මුතු බෙලි කවච ස්තරය කැණීම් කරමින්

යටත් විජිත සමයේ ජනාවාසවල තොරතුරු මන්නාරම වෙරළෙන් මතු වෙයි…

නඩුක්කුඩා වෙරළ තීරය අතීතයේ වරායක්…

මුතු ආදායම නිසා අතීතයේ මන්නාරම දියුණු ප්‍රදේශයක්…

වසර ගාණක් පැරැණි කුඩා මුතු ඇටයකුත් හමු වෙලා…

මන්නාරම් පිටි වැල්ලෙ උරුමය සොයා යන ගමන – 02

මන්නාරම් දූපතේ දකුණු වෙරළ තීරය දිගට දැකගැනීමට තියෙන්නේ මෑත කාලයේ තැන්පත් වෙච්ච වැලි තට්ටුවක්. එවැනි වැලි තට්ටු මත පැරැණි ජනාවාසවලට අයත් තැන්පතුවල සාධක හමුනොවන බව පෙර සිට අපි උපකල්පනය කළා. දිගින්, දිගට ම වෙරළ පුළුල් වීම නිසා අතීත වෙරළ ගොඩබිම බවට පරිවර්ථනය වෙනවා. ඒ නිසා මෙවැනි සකස්වීමක පුරාණ සාධක සෙවීමට ගවේෂණය කළ යුත්තේ වෙරළ නෙමෙයි, ඒ ආසන්නයේ ගොඩබිම…” කථිකාචාර්ය තිලංක සිරිවර්ධනයන් පුංචි හැන්දක් ගෙන නැවත පොළොව හාරන්නට පටන් ගත්තේය.

පුරාවිද්‍යාවට, ඉතිහාසයට එහා විෂය දැනුමක් නොමැතිව මේ ආකාරයේ පර්යේෂණ කිරීමට නොහැකි බව ඔවුන් කියන, කරන දෑවලින් මට හොඳින් වැටහිණි. එමෙන්ම ඔවුන් දැනුම උරගා බලමින් සිටිනවිට තවත් මීටර් 100ට වැඩි දුරකට අපි ඇවිද ගොස් සිටියෙමු. වෙරළ දිගට පමණක් නොව, පෙනෙන මානය පුරාවට සිනිඳු සුදු වැල්ල විසිරි පැතිරී තිබේ. පර්යේෂණ කණ්ඩායමත් සමග ගොඩබිම දිගේ ඇවිද යනවිට සියවස් ගණනින් එහා අතීතයට පියවර මනින බවක් ද මට හැඟිණි. මේ සුවිසල් මන්නාරම දූපත නිර්මාණය වී ඇත්තේ වසර දසදහස් ගණනක් පුරා සිදුවුණු වැලි තැන්පතුවල ප්‍රතිඵලයකින් වියහැකි යැයි ද මට සිතිණි. ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් හමාරය. නිරන්තරයෙන් වෙනස් වන පොළොව මතුපිට වැලි කඳු සහ කටු පඳුරුවලින් මෙන්ම තල් ගස්වලින් වැසී ගොස්ය. එවැනි පසුබිමක ඉතිහාස සාධක සෙවීම ලේසි පහසු නැති බව ද පැහැදිලිය. එහෙත් ගවේෂණ කණ්ඩායම දක්ෂය. සූක්‍ෂමය. කාර්යශූරය. වැලි කඳු අතරින් වෙරළට ඇදෙන ජල මාර්ගවල ඉවුරු සහ සුළං බලාගාරය ඇතුළු නූතන බොහෝමයක් ඉදිකිරීම් කරන ස්ථාන වෙත ගවේෂකයන්ගේ තියුණු දෑස් යොමු වී තිබෙන බව පෙනේ. එමෙන්ම ඔවුන්ගේ දෑස් යොමුවන ස්ථානවලින් යම්, යම් පුරාවිද්‍යා සාධක නිරාවරණය වන ආකාරය ද දැකගැනීමට ලැබිණි. විශේෂයෙන්ම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සිදු කර තිබුණු කැණීම් හේතුවෙන් එම භූමියේ අභ්‍යන්තර තැන්පතු බොහෝමයක් පොළොව මතුපිටට නිරාවරණය වී තිබිණි. බෙලි කවච දසදහස් ගණනක් පොළොව මතුපිට විසිරි තිබිණි. වළං කටු ද ඒ අතර දකින්න ලැබිණි. එය, ගවේෂණ චාරිකාවේ දී හමු වූ විශේෂ ස්ථානයක් ද විය. ඒ ගැන තිලංක සිරිවර්ධනයන් ද පැහැදිලි කළේය.

“අද දවසේ පර්යේෂණ කටයුතු ඉතාම සාර්ථකයි…” එම සාර්ථකත්වය තිලංක සිරිවර්ධනයන්ගේ මුහුණෙ මැවෙන ඉරියව්වලින් ද පෙනිණි.

මන්නරම මුතු කිමිදීම් කඳවුර ඉතිහාසයට අලුත් සොයාගැනීමක්

“කීරි වෙරළේ සිට තල්වුපාඩුවලට ඔබ්බෙන් මුතු කිමිදීම් කඳවුරක් පැවැති බවට සාධක සොයාගන්න පුළුවන් වුණා. දළ වශයෙන් මේ සාධක තැන්පත් වෙලා තියෙන්නේ මීටරයක් විතර වැලි කන්ද යට. වළං කටු, පෝසිලේන් එක්ක පේන විදිහට මේක යටත් විජිත යුගයේ පැවතුණු මුතු කඳවුරක සාධක. අපි නිරීක්‍ෂණය කරපු කොටසේ මුතු කිමිදීම් සාධක හමුවෙන්නෙ වෙරළෙ සිට මීටර 150ක් විතර ඇතුළතින්. එයින් පැහැදිලි වෙන්නේ මේ වෙරළ තීරයේ වැලි තැන්පත්වීමේ තීව්‍රතාවය එක්ක ක්‍රමයෙන් දූපත මුහුද දෙසට පුළුල් වෙන බවයි. ඊට සමගාමීව අතීතයේ වෙරළාශ්‍රීතව තිබුණු ජනාවාස ක්‍රමයෙන් රට තුළ ඇති ස්ථාන බවට පත් වෙනවා. වැදගත්ම සාධකය අපි දන්න වාර්තාවලට අනුව එවැනි මුතු කඳවුරක් මන්නාරමේ තිබුණු බවට තොරතුරු නෑ. ඒ නිසා මේ සොයාගැනීම අතිවිශේෂයි. ඒ වගේම වෙරළෙන් කිලෝමීටර භාගයක් විතර ඇතුළත පිහිටි වැලි කඳුවලින් වළං කටුයි වෙනත් බෙල්ලන්ගේ සාධකත් හමු වෙනවා. පේන විදිහට වැලි කඳු ආශ්‍රිතව තිබුණු තාවකාලික පැල්පත් සමූහයක සාධක. ඒ වගේම ඌරා කැට ළිඳක සාධකත්, තවත් ළිං කිහිපයක සාධකත් නිරීක්‍ෂණය කරගන්න පුළුවන් වුණා. තරමක් පැරැණි වළං කටු සහිත තවත් ක්‍ෂේත්‍රයක් සොයාගන්න පුළුවන් වුණා. ඒත් වැලි කඳු සහිත පරිසරයක මේ සාධක පෙළගස්වන්න කැණීම්වලින් තහවුරු කරපු සාධක අවශ්‍ය වෙනවා…”

මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක ඉදිකිරීම් හේතුවෙන් පොළොව මතුපිටට විවෘත වූ වැලි තට්ටු මත තිබුණු සාධක මත පැහැදිලි වන ආකාරයට අතීත මුතු කඳවුර වෙරළ තීරයට සමගාමීව බොහෝ දුරකට විහිදී ඇති බව පර්යේෂණ කණ්ඩායම උපකල්පනය කරයි. විසිරී පැතිරී තිබෙන එම සාධක ඔස්සේ ගවේෂණ කණ්ඩායම විසින් කිලෝ මීටරයකට වැඩි දුරක් දූපත තුළට වෙරළ තීරය දිගේ නැඟෙනහිර, බටහිරටත් පර්යේෂණ සිදු කරගෙන ගියේය. වැලි කඳු, කටු පඳුරුවලින් වැසී තිබුණු එම පරිසරයේ පර්යේෂණ කිරීම ලේසි පහසු නොවිණි. වනවඳුළු එළිපෙහෙළි කරගෙන යෑමට සිදු වූ අවස්ථා ද තිබිණි. මන්නාරම් දූපතේ ගවේෂණ චාරිකාව සුන්දර ගමනක් නොවන බව ඔවුන් පමණක් නොව, ගවේෂණයට ආගන්තු වූ මම ද පෙර සිට ම අවබෝධ කරගෙන සිටියෙමි. මල් මාවතක යනෙන සුන්දර ගමනකට වඩා කටුකොහොළින් පිරුණු කටුක ගමනක අවසානයේ සොඳුරු මතක බොහෝමයක් ඉතිරි වන බව සිහිපත් කරමින් ගමනේ විඩාව සහ දුෂ්කරතාවය විඳගත්තෙමි. එහෙත් මුදුන් වී තිබුණු හිරු සිතට සැනසීමක් ලබාදීමට ඉඩ නොදුන්නේය. හිරුගේ අකාරුණික රැස් දහරාවලින් දැවෙමින් තිබුණු මන්නාරම් දූපතේ සිනිඳු සුදු වැල්ල පය ගැසීමට නොහැකි තරමට ගිනියම් වී තිබිණි. ගිනියම් සුළඟ පවා හීනි වැලි කැටවලින් අපට පහර දෙන්නට විය. එහෙත් අලුත් සොයාගැනීම් හමුවේ පර්යේෂකයන්ගේ පමණක් නොව, මගේ සිතට ද අස්වැසිල්ලක් ලැබිණි. එම පරිසරය තුළ පැය ගණනාවක් පුරාවට සිදු කළ පරීක්‍ෂණවලින් අනතුරුව මේ ස්ථානයේ කැණීමක් සිදු කළ යුතු බවට ඔවුහු තීරණය කළහ. ඒ අනුව ගවේෂණ කටයුතුවලින් අවසානයේ නිසියාකාර කාර්ය පටිපාටියකට අනුවකූලව එම කැණීම් සිදු කිරීමට ද ඔව්හු කටයුතු සූදානම් කළහ. කැණීම් වළෙන් ලබාගන්නා පස් කුඩා දැල් භාවිත කරමින් හලමින් සාධක රැස් කිරීමට ද ඔව්හු යුහුසුලු වූහ. එමෙන්ම වැලි ස්ථරයෙන්, ස්ථරයට කැණීම් කරමින් සාධක මතු කරගන්නාවිට වැලි තැන්පතුවට යටින් විශාල මුතු බෙලිකටු තැන්පතුවක ස්ථරයක් ද මතු විය. ඒ සියල්ල සූක්‍ෂමව වෙන් කරගත් පර්යේෂකයන් එම මුතු බෙලිකටු ස්ථරයෙන් පුරාවිද්‍යා සාධක විශාල ප්‍රමාණයක් මතු කරගත් බව ද ඇස ගැටිණි. එමෙන්ම ඒ බව ඔවුන්ගේ කතාබහෙන් වැටහිණි. එම සාධක අතරින් සුවිශේෂී සොයාගැනීමක් තිබිණි. ඒ වසර ගණනාවක් පැරැණි කුඩා මුතු ඇටයකි.

“මුතු කඳවුරකින් මෙවැනි මුතු ඇටයක් අතහැරී යෑමේ සම්භාවිතාවක් පවතිනවා. මුතු බෙල්ලන් කුණු වුණාට පස්සෙ සෝදමින් මුතු වෙන් කරගන්නා ක්‍රියාවලියේ දී බෙලිකටුවලට සම්බන්ධ වුණු හෝ ඇලී තියෙන කුඩා මුතු ඇට වැලි අතර තැන්පත් වෙනවා. සමහරු වැලි හලනයන් පාවිච්චි කරමින් ඒ වැලි හලමින් කුඩා මුතු ඇට මතු කර ගන්නවා. ඒ මුතු වෙන් කරගැනීම හඳුන්වන්නේ මාසිතුල් මුතු වෙන් කරගැනීම විදිහටයි. මුතු කිමිදීමෙන් පසුව කඳවුර අතහැර කිමිදුම්කරුවන් ගිය පසු ප්‍රදේශවාසී දුගී මිනිසුන් පැමිණ වැලි හලමින් මුතු වෙන් කරගෙන ඇති බවත් වාර්තා වෙනවා. ඒ වගේම කුඩා මුතුවල විශාල වටිනාකමක් නෑ. බොහෝවිට ඒ කුඩා මුතු භාවිත කරල තියෙන්නේ ප්‍රභූන්ගේ බුලත්විටට හුණු සඳහා ගැනීමට. වසර ගණනාවක් පැරැණි මේ කුඩා මුතු ඇටවල අදට නම් මූල්‍ය වටිනාකමක් ඇත්තේම නෑ. කෞතුක වටිනාකමක් විතරයි…” කැණීම් වළෙන් ඉහළට පැමිණ වතුර උගුරක් පානය කර තොල කට සිසිල් කරගන්නා අතරේ තිලංක සිරිවර්ධනයන් එසේ පැවසීය.

කැණීම් සිදු කරගෙන යනවිට බෙලිකටු ස්ථරය අවසාන විය. එහෙත් ඊටත් ගැඹුරට කැණීම් සිදුකරමින් ඒ ආශ්‍රිත තැන්පත්වීම්වල ස්වභාවය හඳුනාගැනීමට ඔව්හු උත්සාහ කළහ. සෙන්ටිමීටර් 150ක් පමණ ගැඹුරට කැණීම් කරනවිට වර්තමාන මුහුදු මට්ටමට ආසන්නයෙන් පැරැණි වෙරළ තීරයක සාධක මතුවීමට පටන් ගත්තේය. වෙරළ තීරයක සාමාන්‍යයෙන් දැකිය හැකි වැලි තැන්පත්වීමේ ස්වභාවය හා ඒ ආශ්‍රිත බෙල්ලන් විශේෂ රාශියක් මතු විය. එම සාධක මත අතීත අවධියක පැවැති මුහුදු වෙරළක් බවත්, කාලයත් සමග වැලි තැන්පත්වීම නිසා වර්තමාන වෙරළ මීටර් 200ක් පමණ ඈතට වර්ධනය වී ඇති බවත් පර්යේෂණ කණ්ඩායම උපකල්පනය කළේය. එමෙන්ම එම කැණීම් ස්ථරයෙන් මුතු බෙල්ලන් ඇතුළු බෙල්ලන් විශේෂ හැටකගේ පමණ සාධක මතු විය. එම මුතු බෙල්ලන් විශේෂ හා ආශ්‍රිත අතුරු ඵලයක් ලෙස පැමිණි සත්ත්වයන් වශයෙන් හැඳින්විය හැකි බවත් තිලංක සිරිවර්ධනයන් පැවසීය. එම සත්ත්ව විශේෂ ඉදිරි පරීක්‍ෂණ සඳහා ඉතා වැදගත් වන බවත්, මුතු කිමිදීම් සිදු කළ මුතුපරයේ සිටි ජීවීන්ගේ ගහනය, බහුලතාවය, පුරාණ පරිසර තත්ත්වය ප්‍රතිනිර්මාණය කරගැනීමට එම සාධක ඉවහල්වන බව ද හේ පැහැදිලි කළේය. එමෙන්ම එම කැණීමෙන් සොයාගත් වළං කටු ඇතුළු සාධක මත සාපේක්‍ෂව බ්‍රිතාන්‍ය පාලන කාලයට අයත් වූවක් විය හැකි බව ද ඔහු උපකල්පනය කළේය. කැණීම් සිදු කරන ස්ථානයෙන් කරත්ත පාරක් වැටී තිබුණු බවත් පැරැණි සිතියම්වල පෙන්නුම් කෙරේ. එමෙන්ම පැරැණි ලේඛකයන් ඉතිහාසගත කර ඇති කරුණු මත මන්නාරම ජනාවාසකරණයේ ඇති වූ ප්‍රබෝධයට මුතුපරවල ආදායම ඍජු සාධකයක් වී තිබේ. උළු සෙවිලි කළ මනරම් නිවාස මන්නාරම පුරා නිර්මාණය වූයේ ද මුතු ධනයෙන් බව පැරැණි ලේඛකයන් රචිත ග්‍රන්ථවල සඳහන් වේ. එමෙන්ම මුතු ආදායම නැති වී ගිය පසු මන්නාරම දැඩි පරිහානියකට ලක් වී ඇති බව ද ඉතිහාසයේ සඳහන් වේ.

මන්නරම මුතු කිමිදීම් කඳවුර ඉතිහාසයට අලුත් සොයාගැනීමක්
කරීසල් දේවස්ථානයේ බදාම අතර හමුවන බෙලිකටු සාධක

“මේ කැණීම් ස්ථානය විවිධ කෝණවලින් බලන්න පුළුවන්. සියවස් කිහිපයකට පෙර කාර්යබහුල වැඩබිමක් වෙච්ච මේ ස්ථානයේ තම සන්තකයේ මුතු තබාගැනීමේ වරදට ලක්‍ෂ ගණනක් බෙල්ලෝ මියැදෙන්න ඇති. දහස් ගණන් මුතු ඔවුන්ගෙන් උදුරාගන්න ඇති. ඒ මුතු ලොව පුරා ධනවතුන් හැඩ කරන්නට අබරණවලට එකතු වෙන්න ඇති. ඒ ආකාරයෙන් බලනකොට මේ ස්ථානය සොහොන් බිමක්. ලොව පුරා ලක්දිව කීර්තිය පතළ කළ වැඩ බිමක්. සියවසකට වඩා කාලයක් වැල්ලෙන් වැසී තිබූ ඒ මහා වැඩ බිමේ සාධක සොයාගැනීමට ලැබීම මහත් භාගයක් විදිහට මම සලකනවා…” තිලංක සිරිවර්ධන අලුත් සොයාගැනීම සම්බන්ධයෙන් ආඩම්බරයෙන් කතා කරනවිට තල්වුපාඩු වෙරළ තීරයෙන් සමුගත් අපි බටහිර දෙසට ගමන් ආරම්භ කළෙමු.

එම ප්‍රදේශය ජනාවාසවලින් තොර කලාපයකි. මහ තල් ගස් යට හොඳින් වැඩුණු අන්දර ශාකවලින් මුළු ප්‍රදේශයම වැසී තිබිණි. ඇතැම් ස්ථානවලින් වාහනය ද ගමන් කිරීමට නොහැකි තරමට වනගහනය වැඩි වී තිබිණි. කටු පඳුරු සහිත ඒ බිමේ පයින් ඇවිද යෑමට ද පහසු නොවිණි. ශරීරය ඍජුව තබාගෙන ඇවිද යෑමට නොහැකි තරමට තැන, තැන අන්දර ගහනය වැඩී වී තිබිණි. අන්දර රොද අතරින් ඇවිද යනවිට තියුණු කටු ශරීර කූඩුව තුවාල කරනවිට, දිරාපත් වෙමින් පොළොව පුරා විසිරී තිබුණු අන්දර කටු පැලඳ සිටි පාවහන් පසාරු කරගෙන විත් යටිපතුල් සිදුරු කරනවිට මේක මොන කරුමයක් දැයි සිතුණු වාර අනන්තය. එහෙත් වැලි පොළොවේ දිගා වී කටු පඳුරු අතරින් රිංගා යමින් පරීක්‍ෂණ සිදු කරන ගවේෂකයන් දෙස බලා මම සිත සැහැල්ලු කරගත්තෙමි. අන්දර යනු ඉතාම තියුණු කටු සහිත ශාකයකි. එම කටු ඇණුණුවිට අතිශය වේදනාකාරීය. කැලෑ රොද අතරින් එළිමහනට පැමිණි සැණින් පාවහන්වල ඇනී තිබුණු උල් කටු ඉවත් කිරීමට වෙනම කාලයක් මිඩංගු කිරීමට ද සිදු විය. එමෙන්ම තම්බපවනි සුළං බලාගාරයේ සුළං කලුනු එකිනෙක පසු කරගෙන මන්නාරම් දූපතේ බටහිර දෙසට ගමන් කරනවිට වැලි කඳු ක්‍රමයෙන් උස් වී දර්ශනය විය. වැලි තැන්පතු උස්වීම ගවේෂණ කටයුතුවලට දැඩි බාධාවකි. එහෙත් ගවේෂණයේ දුෂ්කරතාවය හොඳින් අවබෝධ කරගෙන සිටින අපේ කණ්ඩායම බාධක හමුවේ නොසැලිණි. සුළං කලුනු විසිදෙකක් පසු කර යනවිට නඩුක්කුඩා වෙරළ හමු විය. ධීවර කටයුතු බහුලව සිදුවන එම වෙරළ තීරය ජනාකීර්ණ සහ කාර්යබහුල ප්‍රදේශයකි. එමෙන්ම අඩි 20, 30 උසින් යුක්ත විසල් වැලි කඳු තැන, තැන ඉස්සී පෙනේ. එම වැලි කඳු නිසා සුළං බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ද සංකීර්ණ ස්වරූපයක් ගෙන තිබෙන අයුරු පෙනේ. එහෙත් සුළං කුලුනුවල පාදම් සකස් කිරීමට හාරා තිබුණු විශාල වළවල් පරීක්‍ෂණ කටයුතු සඳහා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන බව ගවේෂකයන් සතුටින් කතා කරන අයුරු මට ඇසිණි. එමෙන්ම එම වෙරළ තීරය සම්බන්ධයෙන් තිලංක සිරිවර්ධන කළ පැහැදිලි කිරීමට මම උනන්දුවෙන් සවන් දී සිටියෙමි.

“යටත් විජිත සමයේදී නඩුක්කුඩා වෙරළ තීරය දීර්ඝ කාලයක් කුඩා වරායක් වශයෙන් භාවිත වෙලා තියෙනවා. ලන්දේසි කාලයේ මෙතැන නම නරෙකොයෙරා. බ්‍රිතාන්‍ය පාලන කාලයේදී එම නම නඩෙකොඩා බවට වෙනස් වෙලා තියෙනවා. මේ වෙරළ තීරයට ආසන්න මුහුදේ මුතුපරවල ආරක්‍ෂාවට සේනාවක් ස්ථාපිත කරලා තිබුණු බවත් කියැවෙනවා. ඒ නිසා මේ ස්ථානය පරීක්‍ෂණ කටයුතුවල දී අති විශේෂයි. ඒත් මේ උස වැලි කඳුවල ජනාවාස සාධක ප්‍රකට නෑ. සුළං කුලුනු ඉදිකිරීමට හෑරු වළවල් තුළ, දළ වශයෙන් මීටර් දෙකක් පමණ පොළොව යට වැලි තැන්පත්වලින් හමුවන වළං කටු, පෝසිලෙන් සහ වීදුරු කැබැලිවලින් යටත් විජිත සමයේ ජනාවාස ගැන තවත් සාධක ලැබෙනවා. ගැඹුරුට මේ සාධක තවත් අලුත් වෙන්න පුළුවන්. ඒත් අපේ මූලික අවධානයට යොමු වෙච්ච කාරණයට මේ ලැබිලා තියෙන සාධක ප්‍රමාණවත්. ගවේෂණයේ අරමුණ, ගවේෂණ මැදිහත්වීමේ මට්ටම්, අප සතුව තිබෙන උපකරණ සහ අනෙකුත් සම්පත් වගේම නෛතික පසුබිමත් සමග සලකා බලනකොට මේ ප්‍රදේශයේ කළ හැකි දේ සීමිත බව වැටහෙනවා. විශේෂයෙන්ම මේ වැලි තැන්පතු නිසා මන්නාරම දූපතේ බටහිර අන්තය ආවරණය වෙලා තියෙනවා. තවදුරටත් බටහිර දෙසට ගවේෂණය ව්‍යාප්ත කරන එක නිරර්ථක බව හැඟෙන නිසා දකුණු වෙරළ තීරයේ ගවේෂණ කටයුතු මෙතැකින් නිමා කරන්න අපි තීරණය කරනවා. ඒත් අභියෝග ජයගෙන ඉදිරි පර්යේෂණ කටයුතු කරගෙන යෑමට පර්යේෂකයන්ට හොඳ අවකාශයක් තියෙනවා. කවුරු හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් ආරක්‍ෂක අංශවලින් නිසි අවසරය ගැනීමටත් අමතක කරන්න එපා. සාමාජීය, සංස්කෘතික, දේශපාලනික සහ පාරිසරික වශයෙන් සංවේදී මේ කලාපය තුළ ආරක්‍ෂක අංශවලට පූර්ණ සහාය ලබාදිය යුතුව තිබෙනවා…” මන්නාරම් දූපතේ දකුණු වෙරළ තීරයේ ඓතිහාසික වටිනාකමත්, ආරක්‍ෂක අංශ වෙත ඇති සංවේදී බව ගැන තිලංක සිරිවර්ධනයන් ‘සංවේදී’ අදහස් පළ කරන අතරේ අප රැගත් වෑන් රථය උතුරු වෙරළ දිසාවට ගමන් කෙරිණි. එම ගමන තුළ මන්නාරම සම්බන්ධයෙන් ඉතිහාස තොරතුරු රාශියක් ද කථිකාචාර්ය සිරිවර්ධනයන් මතක් කළේය.

ලබන සතියේ ඉපැරැණි මාතොට වරායට යෑමේ බලාපොරොත්තුවෙන් දැනට අපි නතර වීමු.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment