උමා ඔය විදුලි පද්ධතියට බලපෑම් කළේ ජනතා විමුක්ති පෙරමුණයි – ඇමැති ඉන්දික අනුරුද්ධ

203

උමා ඔය විදුලි පද්ධතිය ලබන මාසයේ දී ජාතික පද්ධතියට එක් කරන බවත් මීට වසර හත අටකට පෙර පද්ධතියට එකතුවීමට තිබූ එයට දැඩි බලපෑම් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

“මේ වෙද්දී ජනාධිපතිතුමාට 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැය තුළ ග්‍රාමීය සංවර්ධනයත් ඒ වගේම යටිතල පහසුකම් දියුණු කිරීමත් ජීවනෝපාය සංවර්ධනයත් අරමුණු කරගෙන අපි යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. 2021, 2022 අයවැය තුළින් බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමතිතුමා 2022 අවුරුද්දට මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කළා. හැබැයි එය ක්‍රියාත්මක කරගැනීමේ මූලික සාකච්ඡාවලින් පසු යම්තාක් දුරට ගමට ගැළපෙන, ගමේ ග්‍රාමීය කර්මාන්තයට, අපනයන කෘෂිකර්මාන්තයට යම්කිසි වැඩපිළිවෙළක් එහි තිබුණා.

අද ජනාධිපතිතුමා කටයුතු කරන්නේ බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝත් සමගයි. පක්ෂයක් විදිහට අපි ජනාධිපතිතුමාගෙන් කරපු ඉල්ලීමක් අපිට ඒ අවස්ථාව ලබාදී තිබෙනවා. එදා 2022 ගේන්න ගිය ව්‍යාපෘතිය අපිට කරගන්න බැරිව ගියත් අද අපි 2024 අවුරුද්දේ නැවත ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.

හැබැයි අපි මෙය දකුණට ගේන්න උත්සහ කරපු ව්‍යාපෘතිවල ප්‍රතිඵල තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කුහක දේශපාලනය ආරම්භ කරන්නේ මෙතනින්. ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරනවා මේ ගමට ලැබෙන ප්‍රතිපාදන කුමන හෝ ක්‍රමයකින් වළක්වා ගන්න. එය වැළකුනොත් තමයි ගමේ විඳවන මනුස්සයෙක් හදන්න පුළුවන් වෙන්නේ. විඳවන මිනිසෙක් ගම තුළ හැදුවිට ඒ විඳවන මනුෂ්‍යයා වෛරි දේශපාලනය කරලා ඒ වෛරී දේශපාලනය තුළින් මේ බලය හුවමාරු කිරීමටත්, රට අරාජික කිරීමටත් ඔවුන් එදා ඉදන් කරපු කාරණාවක්. රටක් විදිහට, ජාතියක් විදිහට අනාගතයක් විදිහට සැලසුම් හදන හැම නායකයෙකුටම ගෙනාවේ මේ ක්‍රමවේදයයි. ඒ නිසා මේ වතාවේ සමාජ ජාලා පාවිච්චි කරමින් බොරුව ජනගත කරමින් අද විවිධ මතවාද හදමින් උත්සාහ කරනවා මේ ව්‍යාපෘති නැවත්වීමට යම් යම් දේවල් පාවිච්චි කරමින්. උමා ඔය විදුලි ව්‍යාපෘතිය අපි එය ලබන මාසයේ ජාතික පද්ධතියට එකතු කරගන්නවා. හැබැයි මෙය දැනට අවුරුදු හත අටකට උඩදී එන්න තිබුණු ව්‍යාපෘතියක්. උමා ඔය ව්‍යාපෘතිය දැඩිවම නවත්වන්න බලපෑම් කළේ ජනතා විමුක්ති පෙරමුණයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment