උ/නැ ෆෙඩරල් දෙනවා කියා ඡන්ද ගනුදෙනු කිරීමට අපි සූදානම් නෑ

57

ජාජබ නායක අනුර කුමාර දිසානායක වව්නියා සමුළුවේදී කියයි
මෙච්චර කාලයක් රට ගොඩනගන්න බැරි වුණු එකේ තවදුරටත් පුළුවන් වෙයිද?

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු‍ ජනතාව එක කුඩයක් යටට ගෙනෙන ආණ්ඩුවක් හදමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වව්නියාව දිස්ත්‍රික් සමුළුව අමතමින් කියා සිටියේය. මේ අවුරුද්ද ඉතාමත් තීරණාත්මක අවුරුද්දක්. නව ආණ්ඩුවක් හදන, නව පාලනයක් ගේන අවුරුද්දක් බවට මේ අවුරුද්ද පත්කර ගත හැකියි. වව්නියාව ඉතා වැදගත් දිස්ත්‍රික්කයක්. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. අපි මේ පවත්වන සමුළුව ඉතා වැදගත් සමුළුවක්. මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වෙනවා. අලු‍ත් ආණ්ඩුවක් හදන්න අපිට අවස්ථාවක් ඇවිත් තිබෙනවා. ඒ හදන අලු‍ත් ආණ්ඩුවේ ප්‍රධානම කොටස්කරුවන් වෙන්න එකතු වෙන්න කියලා වව්නියාව දිස්ත්‍රික්කයේ ඔබට ආරාධනා කරන්නයි අපි ආවේ. අපි මේ වැඩේ කරන්න ඕනෑ.

උ/නැ ෆෙඩරල් දෙනවා කියා ඡන්ද ගනුදෙනු කිරීමට අපි සූදානම් නෑ

ඔවුන් ජාතිවාදය ඇති කළා, යුද්ධ ඇති කළා. අපිව බෙදුවා. උතුරෙත් දකුණෙත් කළ හැකි සියලු‍ විනාශකාරී දේවල් සිදුකළා. 1948 නිදහස ලැබුණාට පස්සේ මේ පාලකයන් අපිව එකතු කළාද? 1949 පුරවැසි පනත ගෙනාවා. වතුකරයේ ජනතාවගේ ඡන්ද බලය අහිමි කළා. 1949 චෙල්වනායගම් වෙනම දෙමළ රාජ්‍ය පක්ෂය හැදුවා. වෙන්වෙන්න ඕන කියන්න පටන් ගත්තා. 1956 භාෂා ප්‍රශ්නයක් ඇති කළා. 1958 සිංහල-දෙමළ කෝලාහලයක් ඇති වුණා. 1965 “ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” කියලා පෙළපාලි ගියා. 1976 වඩුක්කොඩවෛයිවල සම්මේලනයක් තියලා, වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය ගැන දෙමළ නායකයන් කියන්න පටන් ගත්තා. 1981දි යාපනයේ පුස්තකාලය ගිනි තැබුවා. 1983දි කොළඹ දෙවන හරස් වීදිය, හතරවෙනි හරස් වීදිය ගිනි තැබුවා. 1983න් පස්සේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇති වුණා. 2009 යුද්ධය අවසන් වුණා. 2015 වෙනකොට වඳ කොත්තු ඇතිවෙන්න පටන් ගත්තා. 2017 වන විට වඳ ඇඳුම් එන්න පටන් ගත්තා. 2019 පාස්කු ප්‍රහාරයක් සිදුවුණා. නිදහසෙන් පස්සේ හැමදාම සිංහල-දෙමළ ජනතාව තරහා වෙනවා. සිංහල- මුස්ලිම් ජනතාව තරහා වෙනවා. එකිනෙකා අතර ගැටුම් ඇති කරවනවා.

ලෝකයේ දියුණු වෙන කිසිදු රටක් මෙවැනි ජාතිවාදී ගැටුම් මධ්‍යයේ දියුණු වෙනවාද? අපට වඩා ප්‍රාදේශීය බෙදීම් තිබෙන ඉන්දියාව බලන්න. විවිධ භාෂාවන්, විවිධ ආගම්, විවිධ සංස්කෘතීන් තිබියදී අබ්දුල් කලාම් ජනාධිපති වෙනවා. සික් ජාතිකයෙක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙනවා. අද කුල හීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති වෙලා තිබෙනවා. ඉන්දියානු කොඩිය යටතේ සියලු‍ ඉන්දියානු ජනතාව එකතු කරන්න ඒ ගොල්ලන්ට පුළුවන් වුණා. අපි වෛරය, වපුරලා, සැකය ඇති කර තිබෙනවා. යුද්ධ ඇති කර තිබෙනවා. මරාගෙන මැරිලා තිබෙනවා. මේ එකක්වත් සිංහල සහ දෙමළ ජනතාව අතර තිබූ ප්‍රශ්නද?

අපි සමගියෙන් සිටි ජාතියක්. සිංහල-දෙමළ අය අතර කවදාවත් ජාතිවාදය තිබුණේ නැහැ. ජාතිවාදය ඇති කළේ දේශපාලකයන්. ඔවුන්ගේ එකම පැවැත්ම වුණේ ජාතිවාදය. ඔවුන්ගේ දේශපාලනය බෙදීම. අපේ රටට අලු‍ත් දේශපාලනයක් අවශ්‍යයි. මේ රට ඉස්සරහට ගෙනයන දේශපාලනයක් අවශ්‍යයි. ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලද සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමගිය නිර්මාණය කරන ආණ්ඩුවක් අපට ඕනෑ. අපි ගහගත්තා, යුද්ධ කර ගත්තා. අපේ දරුවොත් ගහගන්න, යුද්ධ කරන්න ඕනෙද? ඒක වළක්වන්න ඕනෑ.

දකුණේ සිංහල ජනතාව, උතුරේ දෙමළ ජනතාව, කඳුකරයේ ජීවත් වෙන ජන ප්‍රජාව, නැගෙනහිර ජන ප්‍රජාව මේ සියලු‍ දෙනා නියෝජනය කරන ආණ්ඩුවක් අපි හදමු. ඒ නිසා අපි දෙමළ ජනතාවට ආරාධනා කරන්නේ, ෆෙඩරල් දෙන්නම්, තර්ටීන් ප්ලස් දෙන්නම් අපිට ඡන්දෙ දෙන්න කියලා නොවෙයි. ඒක ගනුදෙනුවක්. බිස්නස් එකක්. අපි කරන දේශපාලනය ගනුදෙනුවක් නොවෙයි. ජනතාව අතර ඇතිවෙන සම්මුතියක්. එවැනි සම්මුතියක් අපට ඕනෑ. මොන වගේ සම්මුතියක්ද? අපි ගොඩනඟන ආණ්ඩුව සියලු‍ ජනතාවගේ ආරක්ෂාව සහතික කරන ආණ්ඩුවක්. මේ රටේ කිසිදු පුරවැසියෙක් තමන් අදහන ආගම අනුව, කතා කරන භාෂාව අනුව ආරක්ෂාව පිළිබඳ තර්ජනයකට මුහුණ නොදිය යුතුයි. උතුරේ සිංහල ජනයාට වගේම දකණේදී දෙමළ ජනතාවටත් ආරක්ෂාව තහවුරු විය යුතුයි. අපි කොහේ ජීවත් වුණත් කවර භාෂාවක් කතා කළත් කවර ආගමක් ඇදහුවත්, කවර සංස්කෘතියක ජීවත් වුවත් ඒ හැම පුරවැසියාගේම ආරක්ෂාව සහතික කරන ආණ්ඩුවක් හදමු. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. තමන්ගේ භාෂාවෙන් රාජ්‍යයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම තිබෙන්න ඕනෑ. දෙමළ පුරවැසියෙකුට පොලීසියට ගිහින් තමන්ගේ භාෂාවෙන් පැමිණිල්ලක් දාන්න, තමන්ගේ භාෂාවෙන් ආණ්ඩුවට ලිපියක් ඇරියොත් ඒ භාෂාවෙන් උත්තරයක් ලබන්න අයිතිය තිබෙන්න ඕනෑ.

දකුණේ ජනතාවගෙන් විතරක් අපිට ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. නැගෙනහිර, උතුරේ, කඳුකරයේ ජනතාවගේ සහාය තිබෙන, සමගිය ඇති කරන ආණ්ඩුවක් අපි හදන්න ඕනෑ. සියලු‍ ජනතාව එක කුඩයක් යටට ගේන නව පන්නයේ ආණ්ඩුවක් හදමු. බෙදුම්වාදය හදන, ජාතිවාදය වපුරන ආණ්ඩුවලින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ජාතික සමගියෙන් තොරව අපේ රට හදන්න බැහැ. පළමුව අපි එය ගොඩනඟන්න ඕනෑ. දෙවැන්න හොරකම, වංචාව, නාස්තිය නතර කරන ආණ්ඩුවක් හදන්න ඕනෑ. මම අද උදේ අනුරාධපුරේ සිට කිලිනොච්චිය හරහා වවුනියාවට ගියා. පොලිස්පති තෝරන ඡන්දෙ තියෙනවා වගේ හැමතැනම කටවුට්, බැනර් ගහලා. මල්වෙඩි දාලා. පොලිස්පති යනු රජයේ නිලධාරියෙක්. ඔහුට රජය වගකීමක් භාරදී තිබෙනවා. මේ නාස්ති කරන්නේ මහජනයාගේ ධනය. මෙහෙම පාලකයන්ට රටක් හදන්න පුළුවන්ද? දවස් කිහිපයකට කලින් යාපනයේ ගුවන් හමුදා ප්‍රදර්ශනයක් තිබුණා. ආරක්ෂක නියෝජ්‍ය ඇමැති කොළඹ ඉඳන් යාපනේට හෙළිකොප්ටරයකින් යනවා. ඊට පස්සේ ආරක්ෂක උපදේශක, දවස් කිහිපයකට පස්සේ ශවේන්ද්‍ර සිල්වා, ඒ උත්සවයටම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කොළඹ ඉඳන් යාපනේට හෙළිකොප්ටරයකින් යනවා. අපේ ගමේ ත්‍රී විලර් එකක් අරගෙන ඉස්පිරිතාලෙටවත් එහෙම එන්නේ නැහැ. මහජනයාගේ ධනය නාස්ති කරන පාලකයෝ. මෙහෙම රටක් හදන්න පුළුවන්ද? ජනාධිපතිවරයාට රට යන්න අයවැය ලේඛනයෙන් සල්ලි වෙන්කරනවා. ඒ සම්මත කරන්නේ අවුරුද්දටම. ඒ වෙන්කරන සල්ලි පිරිමහගෙන රට යන්න ඕනෙ. නමුත් අවුරුද්ද පටන් ගන්නකොටම සල්ලි ටික ඉවරයි. ආයිමත් පාර්ලිමේන්තුවට ඇවිත් ලක්ෂ 2000ක් රට යන්න රනිල් වික්‍රමසිංහ අනුමත කර ගත්තා. මෙහෙම පාලකයෙක් රටක් හදයිද?

advertistmentadvertistment
advertistmentadvertistment