හන්දිපත් වේදනාවට බලපාන හේතු

400

මුළු ඇඟපතම රිදෙනවා…… මට හන්දිපත් රුදාවද කොහෙද? ඇතැම් පුද්ගලයෝ පවසති. මෙලෙස ඔවුන් පවසන්නේ දණහිස, උරහිස, වැලමිට, කොන්ද ආදී ප්‍රදේශවල වේදනාවක් හටගත් විටදීය.

● හන්දි වේදනාව

හන්දි වල වේදනාව ඇතිවීමට බලපාන හේතු රැසක් ඇත. එහිදී හන්දිපත් වේදනාව සමඟ උණත් පවතී නම් එය කිසියම් ආසාදන රෝගයක් නිසා ඇති වූවකි. වෛරස, බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන රෝග ඉන් ප්‍රධාන තැනක් ගනී. මේ දිනවල පැතිර යන පාංශු රෝගයද එහිදී සැලකිල්ලට ගත යුතුය. පස් ආශ්‍රිතව ඇතිවන විෂබීජයක් නිසා මෙම රෝගය හට ගනී

මෙලෙස ඇතිවන ආසාදන රෝග වලදී ඇඟපත වේදනාවට අමතරව ප්‍රධාන රෝග ලක්‍ෂණය වනුයේ උණ හට ගැනීමය.

මෙවැනි ආසාදන රෝග හමුවේ අපගේ හෙළ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට අනුව වෙනිවැල්ගැට සහ කොත්තමල්ලි එක්ව තැම්බූ ඖෂධීය පානය කෝප්පයක් බීමට ලබාදේ.

වෙනිවැල්ගැට කොත්තමල්ලි යනු ප්‍රතිශක්තිය වඩවන ඖෂධයකි. ඉන් සිරුරේ ශක්තියද වර්ධනය වේ.

● කොරෝනා එන්නත නිසා

මීට අමතර කොරෝනා සඳහා ලබාගත් එන්නත්හි අතුරුඵල ලෙස සන්ධි ආශ්‍රිතව වේදනාව හටගන්නා බවට තොරතුරු හෙළිවෙමින් පවතී. එනම් කොන්ද, වැලිමිට, බෙල්ල, උරහිස, දණහිස, මැණික් කටුව ආදී ඕනෑම සන්ධියක් හෝ සන්ධි සියල්ලේම වේදනාවක් හටගනී.

මේ සඳහා බලපාන්නේ අපගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමය. එවිට සිරුරේ ප්‍රතිශක්තිය ක්ෂය වී යෑමට පටන් ගනී. එසේ සිරුරේ උෂ්ණත්වය ඉහළයාම හෙවත් රක්තයා තත්ත්වයක් හටගැනීම නිසා රක්ත වාතයද ඇතිවිය හැකිය. රූමැටික් සහ ඔස්ටියෝ ආතරයිටීස් හටගත හැකිය.

මෙවැනි අවස්ථාවකදී බෙලිමල්, ඉරමුසු, සුදුහදුන් මෙම වර්ග තුන සමවගෙන වතුර කෝප්ප හතරක් දමා එකකට හිඳ මී පැණි බිංදුවක් දමා පානය කිරීම මගින් මතුව ඇති සිරුරේ උෂ්ණත්වය ඉහළයාම පාලනය කරගත හැකිය.

ඊට අමතරව අමු ඉඟුරු කැබැල්ලක්, හාතාවාරිය මුලක්, තිප්පිලි ටිකක් සහ වැල්මී ටිකක් එකට ගෙන තම්බා පානය කිරීම මගින්ද මතුව ඇති උෂ්ණත්වය ඉහළ යාම පාලනය කරගත හැකිය.

● අම්ල පිත්ත රෝග

සිරුරේ හන්දිපත් වේදනාව, සන්ධිවල අස්ථි මජ්ජාව හෙවත් කාටිලේජ ගෙවීයාම සඳහා බලපාන හේතුවක් වන්නේ උදුරයේ උෂ්ණත්වය ඉහළයාම හෙවත් අම්ල පිත්ත තත්ත්වය වැඩිවීමය.

එහිදී කළයුත්තේ සිරුරේ සිසිල් බව ඇතිකිරීමයි. ඒ සඳහා ඇටවර්ග, කොළවර්ග, ගෙඩි වර්ග, පලතුරු, කැඳ වර්ග ආදිය පානය කිරීමයි. ඊට අමතරව ස්නානයද වැදගත්ය. ඉන් සිරුරේ සිසිල් බවක් ඇති කරයි.

උදරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා අස්ථි මජ්ජාව හෙවත් කාටිලේජ ගෙවීයාම වළක්වා ගැනීමට කහපැහැති එළවළ සහ පලතුරු වර්ග ආහාරයට ගත යුතුය.

අප බොහෝ දෙනා සිතා සිටින්නේ අස්ථි දිරායාම ඇතිවන විට කැල්සියම් පමණක් ගැනීම ප්‍රමාණවත් කියාය. එය වැරදි මතයකි. අපට එය වළක්වා ගැනීම සඳහා විටමින් ‘සී’, ‘ඊ’ ආදිය ද අවශ්‍යය. ඒ සඳහා ඇඹුල් පලතුරු වර්ග, කහ පැහැති පලතුරු වර්ග ආදිය ආහාරයට ගත යුතුය. එවිට විටමින් සී සහ ඊ ලබාගෙන සිරුරේ ක්‍ෂය වී යන ශක්තිය යළි වර්ධනය කරගත හැකිය. සම මත ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව මතුවේ.

ඊට අමතරව උදරයේ මතුව ඇති උෂ්ණත්වය පහළ දමා ගැනීම කළ යුතුය. ඒ සදහා සුදු හඳුන්, සැවැන්දරා, වැල්මී කළං දෙකක් බැගින් ගෙන වතුර කෝප්ප 08 ක් දමා එය එකට හිඳවාගෙන පානය කළ හැකිය.

හන්දිපත්වල ඇතිවන වේදනාව සමනය කරගැනීමට ගස්කරල් හැබ කොළ ටිකක් අමුවෙන් ගෙන අඹරා මී පැණි ටිකක් මිශ්‍රකර වේදනාව ඇති සන්ධි වල ආලේපය සුදුසුය.

නමුත් මෙම හන්දි රෝග සඳහා නිට්ඨාවට සුවයක් ලබාගැනීමට නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. හන්දිපත් වේදනාවට බලපා ඇති හේතුව හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර නොකළහොත් මතුව ඇති රෝගය දරුණු විය හැකිය.

දියවැඩියාව රෝගය නිසාද හන්දිපත් වේදනාව ඇතිවන බව හඳුනාගෙන ඇත. එනිසා කුමන රෝගයක් නිසා හන්දිපත් වේදනාව මතුව ඇති දැයි කියා හඳුනා ගැනීම වැදගත්ය.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමැතිය හැකිය.

හන්දිපත් වේදනාවට බලපාන හේතු

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය

කේ. ආර්. අල්විස් වෙදගෙදර,

සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment