වෘත්තීයවේදීන් රට හැරයෑම සෑම ක්‍ෂේත්‍රයකටම බලපෑමක් – – ජී. එල්. පීරිස්

88

වෘත්තීයවේදීන් රට හැරයෑම රටේ සෑම ක්‍ෂේත්‍රයකටම දරුණු ලෙස බලපාන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (21 දා) පැවසීය.

වර්තමාන ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් නොදෙන බව ද නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (21 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා කියා සිටියේය.

රාජ්‍ය ආදායම වැඩි කිරීමේදී මහජනතාව බිල්ලක් ලෙස තබා නොගත යුතු බවත්, රාජ්‍ය වියදම්වල ද විනිවිදභාවයක් තිබිය යුතු බවත් පැවසූ ජී. එල්. පීරිස් මහතා විද්වත්, උගත් හා පරිණත පුද්ගලයන්ගේ අදහස් ලබාගෙන බදු ප්‍රතිපත්තියක් ගොඩනැඟිය යුතු බව ද පැවසීය.

ජනාධිපතිවරයාගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, 13 වන සංශෝධනය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය හිමි නොවන බව එම පක්‍ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමට රජය උත්සාහ දරන බවත් ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය රටට ප්‍රකාශ කළ යුතු බවත් පැවසූ ජී. එල්. පීරිස් මන්ත්‍රීවරයා රටේ ආරක්‍ෂාව සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නව ප්‍රතිපත්තිවල කිසිදු විනිවිදභාවයක් නොමැති බවත්, වත්මන් රජයට එවැනි ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ජනවරමක් ලැබී නැති බවත් වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment