම්පත් විකුණලා ඒ ලැබෙන මුදලින් කන්න බොන්න දීම වගේ කටයුතු තමයි. එබඳු කටයුතුවලින් මේ රට ගොඩනඟන්න බැහැ. මෙහෙම ගියොත් නැවතත් රට කඩාගෙන වැටෙනවා.

අපට අවශ්‍ය වන්නේ නිවැරදි ආර්ථික දැක්මක් යටතේ මේ රට ගොඩනඟන නායකත්වයක්. අපි අපේක්‍ෂා කළා රනිල් වික්‍රමසිංහ මහතා එබඳු නායකත්වයක් ලබාදේවි කියලා. නමුත් මේ දක්වා එම අපේක්‍ෂාව නම් ඉටු වෙලා නැහැ. අපි අපේක්‍ෂා කරනවා ඉදිරියේ දී හෝ එතුමා එසේ කටයුතු කරාවි කියලා. රට ඉල්ලන්නෙත් එබඳු නායකත්වයක් තමයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිරන්තරයෙන් ම සඳහන් කරනවා තම පක්‍ෂය කටයුතු කරන්නේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති මත බව. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයෙන් ආණ්ඩු කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වනවිට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා.එම කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන ආකාරය අනුව යළිත් රට තුළ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් උදාවේය කියා ඔබ විශ්වාස කරනව ද?

පිළිතුර – ඔව්. අපගේ රට තුළ යළිත් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අපහසු දෙයක් කියලා මම හිතන්නේ නැහැ. මේ රට තුළ දක්‍ෂ ව්‍යවසායකයන් සිටිනවා. ඒ වගේම ආයෝජනවලට සුදුසු පරිසරයක් ගොඩනඟනවා.

අපේ රට ස්වාධීන රටක් ලෙස ගොඩනැඟීමට නම් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. කියුබාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරල නම් ඒක කරන්න බැහැ. දේශපාලනය සහ ආර්ථිකය පිළිබඳව සුළු දැනුමක් තිබෙන අයකුට වුවත් අවබෝධ වනවා සමාජවාදී ප්‍රතිපත්තිවලින් මේ රට ගොඩගන්න බැරි බව. 3%ක පමණ පිරිසක් නම් විශ්වාස කරනවා මේ රට සමාජවාදී ප්‍රතිපත්තිවලින් ගොඩගන්න පුළුවන් කියලා. නමුත් මේ රටේ සාතිශය බහුතරය එබඳු අදහසක නැහැ.

මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණයි කියන අදහසේ අදත් අපි ඉන්නවා. අපි එබඳු වැඩපිළිවෙළකට අනුගත වෙමින් සිටිය දී තමයි ගෝලීය වශයෙන් කොවිඩ් වසංගතය ඇති වූයේ. එම නිසා අපට එම වැඩපිළිවෙළ අඩියක් පස්සට ගන්න සිද්ධ වුණා. එම හේතුසාධකයන් නිසා තමයි ආර්ථික අර්බුදයක් ඇති වුයෙත්. නමුත් අපි දැඩි විශ්වාසයකින් කටයුතු කරමින් සිටිනවා ජනතාව අපේක්‍ෂා කරන රට එබඳු ආර්ථික වැඩපිළිවෙළක් හරහා ගොඩනඟන්න පුළුවන් කියලා.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment