දූෂණ විරෝධී පනත් කෙටුම්පත කල් තබන ලද විවාදය 5 දා සිට

54

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට අදාළව කල් තබන ලද විවාදය 05 වැනිදා යළි පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුව ලබන 05 වැනි බදාදා සිට 07 වැනි සිකුරාදා දක්වා රැස්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති අතර 04 වැනිදා පාර්ලිමේන්තුව රැස් නොවන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.

05 දා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. පෙරවරු 10.30 ට පමණ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා අටක් (08) විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව ඇත.

පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව ‘උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු’ පිළිබඳ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.

ජූලි 6 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට අදාළව කල් තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය. ඉන්පසුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ජූලි 07 වැනි සිකුරාදා පෙරවරු 9.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. ඉන්පසු පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ උදර්පන පනත යටතේ නියමයක් විවාදයට ගන්නා බවද මහලේකම්වරිය ප්‍රකාශ කළාය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment