ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී

74

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්විණි. සාම්ප්‍රදායිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රුවන්වැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණු වැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 56 වැනි වරටත් සංවිධානය කර තිබුණි.

රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර ‘කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවා’යි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී

අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිවරයා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහැර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදිණි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය.

සාම්ප්‍රදායිකව ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මීපැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ජනාධිපතිවරයාගේ වයසට සමාන කරලින් පිරි වී කරල් මිටියක් පාරම්පරික වී ගොවි ජනතාව සුරැකීමේ සංවිධානයේ සභාපති චින්තන විලේගොඩ මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.

පළාත් 09ම ආවරණය වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ බීජ වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. 56 වන ජාතික අලුත් සහල් මංගල්‍ය සමරු කලාපයේ ඩිජිටල් මුද්‍රණය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

ලංකාරාම විහාරාධිපති රළපනාවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment