අන්තරේට පැළවෙන්න බැරි කැම්පස් ෆැකල්ටිය

250

නූතන ශිෂ්‍ය භික්‍ෂුව පරිපූර්ණ භික්‍ෂුවක නොවන්නේ ඇයි?

සහතික මත කෙරෙන අධ්‍යාපනය රටට හිතකරද?

බෞද්ධ හා පාලි අධ්‍යාපනයෙන් ත්‍රිපිටකය හැලුනේ ඇයි?

අන්තරේට පැළවෙන්න බැරි කැම්පස් ෆැකල්ටිය

එය හැඳින්වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යනුවෙනි. බොහෝ දෙනෙක් පහසුවට එයට අන්තරේ යැයිද කියති. මීට කලකට ඉහතදී අන්තරේ බලය තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ සතුවය. එහෙත් කාලයත් සමඟ සිදුවූ වෙනස්කම් හේතුවෙන් අද අන්තරේ බලය තිබෙන්නේ පෙරටුගාමී සමාජවාදී කණ්ඩායම අතය.

පෙරටුගාමී පක්‍ෂය යනු දේශපාලන ව්‍යාපාරයකි. මේ දේශපාලන ව්‍යාපාරය අන්තරේ හරහා රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ආක්‍රමණය කිරීම නිසා අද වන විට ගැටලු රාශියක් නිර්මාණය වී තිබෙන බව රහසක් නොවේ.

රටක ශිෂ්‍ය ව්‍යාපාරයක් තිබීම සාමාන්‍යය. එවැන්නක් රටක තිබිය යුතුය. එහි තර්කයක් නැත. එහෙත් අද මේ රටේ විශ්වවිද්‍යාල තුළ තිබෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයක්ද නැතහොත් යක්‍ෂ ව්‍යපාරයක් දැයි සිතාගත නොහැකි තරමටම පෙරටුගාමී දේශපාලනය විසින් අන්තරේට කර ඇති බලපෑම දුරදිග ගොස් නොතිබේද?

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එකී පීඩනය බරපතළ ලෙසින් එල්ල නොවූ තැනක් ඇත්නම් ඒ වෛද්‍ය පීඨ පමණි. එය අතීතයේ සිටම සිදුවේ. වෛද්‍ය පීඨ තුළ එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවී තිබෙන කාරණය නම් හාස්‍යය ගෙන දෙන්නකි. එය අන්තරේ බලපෑමෙන් ගැලවී අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකරගෙන යෑම සඳහා වෛද්‍ය සිසුන් කාලයක යෙදූ උපක්‍රමයක් ලෙසින්ද පෙන්වා දිය හැකිය.

ඒ කුමක්ද? එක්තරා වෛද්‍ය පීඨයක අධ්‍යාපනය හදාරා ඉදිරි කටයුතු සඳහා අද විදෙස්ගතව සිටින වෛද්‍යවරයකු එය හෙළි කරනු ලැබුවේ මෙසේය. ‘ඔව්. අන්තරේ අයියලා ඒ දවස්වල සමහර වෙලාවට එනවා වෛද්‍ය පීඨවලටත් දේශන පවත්වන්න. වෛද්‍ය පීඨවල ශිෂ්‍යයන්වත් ඔවුන්ගේ වැඩවලට එක්කර ගැනීමේ අරමුණින් ඔවුන් එන්නේ. එයාල එහෙම එනකොට බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් ආදී වශයෙන් රටේ හැම ජාතීන්ම නියෝජනය කරන සිසුන් වෛද්‍ය විද්‍යාව හදාරණ නිසා දේශන ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරන ලෙස වෛද්‍ය සිසුන් අන්තරේ අයියල, අක්කලාගෙන් ඉල්ලීම් කිරීම.

එහෙම කිව්වහම හා හරි අපි අපේ දේශනය වෙන දවසක කරන්නම් කියලා අන්තරේ අය මාරු වෙලා යනවා’

මින් කියැවෙන්නේ කුමක්ද? යක්‍ෂ ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන අපේ ශිෂ්‍ය ව්‍යාපාරය වූ අන්තරේ කලක සිටම ජාත්‍යන්තරේට යෑමේ හැකියාවක් නොමැති මරිමෝල් තැනක සිරවී තිබෙන බව නොවේද? විශ්වවිද්‍යාලයට පිවිසීමෙන් පසුව උපාධිය පසෙක තබා වසර හත අට ආදී ලෙසින් එහි රැඳී සිටිමින් වාම දේශපාලනයක ගොදුරු වී ඇති මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය හෙවත් අන්තරේ ක්‍රියාකාරීන්ගේ වත්මන් තත්ත්වයත් එයම බවට පත්ව නොතිබේද?

මේ ප්‍රශ්නයට උත්තර නොව, විසඳුම් සොයාගත යුත්තේ මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවය. ඉන් එහා මේ මොහොතේ අපි ඒ සම්බන්ධයෙන් තවත් කතා නොකරන්නෙමු. ඒ වෙනත් දිනකදී එය තව තවත් කරුණු සහිතව සටහන් කිරීමේ අරමුණ ඇතිවය. අපි එහිදී කිසිවිටකත් අන්තරේට දොස් නොකියන්නෙමු. අන්තරේ නිවැරදි මාවතට පැමිණිය යුතු කාලය උදාවී ඇති බව පමණක් පෙන්වා දෙන්නෙමු.

ඉකුත් දා තාවකාලිකව වසා දැමුණු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට එකී ඉරණම අත්වූයේද අද පෙරටුගාමී දේශපාලනයේ ගොදුරක් බවට පත්ව ඇති මේ කියන අන්තරේ ක්‍රියාකාරිත්වය හමුවේය. එසේ බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය එතැනට ඇද දමමින් උපක්‍රශීමලීව ඔවුන් සිදු කරනු ලැබුවේ කුමක්ද? බෞද්ධ භික්‍ෂුව සම්බන්යෙන් බෞද්ධ ජනතාව තුළ තිබෙන ගෞරවනීය හැඟීමට දැවැන්ත ලෙසින් පහර දීමය.

ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසින් අන්තරේ තුළින් අද විශ්වවිද්‍යාල ඔස්සේ රට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? එක් අතකින් සිදුවන්නේ විශ්විද්‍යාල සිසුන් නන්නත්තාර කරමින් රටේ උතගුන් බිහිවීම වැළැක්වීමය. අනෙක් අතට සිදු වන්නේ බෞද්ධ භික්‍ෂූත්වයට හා බුදු දහමට පහර දීමය.

පැහැදිලිවම මේ තුළ තිබෙන්නේ අති දැවැන්ත කුමන්ත්‍රණයක් නොවේද? ඇතැම්විට සිදුවන සියල්ල විදේශීය පෙළඹවීමක් ඔස්සේ කෙරෙන්නක්ද විය හැකිය.

එය එසේ වෙද්දී වසා දැමුනු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන ලෙස ඉල්ලමින් මේ වන විට එහි සිසුහු විරෝධතා දක්වමින් සිටිති. ඉකුත් දිනක අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීද ඔවුහු එසේ විරෝධතාවක නිරත වූහ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මේ අන්දමට වසා දැමුණේ ඇයි? ඒකී ප්‍රශ්නයට ඇති මතුපිට පිළිතුර ලෙස පෙන්වා දිය හැක්කේ එහි අමානුෂික අන්දමින් ක්‍රියාත්මක වූ නවක වධය පිළිබඳ කතාවය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති හිමියන් සඳහන් කරනු ලැබුවේ මුදා නොගත් කලාපයක් බවට විශ්වවිද්‍යාලය පත්ව තිබෙන බවකි.

මේ තත්ත්වයට වගකිව යුත්තෝ එහි අධ්‍යාපනය හැදෑරූ ගිහි පැවිදි සිසුහුද? මතුපිට කතාවට අනුව නම් පැහැදිලිවම ඔවුහු වරදකරුවෝය. එහි කතා දෙකක් නැත. ඉකුත් සතියේ එකී වරදකාරීත්වය අපි රටට පෙන්වා දුන්නෙමු.

එහෙත් බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයේ අභ්‍යන්තරයට එබී බැලීමේදී නම් එකී ශිෂ්‍යයෝ වරදකරුවෝ නොවෙති. අප එසේ කියන්නේ උපාධියක් හදාරන්නට පැමිණී එම සිසුන්ට විශ්වවිද්‍යාලය තුළදී ලැබී ඇති වල්බූරු නිදහස හේතුවෙනි.

මෙරට අධ්‍යාපනය හදාරණ වෛද්‍ය සිසුවකු වෛද්‍ය විද්‍යාලයේදී ලිඛිත අධ්‍යාපනයට අමතරව ප්‍රයෝගික වශයෙන් කරන්නා වූ කාර්යභාරය අති විශාල වූවකි. බුදු දහම යනු වෛද්‍ය විද්‍යාව අභිබවා විශ්වය දක්වා විහිදී ගිය දහමකි. එසේ නම් එය හදාරණ ශිෂ්‍ය භික්‍ෂුවට එවැනි නිදහසක් ලැබුණේ කෙසේද? එය බරපතළ ගැටලුවක් නොවේද?

විශේෂිත වූ පනතකින් බෞද්ධ වූ පාලි විශ්වවිද්‍යාලය 1981 වසරේදී පමණ ආරම්භ කරනු ලබන්නේ බුදු දහමේ චිරස්ථිතිය හා ධර්ම ප්‍රචාරණය ඇතුළත් කරුණු කිහිපයක් මුල්කරගනිමිනි. එහෙත් එකී අරමුණු සාක්‍ෂාත් කරගනු පිණිස අවශ්‍ය දේ මෙතෙක් එහි නිවැරදිව සිදුව තිබේද?

මෙරට වෛද්‍ය විද්‍යාල පිළිබඳ කතා කිරීමේදී එවායින් බිහි කෙරෙන්නේ පරිපූර්ණ වූ වෛද්‍යවරයෙකි. ඉංජිනේරු විෂය පිළිබඳව කතා කිරීමේදී ද රටට දායාද කෙරෙන්නේ හොඳ ඉංජිනේරුවෙකි. නීති විද්‍යාලය ගෙන බැලුවද තත්ත්වය එයම වේ. ගැඹුරු හැදෑරීමක් මිස අතපත ගා වැඩ කිරීමක් නිතිඥයෝ නොකරන්නාහ. මේ සියල්ලෝ පරිපූර්ණ වෘත්තිකයෝය.

ඒ ආකාරයට බුදු දහමේ චිරස්ථිතිය උදෙසා යැයි සඳහන් කෙරෙමින් ආරම්භ කෙරුණු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් වසර හතළිහකටත් අධික කාලයක් ගතවීත් මේ දක්වා බුදු දහමේ හරය වූ ත්‍රිපිටකය පිළිබඳ ගැඹුරු දැනුමක් සහිත උගත්, විනයධර, ධර්මධර, ශික්‍ෂාකාමී පරිපූර්ණ වූ භික්ෂුවක බිහි කෙරී තිබේද? ගැටලුව ඇත්තේ එතැනය.

කිතුනු දහමට අනුව දේව ධර්ම විද්‍යාලයේදී කිතුනු පූජකවරයකු වීම සඳහා අධ්‍යාපනය ලැබීමේදී පූජකවරයකු ලෙස පත්වීමට නම් ශිෂ්‍යයා බයිබලය, දේව ධර්මය, විනය, හැසිරීම, දේශන හැකියාව සංගීතය, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය ආදී වශයෙන් වූ විෂය ධාරවන් රැසක් ගැඹුරට හැදෑරිය යුතුව ඇත. එහිදී බිහි වන්නේ පරිපූර්ණ වූ පූජකවරයෙකි.

එහෙත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් මේ දක්වා එවැන්නක් සිදු නොවුණේ ඇයි? බටහිර අධ්‍යාපන ක්‍රමය අනුව ගිය ගමනේදී එහි විෂය ධාරා තුළ භික්‍ෂුවකට ත්‍රිපිටකය ගැඹුරට හැදෑරීමට අවස්ථාවක් නොලැබීම එයට හේතුවී නොතිබේද? විද්වත් පිරිස් සඳහන් කරන අන්දමට එහි ඇති විෂය ධාරාවම ගැටලුවක් බවට පත්ව තිබෙන්නකි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විෂය ධාරාවට අනුව බෞද්ධ අධ්‍යනාංශය හා භාෂා අධ්‍යනාංශය ලෙසින් කොටස් දෙකක් ඇත. බෞද්ධ අධ්‍යනාංශය යටතේ බෞද්ධ සංස්කෘතිය, දර්ශනය, පුරාවිද්‍යාව හා සමය අධ්‍යනය හා තුළනාත්මක දර්ශනය යන විෂයයන් ඉගැන්වෙන අතර භාෂා අධ්‍යනාංශය යටතේ පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, ඉංග්‍රීසි ඉගැන්වීම හා නූතන භාෂා සංවර්ධනය යන විෂයයන් ඉගැන්වේ.

එහෙත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණ කළ උගත් භික්‍ෂූන් වහන්සේ නමක් සඳහන් කරනු ලැබුවේ අදාළ විෂය ධාරාවන් යටතේ කිසි විටෙකත් ත්‍රිපිටකය ගැඹුරින් හැදෑරීමට ගිහි පැවිදි සිසුනට අවස්ථාවක් නොලැබෙතියි යන්න ය.

මෙය ඇති කරනු ලැබුවේ බුදු දහමේ චිරස්ථිතිය හා ධර්ම ප්‍රචාරණය ඉලක්ක කරගෙන නම් ශිෂ්‍ය භික්‍ෂුවට එහිදී ත්‍රිපිටකය ගැඹුරින් හෑදෑරීමට ඇති අවස්ථාව අහිමි වූයේ ඇයි. වරද ඇත්තේ එතැන නොවේද?

මේ තත්ත්වය තුළ ශිෂ්‍ය භික්‍ෂූන්ට එහිදී ලැබුණේ අසීමිත වූ නිදහසකි. ත්‍රිපිටකය ගැඹුරින් හැදෑරීම, භාවනා ක්‍රම, ධර්ම දේශනා පැවත්වීම ආදී ලෙසින් බුදු දහම සුරක්‍ෂිත කිරීම සඳහාම වන ලිඛිත හා ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් එහි ක්‍රියාත්මක වී නැත.

ඒ අනුව සිදු වූයේ ලද නිදහස අනුව එහි ගිහි පැවිදි සියලු සිසුන් අන්තරේ නාමයෙන් දේශපාලනික උගුල්වලට ගොදුරු වීමය. උපාධිය සඳහා වූ එහි අධ්‍යාපනයෙන් හරි අඩක් ධර්ම දේශනය, භාවනා ක්‍රම, පිරිත් දේශනය ආදී වශයෙන් බුදු දහමට අදාළ ප්‍රායෝගික පරීක්‍ෂණද සහිතව ක්‍රියාත්මක වූයේ නම් එහි සිටින ගිහි පැවිදි සිසුන් එතැනට ඇද වැනේනේ නැත. ඔවුන් දැඩි සේ කාර්යබහුල වීම තුළින් සියලු මාර සේනා පරාජයට පත් වන්නේය.

මෙතුළින් බිහි කෙරෙන උපාධිධාරී භික්‍ෂුව දේශන කුසලාතාවන්ගෙන්, භාවනා කුසලතාවන්ගෙන්, ථෙරවාදී බුදු දහම මෙන්ම සෙන් බුදු දහම, මහායාන දහම ආදී ලෙසින් සියලු කරුණු පිළිබඳ දන්නා ත්‍රිපිටකය ගැඹුරින් හැදෑරූ පමණක් නොව එයට අනුව පූර්ණ ලෙස ක්‍රියාත්මක භික්‍ෂුවක වූයේ නම් එම භික්‍ෂුව විනයධර, ධර්මධර, ශික්‍ෂාකාමී සුපේෂල භික්‍ෂුවක බවට පත්වන්නේ ඉබේමය.

අන්තරේට පැළවෙන්න බැරි කැම්පස් ෆැකල්ටිය

එහෙත් පසුගිය කාලය පුරාවට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සිදුව නැත්තේද එසේ වුවමනා දේ සිදුවීමය. එවන් තත්ත්වයක් තුළ මේ අන්දමට වැඩ සිදුවීමේ අරුමයක්ද නැත. මේ අප විඳවමින් සිටින්නේ ඉපැරණි පිරිවෙන් අධ්‍යාපනයෙන් සමාධිගත කෙරුණු අපේ භික්‍ෂුව බටහිර අධ්‍යාපන රටාවට තල්ලු කර දැමීමේ විපාකය නොවේද?

මෙරට තුළ වෛද්‍යවරයකුගේ සිට විශ්වවිද්‍යාල තුළින් පරිපූර්ණ වෘත්තිකයන් සියලු දෙනා බිහි කිරීමේදී ක්‍රියාත්මක වන්නේ ලිඛිත හා ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේදයකි. අධ්‍යාපනය තුළින් බිහි කෙරෙන උගතා පරිපූර්ණ වන්නේ එසේ වීමේදීය. එහෙත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කර වසර හතළිහක් ගතවීත් එය සිදුව නැත.

එසේ නම් විශ්වවිද්‍යාලය මුදා නොගත් කලාපයක් බවට පත්වීමේ වරද ඇත්තේ එහි ඉගෙන ගත් සිසුන් අතද? අද මෙරට ගුරු විදුහල් අධ්‍යාපනයේදී ගුරු සිසුන් ප්‍රයෝගික පරීක්‍ෂණ සඳහා ඉගැන්වීම පිණිස පාසලකට ගිය කල ආචාර්යවරයාද එහි යන්නේය. සිසුවාට ලකුණු ලැබෙන්නේ අචාර්යවරයා සියල්ල දෑසින් දැක රැනු ලගබන තීරණය අනුවය.

එහෙත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එවැනි වගකීමක් මෙතෙක් දරා තිබේද? උපාධිය හදාරණ අතරතුර කාලයේදී ප්‍රායෝගිකව කොතරම් ධර්ම දේශනා පවත්වා තිබේද? කොතරම් භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේද? විනය පවත්වාගෙන යන්නේ කෙසේද? සිසුවා බුදුන් වඳින්නේද? ධර්මයේ හැසිරෙන්නේද? ආදී වශයෙන් ශිෂ්‍ය භික්‍ෂුව පිළිබඳ නිවැරදි කියැවීමක් කරන්නට එහි ආචාර්යවරුන් සමත් වූයේද?

දැනගැනීමට ඇති පරිදි නම් කොහෙත්ම නැත. තිබුණේ නම් විදි බසින ශිෂ්‍ය භාක්‍ෂුව සිවුර කරට ගනිද්දී අද ජාත්‍යන්තරය ඉදිරියේ මෙරට භික්‍ෂුත්වය අසීමිතව කෙළෙසන්නට එක් එක් දේශපාලන කණ්ඩායම්වලට හැකිවන්නේද නැත. එසේ වූයේ නම් අන්තරේ වැනි අණවින යන්තර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළට ළඟා වන්නේද නැත. එහි අධ්‍යාපනය හදාරණ ගිහියන් නවක වධ යැයි කියමින් භික්‍ෂුවගෙ සිවුර ගලවන්නේද නැත.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදාරණ මෙකී ගිහි සිසුන් යනු කවුරුන්ද? ගිහියකු අධ්‍යාපනය සඳහා සිසුවකු ලෙස මෙම විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නම් අවශ්‍ය සුදුසුකම වන්නේ ඔහු පිරිවෙන් අවසන් විභාගය සමග පාලි බස සමත්ව තිබීමය. මෙරට තුළ එකී සුදුසුකම ඇති අති බහුතරයක් වූ ගිහියන් වන්නේ කවුරුන්ද?

ඔවුහු කලක් පැවිදිව සිට සිවුරු හැරීයෝ වන්නාහ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිටි අති බහුතරයක් ගිහි සිසුන් වන්නේ ඔවුන්ය. එය අරම්භ කරනු ලැබුවේ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා නම් එසේ සිවුරු ගලවා දමා භික්‍ෂූත්වය අත හරින ලද පිරිස්වලට එහි ඇතුළු වී අධ්‍යාපනය ලැබීමට මඟ විවර කරනු ලැබුවේ ඇයි? ඒ තීරණය ගනු ලැබුවේ කවරෙක්ද?

දැනගැනීමට ඇති පරිදි එසේ සිදු නොකරන්නැයි මහා නායක හිමිවරුන් එය ආරම්භයේදීම අනුශාසනා කර ඇත. නැත්තේ මහානායක හිමිවරුන්ගේ එකී අනුශාසනාවන්ට ඇහුම්කන් දුන්නෝය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ බොහෝ විනාශයන් ඇතුළු වීමට එක් ප්‍රධානම හේතුවක් වූයේ එසේ සිවුරු හැරීමෙන් පසු වැඩි දුර දහම් අධ්‍යාපනයට එහි ඇතුළු වූ පිරිස් බව අද කියැවෙමින් තිබෙන්නකි.

ඉකු්ත් කාලයේ බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයේ පැවැත්වුණු සාද සඳහා සිය ගණනින් අරක්කු බෝතල් පැමිණ ඇත්තේද මෙසේ සිවුරු හැර උපාධිය හදාරන්නට එහි පැමිණි ගිහියන් හරහාය. ඔවුනට එකී අවස්ථාව ලබාදුන් අයට සිදුව ඇති විනාශයේ තරම දැන් සිතාගත හැකිද? බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළට අන්තරේ අඳුරු සෙවණැලි ළඟා වූයේද ඔවුන් හරහා බව එහි අධ්‍යාපනය නිම කළ භික්‍ෂුහුම පවසන්නාහ. ඉතින් තවත් කවර කතාද?

අද බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මෙවැනි ඉරණමකට ගොදුරු වී තිබෙන්නේ ඉතිහාසයට අනුව නාලන්දා ආදී වශයෙන් බුදු දහම මත පදනම්ව විශ්වවිද්‍යාල සංකල්පය ලොවේ මුලින්ම බිහිවුණු පසුබිමක් යටතේය. ඒ අනුව බලන කල ඇතිවී තිබෙන්නේ මොනතරම් ඛේදනීය තත්ත්වයක්ද?

වසා දැමුණු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තවත් තෙදිනකින් විවෘත කෙරෙන බව මේ සටහන තබන ලද ඉකුත් සිකුරාදා දිනයේදී අපට වාර්තා විය. අප පෙන්වා දුන් මේ කරුණු පිළිබඳ අවධානය යොමු කර දිගු හා කෙටි කාලීන වශයෙන් හෝ එහි පවතින වැරදි නිවැරදි කරමින් එය සිදු කෙරෙන්නේ නම් එමගින් සිදුවන්නේ රටට මෙන්ම උතුම් බුදු දහමටද යහපතකි. එසේ නොවුණහොත් තවදුරටත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළින් අවැඩක්ම මිස අන් යමක් නම් සිදු නොවුණු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment