ජල කඳ දකුණ කලඹයි

353

● 54,440ක් පීඩාවට : මරණ 7ක්
● නිල්වලා ගල් බැම්ම වාන් දමයි

දිවයිනේ දිස්ත්‍රික්ක 12 කට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයේ අඩුවීමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 7 ක් තුවාල සිදුවීම් 23 ක් සමග පවුල් 13392 කට අයත් පුද්ගලයන් 54440 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කොල්ලුපිටිය ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 ක් මියයෑම, අම්පාර ප්‍රදේශයේ පුද්ගලයකුට අකුණු සර වැදීම සහ ගාල්ල කඩවත්සතර ප්‍රදේශයේ පුද්ගලයකු ගල් බැම්මකට යටවී මරණයට පත්වීම මේ අතර වෙයි.

ආපදාවෙන් නිවාස 6 කට පූර්ණ හානි වී නිවාස 722 කට අර්ධ හානි සිදුවී ඇත. පීඩාවට පත් පවුල් 195 කට අයත් පුද්ගලයන් 781 ක් ආරක්‍ෂිත ස්ථාන 11 ක රඳවා ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 9953 ක පුද්ගලයන් 41022 ක්ද, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 2114 ක පුද්ගලයන් 8597 ක් ද වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත. ආපදා තත්ත්තවය හේතුවෙන් මහා මාර්ග ජලයෙන් යටවීම, පස්කඳු කඩා වැටීම වැනි දේ නිසා ගමනාගමනයට බාධා සිදුවී තිබූ බවද එම මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත් පිරිස පළාත් 7 කට අයත් දිස්ත්‍රික්ක 13 කින් වාර්තාවී ඇත. රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව සිටිති.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ මාතර ගං වතුර වැළැක්වීම සඳහා අත්තුඩාව ප්‍රදේශයේ ඉදිකර ඇති ඊඍ5 (ගල් බැම්ම) වාන් දැමීම පෙරේදා (7 දා) රාත්‍රියේ සිට ආරම්භ වී තිබූ අතර ඊයේ (8 දා) දහවල් වන විට අඟල් 5 ක පමණ උසකින් මීටර් 100 ක පමණ දුරකින් වාන් දැමීම සිදුවන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඒ.එස්.වී. සුගීෂ්වර (ජලවිද්‍යා හා ආපදා) මහතා පැවසීය.

වාන් දැමීම හේතුවෙන් ගොඩගම, සුල්තානාගොඩ, හිත්තැටිය, මාතර නගරය ඇතුළු පහත් බිම්වලට යම් බලපෑමක් ඇතිවී ඇතැයි කී සුගීෂ්වර මහතා පෙරේදා රාත්‍රියේ සිට වර්ෂාපතනයේ අඩුවීමක් පැවති නිසා මහ ගංවතුර මට්ටමකට යෑමේ හැකියාව අවම බවද කීය. කෙසේ වෙතත් මිලි මීටර් 100-150 වැනි වැසි තත්ත්වයක් ඇතිවුවහොත් මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙන අවවාදාත්මක නිවේදන ගැන සැලකිලිමත්ව සිටින ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.

කෙසේ වෙතත් වාන් දැමීම නිසා දැනට ජලයෙන් යටවී පවතින පහත් බිම්වල ජල මට්ටම තවදුරටත් සුළු ඉහළ යෑමක් සිදුවිය හැකි බවද ඔහු කියා සිටී.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් නාගොඩ, බෝපේ, පෝද්දල, බැද්දේගම යන ප්‍රදේශවල පහත් බිම්වල ගං වතුර තත්ත්වයක් සුළු වශයෙන් වාර්තාවී තිබෙන බවත් තවදුරටත් එම ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබුණහොත් ගං වතුර මට්ටම ඉහළ යා හැකි නිසා ජනතාව ආරක්‍ෂාවීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.

කළු ගඟේ කුඩා ගඟ, නිල්වලා ගඟේ සහ අත්තනගලු ඔයේ පැවති සුළු ගං වතුර තත්ත්වය අඩු වෙමින් පැවති බවත් ඒ මහතා කීය.

කෙසේ වෙතත් නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 276 කට අයත් පුද්ගලයන් 1207 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස තුනකට සහ අර්ධ වශයෙන් නිවාස 199 කට හානිවී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බවද සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ යක්කලමුල්ල හා බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බවද පවසයි.

නාය යෑමේ අවදානම හේතුවෙන් යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙළෙන්දාව ග්‍රාම නිලධාරි වසමේ දැඩි අවදානම් තත්ත්වයේ පසුවූ පවුල් 06 ක් ඉවත් කිරීමට කටයුතු කළ බවත් තවත් පවුල් 14 ක් ස්වෙච්ඡාවෙන්ම ඉවත්වූ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. එම පවුල්වල අය සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීමට කටයුතු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඉමදූව, ගාල්ල කඩවස්තසර නාගොඩ, ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමේ අනතුරු නිවේදන නිකුත් කොට ඇති බව පවසන ගාල්ල දිස්ත්‍රික් ලේකම්රයා හානිවූ නිවෙස්වල නිවෙස් හිමියන් සඳහා අත්තිකාරම් මුදලක් වශයෙන් පළමුව රුපියල් දසදහසක මුදලක් ලබාදෙන බවද පවසයි. මේ වන විට නෙළුව තවලම ප්‍රදේශවල ජලය බැස යමින් පවතින බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ගිං ගඟ පහළ නිම්නයට අයත් බද්දේගම ප්‍රදේශයේ ජල මට්ටම වැඩිවී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ගිං ගඟේ ජල මට්ටම වැඩි වීමත් සමග මේ වන විට බද්දේගම ප්‍රදේශයට ගං වතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බැව් ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමි ද සිල්වා මහත්මිය සඳහන් කළාය. ඊයේ උදෑසන වන විට ගිං ගඟේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 5.15 දක්වා වැඩිවී ඇති බවත් එය මහා ගං වතුර තත්ත්වයක් බවත් වාරි මාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළාය. ගිං ගඟ ඉහත්තාවේ බද්දේගම තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 3.04 දක්වා අඩුවී ඇති බවත් බද්දේගම ප්‍රදේශයේ පහත් බිම් හා ගිං ගඟ අනාරක්‍ෂිත කලාපය ජලයෙන් යටවී ඇති බවත් වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළාය. කෙසේ වුවද ගිං ගඟ ආරක්‍ෂිත කලාපයට කිසිදු බලපෑමක් වී නොමැති බව පවසන ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරුවරිය ගිං ගඟ ව්‍යාපෘතියේ පොම්පාගාර මගින් වැඩි ජලය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ඇය සඳහන් කළාය.

මේ වන විට ගිං ගඟ පහළ නිම්නයට අයත් ඕපාත, හෝළුවාගොඩ, ගනේගම යන ගම්මාන සඳහා යෑමට ඇති මාර්ග ජලයෙන් යටවී ඇත. නාගොඩ, බද්දේගම ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා බස් රථ ධාවනය ඇණහිට ඇත. උනන්විටිය ප්‍රදේශයේ ද ජලයෙන් යටවී ඇත. ගං වතුර තත්ත්වයත් සමග ගිං ගඟ පහළ නිම්නයට අයත් ඕපාත, හෝළුවාගොඩ, මීපාවල, බාස්වත්ත, කුරුන්ද යන ප්‍රදේශවල අස්වැන්න නෙළීමට තිබූ වී වගා බිම් හා කොරටු වගාවන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර මෙම තත්ත්වය නිසා ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.

යක්කලමුල්ල වවුල්කැටකන්ද නාය යෑමේ අවදානමකට ලක්ව ඇති බැවින් මෙකී කඳු ගැටය පාමුල පදිංචිව සිටින වෙළෙන්දාව ග්‍රාම නිලධාරි වසමට අයත් පවුල් 20 ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පවසයි.

මේ වන විට එම නිවෙස්වල බිත්තිවල ඉරිතැලීම් වැඩිවී විශාල කුහර දක්නට ඇති බව පවසන ගම්මු මෙකී කඳු ගැටය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් බවද පවසති. කඳු ගැටය අනවසරයෙන් කිහිප දෙනකු විසින් ශුද්ධ කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද ගම්මු පවසති.

විපතට පත් පිරිස බේරා ගැනීම සඳහා යුද හමුදාවේ පිරිස් යොදවා තිබුණි. විපතට පත් එම පිරිස වෙත ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, යුද හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිටි බවද වාර්තා විය.
චමින්ද සිල්වා, ලලිත් චාමින්ද, එස්.කේ. කළුආරච්චි සහ හිනිදුම-රවීන්ද්‍ර චන්ද්‍රලාල්, මාතර – චන්‍ද්‍රදාස කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment