ලංකා ඊ නිවුස්හි මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට

920

කොළඹ කොල්ලූපිටියේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමට ඉඩ තිබෙන බවට එහි නිලධාරියකුගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් යවමින් තර්ජනය කළ බව කියන හිටපු ගුවන් හමුදා නිලධාරියකු වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ප‍්‍රවෘත්ති සපයන කීර්ති රත්නායක නමැති මාධ්‍යවේදියා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (14 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර හිඳගල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන මෙම සැකකාර හිටපු ගුවන් හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ප‍්‍රදේශයේ නවාතැන් ගෙන සිටියදීය.

මෙම සැකකරු ගුවන් හමුදාවෙන් නෙරපා දැමූ නිලධාරියකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මීට දින කීපයකට උඩදී මෙම ප‍්‍රහාරය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත කෙටි පණිවිඩයකින් ලැබී ඇති අතර පසුව ඒ පිළිබඳව කොල්ලූපිටිය පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

මෙම සිද්ධියට අදාළ මූලික පරීක්‍ෂණ කටයුතු කොල්ලූපිටිය පොලිසිය විසින් සිදුකළ අතර වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබිණි. එහි අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනයකින් පසු ඊට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට  ගැනීමට හැකිවිය.

මෙම සැකකරු මේ වනවිට රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචිමාර්ග පවසයි. මහ කොමසාරිස් කාර්යාලය වෙත කෙටි පණිවිඩ යැවීමට යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම කෙටි පණිවිඩ යැවීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජනක් නන්දන මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment