ආදරය සොයන අමුතු ක්‍රමයක්…

920

සමාජයේ ජීවත්වන බොහෝ දෙනා විවිධ මානසික ගැටළුවලින්, මානසික පීඩාවන්ගෙන් පෙළෙන බව නොරහසකි. මේ බොහෝ දෙනෙක් සමාජයේදී අතිශය සරල සාමාන්‍ය ජීවිත ගත කරන්නෝ වෙති. ඒ නිසාම ඒ ඒ චරිතවල අඳුරු ස්වභාවය අනෙකෙකුට තේරෙන්නේ නැත. මේ ලිපි මාලාවෙන් සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ එවැනි පුද්ගල චරිතය. එවැනි ගූඨ චරිතවල සැබෑ ස්වභාවය තවකෙකුට වටහාගැනීමට මේ ලිපි පෙළ ඉවහල්වේ යැයි සිතමු.

සුනිමල්ගේ වයස අවුරුදු 28 ක්. ජයාගේ බිරිඳ නිමාශා. මෙයාලා කසාද බැන්දේ අවුරුදු තුනකට විතර කලින්. ඒක ප්‍රේමාන්දරයක්. සුනිමල් හොඳ ස්වාමිපුරුෂයෙක්. නිමාශා ගැනත් ගේදොර ගැනත් සුනිමල් ගොඩාක් හොඳින් හොයල බැලුවා. මේ ආදර කතාව ගොඩාක් ලස්සනට ලියැවුණා.

ඒත් එක දවසක් වැඩ ඇරිලා ගෙදරට ආව සුනිමල්ගේ ඇඳුම් හොඳටම ජරාවෙලා තිබුණා. මුහුණත් තඩිස්සි වෙලා තිබුණා. ඇහැ ගාව නිල් පාටට ඉදිමුණු තැනකුත් තිබුණා. ‘සුනිමල්ව දැක්ක ගමන්ම නිමාශට කෑ ගැහුණා. ‘අනේ දෙයියනේ ඔයාට මේ මොකද වුණේ’ එයා කෑ ගහලා සුනිමල්ගෙන් ඇහුවා. ‘ඔයා කලබල වෙන්න එපා… බස් එක ඇතුළේ පොඩි ගෝරියක් වෙලා මම එකෙකුට ගැහුවා. ඌ මටත් ගැහුවා. එච්චර දෙයක් වුණේ නැහැ. ගණන් ගන්න එපා…’ සුනිමල් අමාරුවෙන් කිව්වා.

මේ කතාව ඉවරවෙලා සුපුරුදු විදියට සුනිමල් ආයෙත් රස්සාවට යන්න පටන් ගත්තා. එක දවසක් හවස හතර හමාරට විතර නිමාශට කෝල් එකක් ආවා. ගොරෝසු කට හඬක්… මම එස්. අයි. පියරත්න. පොලිසියෙන් මහත්තය පොලිසියේ ඉන්නවා. මිස්ට මෙහාට එන්න වෙනවා…’ අනේ මොකද වෙලා තියෙන්නේ නිමාශා හැඟුම්බරව ඇහුවා ‘පොලිසියට එන්න’ එස්. අයි. රිසිවරය තිබ්බා.

නිමාශා තවත් මිතුරියක් එක්ක පොලිසියට ගියා. එහේදී කවදාවත් හිතපු නැති දේවල් ගොන්නක් නිමාශාට අහගන්න ලැබුණා. උසස් පෙළ ඉගෙන ගන්න ගැහැනු ළමයෙක් බස් එකේ යනකොට නරක විදියට ඒ ළමයාගේ ඇඟට හේත්තුවෙලා ලිංගික හිරිහැර කරපු එක තමයි සුනිමල්ට එරෙහිව තිබුණු චෝදනාව… ‘මිස් ඔයා මොනවත් හිතන්න එපා මේ මනුස්සයා මේ විදියට තරුණ ගැහැනු ළමයින්ට මෙහෙම දේවල් කරල තියෙන්නේ අද විතරක් නෙමෙයි. මෙයා ගැන ගොඩාක් තොරතුරු නගරෙත් තියෙනවා’ රිමාන්ඩ් කරල හිටපු සුනිමල් ඇස් දෙකේ කඳුළු පුරෝගෙන නිමාශා දිහා බලාගෙන හිටියා. ‘ඇයි දෙයියනේ ඔයා මෙහෙම දෙයක් කළේ නිමාශා බිඳුනු හඬින් ඇහුවා. සැබැවින්ම සුනිමල්ට වුණේ මොකක්ද? ලෝකයේ වෙසෙන පිරිමින්ගෙන් 30% කටත් වඩා වැඩි පිරිසක් මෙම චර්යාවට ගොදුරුවෙලා ඉන්නවා කියල කිව්වොත් ඔබ පිළිගන්න එකකුත් නැහැ. ඒත් ඇත්ත කතාව ඒකයි. තමන් රුචිකරන තැනැත්තියක තැනැත්තකුගේ කිසියම් ශරීරාංගයක් තෙරපීම, මිරිකීම, ස්පර්ශය තුළින් උපරිම ලිංගික තෘප්තිය ලබා ගැනීම මොවුන් හුරු පුරුදුව සිටිනු අමුතු චර්යාවයි. මෙය එක්තරා ආකාරයක විකෘති සහගත ලිංගික සංතාශයක් ලෙසට නම්කරනු ලබයි. Fotteurism ලෙසටත් ඇතැම් විද්‍යාඥයන් Toucherism ලෙසටත් මෙම චර්යාව විග්‍රහ කරනු ලබයි.

තමන්ගේ ඉලක්කය පිළිබඳව නිරතුරුවම සිහින මවන ඔවුන් (Fantasy) තමන්ට සැබෑ ලෝකයේ පෙනෙන ඉතා ඉක්මනින් ළඟා කරගත හැකි ඉලක්ක වෙත සමීප වෙති. එහෙත් මෙම චර්යාවට ගොදුරු බවට පත්වන්නීය. මේ හැසිරීම පිළිබඳව පිළිකුල හා අප්‍රසාදය බලවත් ලෙස පතල කරන්නේ ඇගේ කැමැත්තට පූර්ණ වශයෙන්ම පටහැනිවය.

බස් රථවල, දුම්රියවල සහ සෙනඟ බොහෝ සෙයින් තදබදව ගැවසෙන අවස්ථාවල දී ඔවුහු තම සිතැඟියාව ඉටුකර ගැනීමට ක්‍රියාත්මක වෙති. මීට පෙර අප සඳහන් කර ඇති විස්තර කර ඇති පැරාපිලිසා වර්ගීකරණයට අයත් වන මෙම ගැටලුකාරී චර්යාව DSM-V Frotteurism ලෙසටත් විග්‍රහව ඇත. තමන්ගේ ලිංගික අවයව තවත් තැනැත්තකු/තැනැත්තියකගේ ස්පර්ශ කිරීමෙන් ලිංගික උත්තේජනයක් ලැබීම මෙයින් අරුත් ගැන්වෙයි. නීතියෙන් මෙම චර්යාව වැරදි සදොස් ක්‍රියාවක් ලෙසටත් අරුත් ගැන්වෙයි.

ආදරය සොයන අමුතු ක්‍රමයක්…

මෙහිම තවත් ප්‍රභේදයක් දැකගත හැකිවෙයි. තමන්ට ආශක්ත වූ තැනැත්තියක දැරියක හෝ කවර හෝ කාන්තාවකගේ පියයුරු, රහස් ප්‍රදේශ හෝ පශ්චාත් ප්‍රදේශ මිරිකා ස්පර්ශ කර පලා යෑමය. මෙය නම් කෙරෙන්නේ Toucherism ලෙසටය. මෙම චර්යාවන් ද්විත්වයම එයට ගොදුරුවන තැනැත්තන් කිසිදු ආකාරයකට තමන් මෙම චර්යාවට යමෙකු ගොදුරු කර ගන්නා බව කිසි විටෙකවත් නොදනිති. නීතියෙන් තහනම් වන චර්යාවක් වන මෙයද බොහෝ විටක අපට අසන්නට දකින්නට ලැබෙන හැසිරීමක් ලෙයට හඳුනාගත හැකිව තිබේ.

ඇමරිකානු මනෝ විද්‍යා සංගමය (APA) ප්‍රකාශ කරන ආකාරයට මෙම චර්යාවන් මානසික ගැටලුවක් නැතහොත් චර්යාමය ගැටලුවක් බවට පත්වීමට යොමුවන කරුණු කිහිපයක් පෙන්වා දී ඇත. මාස හයකට වඩා වැඩි කාලයකට වඩා වැඩි ප්‍රමාණයක ඉහත කී චර්යාවන්ට අනුගත වී ඇත්නම් හෝ මෙම චර්යාවන්ට යොමුවීමට ඇති ප්‍රබල වූ කැමැත්තද සිහිනෙන් මෙම චර්යාවන් බොහෝ මනෝ යනු සමාජ විද්‍යාඥයන්ගේ මතවාදවලට මෙම චර්යාවන් තවමත් ගැඹුරින් විග්‍රහකර නැත. මනෝ විද්‍යාඥවරියක වන Janet Brito මහත්මිය ප්‍රකාශ කරන ආකාරයට පිරිමින්ගෙන් 30% ක් පමණම තමන්ගේ ජීවිතයේ කිනම් අවධියකදී හෝ මෙම චර්යාවන්වලට රහසිගතව යොමුව සිටිති. එහෙත් විවාහයෙන් පසුව හෝ පිය පදවිය ලබා ගත්තාට පසුව නැත්නම් ජීවිතයේ වගකීම් දරන්නට පටන් ගත් පසුව ඔවුන් තමන් බැඳ තබාගෙන ඇති. මේ අසීරු කැමැත්තට අපහසුවෙන් වුව සමුදෙති.

බොහෝ දෙනාගේ මතවාදවලට අනුව උක්ත හැසිරීම් ද්විත්වයට පොදු ජනතාව ඉවසා දරාගෙන සිටින චර්යාවක් නොවේ. මෙය ගනු චර්යාවක් උල්ලංඝනය කිරීමක් ලෙසටත් ලිංගික හිරිහැරයක් (Sexual Harssment) ලෙසටත් විග්‍රහ කෙරේ.

පිරිමි පාර්ශ්වය මෙම චර්යාවට බහුලව යොමුවන බව ප්‍රකටය. අවුරුදු 15-25 ක් අතර වෙසෙන්න වුන් අතර මෙම චර්යාවට අනුගතවීම බහුලව දැකගත හැකිය. මෙම චර්යාවට මෙම වයස් කාණ්ඩයේ තැනැත්තන් යොමු වීමට ප්‍රබලම හේතුවක් ලෙසට බොහෝ දෙනා ඉස්මතු කරන්නේ මෙම කාල පරාසය ලිංගික හැඟීම් සිතුවිලි කුප්පනය කරන යුගයක් වීමය. තවත් මනෝ විද්‍යාඥ මතයක්ව ඇත්තේ ඇතැම් විටක හුදකලාව වෙසෙන කාන්තාවන් අතරද මේ චර්යාව දැකගත හැකි බවය. තමන්ගේ ජීවිතයේ මේ යුගය තුළ තමන්ට ලිංගික තෘප්තියක් නොලැබීම මෙන්ම ලිංගික වශයෙන් සුරක්‍ෂිත බවක් නොමැතිවීම (Insecure) ඔවුන්ට මෙම චර්යාවට යොමුවීමට හේතු සාධකයක් බවට පත්වෙයි.

අපේ මාතෘකාවේදී සඳහන් කර ඇති සුනිමල් මෙන්ම තවත් විශාල ප්‍රමාණයක තරුණයන්, විවාහකයන්, මැදිවියේ තැනැත්තන් මෙම ගැටලුකාරී චර්යාවට අනුගතව වෙසෙන බව රහසක් නොවේ. මෙම චර්යාවෙහි දිගින් දිගටම නියැළීම මානසික හා නීතිමය මෙන්ම පවුල් ජීවිතය සහ සමාජයීය ජීවිතයට බරපතළ ගැටලු එල්ල කරන්නක් බව ඉතා පැහැදිලිය. ඇතැම් විට ගුටි බැට හා ඇතැම් විට දරුණු තුවාලවලට ලක්වීමටද මෙම චර්යාවේ නියැළි තැනැත්තන්ට සිදුවෙයි.

මේ ආකාර වූ විකෘති සහගත චර්යාවට තැනැත්තන් යොමුවීමට හේතුපාදක වන කරුණු මොනවාද යන්නත් විමසා බැලීම වැදගත්ය. බොහෝ මනෝ විද්‍යාඥයන් ප්‍රකාශ කරන පොදු මතවාදයක් වන්නේ ළමා කාලයේදී හට ගන්නා වූ (Childhood Trauma) තත්ත්වයක් මෙම විකෘති සහගත චර්යාවට මූලපාදක වන බවය. ඇතැම් විටක වැඩිහිටියකු විසින් නොමනා ආකාරයට දරුවකුට ලිංගික හිංසනයන් මේ ආකාරයට සිදුකළාට පසුව මෙම දරුවාගේ ජීවිතයට එම සිදුවීම බලපෑම හේතුකොටගෙන තමන් ගොදුරු වූ මෙම හැසිරීම තමන්ද සිදුකරන්නට ඔවුන් යොමුවෙති. තවත් මතවාදයක්ව ඇත්තේ මෙබඳු තැනැත්තන් කුඩා කාලයේදී නිසි ලෙසට මනෝ ලිංගික සංවර්ධනයක් නොලද උදවිය බවය. (Psychosexual Development) බොහෝ අවස්ථාවල තරුණ වියේදී ගැටවර වියේදී දරුවන්ට දැඩි සීමාවල් රැකවල් බැඳ තිබීමද ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශ්වයන් සමගින් කතා කිරීමටවත් ඉඩකඩ අහුරනු දෙමාපියන් ඕනෑ තරම් අපට දැකගත හැකිය. ලිංගික උත්තේජනයන් මෙබඳු රළු සහ නොමේරූ ප්‍රයත්නවලින් නවතා දැමීමට උත්සාහ කිරීමට වඩා කළ යුත්තේ ඔවුන්ට හරවත් හා විධිමත් ලිංගිකත්ව දැනුමක් ලබාදීමය.

කෙසේ වුවත් රහසිගතව හෝ මෙම චර්යාවන්ට අනුගතව සිටින්නන් මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලුවකට (Mental Health Problem) යොමුව සිටින වග ඉතාම පැහැදිලි කාරණයකි. මෙබඳු චර්යාවකට ඔබ නොදැනවත්ම හෝ ඇබ්බැහිගත වීම නිසා හෝ දිගින් දිගටම යොමුවන්නේ නම් කළ යුතු වන්නේ පුහුණුවක් හෝ පළපුරුද්දක් සහිත මනෝ වෛද්‍යවරයකු වෙත යොමුවීමය. ඔවුන් මෙහිදී ප්‍රතිකාරවේදයන් ද්විත්වයකට මෙම චර්යාවෙහි යොමු වූවන්ව යොමුකරනු ඇත. එනම් මනෝ ප්‍රතිකාරවේදය සහ චර්යා ප්‍රතිකාරවේදයයි. මනෝ වෛද්‍යවරයා වෙතට යන මෙම චර්යාවට යොමුවූ තැනැත්තකු වෛද්‍යවරයාට අවංකවම තමන්ගේ ගැටලුව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා තමන්ගේ චර්යාව ආශ්‍රිත වූ ගැටලුකාරීත්වය නිවැරදිව ප්‍රකාශ කිරීම වැදගත්ය. මෙම චර්යාවට ඇබ්බැහිගත වීම බොහෝ ගැටලු ඉස්මතු කරවයි. වරෙක පානදුර-කොටුව දුම්රිය තුළ මෙබඳු හැසිරීමකට යොමුවූ තැනැත්තකු ගමන් කළ මගීන්ගෙන් හොඳ හැටි ගුටි කෑවාට පසුව එතැනට පැමිණි ආරක්‍ෂක අංශවල තැනැත්තන්ට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ මම මේකට ඇබ්බැහිවෙලා. මම එහෙම කරන්න හිතුවේ නැහැ. ඒත් ඉබේම එහෙම සිද්ධ වෙනවා’ යනුවෙනි. මනෝ විද්‍යාත්මක මෙම තත්ත්වය ප්‍රබල ගැටලු ඉස්මතු කරවයි. පාලනයකින් තොරව ඉස්මතු වන හැඟීම් (Feeling Without Control) අනුව ඔවුන් ක්‍රියාත්මක වීම ප්‍රබල සමාජයීය ගැටලු ඉස්මතු කරවයි. ඉදින් බස් රියේ දුම්රියේදී ඔබට ඇසෙන දකින මේ අසම්මත චර්යාව කොතරම් වියවුලක් ඇබ්බැහිකරණයට අත්කර දෙන්නේදැයි වටහා ගැනීමට ඔබට අසීරු නැත.

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
(හිටපු කථිකාචාර්ය)
සමාජවිද්‍යා හා අපරාධ විද්‍යාව
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment