විදුහල්පතිවරයෙකුට හා හෙඳ නිලධාරිනියකට දාව රත්නපුර දිස්ත්‍රික්කයේ උපත ලබා කළුතර දිස්ත්‍රික්කයේ සුන්දර ගම්මානයක් වූ රැටියල හැදී වැඩුණු චූලානන්ද සමරනායක කොබවක ශ්‍රී සිදුහත් කනිෂ්ඨ විද්‍යාලයෙන් හා හොරණ තක්ෂිලා මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

විශ්වවිද්‍යාල ජීවිතය තුළ ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනයකු බවට පත් වන චූලානන්ද සමරනායකයන් ශිෂ්‍ය දේශපාලනය හේතුවෙන් තුන් වරක් සිරගත වූ අතර තෙවැනි සිර ගත වීම චූලානන්දයන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් විය. සාහිත්‍යම වටපිටාවක හැදී වැඩුණු ඔහු ශිෂ්‍ය දේශපාලනයේ නියුතු කාලයේ සටන්පාඨ, කවි, ගී, නිසඳැස් නිර්මාණකරණයේ යෙදිණි. හෙතෙම තෙවන සිරගත වීමෙන් පසු විධිමත් ලෙස ලේඛන ජීවිතයට ඇතුල් විය.

ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායකයන් කලාව සාහිත්‍ය හා දේශපාලනය ගැන කියන කතාව මෙබඳුය.

● සාහිත්‍ය වැනි සාරවත් විෂයකට අපේ රටේ මේ වනවිට ලැබී තිබුණ තැන ගැන ඔබගේ අදහස මොකක්ද?

සාහිත්‍ය වගේ විෂයකට අපේ රටේ ලැබිලා තියෙන තැන කුණු කූඩෙනුත් පහලට කියලා කිව්වොත් මං හරි. මොකද ජේ.ආර්.ජයවර්ධන වරක කියනවා සාහිත්‍ය කන්නද කියලා. එයා ඒ කියන එකේ ලොකු අර්ථයක් තියනවා. ඒ කියන්නේ සාහිත්‍යකරුවෙක්ට මේ රටේ සාහිත්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. පාලකයෙක් විදියට එයාට කරන්න තිබුණෙ සාහිත්‍යකරුවෙක්ටත් ජීවත් වෙන්න පුළුවන් විදියේ සමාජයක් හදන එක. ඒත් ඒ වෙනුවට එයා කරේ මහ මජර, කොල්ලකාරී, කුණු ආර්ථිකයක් මේ රටට හදපු එක. එදා ඉඳන් අද වෙනකන් කවුරු මොන සුරංගනා කතා කිව්වත් වර්තමානයේ පාලකයා වෙනතුරුම ඒ කොල්ලකාරී ආර්ථික ක්‍රමය පවත්වාගෙන යනවා මිසක් වෙන දෙයක් නෑ. අද ඒකෙ ප්‍රතිඵලයක් විදියට පාසල්වලින් සාහිත්‍යය අයින් වෙලා, විශ්වවිද්‍යාලවලින් සාහිත්‍ය අයින් වෙලා, මිනිස්සුන්ගේ ජීවිතවලින් සාහිත්‍ය අයින් වෙලා. දෙදාස් පන්සීයක ඉතිහාසයක් තිබ්බය, සීගිරි ගලෙත් කවි ලිව්වය සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් තිබ්බය කියලා කිව්වට ලංකාවේ සාහිත්‍යයට ඇලුම් කරන පිරිස සීග්‍රයෙන් අඩු වෙමින් යනවා. සාහිත්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුළු කර ගැනීම හිතාමතාම වළක්වන වැඩපිළිවෙළක් යනවා. ඒ නිසා මේ වෙද්දි ලංකාවේ සාහිත්‍ය කියන්නේ ඇඟේ ඇම්මට උණට මේ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕන කියලා වැඩ කරන මිනිස්සු සමූහයකගේ මහන්සියක ප්‍රතිඵලයක් විතරයි. රාජ්‍ය මට්ටමෙන් කොච්චර කියෙව්වත් වෙන මොකුත් නෙමෙයි වෙනදට BMICH තියන රාජ්‍ය සාහිත්‍ය උළෙල සල්ලි නෑ කියලා ගියපාර තිබුණෙ ටවර්හෝල් එකේ. නාට්‍ය කලාව, සාහිත්‍ය, සිනමාව මේ සියලු දේවල් තියෙන්නේ කුණු කූඩේ නෙමේ කුණු කූඩෙනුත් පල්ලෙහා කියලා තමා මට නම් කියන්න තියෙන්නේ.

● සාහිත්‍ය කුණු කූඩෙනුත් පහළට යද්දී ලේඛකයාට මොකද වෙන්නේ?

ලේඛකයා කියලා කියන්නේ තවදුරටත් මේ රටේ වැදගත් පුරවැසියෙක් නෙමෙයි. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, ඩබ්ලිව්.ඒ. සිල්වා වගේ වෘත්තිය ලේඛකයෝ හිටියා අපිට. නමුත් මෑත කාලීනව කෙනෙකුට වෘත්තීමය වශයෙන් ලේඛනයේ රැදී සිටින්න ඉඩකඩක් නෑ. ඉතාම සීමිත පිරිසක් විතරයි එහෙම ඉන්නේ. ලේඛන කලාවෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තවදුරටත් මේ රටේ ඉතුරු කරලා නෑ. මොකද මේ වෙද්දි නම් විශේෂයෙන්ම කෘතියක් පළ කරන්න තියෙන ප්‍රශ්න, කඩදාසි ප්‍රශ්න, මුද්‍රණ ප්‍රශ්න, වැට් ප්‍රශ්න මේ සියල්ලම හරහා මිනිසුන්ගේ අවශ්‍යතා ධූරාවලියේ පහළම එකටත් අඩි දහයක් විතර පහළින් තමා පොතක් කියවීම කියන එක තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වෙද්දි සාහිත්‍යකරුවා කියන කෙනාට පූර්ණ කාලීනව සාහිත්‍යයෙන් පමණක්ම තවදුරටත් පවතින්න බැරි ආර්ථික රටාවක් නිර්මාණය වී තියෙනවා. මේක ඇතුලේ සාහිත්‍යකරුවා කියන පුද්ගලය ඉන්නේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක.

● ඒ කියන්නේ ප්‍රකාශන කලාවටත් අනාගතයක් නෑ

ඔව්, දැන් මේ වෙද්දි තියෙන බරපතළම ප්‍රශ්නය තමයි කෘතියක් මිලදී ගැනීමට තියෙන ගැටලුව. ඉස්සර රුපියල් දෙසීයට විකුණපු පොත් දැන් රුපියල් අටසීයක් විතර වෙනවා. පන්සීයේ පොත එක්දාස් පන්සීයක් විතර වෙනවා. ගැනුම්කරුවෙක් විදියට මමත් පොත් ගන්න ගියාම දහ සැරයක් විතර තෝරනවා. ඉතින් ඒකත් එක්ක ලංකාවේ මේ වෙද්දි ඇත්තටම පොත් අලෙවිය සීග්‍රයෙන් පහළ වැටිලා තියෙනවා. ළඟදී ආර්ථිකය දියුණු වෙනවා දියුණුවෙනවා කියලා පාලකයෝ කිව්වට එහෙම දියුණු වෙන ආර්ථිකයක ලකුණක්වත් අපිට දකින්න පුළුවන්කමක් නෑ. අනිත් පැත්තෙන් කියවීමේ රුචිය ගැන හිතනවට වඩා මිනිස්සුන්ට රටලූනු ගෙඩිය ගන්නේ කොහොමද කියලා හිතන්න වෙලා තියෙනවා. දැන් මිනිස්සුන්ගේ දෛනික අවශ්‍යතාවය ඇතුලෙ තියෙන්නේ පොතක් කියවනවද, පත්තරය කියවනවද, නිව්ස් බලනවද කියන එක නෙමෙයි. මිනිස්සුන්ගේ විකල්ප තියෙන්නේ දාන්නේ රට ලූනු ද ලීක්ස් ගහක්ද කියන එක. මිරිස් කරලක් දාපු හොද්දට මිරිස් කරලක් දානවද මිරිස් නැට්ට දානවද කියන එක. ඇත්තම කතන්දරේ ඒකනේ. වේල් තුනක් කාපු අපි වේල් දෙකක් කනවද. ඉතින් එතනට ආපු මිනිස්සුන්ගෙන් සාහිත්‍ය දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඉන්නේ නරකම තැනක. මං හිතන් නැහැ ඉදිරි අනාගතය එතරම් සුබවාදී වෙයි කියලා. හැබැයි ඒ වුණාට අපි ලියනවා. නොවරදවාම අපි ලියනවා. ඒක අපේ සටන.

● නව නිර්මාණ පාඨකයා කරා ගෙන යෑමට වර්තමානයේ විචාරකයන්ගෙන් ලැබෙන දායකත්වය කොහොමද?

මෙහෙමයි විචාරය කියන එකේ මං දකින දෙපාර්ශ්වයක් තියනවා. විචාරකයෝ දෙවර්ගයක් ඕනෑ. එකක් තමයි පාඨකයා සහ කෘතිය අතර සම්බන්ධතාවයක් හදන්න පාඨකයාට එය පහසු කාර්යක් කරන්න අතරමැදි කාර්ය කරන කෙනා. අනෙක විධිමත් සාහිත්‍ය විචාරයක් අපිට තියෙන්න ඕන. ඒක ශාස්ත්‍රීය මට්ටමෙන් එන්න ඕන දෙයක්. විශ්වවිද්‍යාල මට්ටමෙන් සහ විචාර කලාව හදාරපු ඒ පිළිබඳ සබුද්ධික විචාරකයන් පිරිසක් අපිට ඉන්න ඕන. අපිට එහෙම අය හිටියා කාලයක්. උදාහරණයක් විදියට සුචරිත ගම්ලත් ඒකට මැදිහත් වෙලා කටයුතු කළා. පසුකාලීනව පශ්චාත් නූතනවාදය එක්ක ඒ සම්ප්‍රදායන් ඇතුළේ ඉඳගෙන සාහිත්‍ය විචාර යම් ප්‍රමාණයක් ආවා. නමුත් අද වන විට ලංකාවේ සාහිත්‍ය විචාර තියෙන්නේ අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් මට්ටමක නෙමෙයි. සාහිත්‍ය විචාරය පිළිබඳ විධිමත් හැදෑරීමක් ලබා ගන්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැකියාවකුත් නෑ. ඉන් බාහිරව සීමිත පිරිසක් වැඩ කරමින් ඉන්නවා. නමුත් සාහිත්‍ය විචාරය කියන එක ප්‍රමාණවත් මට්ටමක සිදු වෙනවා කියලා මං හිතන්නේ නෑ.

● චිංගීස් අයිත්මාතව් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඔබ. අපේ රටේ පරිවර්තන සාහිත්‍ය කෙරෙහි ඔබ තෘප්තිමත්ද? චෝදනාවක් එල්ල වෙනවා ආකර්ෂණීය බව හා ජනප්‍රියත්වය හේතුවෙන් ගුණාත්මකබවින් පිරිහුණු පරිවර්තන බහුලයි කියලා. ඒ ගැන මොකක්ද කියන්න පුළුවන්?

මම නම් තාමත් සලකන්නේ මම ආධුනික පරිවර්තකයෙක් විධියට. මොකද මේක හැමදාම ඉගෙන ගත යුතු කලාවක්. අපිට උත්තේජන සපයපු පරිවර්තකයෝ තමා එදිරිවීර සරච්චන්ද්‍රගෙන් පටන් ගත්තම කේ.ජී. කරුණාතිලක, සිරිල් සී. පෙරේරා, දැදිගම වී. රුද්‍රිගු, පියසේන මානෙල්ගම, පද්ම හර්ෂ කුරණගේ, ආනන්ද අමරසිරි වගේ අය. මුලින් අපට ආවේ සම්භාව්‍ය සාහිත්‍ය විතරයි. රුසියානු, ප්‍රංශ, ඉංග්‍රීසි, ඉන්දීය සම්භාව්‍ය කෘති ආවා. ඒ වගේම සෝවියට් දේශයේ නැගීමත් එක්ක රුසියානු සහ සෝවියට් සාහිත්‍ය අපිට එන්න පටන් ගන්නවා. ඒකෙදි දැවැන්තම වැඩ කොටස කරපු කෙනා තමයි දැදිගම වී. රුද්‍රිගූ. මේ සෝවියට් සාහිත්‍යටත්, සම්භාව්‍ය ඉංග්‍රීසි, ප්‍රංශ සාහිත්‍යටත් යොමු වෙලා හිටපු අපි එතනින් එළියට ගන්නේ ගාමිණී වියන්ගොඩ. රාග රිද්ම කෘතිය පරිවර්තනයෙන් තමයි එයා ඒක පටන් ගන්නේ. ඒත් එක්කම අපේ කියවීමේ රුචියත් වෙනස් වෙනවා. අනිත් දේ තමයි පරිවර්තන සාහිත්‍යට හැමදාම ලංකාවේ පාඨකයා ඇලුම් කළා. මොකද මේ අපේ දූපත් සාහිත්‍යයෙන් එළියේ විශාල කලාපයක් ආවරණය කරපු විවිධ අත්දැකීම් තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් මනුෂ්‍ය ආදරය, ලිංගිකත්වය වගේ තේමාවල් අපේ රටේ කතා කරද්දි හැම තිස්සෙම අර ආගමික කෝව ඇතුළේ ඉඳගෙන හිරවෙලා තමයි කතා කළේ. එතනින් එළියට පනින්න දරපු උත්සාහයන් ඉතාම අල්පයි. හැබැයි ලෝක සාහිත්‍යයේදී මේවා මේ සියලු සීමා මායිම් කඩාගෙන යන සාහිත්‍යයක් තිබුණා. ඒ නිසා ඒකට අපි ආකර්ෂණය වුණා. පුළුල් ලෝකය හොයන් යන්න ඉඩ තිබූ නිසා අපිත් ආකර්ෂණය වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට පරිවර්තන සාහිත්‍යය ජනප්‍රිය වුණා. ඒකට වෙළෙඳපොළක් හැදුනා. ඒ වෙළෙඳපොළ නිර්මාණයත් සමග විශාල පිරිසක් පරිවර්තකයෝ ලෙස පෙරට ආවා. එක පැත්තකින් එය හොඳ දෙයක්. ඒ හොඳ එක්කම නරක දෙයක් තියනවා. ලෝක විශ්ව සාහිත්‍ය ගත්තම ගේන්න තියෙන වටිනාම දේ තියෙද්දි අපි සමහර වෙලාවට පුද්ගලික කැමැත්ත මත වටිනා නැති දේවලුත් ගේනවා. මේ පොත හොඳයි, මේ පොතට මං කැමති, මං මේ පොතේ රසයක් වින්දා, මේක මාකට් වෙනවා, වගේ කතා අපි හදාගන්නවා. ඒ විතරක් නෙවෙයි, බෙස්ට් සෙලින් ලිස්ට් එකේ තියන පොතක් පරිවර්ථනය කරන්න යොමු වෙනවා. අනිත් පැත්තෙන් සමහර ප්‍රකාශකයෝ පොත් තෝරලා ඒවා පරිවර්තකයන්ට දීලා මේක පරිවර්තනය කරන්න කියලා කුලී වැඩ ක්‍රමයට ඔයා මේක කළොත් ඔයාට මෙච්චරක් දෙනවා කියලා කරන පරිවර්තන සම්ප්‍රදායකුත් හැදිලා තියනවා. පරිවර්තක කාර්ය කියලා කියන්නේ නිර්මාණශීලී කාර්යයක්. පරිවර්තකයට තියෙන්න ඕන තමන්ගේ ස්වීය වූ අදහසක්. ඇයි මම පරිවර්තනයක් කරන්නේ. ඒක දේශපාලනමය වැඩක් ද? එතකොට ඒ තෝරාගැනීමේ ඉඳලා ඒ කෘතියේ අවසානය දක්වාම පරිවර්තකයා නිදහස්, එවිට තමන්ගේම මතයක් තියෙන පුද්ගලයෙක් සකස් වෙනව. එහෙම නැතුව එයා කාගෙවත් ඉල්ලීම මත පරිවර්තනය කරන කුලීකාරයෙක් වෙනවා කියලා කියන්නේ අර ගූගල් ට්‍රාන්ස්ලේටර් වගේ මැෂිමක් වෙනවා කියන එක. තාක්ෂණයත් එක්ක ඊළඟට තියෙන අනිත් අවාසනාව තමයි මේ වන විට ඇතැම් පරිවර්තන තාක්ෂණික මෙවලම් හරහා කරලා පොඩි සංස්කරණ කෑල්ලක් ඇතුළෙන් එළියට දාන ප්‍රවණතාවයකුත් හැදීගෙන යනවා. හැබැයි සාහිත්‍ය පරිවර්තනය කියලා කියන්නේ එහෙම තාක්ෂණික මෙවලම්වලට වහල් වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිර්මාණශීලී කාර්යයක්. ඒක නිසා මං හිතනවා ඒ ප්‍රශ්නේ දැනට තියෙනවා කියලා. ඒකත් එක්ක ඉදිරියේදී විශාල පරිවර්තන තොගයක් එනවත් එක්කම එකම කෘතියේ පරිවර්තන කිහිපයක් ආවොත් පාඨකයාට මේක සංසන්දනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. එවිට මේ නරක ඇතුළේ එක හොඳක් වෙනවා. පාඨකයාට යම් තෝරාගැනීමක් තියෙනවා සහ පාඨකයාට යම් අදහසක් ඇතිවෙනවා පරිවර්තන කලාව තියෙන්නේ කොතනද, මේක දියුණු ද නැද්ද සහ මේකෙ තියෙන අඩුපාඩු මොනවද කියන එක පිළිබඳව. ඒ නිසා මං හිතනවා අර හරසුන් පරිවර්තන එන එකේ ප්‍රශ්නයක් තිබුණත්, තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණත් බහුලව පරිවර්තන එන එක ඇතුළේ පාඨකයා ඉදිරියේදි තමන් කියවිය යුතු කෘතිය කුමක්ද යන්න පිළිබඳව තෝරන්න පටන් ගනීවි සහ තීරණය කරන්න පටන් ගනීවි කියලා. අන්න ඒක ඇතුළෙදි මේක ආපහු හොඳ පැත්තකට හරව ගන්න පරිවර්තකයො විදියට අපිට මැදිහත් වෙන්න පුළුවන් වේවි.

● වර්තමානයේ පවතින තාක්ෂණික දියුණුව, අධ්‍යාපනයේ තරගකාරීත්වය සහ රට තුළ පවත්නා ආර්ථිකය සමග නූතන පරපුර සාහිතයෙන් ඈත්වෙනවා. ඒ තත්ත්වය කළමනාකරණය කළ යුත්තේ කෙලෙසද?

ඒකට පළමුවෙන්ම රටේ අධ්‍යාපන ක්‍රමයේ විශාල සංශෝධනයක් විය යුතුයි. අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙනස් වෙන්න ඕනෑ. මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි හදන්නේ එක්තරා විදියකට සූරා කෑම මත යොමු වෙච්ච, කර්මාන්තවලට අවශ්‍ය වහල්ලු ටිකක් නිර්මාණය කිරීමයි. අපි හිතනවා වෛද්‍යවරයා බොහොම නිවහල් කියලා. වෛද්‍යවරයා කියලා කියන්නෙත් නූතන ආර්ථිකය ඇතුළෙ වහලෙක්. ඒ වහලාට එයාගේ පැවැත්මක් නෑ. පහුහිය දවස්වල තිස් පන්දහසක් දෙනා කෑ ගැහුවා. ඉන් පැහැදිළි වෙනවා වෛද්‍ය වෘත්තීය වගේම වෛද්‍යවරයා මුළුමනින්ම ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කෙනෙක් බව. එසේනම් එයා තමන්ගේ රාජකාරී පැය ගාණ අවසන් වූ පසු ගෙදර ගොස් පොතක් පතක් කියවලා, චිත්‍රපටියක් බලලා ජීවත් වෙන්න ඕනෙ. හැබැයි දැන් ඒ වහලා කොහෙද ජීවත් වෙන්නේ. එයා දුවන්නේ කොහේ හරි පෞද්ගලික රෝහලකට නැවතත් යන්න. උදේත් චැනල් කරනවා. හවසත් චැනල් කරනවා, රෑ දොලහටත් චැනල් කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ඒ ජීවන පැවැත්ම තහවුරු කර ගන්න මුදල් සොයා යන මානසික වහලෙක් බවට පත්ව තිබෙනවා. වෛද්‍යවරු එසේ නම් සාමාන්‍ය කම්කරුවා ගැන කුමන කතාද. මිනිසුන්ගේ ජීවිත තියෙන්නේ එදිනෙදා වේල හොයා ගැනීමේ මාරාන්තික තරගයක් ඇතුළේ. ඒ මාරාන්තික තරගයට යොමු වෙච්ච පුද්ගලයාට සාහිත්‍ය කලාවට යොමු වෙන්න බැහැ. ඉතින් ඒක නිසා පළමුව සමාජය සුවපත් කරන්න ඕනෑ. ඒ වගේම කියවීමේ රුචිය ඇති කරන්න අධ්‍යාපන ක්‍රමයේදී පාසල් පද්ධතියේ ගුරුවරුන් මැදිහත් කරගෙන කුඩා කල ඉඳලම දරුවන්ට කියවීම, ලිවීම හුරු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. අවාසනාවට විභාග මානසිකත්වය මත නියම වෙච්ච රටක දරුවන්ට ඒ අධ්‍යාපනය ලැබෙන්නෑ. ඊට පෙන්විය හැකි තර්කයක් තමයි ඊයේ පෙරේදත් විශ්වවිද්‍යාලයක කතා කරද්දි මහාචාර්යවරු කිහිප දෙනෙක් අපට කීවේ. ඒ කියපු විදියට දැන් ආට්ස් ෆැකල්ටිවල සාහිත්‍ය වගේ විෂයන් තවදුරටත් පවත්වාගෙන යෑමට බැරි තත්ත්වයක් ඇවිත්. දරුවන්ට කිසිදු දිරිගැන්වීමක් නැහැ. මේවා පවත්වාගෙන යෑමට අපහසු තත්ත්වයක් දැනටම උද්ගත වෙලා. මගේ යෝජනාව කලා විෂය ධාරාව හදාරන අයටත් වෘත්තීය අභිමුඛ අධ්‍යාපනයක් දෙන්න අවශ්‍යයි කියන එකයි. ඒ එක්කම කලා, විද්‍යා, වාණිජ, තාක්ෂණ මේ සියලු විෂය ධාරාවන්ට සාහිත්‍ය හා කලාව විෂයක් බවට පත් කරන්න අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි. එය උපාධි සහතිකයට අමුණන්න ඕන විෂයක් නොවුණට කමක් නෑ හැබැයි අනිවාර්යෙන්ම හැදෑරිය යුතු විෂයක් කරන්න. ඒ හරහා පාසලේ ඉඳලාම මේ දේ කරගෙන ආවොත් අපිට සාහිත්‍ය ලැදි මනුෂ්‍ය කොට්ඨාසයක් හදාගන්න පුළුවන්.

නාට්‍ය, සිනමාව, සාහිත්‍යය කුණු කූඩෙනුත් පහළට

● සාහිත්‍ය කියලා කියන්නේ පරපුරක් වෙනස් කරන්න පුළුවන් ප්‍රබල අවියක්. දේශපාලනයෙන් තොර සාහිත්‍යයක් නෑ. ඉතින් සාහිත්‍ය තුළින් රටක දේශපාලනය සහ අනාගතය ගොඩනැගීම සඳහා විශාල දායකත්වයක් ලැබෙනවා ඒ ගැන මොකද හිතන්නේ?

ඇත්තටම සාහිත්‍යයට කරන්න පුළුවන් දේවල් විශාලයි. උදාහරණයක් විදිහට සෝවියට් විප්ලවය වගේ දෙයක් ගත්තහම ඒකට පසුබිම් වුණේ රුසියාවේ තිබ්බ දැවැන්ත සාහිත්‍යය. ඒ කියන්නෙ විප්ලවයට කලින් හිටපු ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ඉඳලා මැක්සිම් ගෝර්කි දක්වාම විප්ලවයට පෙර හිටපු පරම්පරාව කරපු නිර්මාණ. ඒ කියන්නේ නිර්මාණවලින් කිව්වේ නෑ මිනිස්සුන්ට ගිහිල්ලා කැරලි ගහපල්ලා කියලා. නමුත් ඒ සමාජ ක්‍රමය අපිට ගැලපෙන සමාජ ක්‍රමයක් නෙමෙයි කියන අදහස මිනිස්සු තුළ කාවද්දන්න සාහිත්‍යකරුවන්ට පුළුවන් වුණා. ඒ වගේම ලෝකය යුද්ධවලට පැටලෙනකොට ඒ යුද්ධයට එරෙහිව විශාල යුද විරෝධී සාහිත්‍යයක් ගොඩනැගෙනවා. මේ සාහිත්‍ය අපිට පැහැදිලිව නොපෙනුනාට මිනිසුන් තුළ තිබෙන යුදකාමය නිවා දමන්න විශාල වශයෙන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ඉතාම බරපතළ අර්බුදයන්ට පවා පත්වෙච්ච අවස්ථාවන්වලදී මෙම නිර්මාණ සාහිත්‍ය කියන එක මිනිස්සුන්ට නැවත ජීවිතය පසුපස හඹා යන්න ආශාව ඇති කරල තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ සාහිත්‍ය කියන එකට විශාල වගකීමක් සහ වැඩ කොටසක් තියෙනවා. ඒක අවලංගු වෙලා නම් නැහැ. මොකද සාහිත්‍ය කියල කියන්නේ දේශපාලනික කාර්යයක්. ඒක කිසිසේත්ම බැහැර කරන්න බැහැ. දේශපාලනය කියන විෂය අපගේ ඇඟවල් තුළ තියෙනවා. කවුරුහරි කියනව නම් මම කිසිම දේශපාලනයකට නැහැ කියලා ඒකත් දේශපාලනිකයි. ඒ කියන්නේ ඇඟ බේරා ගැනීමේ දේශපාලනය. ඒ කියන්නේ පක්ෂ දේශපාලනය එකක්. දේශපාලනය කියන්නේ තව එකක්. මිනිස්සු දේශපාලනික සත්වයොනේ. ඉතින් එතකොට සාහිත්‍ය කියන එක දේශපාලනිකයි. උදාහරණයක් විදිහට ගතහොත් යුද්ධය වෙලාවෙදි යුද්ධය වර්ණනා කරන සාහිත්‍යයක් ගොඩනැගුණා. එයත් දේශපාලනිකයි. ඒ හරහා අපි යුදකාමයෙන් මත්වෙච්ච මිනිස්සු පිරිසක් හදන්න උත්සාහ කරනවා. ඒ අතරෙදි තව සාහිත්‍යකරුවෝ කණ්ඩායමක් මනුෂ්‍යත්වය මිස මූනිස්සම වැදගත් නැති බවට නිර්මාණ ඉදිරිපත් කළා. ඒ අතරේ මිනිසුන්ගේ ජීවිත වැදගත් කියන සාහිත්‍යකරුවෝ පිරිසකුත් ඉන්නවා. ඒ සියල්ල දේශපාලනිකයි.

● රටට හොඳ දේශපාලනික වටපිටාවක් ගොඩනඟන්නට සාහිත්‍යයෙන් කරන බලපෑම මොන වගේද?

සාහිත්‍යයේ මූලික කාර්යයන් තමයි සැබෑ මනුෂ්‍යයෙක් හදන එක. තර්කාන්විත මනුස්සයෙක් හදන එක. හැඟීම් සහිත මනුස්සයෙක් හදන එක. මනුස්සකමට ආදරේ කරන, පරිසරයට ආදරේ කරන, අනෙකා ගැන උනන්දු මිනිසෙක් එක. ජීවියෙක් හදන්න සාහිත්‍යයට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒක තමයි සාහිත්‍යයේ කාර්යභාරය.

● නූතන පරපුර සාහිත්‍යයට යොමු කරන්න දේශපාලනිකව කරන්න පුළුවන් මොනවද?

මේ හැම එකක්ම දේශපාලනිකයි. දේශපාලනය කියලා ගත්තොත් අපිට ගන්න වෙන්නේ පක්ෂ දේශපාලනය. එයාලට කරන්න පුළුවන් දෙයක් ඇති කියලා මම හිතන් නැහැ. එයාලට පුළුවන් එයාලට ඕන නම් සාහිත්‍ය වැඩසටහන් වගේ දේවල් හඳුන්වා දෙන්න. ආණ්ඩු සාහිත්‍ය කියන කලාව මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතයට බද්ධ කරන අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕනෑ. අන්න ඒක තමයි සිද්ධවිය යුත්තේ.

● වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික, සමාජයීය, සාරධර්ම හා දේශපාලනික පිරිහීමට හේතුව සාහිත්‍ය මගින් නිවැරදි මග පෙන්වීමක් සිදු නොවීමද?

ඒකත් සැලකිය යුතු ප්‍රමාණයකින් බලපානවා. මොකද ලංකාවේ සාහිත්‍යය තමයි සමබර මනුෂ්‍යයෙක් හදන්න පිහිටවෙන්නේ. නමුත් ඒක පැත්තකට දාලා පහුගිය කාලය පුරාම යුධකාමයෙන්, ආගමික අන්තවාදයෙන්, වර්ගවාදයෙන් පිරිච්ච මිනිස්සු කොට්ඨාසයක් හැදුවා. මේකට පැහැදිලි ලෙසම බලපෑවා රටේ සාහිත්‍ය පරිහානිය. දියුණු සාහිත්‍යයක් අපිට තිබුණ නම් මේවට එරෙහිව කතා කරන, මේවට එරෙහිව නැගී සිටින මිනිස්සුන්ට, මනුෂ්‍යත්වය ඇතිවන සාහිත්‍යය නිර්මාණ වැඩි වශයෙන් බිහිකරන්න ඉඩක් තිබුණා. නමුත් එවැන්නක් සිද්ධ වූයේ නැහැ. වරෙක යුද්ධය වර්ණනා කළා. තව වරෙක ජාතිවාදයට ගීත, කවි ලියන්න පටන් ගත්තා. හැබැයි මෙහෙමයි කියලා ප්‍රමාණාත්මකව නොවුනත් මේ සියලු කාලයන් තුළ සාහිත්‍යකරුවෝ තමන්ගේ වැඩ කොට්ඨාශය සිදුකළා. ප්‍රශ්නය තමයි රටේ පාලකයා ජාතිවාදයට, වර්ගවාදයට, ආගමික අන්තවාදයට උඩගෙඩි දෙන නැත්නම් ඒවා ප්‍රවර්ධනය කරන්නට කටයුතු කරපු එක. ඒවා ඉවසා සිටින මට්ටමක තිබෙනවිට සාහිත්‍ය සහ කලාව හිතාමතාම යටපත් වෙනවා. ඒවාට ව්‍යාපාරත් ගොඩනැගෙනවා. මේ අමාරු අරගලය තමයි ලංකාවේ සාහිත්‍යකරුවෝ හැමදාම කරන්නේ.

● පිරිහුණු රටකට ආයේ නැගිටින්න සාහිත්‍යයට මොනවද කරන්න පුළුවන්?

ඔව් පළමුවෙන්ම ආයෙ අපි දිහා හැරිලා බලන්න ඕනෑ. ඒ කියන්නේ තමන් තමන් දිහා බලන්න ඕනෑ අපිට වැරදුනේ කොතැනද කියල බලන්න ඕනේ. එහෙම වැරදිච්ච තැන් ගණනාවක් තිබෙනවා. එකක් තමයි අපි අධ්‍යාපනයට කර ගත්ත වින්නැහිය. අධ්‍යාපනය වහාම නිවැරදි කරන්න ඕනෑ. දෙවැන්න තමයි රටේ කලාව සාහිත්‍යය පිළිබඳ විශාල සංවාදයක් ඇති කළ යුතු වීම. නිදහසේ නිර්මාණ කරන්න පුළුවන් පසුබිමක් ඇති කළ යුතුයි. දැන් නිර්මාණ තිබෙන්නේ වැළලෙන පසුබිමක. ඔන්ලයින් පනත් අරව මේවා ගෙනල්ලා මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශනයට සීමා පනවනවා. ඒ නිසා පළමුව නිදහස් අදහස් ප්‍රකාශනයට ඉඩකඩ හදන්න ඕනෑ. අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ඊට අමතරව මිනිස්සු අගතියෙන් තොර නිදහස්, නිවහල් දැක්මක් සහිත මිනිස්සු බවට පරිවර්තනය කරන්න පුළුවන් වන සාහිත්‍යය, සමාජ, සංස්කෘතික, දේශපාලනික කථිකාවක් ආරම්භ කරන්න ඕන.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment