සිත සනසන නෙත පොපියන කල්පිටියේ ඩොල්ෆි රැඟුම්

231

එන සංචාරකයන්ගෙන් මුදල් අය කළත් වැසිකිළි පහසුකම්වත් නෑ – ජූඩ් එම්මානුවෙල්

සොබාදහම හා බැඳුණු සුන්දර පාරාදීසයක් වූ කල්පිටිය සයුරේ මේ දිනවල රංචු ගැසුණු ඩොල්ෆින් මසුන්ගේ රැඟුම් මනස්කාන්ත අපූර්ව දසුනකි. බුද්ධියෙන් ඉහළම මත්ස්‍ය කොට්ඨාසයක් ලෙස සැළකෙන ඩොල්ෆින් මසුන්ගේ සුන්දර දසුන් අපේ ඇසට වගේම සිත්වලට ගෙන දෙන්නේත් අපූරු සුන්දරත්වයකි. කල්පිටිය සයුරේ කිලෝමීටර් 306ක් පමණ පැතිර ඇති ප්‍රදේශයක ඩොල්ෆින් දැකගත හැකි කදිම තෝතැන්නකි. නොවැම්බර් මස ආරම්භයේ සිට මාස කිහිපයක් ඉදිරියට එනම් අප්‍රේල් මැයි දක්වාම කල්පිටි මුහුදු තීරයේදී ඇති තරමට ඩොල්ෆින් රැඟුම් දැක ගන්නට හැකිය. එක් විශේෂයක් පමණක් නොව ලංකාවට ආවේණික නොවූ ඩොල්ෆින් මසුන් විශේෂද කල්පිටි මුහුදු තීරයේ සැරි සැරීම විශේෂත්වයකි. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් කල්පිටිය මුහුදු තීරයට පැමිණෙන්නේ ඩොල්ෆින් මසුන්ගේ දඟකාර මෙන්ම සුරතල් ක්‍රියාකාරීකම් දැක බලා ගැනීමටයි.

සිත සනසන නෙත පොපියන කල්පිටියේ ඩොල්ෆි රැඟුම්

කෙසේ වෙතත් මේ දිනවල විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉතාමත් අවම තත්ත්වයේ පවතින බවත් ඉදිරියේදී එය වර්ධනය වන බවද බෝට්ටු සංචාරයේ නිරත වන්නෝ පවසති. කල්පිටියේ කන්දකුලිය, කුඩාව සහ ඉලන්තඩිය වනජීවී දෙපාර්තමේන්තුවේ වන අඩවි කාර්යාලයේ දොරටුවලින් මුහුදට පිවිසීමට බෝට්ටු සංචාරයේ නිරත වන්නන්ට අවසර ලබා දී තිබේ. මෙම කලාපයේ අඩුම කාලයකින් කල්පිටිය යාබද සයුරට ගොස් ඩොල්ෆින් රැඟුම් බලන්නට බෝට්ටු 116ක් පමණ සංචාරකයන් සඳහා වෙන්ව ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තු නිසි අවසරය ඇතිවය. ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ ජීවනෝපායට විශාල අත්වැලක් ලබා දෙන්නේ ඩොල්ෆින් මසුන් නැරඹීමේ ව්‍යාපෘතිය මගිනි. මේවායේ පිවිසුම් ස්ථානවල පහසුකම් රැසක් තවමත් ඉතාමත් අවම මට්ටමේ පවතින බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ බලධාරීන් කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කළොත් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ ආර්ථිකයට ශක්තියක් වන බව ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පවසති.

බෝට්ටු සංචාරයේ නියැළෙන අයකු වන ජූඩ් එම්මානුවෙල් මහතා –

“මම මේ ක්ෂේත්‍රය නියැළෙන්නේ වසර දහයක පමණ ඉඳන්. ඇත්තෙන්ම මේ කල්පිටිය අර්ධද්වීපයේ විශාල වශයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ගත් ආකර්ෂණීය ස්ථාන ගණනාවක් තියෙනවා. ඉන් වැඩිම අවධානයක් යොමු වෙන්නේ මේ ඩොල්ෆින් නැරැඹීමට. සාමාන්‍යයෙන් ඩොල්ෆින් අපට විශාල වශයෙන් දැකගන්න පුලුවන් වෙන්නේ ඔක්තෝබර් අග සිට මැයි දක්වා කාලයේදී.

මේ කාලයේ දෙස් විදෙස් සංචාරකයෝ පැමිණෙනවා. අපි රුපියල් 25,000 ක් ගමනට අය කරනවා. බෝට්ටුවෙ යන්න පුළුවන් හය දෙනයි. දෙස් විදෙස් සංචාරකයන් සියල්ලටම අපි ඒ මිල අය කරන්නේ. ඇත්තටම පවතින පෙට්රල් මිල හා අනෙකුත් ද්‍රව්‍යවල මිල ඉතා අධික නිසා අපිට ලොකු ලාභයක් මේ ගමනෙන් නැහැ. නමුත් ඊට වඩා අය කරන්නත් බෑ. වනජීවී දෙපාර්තමේන්තුවේ ටිකට් කවුන්ටර්වලින් දේශීය සංචාරකයන්ගෙන් මුදල් ලබා ගන්නෙ නෑ. විදෙස් අයෙකුගෙන් ඩොලර් දහයක් අය කරනවා. හැබැයි සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් අවමයි. අඩුම වශයෙන් මේ පිවිසුම් ස්ථානවල වැසිකිළි කැසිකිළි පද්ධතියක් වත් නෑ. ඒ වගේම විදේශීය සංචාරකයන් රස්තියාදු වෙන්න කැමති නෑ. මෙම ස්ථානවලින් නැරැඹීමට යද්දී විශාල කාලයක් වැය වෙනවා. මෙවැනි පහසුකම් නොමැති වීමෙන් ඔවුන් ඇතැම් විට සතුටට පත් වෙන්නෑ.

සිත සනසන නෙත පොපියන කල්පිටියේ ඩොල්ෆි රැඟුම්

දේශීය සංචාරකයෙක් වන නාමල් චරිත් මහතා –

පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයේ මුහුදු සම්පත ඇත්ත වශයෙන් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටට විශාල දායාදයක්. මේක සංචාරක කලාපයක්. හැබැයි බොහෝ දුරට මේ සංචාරක කලාපය තුළ සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් නෑ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment