ආනයන සීමාවලින් ගොඩ යන්නේ වෙළෙඳ මාෆියාව ද?

342

සියයට සියයක ආන්තික තැන්පතු අවශ්‍යතාවක් පනවා ඇත්තේ භාණ්ඩ ආනයනය අවම කර ගැනීමටය

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

කොරෝනාව හමුවේ ගෝලීය ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට අපට සිදුව ඇත. ඒ සඳහා දේශීය ආර්ථික ක‍්‍රමෝපායික සැලසුම් අප අනුගමනය කළ යුතුය. එසේම එම ගෝලීය ආර්ථික අභියෝගවලට මුහුණ දෙන අතරම අපේ ආර්ථික ඉලක්ක ජයගත යුත්තේ කෙසේ ද යන බරපතල ප‍්‍රශ්නයට අප මුහුණ දී සිටිමු. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය බලයට පත්වන විට කොවිඞ් වසංගත තත්ත්වයක් ඇතිව තිබුණේ නැත. ඒ නිසාම මේ රජය පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනගත කරන විට කොරෝනා වසංගත තත්ත්වයක් පිළිබඳ කිසිදු අදහසක් කිසිවෙකුටවත් නොතිබූ බව රහසක් නොවේ. ඒ නිසා මේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සකස් කර ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වයක් ගැන සලකා නොවන බව රහසක් නොවේ. එසේ නම් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඇති කරුණු මේ වසංගත තත්ත්වයේ ආර්ථික බලපෑම්වලට ද ගැලපෙන ලෙස වෙනස් කරගනිමින් සුදුසු පරිදි වෙනස්කම් සහිතව ක‍්‍රියාත්මක කිරීමට මේ රජයට සිදුවනු ඇත. මේ නිසාම පැවති විශාල වෙළෙඳ හිඟයට මුහුණ දීම සඳහා දැඩි ආනයන පාලනයක් ක‍්‍රියාත්මක කිරීමට ද රජයට සිදුවිය. එහෙත් රට මුහුණ දී ඇති උග‍්‍ර විනිමය අර්බුදයට මුහුණ දීම සඳහා තවදුරටත් ක‍්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුව ඇත. ඒ අනුව මහ බැංකුව විසින් භාණ්ඩ රැසක ආනයන පාලනය කිරීමට අලූතින්ම ක‍්‍රියාමාර්ගයක් ගෙන ඇත. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

මහ බැංකුව විසින් තෝරාගත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ රැසකට ආන්තික තැන්පතු අවශ්‍යතාවක් පනවා තිබේ. අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ණයවර ලිපි (Letters of Credit) හා ප‍්‍රතිග‍්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 percent cash margin deposit requirement) වහාම ක‍්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. මේ බව මහ බැංකුව විසින් සියලූම බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නව චක‍්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පසුගිය සැප්තැම්බර් මස 08 වැනිදා පැවති රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත. මේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යවත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද මහ බැංකුව පවසයි. මේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩ ද මහ බැංකුව විසින් සියලූම බැංකුවලට දැනුම් දී ඇත. මේ අනුව භාණ්ඩ 623 කට මේ මුදල් තැන්පතු අවශ්‍යතාවන් පනවා ඇත. ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ, ගෘහ උපකරණ, ඇපල්, දොඩම්, සුවඳ විලවුන්, චොකලට්, ඔරලෝසු සහ යට ඇඳුම් ඇතුළු භාණ්ඩ රැසක් මෙයට ඇතුළත් වන අතර මේ සමග ඇති වගුව මගින් එම ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් දක්වා ඇත. ඒ සමඟ 2019ල 2020 වර්ෂ දෙකේ සහ 2021 වසරේ මේ දක්වා කාලය තුළ එම සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු දක්වා ඇත. (මේ සමග ඇති වගුව බලන්න.) විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යවත් කිරීම මේ ක‍්‍රියාමාර්ගයේ ප‍්‍රධාන අරමුණකි. මේ කියන්නේ කුමක් ද? එනම් මේ යන විදියට අනාගතයේ ඇමෙරිකානු ඩොලරයට එරෙහිව අපේ රුපියල තවදුරටත් පිරිහීමට ලක්වනු ඇතැයි අපේක්ෂාවෙන් ආනයන වැඩි වශයෙන් සිදු කිරීමට යොමු වීමයි. එය ඇත්ත වශයෙන්ම මේ ක‍්‍රියාමාර්ගය ගනු ලැබූ භාණ්ඩ සම්බන්ධයෙන් දැනටමත් සිදුව ඇති බව පසුගිය කාලයේ ආනයන වටිනාකම් පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ. මේ සමග ඇති වගුවේ දැක්වෙන පරිදි මේ භාණ්ඩ වර්ග ආනයනය කිරීමට 2019 වසරේ අප වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1057.9 කි. කොරෝනා විපතට අප දැඩිව මුහුණ දුන් ගිය වසරේ (2020) දී එම භාණ්ඩ ආනයනය සඳහා අප වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 871.2 ක් දක්වා අඩු වී ඇත. එහෙත් මේ වසරේ (2021) මේ දක්වා කාලයේ දී මේ භාණ්ඩ ආනයනවල ඉහළ යෑමක් සිදුව තිබේ. එනම් මේ වසරේ පළමු මාස හතේ දී (ජනවාරි සිට ජුලි දක්වා) පමණක් එම භාණ්ඩ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 753.4 ක මුදලක් වැය වී ඇත. එනිසා සමපේක්ෂණ චේතනාවෙන් එනම් ඩොලරය තවදුරටත් වැඩිවනු ඇතැයි සිතා ආනයනකරුවන් මෙසේ අවශ්‍යතාවට වඩා වැඩියෙන් එම භාණ්ඩ ආනයනය කිරීමට යොමු වී ඇති අතර මේ තත්ත්වය තවදුරටත් සිදු වීම වැළැක්වීම මහ බැංකුවේ අරමුණ වී තිබේ. එහෙත් කොරෝනා වසංගතය නිසා අප ඩිජිටල් තාක්ෂණයට වැඩි වශයෙන් යොමු වෙනවා නම් සහ ඔන්ලයින් ක‍්‍රමයට වැඩ කිරීමට යොමු වනවා නම් ජංගම දුරකථන සහ පරිගණක ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ මෙරටට ගෙන්වීම සීමා කිරීම නම් ඉතා අහිතකර වනු ඇත.

ආනයන සීමාවලින් ගොඩ යන්නේ වෙළෙඳ මාෆියාව ද?

අප ගිය සතියේ කතා කළේ ද රටේ පවතින ඩොලර් හිඟය පිළිබඳවයි. ඒ සඳහා රජය නොයෙකුත් තාවකාලික පිළියම් යොදමින් සිටියත් එමගින් සොයා ගන්නා ඩොලර් ප‍්‍රමාණය අපේ අධික විදේශ ණය වගකීම් පියවා ගැනීමට ප‍්‍රමාණවත් නොවනු ඇති බව මේ ලියුම්කරුගේ පසුගිය සතියේ ලිපියෙන් ද පෙන්වා දී ඇත. ඒ නිසා මේ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටිකාලීන පිළියම් මෙන්ම දිගුකාලීන පිළියම් ද අවශ්‍ය වේ. එහිදී විදේශ විනිමය රටට අලූතින් ලබා ගැනීමට මෙන්ම අපේ රටින් දැනට සිදු වන විදේශ විනිමය පිට වීම අවම කර ගැනීමට ද ක‍්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. ඒ අනුව භාණ්ඩ රැසකට සියයට සියයක ආන්තික තැන්පතු අවශ්‍යතාවක් පනවා ඇත්තේ එම භාණ්ඩ ආනයනය අවම කර ගැනීමටය. එම භාණ්ඩ කිසිවක් ආනයනය කිරීම තහනම් කර නැත. අවශ්‍ය අයට ඒවා ආනයනය කිරීමේ හැකියාව තිබේ. එහෙත් සාමාන්‍යයෙන් කිසිදු ආනයනකරුවකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා සියයට සියයක් බැංකුවල මුදල් තැන්පත් කරන්නේ නැත. එහෙත් මේ නියමය සමග මේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නම් එසේ මුදල් තැන්පත් කිරීමට සිදු වේ. මේ අවශ්‍යතාව නිසා මේ භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සීමා වනු ඇති අතර ඒ සමග රටින් පිටවන විදේශ විනිමය ප‍්‍රමාණය තවදුරටත් සීමා වනු ඇත. රට මුහුණ දී සිටින මේ අමාරු කාලයේ දී මෙවැනි ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදු වන බව අපට පිළිගැනීමට සිදු වේ. අප සියලූ දෙනාම එක්ව මේ විපතට මුහුණ දිය යුතුය. ඒ සඳහා සමාජයේ සියලූ දෙනාම ඉහළ සිට පහළට විශාල කැපකිරීම් කිරීමට සිදුවනු ඇත. එහෙත් අප නම් සිතන්නේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මේ කොරෝනා වසංගතය හමුවේ ගිය වසරේ (2020) මාර්තු මාසයේ සිටම විශාල කැප කිරීම් කරමින් සිටින බව කිව යුතුය. එහෙත් රට කරවන අය ද මේ සඳහා මීට වඩා කැපවීම් කිරීම අවශ්‍ය බව සිහිපත් කළ යුතු වේ.

මේ අතර පසුගිය කාලය පුරාවට ඩොලරයේ සැබෑ රුපියල් අගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් දක්නට ලැබිණි. එනම් මහ බැංකුව පවසනවාට වඩා බෙහෙවින් ඉහළ මිලකට ප‍්‍රධාන පෙළේ වාණිජ බැංකු විසින් ඩොලරයක අගය ප‍්‍රකාශයට පත් කර තිබිණි. ඇතැම් විට පසුගිය දිනවල බැංකුවල ඩොලර් විකිණුම් අගය රු.226 ටත් වඩා ඉහළ අගයක් ගත්තේය. එහෙත් මහ බැංකුව සිදු කළ දැනුම් දීමක් මත හදිසියේම බැංකුවල ඩොලර් අනුපාතය ද 203 දක්වා අඩුකර තිබේ. මේ අනුව රාජ්‍ය හා පෞද්ගලික සියලූ වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී රු. 203.00 ක විකුණුම් මිලකට එක්සත් ජනපද ඩොලරය ස්ථාවර අගයකට පත් කර තිබීම විශේෂත්වයකි. එහෙත් මේ නිසා බැංකුවේ ඩොලර් අනුපාතය රු. 203 ට තිබුණත් දැන් බැංකුවලින් ඩොලර් ඒ මිලට ගැනීමට නොහැකි බව බොහෝ දෙනෙක් අපට පෙන්වා දෙති. අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතව සිටින දරුවන්ට පවා මුදල් යැවීමට නොහැකි වී ඇතැයි ඇතැම් දෙමව්පියෝ පවසති. මේ නිසා මහ බැංකුව කළේ ඩොලර් වෙළෙඳාම කළු කඩයටම තල්ලූ කිරීම ද? මේ නිසා මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට කළ දැනුම්දීම නිසා ඩොලර් අලෙවිය ගැන මතුව ඇති ගැටලූ ගැනද අවධානය යොමු කර පිළියම් යෙදිය යුතු වේ. මේ රජය බලයට පත්වන විට පැවැති ආර්ථික පසුබෑමට අමතරව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොරෝනා මර්දනය සඳහා රජය විසින් ගත් ක‍්‍රියාමාර්ග හමුවේ ආර්ථික කටයුතු බලවත් ලෙස අඩපණ විය. මේ නිසා 2020 දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සියයට 3.6 ක සංකෝචනයක් වාර්තා කළේය. එය නිදහසෙන් පසු මේ දක්වා අපේ ආර්ථිකයේ සිදු වූ බලවත්ම ආර්ථික පසුබෑමයි. මේ වසරේ මුලින් සියයට 6ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කළත් පසුව අපට මුහුණ දීමට සිදු වූ කොරෝනා තෙවන සහ සිව්වන රැලි හමුවේ ආර්ථික කටයුතු තවදුරටත් අක‍්‍රීය වූ බව අපි දනිමු.

මේ රජය බලයට පත් වීමෙන් පසු අනපේක්ෂිත ලෙස ලෝකයම වෙළාගත් මේ වසංගත තත්ත්වයට මුහුණ දීමට සිදු විය. එසේම පසුගිය යහපාලන රජය සමයේ දී ආර්ථික වර්ධනය වසරින් වසර ක‍්‍රමයෙන් අඩු වී 2019 වර්ෂයේ දී සියයට 2.3 ක් දක්වා ආර්ථික වර්ධනය පහත වැටී තිබුණි. එසේම පාස්කු ප‍්‍රහාරයෙන් පසු බිඳවැටුණු අපේ සංචාරක කර්මාන්තය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සංචාරක පැමිණීම් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබියදී මෙසේ 2020 වසරේ මාර්තු මාසයේ සිට ශ‍්‍රී ලංකාව ද කොවිඞ් -19 වසංගත තත්ත්වයට ගොදුරු විය. මේ වසංගතය ආර්ථිකයේ සියලූම අංශවලට අඩු වැඩි වශයෙන් බලපෑම් සිදු කළ අතර මින් බලවත් ලෙසම පහර වැදුණේ අපේ සංචාරක කර්මාන්තයටයි. එමගින් අප ලබමින් පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන හතරකට අධික සංචාරක ආදායම අපට අහිමි වී ගියේය. එය අප මුහුණ දෙමින් සිටි විදේශ විනිමය අර්බුදය තවත් උග‍්‍ර තත්ත්වයට පත් කිරීමට ද හේතු විය. ඒ නිසා වසංගත තත්ත්වය සමනය කර ගැනීමත් සමග සෞඛ්‍ය උපදෙස් ද සමග අපේ සංචාරක කර්මාන්තය වේගයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමේ උපායමාර්ගවලට අප වහාම යොමු විය යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment