මැතිවරණ වසරකට…පොහොට්ටුවෙන් අලුත් ව්‍යවස්ථාවක්…!සජිත්ගෙන් අලුත් සාටකයක්…!

1385

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූවාට පසු පාර්ලිමේන්තුවේ දිගින් දිගටම පැවැතියේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයයි. රොෂාන් රණසිංහ ඉවත්කර අලුත් ක්‍රීඩා ඇමැතිවරයෙක් පත් කළාට පසු ක්‍රිකට් පිළිබඳ පාර්ලිමේන්තුවේ සංවාදය ද අවසන් විය. කෙසේ වෙතත් මෙම මාතෘකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වැඩිපුරම කතා කරමින් වාර්තාවක් තබා තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි. එතුමන් ඒ මාතෘකාව සම්බන්ධයෙන් විනාඩි පන්සිය ගණනක් කතා කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් ගතව ගිය පසුගිය සතිය නම් වාද විවාද සහිත උණුසුම් සතියක් වූයේ නැත. සුපුරුදු පරිදි ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් අයවැය සංවාදය දිගටම ඇදී ගියේය. ලබන පහළොස් වැනිදා අයවැය අවසන් ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුවේ මෙම වසරේ වැඩ කටයුතු නිමාවන්නට නියමිතව තිබිණ.

ජොනීගේ උපන්දිනේ රනිල් කේක් ගෙනේ

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් “කෝප් 28” සමුළුවට සහභාගි වන්නට විශේෂ දූත පිරිසක් සමග ඩුබායි රාජ්‍යයට ගොස් සිටියේය. දූත පිරිසට විදේශ ඇමැති අලි සබ්රි, කංචන විජේසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, මදුර විතානගේ ඇතුළු කීප දෙනෙක් ආණ්ඩු පක්ෂයෙන් සහභාගි වූ අතර පාඨලී චම්පික රණවක, අජිත් මාන්නප්පෙරුම, ජාතික කම්කරු කොංග්‍රසයේ රමේෂ් ඇතුළු කීප දෙනෙක්ද වූහ. සමුළුවට සහභාගි වූ දූත පිරිස දොළොස් වැනිදා එහි අවසානය දක්වාම සහභාගි විය යුතු වුවත් ජනාධිපති රනිල් විදේශ ඇමැති සබ්රි ඇතුළු කීපදෙනෙක් පසුගිය අඟහරුවාදා අලුයම යළි ලංකාවට ආවේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු රැසක් ඉටු කිරීමට තිබීම හේතුවෙනි.

අලුයම පැමිණියත් ජනාධිපති රනිල් එදා උදේ පාර්ලිමේන්තු යන්නට අමතක කළේ නැත. සඳුදාට යෙදී තිබූ කැබිනට් මණ්ඩල රැස්වීම අඟහරුවාදා දවල් පාර්ලිමේන්තුවේදී පවත්වන්නට සැලසුම් කර තිබිණ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට යන විට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් තරමක් කාර්යබහුලව සිටියහ. ඔවුන් කුමක්දෝ වෙනත් කටයුත්තකට සැරසෙමින් සිටින බව ඔහුට දැන ගත හැකි විය. ඒ පිළිබඳව රනිල් විමසා සිටියේ ආශු මාරසිංහගෙනි.

“අද ජොන්ස්ටන් මන්ත්‍රීතුමාගේ උපන්දිනය. අපි ඔබතුමත් ආවට පස්සේ කාර්යාලයේදී කේක් එකක් කපන්නයි සූදානම් කරලා තිබුණේ. ඒ අස්සෙ අගමැතිතුමාගේ කාර්යාලයෙත් කේක් එකක් කපන්න සූදානම් වෙලා…”

“ඉතින් අගමැතිතුමාට කියන්නකො ඒකත් අරගෙන මෙතෙන්ටම එන්න කියලා. මෙතන තියලා දෙකම කපමු. ඔයාලා සද්ද නැතුව ජොනීව මෙහාට එක්කගෙන එන්න…”

ඒ අනුව එදින පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට මන්ත්‍රීවරු රැසක් පැමිණ සිටියහ. අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් දෙදෙනාම සහභාගි වී මෙසේ තමන් වෙනුවෙන් කේක් ගෙඩි දෙකක් තබා මෙවන් සංග්‍රහයක් සැලසුම් කරනු ඇතැයි කිසිවිටෙකත් ජොන්ස්ටන් සිතුවේ නැත. ඔහු ඉන් මවිතයට පත්විය.

කලකට පෙර ජොන්ස්ටන් රනිල් වික්‍රමසිංහගේ විශ්වාසවන්තම හා සමීපතම තරුණ දේශපාලනඥයකු වශයෙන් සිටියේය. කාලයාගේ ඇවෑමෙන් ජොන්ස්ටන් රනිල්ට එරෙහිව පක්ෂය ඇතුළේ කැරැල්ලක් ගසනු ලැබීය. එවකට ජොන්ස්ටන් තරම් රනිල්ට බැන වැදුණු දේශපාලනඥයෙක් නොවීය. අනතුරුව මහින්ද සමඟ එක්වූ ජොන්ස්ටන් අදටත් සිටින්නේ මහින්ද සමගය. එවන් අයකුට රනිල්ගෙන් මෙවන් හරසරක් ඇතැමුන්ට පුදුම සහගතය…

“ඒකයි අපි කියන්නේ රනිල් කියන්නේ මහා සුන්දර මිනිහෙක්. පරණ කෝන්තර හිතේ තියාගෙන තැවෙනවාට වඩා අනාගතය දිහා බලලා වර්තමානය සැලසුම් කරන බුද්ධිමතෙක්. ඒකයි අපි එයාට ගරු කරන්නේ.” එතන සිටි තවත් ප්‍රබල දේශපාලඥයෙක් තරුණ දේශපාලඥයන් කිහිප දෙනකුට ඇසෙන ලෙස කීවේ බොහෝ දේශපාලඥයන් මේවා තම පාඩම් ලෙස ගත යුතු යැයි පෙන්වා දෙමිනි.

“මගේ පරණ නායකතුමන්ගෙන් මේ ලැබුණු සැලකිල්ල මට ලොකු සතුටක්…” කියමින් ජොන්ස්ටන් කේක් වලින් අවට සිටි සහෝදර මන්ත්‍රීවරුන්ට සංග්‍රහ කරන්නට පටන් ගත්තේය. ඒ අතර අගමැති දිනේෂ් ජොන්ස්ටන්ට කේක් කෑල්ලක් කවනු ලැබීය.

සතුටු සාමයේ යන අතරේ මධුර විතානගේ ඩුබායි සංචාරය ගැන විස්තර කීවේය.

“ජනාධිපතිතුමා මේ සංචාරය ඇතුළේත් ලංකාවට ගොඩක් ජයග්‍රහණ අත්පත් කරගත්තා…”

“ප්‍රංශ ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමාගේ අතින් අල්ලන් කතා කරනකොට අපේ හිතටත් ලොකු ආඩම්බරයක් ආවා…” ප්‍රේමනාත් දොළවත්ත කීවේය.

“කෝ ඉතින්… අපේ ජනාධිපතිතුමා මේ වගේ වටිනා සමුළුවල අත්දැකීම් ලබා දෙන්නේ පිරිමි අයට විතරනේ. ඔබතුමා ලෝක නායකයන් එක්ක කතාබහ කරමින් වැඩ කරන ආකාරය බලන්න අපිත් කැමතියි. කාන්තාවන්ටත් අත්දැකීමක් ගන්න අවස්ථාවක් දෙන්න… ” රාජිකා මන්ත්‍රීතුමිය එසේ කියද්දී සැවොම කොක්හඩලා සිනාසුනේ මන්දැයි රාජිකාට අවබෝධ වූයේ නැත. ඕ වට පිට බැලීය.

“හරි අපි යමුකෝ නොබැඳි ජාතීන්ගේ සමුළුවට. පක්ෂ විපක්ෂ ගෑනු පිරිමි භේදයකින් තොරව මම ඒ ගමනත් ඔය හැමෝටම අවස්ථාව ලබා දෙන්නම්..” ජනාධිපති කීවේය. උපන්දින සාදය අවසානයේ සුහද සාකච්ඡාවක් බවට පත්වී ඉක්මනින් අවසන් වූයේ ජනාධිපතිවරයාට සහභාගි වන්නට එදින තවත් විශේෂ වැඩ කටයුතු රාශියක් තිබූ නිසාය.

රට වැට්ටූ අයට ජනතාවගෙන් නඩු

මේ අතර අඟහරුවාදා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ රැස්වීමක් පැවති අතර සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති හා පක්ෂයට අනුබද්ධ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ මේ රැස්වීමට පැමිණ සිටියහ. පොදුවේ මෙම හමුව හැඳින්වුණේ වෘත්තිකයින්ගේ සන්ධානය කියාය. ඔවුන් එදා සාකච්ඡා කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රට බංකළොත් කිරීම පිළිබඳව රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ නිලධාරීන්ට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව පිළිබඳ ජනමතයක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය ගැනයි.

මෙහිදී මුලින්ම සාකච්ඡාව අරඹමින් කථා කළ හර්ෂණ රාජකරුණා ලබන දොළොස් වැනිදා පදනම් ආයතනයේදී පවත්වන ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය ගැන හැඳින්වීමක් කළේය.

“රට බංකොලොත් වීම නිසා අගතියට පත්වුණු කෝටි දෙකක් පමණ වන ජනතාවට වග උත්තරකරුවන්ට එරෙහිව නඩු දාන්න පුළුවන්. ඒකට නීතිමය සහයෝගය ලබා දෙන්න සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම සූදානම්..” උපුල් ජයසූරිය කීවේය.

“රටේ ජනතාව මේ අපරාධයට එරෙහිව පෙළගස්වන්න නම් අපි පළමුව ජනතාව දැනුවත් කරන්න ඕන. ඒකට සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරමු”. එම යෝජනාව කළේ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම නඩුව පැවරූ මහේන් මෙන්ඩිස් නම් විශ්වවිද්‍යාල ආචාර්යවරයාය.

“ඉස්සර තරුණ කොටස් පෙළපාලි ගියේ උනුත් එකයි මුනුත් එකයි කිය කිය. දැන් ඉතින් ඒ සටන් පාඨය අවලංගුයි. රට මේ විනාශයට ඇද දමපු වගඋත්තර කරුවන්ව අධිකරණය විසින් නම් කරලා ඉවරයි. දැන් තියෙන්නේ රටේ හැබෑ හතුරෝ කවුද කියලා දැනගෙන කරන්න ඕන සටනක්…” තිස්ස අත්තනායක කීවේය. ඒ අයුරින් එම හමුව අවසන් වූයේ මේ සම්බන්ධයෙන් පක්ෂය විසින් ගෙනයන ඉදිරි කටයුතු ගැන සැලසුමක් සකසා ගත් පසුවයි.

මහින්දයි නාමලුයි දොළහට ගිය ගමන

ජෝන්ස්ටන්ගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කේක් කැපුවේ අඟහරුවාදා උදේ වරුවේ වුවත් ඊට පෙර සඳුදා මධ්‍යම රාත්‍රියේ දොළහටත් ජොන්ස්ටන් වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත්වුණු බව ඒ වනවිට බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. එය සිදුවූයේ දෙසැම්බර් හතරවෙනිදා රාත්‍රියේ කොළඹ මැකෙන්සි පාරේ වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් නිවසට හිටි හැටියේ අමුත්තන් පිරිසක් ගොඩ වැදීම නිසාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ හා ලිමිනි ඒ පිරිස අතර හිටියහ. ජොන්ස්ටන්ව පුදුම කරවීමට එදා රාත්‍රී දොළහා ආසන්නවත්ම එම නිවසට යා යුතු බව කල් තියා සැලසුම් කරනු ලැබුවේ නාමල් රාජපක්ෂය. ඔවුන් සමග තවත් මිතුරන් පිරිසක් ද සිටියහ.

නාමල් පදවාගෙන පැමිණි වාහනයේ මහින්ද රාජපක්ෂත් ලිමිනිත් සිටිනු දුටු ජොනී පුදුමයට පත්විය.

“එන්න එන්න සර්… ඔක්කොටම කලින් සර්ට මාව මතක් වුණා…”

“තීරණාත්මක මොහොතක සියල්ල අත්හැරලා මගේ ළඟට ආපු මිනිහගේ උපන්දිනේ මට අමතක වෙන්නේ කොහොමද…” කියමින් මහින්ද ගෙදරට ගොඩ විය.

කල් තියා සැලසුම් කරන ලද පරිදි හරියටම රෑ දොළහට ජෝන්ස්ටන්ගේ පුතු ජොහාන් කේක් ගෙඩියක් ගෙනාවේය. හිටපු ජනාධිපතිවරයාගේ සුබපැතුම් මධ්‍යයේ ජොන්ස්ටන් කේක් කපා සියල්ලන්ට ඉන් සංග්‍රහ කළේය. පළමු කෑල්ල හිටපු ජනාධිපතිවරයාට ය.

ඉන්පසුව පැවැති අල්ලාප සල්ලාපය අවසන් වූයේ පාන්දර දෙකත් පසුවූවාට පසුවයි.

සජිත්ගෙන් නිමල්ට ඉංග්‍රීසි පාඩමක්

පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාද අතර ගැටුම්වල නම් කෙළවරක් නොවීය. සෑම උණුසුම් සංවාදයකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සක්‍රීයව සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක වෙනදා මෙවන් විවාදවලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළත් සජිත්ගේ මෙහෙවර හමුවේ ඔහුට ද තැනක් නොවීය.

“කෝ ඉතින්… අපිට කතා කරන්න වෙලා නෑනේ… විපක්ෂයට විවාදයේදී කතා කරන්න ලැබෙන මුළු කාලයෙන් බාගෙටත් වඩා විපක්ෂ නායකතුමා කතාකරනවානේ…” විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මැසිවිල්ල නගන්නට වූහ.

“ඔයාලා කතා කරනවට වඩා විපක්ෂ නායකතුමා කතා කරන එක නම් හොඳයි. එතුමාගේ කතා වලින් අපි අමාරු ඉංග්‍රීසි වචනයක් දෙකක් හරි ඉගෙන ගන්නවා…” ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් කීවේය.

“ඕගොල්ලෝ දන්නවද වැඩක්… පහුගිය දවසක ව්‍යවස්ථාදායක සභාව රැස්වෙච්ච වෙලාවේදී නිමල් සිරිපාල ඉංග්‍රීසියෙන් කතා කරන්න ගිහිල්ලා වචන වගයක් වැරදිලා. ඒ මොහොතෙම ඒ වරද නිවැරදි කරලා දීලා තියෙන්නෙත් අපේ විපක්ෂ නායකතුමා… ” සජබයේ මන්ත්‍රීවරයා කීවේය.

“ඒ අතින් එතුමගෙ දැනුම ගැන නම් අපිට තර්කයක් නෑ… හැබැයි ඉතින් වුවමනාවට වඩා කතා කරලා පාර්ලිමේන්තුවේ කාලය එයා ගන්න එක තමයි ප්‍රශ්නෙ…

එය අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වරදින අවස්ථාද නොතිබුණාම නොවේ. විවාදයේ කතා කරන අතර ඔහු අරගත් එක්තරා උදාහරණයක් වැරදී ගියේය. “අතපය කිසිවක් නොමැතිව නාගයා තුඹහ බඳින්නාක් මෙන් අපට මේ රට ගොඩනංවන්නට බැරි නැතැයි” ඔහු කීවේය. තුඹහා බඳින්නේ නයා නොව, වේයාය. නයා කරන්නේ වේයා බැඳි තුඹසේ බිත්තර දැමීමය.

කෙසේ වෙතත් විපක්ෂ නායකතුමාගේ වචනයකින් සිදු වූ වරද මේ රටේ ඇතැම් සමාජමාධය කරුවන්ට රස මසවුලක් බඳු වූහ. ඔවුන් ඊට අනවශ්‍ය ප්‍රචාරණයක් ලබාදෙන්නට සමත්ව සිටියහ.

පසුගිය දිනක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභා ගැබට පැමිණියේ තම ඇඳුමේ කරවටට විශේෂ අනන්‍යතාවක් සහිත රෙදිකඩක් දමාගෙනය. මන්ත්‍රීවරු ඒ ගැන විමසන්නට වූහ. මේක නිකම්ම නිකන් සාටකයක් නොව, පලස්තීන විමුක්තිකාමීන්ගේ සාඨකයක් බව ඔහු පෙන්වා දුන්නේය. තමන් අද මෙය පලඳින්නේ පලස්තීන ජනතාවගේ සැබෑ නිදහස වෙනුවෙන් යැයි ඔහු කීවේය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසගේ මේ සාටකය ගැන පාර්ලිමේන්තුවේ කතාබහක් ඇති විය. පලස්තීන විමුක්ති සංවිධානය පැළඳ සිටියේ මෙවන් කරවටා දැමූ සාඨකයක් නොව, මෙවන් රෙද්දකින් සැකසූ හිස් පළඳනාවක් බව සමහරුන්ගේ තර්කය වූහ.

අපේක්ෂක මෛත්‍රී පක්ෂයෙන් තීන්දුයි

ගතවෙමින් තිබෙන්නේ 2023 වසරේ අවසාන දින කීපය බැවින්’ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තැන් තැන් වල කතා කළේ ලබන වසරේ කුමක් සිදුවේද කියාය. ලබන වසර මේ රටේ ඉතා සුවිශේෂී මැතිවරණ කීපයක් පැවැත්වෙන වසරක් වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වූහ. ජනාධිපතිවරණය මහ මැතිවරණය පළාත් සභා මැතිවරණය ආදී කුමක් හෝ ඉස්සර විය හැක. ඒ ඕනෑම එකකට සූදානම් වීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡා කළ සාකච්ඡාවට කීපයක්ම පසුගිය සතියේ පැවැත්විණ.

එක් සාකච්ඡාවක් පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැතියේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ආසන සංවිධායකවරු හා නිලධාරීහු මේ සඳහා පැමිණ සිටියහ.

“ලබන අවුරුද්ද මැතිවරණ පැවැත්වෙන අවුරුද්දක්. මොකක් හෝ මැතිවරණයක් මාර්තු මැයි වෙනකොට තියෙනවා. සමහරවිට ඒක ජනාධිපතිවරණය වුණොත් කවුද අපේ අපේක්ෂකයා…” පක්ෂ නායකයා මුට්ටිය දමා බැලුවේ එසේය.

“ඔබතුමාට තරම් අත්දැකීම් සහ සුදුසුකම් අපේ පක්ෂයේ ඉන්න කිසිවෙකුටත් නෑ. කිට්ටුවට වත් එන්න දෙවෙනියකුත් නෑ. ඉතින් ඔබතුමාම තමයි ජනාධිපති අපේක්ෂකයා…” ආසන සංවිධායකයෙක් එසේ කියද්දී තවත් කෙනෙක් නැගිට මෙසේ කීවේය.

“ජනාධිපතිවරණය ආවොත් එහෙමයි. මහ මැතිවරණය ආවොත් ඔබතුමා තමයි අගමැති අපේක්ෂකයා.”

“එතකොට දැන් අපේ පක්ෂය වෙනම ඉල්ලනවා කියන එක ස්ථිර ද…” තවත් අයකුට ප්‍රශ්නයක් විය .

“මොන මැතිවරණයකදී වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පස්සේ වෙනම පක්ෂයක් විදිහට ඉල්ලනවා. තව කාට හරි අපිත් එක්ක එකතුවෙන්න ඕන නම් එයාලට පුළුවන් සන්ධානගත වෙන්න. හැබැයි ඒ සන්ධානයේ නායකයා අපේ නායක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විතරයි…” අයෙක් ස්ථිරසාර ලෙස යෝජනා කළේය. ඊට සියලු දෙනාගේ කැමැත්ත හිමිවිය. ඉන් අනතුරුව කතාබස් කළේ ආසන සංවිධායකයන් හා නිලධාරීන් අතර ඇති පුරප්පාඩු පිරවීම ගැනය. තීන්දු තීරණ රැසක් ගනු ලැබූ එම සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් ගත් කල ඉතා වැදගත් තීරණාත්මක සාකච්ඡාවක් විය.

මේ අතර පසුගිය දිනවල නෙළුම් මාවතේ නායකයෝ අතිශයින් කාර්යබහුලව සිටියේ ඔවුන්ගේ දෙවැනි පක්ෂ සම්මේලනය පැවැත්වීම වෙනුවෙනි. ලබන පහළොස්වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සම්මේලනය පවත්වන්නට සියලු සැලසුම් ලහි ලහියේ අවසන් වෙමින් තිබිණි.

අපේක්ෂක රනිලුත් පොහොට්ටුවේ යටතට

ඒ අතර පැවති සාකච්ඡාවකදී පොහොට්ටුව සම්බන්ධයෙන්ද තීරණාත්මක කරුණු කීපයක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති විය. පක්ෂයේ සභාපති ලේකම් හා නායකයා පත් කිරීම ගැන එහිදී සාකච්ඡාවට ලක් විය.

පසුගිය දිනවල පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී. එල්. පීරිස් ඉවත් කළාට පසු එම පුරප්පාඩුවට පත් කළේ පූජ්‍ය මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේය. එම තනතුරත් මහින්ද මහතාගේ නායකත්වයත් සාගර කාරියවසම් දරන ලේකම් තනතුරක් වෙනස් නොකර අනෙක් සියලුම නිලධාරී මණ්ඩලය පුළුල් ලෙස වෙනස් කරන්නට සංමේලනයේදී තීන්දුවක් ගන්නට මෙහිදී සාකච්ඡා විය.

ජාතික සංවිධායක තනතුර බැසිල් රාජපක්ෂට පවරන්නට පක්ෂ නායක මහින්ද ඇතුළු අන් සියලු දෙනා කැමැති වුවත් ඒ සඳහා බැසිල් ගේ එකඟතාවක් නොවීය.

“තනතුරක් ඕන් නැහැ… කොහොමටත් ඒ වැඩේ මමනේ කරන්නේ…” බැසිල් කීවේය.

“ඔහු එම තනතුර බාරගන්නට කැමැති වන තුරු එම පුරප්පාඩුව තබාගන්නට ඒ අනුව පක්ෂය තීන්දුවක් ගත්තේය.

සම්ලනයට දිනය තීන්දු කළේ අයවැය දෙස බලාගෙනය. 13 වැනිදා අයවැය අවසන් වීමෙන් පසුව මන්ත්‍රීවරු ගම රට යන්නට පෙර සම්මේලනය පැවැත්විය යුතු බවට තීන්දු විය. 15 ඊට හොඳම දවස වූහ.

ඒ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී නිසැකවම පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට තීන්දුවක් ගැනිණි. අපේක්ෂකයා කවුද කියා තීරණයක් නොවීය. යම් හෙයකින් පක්ෂ අතර සන්ධානයක් ඇති වුවහොත් අපේක්ෂකයා රනිල් වුවත් ඔහු අනිවාර්යයෙන්ම තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණෙන් බවට මෙහිදී එකඟතාවක් ඇති විය. සාකච්ඡාව එසේ අවසන් විය.

පොහොට්ටුව නැතිව දිනන්න බැහැයිලු

මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එළඹෙන ජනාධිපතිවරණයේ තිබෙන බරපතළකම ගැනද එකතු වී සාකච්ඡා කරමින් සිටියහ. ජනාධිපති අපේක්ෂකයන් ලෙස ව්‍යවසායකයන් කීප දෙනෙක්ම ඉදිරිපත් වීමට අපේක්ෂිතව සිටින බව අදහසක් ලෙස ඉදිරිපත් විය.

“ඔව් ඉතින්… පහුගිය කාලේ කිව්වා දේශපාලකයොන්ට රට හදන්න බෑ. නිලධාරියෝ තමයි හොඳටම කරන්නේ කියලා. එහෙම කියලා යුද හමුදාවේ හිටපු නිලධාරියෙකුට රට භාර දුන්නා. අන්තිමේ උන්නැහේ මේ රට දාලා දිව්වා.

දැන් ඔන්න කතාවක් යනවා දේශපාලකයන්ටයි නිලධාරීන්ටයි දෙගොල්ලන්ටම බෑ. ව්‍යවසායකයො තමයි හොඳටම කරන්නේ කියලා. හැබැයි ඉතින් ඒ පස්සෙන් යන පිරිසකුත් ඉන්න බව පේනවා…” මන්ත්‍රීවරයෙක් හොඳ විග්‍රහයක් කළේය.

කවුරු අපේක්ෂකයා වුණත් මේ පාර දිනන එක ලේසි නෑ. දිනන්න නම් අඩුම තරමින් ලක්ෂ 55 වත් ඉක්මවන්න වෙනවා.

ඒක වෙන්නේ නැහැනේ. දැනටමත් ටොප්ලෙවල් එකේ තුන් හතර දෙනෙක්ම ඉන්නවා. රනිල්, සජිත්, අනුර කියන තුන්දෙනා ඉහළින්. වැටෙන චන්ද ටික තුනට බෙදුනොත් කාටවත් පනස් පහක් එන්නේ නෑ. අවතක්සේරු කරන්න එපා පොහොට්ටුව ගැන. රාජපක්ෂලගේ ඡන්ද අඩු වෙලා කියලා සමහරු හිත සනසා ගන්න ෆේස්බුක් කැම්පේන් ගෙනිච්චත් මහින්ද මහත්තයා ස්ටේජ් නැග්ගොත් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරු වුණත් ලක්ෂ තිහක් තිස්පහක් ගලවන එක පොහොට්ටුවට අමාරු නෑ.”

“ඔව් ඉතින් ඒ බයටනේ කට්ටිය මහින්දලාට ගහන්නේ. සමහරු නඩු තීන්දු ගැන කතා කරනවා. සමහරු මහින්දලගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම ගැන කතා කරනවා. සමහරු හොරා කාපුවා ගැන කියවනවා. තවත් කට්ටිය ඒගොල්ලන්ගෙන් ඒ සල්ලි අය කරන්න ඕන කියලා කියනවා. ඔය ඔක්කොම කියුම් කෙරුම් මහින්ද මහත්තයා ආයෙත් ස්ටේජ් නගින එක නවත්තන්න. හැබැයි මතක තියාගන්න ඒක නම් වෙන්නෙ නෑ.” පොහොට්ටුවට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් එසේ කියද්දී අනෙක් පිරිස විමසා සිටියේ පොහොට්ටුවේ අපේක්ෂකයා එහෙනම් දිනයිද කියාය…

“පොහොට්ටුව නොදින්නට වෙන කාටවත් පොහොට්ටුවේ සහාය නැතුව දිනන්නත් බෑ… ”

මන්ත්‍රීවරු අතර එකඟතාවක් නොවීය.

“ඔය මොනවා කියන්නත් කරන්නත් ඡන්දයක් එන්න එපායැ…” අවසානයේ මන්ත්‍රීවරු කියන්නට වූයේ එයයි.

ජනතාව විඳින දුක ආණ්ඩුවට දැනිලා නෑ

පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වැඩ අධික දිනයක් විය. පාර්ලිමේන්තුවේ සුපුරුදු වැඩ කටයුතුවලට අමතරව රැස්වීම් ගණනාවක්ද එදිනට යෙදී තිබිණ.

ඒ අතර වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නිලධාරීන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවන්නට පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. එහි කැඳවුම්කරු වෛද්‍ය කසුන් ගමගේ විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු කරමින් කතා කළේ සංශෝධිත දේශීය ආදායම් පනත හරහා රට තුළ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය ගැනයි.

“මේ බදු ප්‍රතිපත්තිය හින්දා මේ රටේ වෘත්තීයවේදීන් විතරක් නෙවෙයි, සාමාන්‍ය ජනතාවත් ඉතාමත් අසාධාරණ ලෙස පීඩනයට පත් කරනවා. මේකට විරුද්ධව මීට වඩා දැඩි වැඩපිළිවෙළකට යන්න වොනවා…” වෛද්‍ය කසුන් කීවේය.

“මේ බදු ප්‍රතිපත්තිය මේ රටේ දරුණු ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදයක ආරම්භය වේවි..” විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු ඉලංගෙයිසිංහ කීවේය.

“මේ රටේ වැඩ කරන ජනතාවගේ, වෘත්තීයවේදීන්ගේ, සාමාන්‍ය පොදු ජනතාවගේ අමාරුකම් ආර්ථික අපහසුතා ගැන තක්සේරුවක් නැතිව ආණ්ඩුව ගෙනියන අත්තනෝමතික වැඩපිළිවෙළට වැඩි ආයුෂ නෑ. අපට ඉතාම ඉක්මනින් මේවාට එරෙහිව ජනතාව පෙළගස්වන්න සිද්ධවෙයි…” වෘත්තීයවේදීන් විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්නේය. ජනතාව වෙනුවෙන් ඕනෑම සටනකට නායකත්වය දෙන්නට තමන් සූදානම් බව මෙහිදී විපක්ෂ නායකවරයා කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමක් මෙසේ සාකච්ඡාවක නිරතව සිටින අතරතුර නව සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ තවත් තැනක රැස්වී කතාබහ කරමින් සිටියහ. මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා, ප්‍රියංකර ජයරත්න, චන්න ජයසුමන, දුමින්ද දිසානායක ඇතුළු තවත් කිහිප දෙනෙක් එහි සිටියහ.

පොහොට්ටුවේ වැඩ ගැන නව සන්ධානයේ ලංසුව

“ජනාධිපතිතුමා ආණ්ඩුව විසුරවන්න හදනවා කියලා කට්ටියක් බය වෙලා ඉන්නවා කියලයි ආරංචි…” ලසන්ත අලගියවන්න එසේ කීවේ එතනින් ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට ඇසෙන්නට. නමුත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොවීය.

“ඉස්සරහට එන්නේ ජනාධිපතිවරණයක් කියලා සජබෙ කට්ටිය දන්නවා. හැබැයි ඉතින් ඒගොල්ල ඒකට බයයි. ඒ මොකද දැන් එතන ඉන්න හුඟක් අය ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න යූඑන්පීයට යනවා..” නිමල් ලංසා කීවේය.

“ඔබතුමා කිව්ව කතාව හරි. දැනටමත් සමගි ජනබලවේගයේ කට්ටිය හුඟක් ඉන්නේ එක්කෝ පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ. එහෙම නැත්නම් කොටුවේ ජනාධිපති කාර්යාලයේ..” දුමින්ද දිසානායක කීවේය.

“ඔව් ඔව් අපිත් ඔතනට යනවනේ. එතකොට අපි දකිනවා හැංගි හැංගි එතනට ගිහිල්ලා ඇවිල්ලා වීරයො වගේ එළියේ ජනතාව ඉස්සරහ ආණ්ඩුවට බනින කට්ටිය…” අමරවීර කීවේය.

“සමහරු කියනවාලු ඒගොල්ලෝ ආණ්ඩුවට ගැහුවේ නැත්තං විපක්ෂ නායකතුමාගෙන් බේරෙන්න බෑ කියලා…” ලංසා කීවේය.

“මම දන්න විදියට ඔතන ඉන්න සමහර අය ඉන්නේ සජිත් එක්ක හොඳින් නම් නෙවෙයි” චන්න ජයසුමන කීවේය.

“නායකයෙක් ජනාධිපති වෙන්න හිතනවනම් එයා ඊට කලින් තමන්ගේ වටේ ඉන්න මිනිස්සු ටික හොඳින් තියාගන්න දැනගන්න ඕන… එහෙම නැතුව කොහොමද රටේ ජනාධිපති වෙන්නේ..” නලින් ප්‍රනාන්දු කීවේය.

ඉන්පසු මේ කණ්ඩායම කතාබස් කරන්නට පටන් ගත්තේ ලබන පහළොස් වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පොහොට්ටුවේ දෙවැනි සමේලනය ගැනය. ඔවුන්ට ඒ ගැන විවේචන රැසක් තිබුණි.

“සුගතදාස එක පුරවලා පෙන්නන්න ෆුල් ට්‍රයි එකක් දෙනවලු…” ප්‍රියංකර ජයරත්න කීවේය.

“හම්බන්තොට මිනිස්සු මටත් කීප දෙනෙක් කතා කළා. සමහර සංවිධායකයෝ නම් කෙළින්ම කිව්වලු අපට නම් සෙනඟ ගේන්න බෑ කියලා… ” අමරවීර කීවේය.

ඔව් ඉතින් අරගලය වෙලාවේ අරලියගහ මන්දිරයට සෙනඟ ගෙනල්ලා වෙච්ච විපැත්තිය මතක තියෙන කවුරුවත් ආයේ කවදාවත් බස් අරගෙන පොහොට්ටුවේ වැඩකට සෙනඟ අදින එකක් නම් නැතිවෙයි. මන්ත්‍රීවරු හිනාවෙමින් කියන්නට වූහ.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment