IMF නියෝජිතය පිරිසක් විපක්ෂ නායක හමුවෙති

240

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (7දා) පාර්ලිමේන්තුවේ දී සිදු විය. මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් රජය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දිර්ඝ වශයෙන් අදහස් හුවමාරු වීම සිදු විය.මෙහි දී ශ්‍රී ලංකාව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එළඹ ඇති ගිවිසුමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සහ රජය විසින් ඉක්මනින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන ලදී. එසේ ම රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල දී සියලු ණය හිමියන්ට සාධාරණ ලෙස සැලකීම සහ අවදානම් කාණ්ඩයම් වෙත විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය විපක්ෂ නායකවරයා විසින් අයි. එම්. එෆ්. නියෝජිතවරුන්ට පෙන්වා දෙන ලදී. තව ද තිරසර ආර්ථික යහපැවැත්මක් උදෙසා කෙටිකාලීන ආර්ථික දර්ශකවල ප්‍රගතිය මෙන් ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්තාව මඟින් පෙන්වා දී ඇති නීතියේ සාධාරණත්වය සහ යහපාලන මූලධර්ම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී මතු විය. එසේ ම ඉදිරි සතිය තුළ ආරම්භ කෙරෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමේ සංචාරයේ දී, මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ වර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රමවේද සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව සහ විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා පවත්වනු ඇති බව මෙහිදී තවදුරටත් සඳහන් විය.මේ අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, නාලක ගොඩහේවා සහ කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් මෙරට නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථීක විශ්ලේෂකයකු මෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නේවාසික නියෝජිතයකු වූ මානවී අබේවික්‍රම මහත්මිය ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment