පාසල් මැරතන් තරගාවලියට නෙස්ටමෝල්ට් අනුග්‍රහය

61

අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් මැරතන් ධාවන තරගාවලියේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල රැඩිසන් හෝටලයේදි පැවැත්විණ.

මෙම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර, අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂිකා චිත්‍රා බමුණුසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.එම්.ක්‍රිෂාන් දුමින්ද, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක, ගාල්ල පොලිස් අධිකාරි සනත් අමරසිංහ, ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්.ජයවීර, නෙස්ලේ ලංකා සමාගම වෙනුවෙන් එහි උප සභාපති බන්දුල එගොඩගේ, අධ්‍යක්ෂ රුවන් වැලිකල, ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

මෙහිදී නෙස්ලේ සමාගම විසින් දෙනු ලබන ක්‍රීඩකයින්ගේ රක්ෂණාවරණ සහතිකය ආණ්ඩුකාරවරයා විසින් ගාල්ල පොලිස් අධිකාරි සනත් අමරසිංහ මහතාට භාරදෙනු ලැබීය.

දිවයිනේ සියලුම පළාත්වල පාසල් සිසු සිසුවියන් සහභාගිවන කිලෝ මීටර් 21ක මැරතන් ධාවන තරගය ද පළාතේ පාසල් සිසු සිසුවියන් සහභාගි වන කිලෝ මීටර් 5ක විනෝද දිවීමේ තරගය ද ගාල්ල සමනල ක්‍රීඩාංගණය අසලින් 11 වැනි දින උදෑසන 6.30ට ආරම්භ කෙරේ. මැරතන් තරගයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක්ද විනෝද දිවීමේ තරගයට සිසු සිසුවියන් 900ක්ද සහභාගි වීමට නියමිතය.

කිලෝ මීටර් 21ක අර්ධ මැරතන් ධාවන තරගය ගාල්ලේ සිට මාතර ප්‍රධාන මාර්ගයේ තල්පේ බස් නැවතුම දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලින් අවසන් කෙරෙන අතර කිලෝ මීටර් 5ක විනෝද දිවීමේ තරගය මාතර මාර්ගයේ වරාය පිවිසුම අසලින් ආපසු හැරී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලින් අවසන් කෙරේ.

පාසල් මැරතන් තරගයේ ප්‍රථම ස්ථාන දිනා ගන්නා දහ දෙනාට පිළිවෙළින් රුපියල් 25000, රුපියල් 20000, රුපියල් 15000, රුපියල් 10000, රුපියල් 7500, රුපියල් 5000 රුපියල් 5000, රුපියල් 3000 බැගින්ද නෙස්ටෝමොල්ට් ත්‍යාගද ලබාදෙනු ඇත. විනෝද දිවීමේ තරගයේ ප්‍රථම ස්ථාන පස් දෙනාට පිළිවෙළින් මුදල් රුපියල් 15000, රුපියල් 10000 රුපියල් 7500, රුපියල් 5000 බැගින්ද කුසලාන හා පදක්කම්ද නෙස්ටෝමෝල්ට් ත්‍යාග ද ලබාදෙනු ඇත.

නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා කියා සිටියේ දිවයිනේ අනෙකුත් පළාත්වලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරදින සවස හතරයි තිහ වනවිට ගාල්ලට පැමිණිය යුතු අතර ක්‍රීඩකයින් සඳහා ගාල්ල මහින්ද විදුහලෙත් ක්‍රීඩිකාවන් සඳහා සංඝමිත්තා විදුහලෙත් නවාතැන් පහසුකම් සපයා ඇති බවය.

ඡායාරූපය – නිශාන් එස්.ප්‍රියන්ත

අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment