පර්ල් එක්ස්ප්‍රස් නැවේ වන්දි යට ගහන කුමන්ත්‍රණය ඇත්තක්ද?

251

සුවිසල් කර්මාන්ත පුරයක් බඳු එක්ස්ප‍්‍රස් පර්ල් රසායනික හා ප්ලාස්ටික් සහිත නෞකාව ගිලී ගොස් මාස කිහිපයක් ගතවී ඇත. දැන් අපට ඉතිරිව ඇත්තේ ඒ මගින් ඇති කරන ලද දැවැන්ත සාගර හා වෙරළ දූෂණයකි. මේ දූෂණය සඳහා සරිලන වන්දියක් ලබාගැනීමම අපට මේ මහා විනාශයෙන් ගැලවෙන මගක් නොවුණාට… බිඳ වැටී ඇති බොහෝ ක්ෂේත‍්‍ර ප‍්‍රකෘතිමත් කිරීම සඳහා මේ වන්දිය ලැබෙන දිරි දීමකි. එනම්, මේ මහා නෞකා විනාශයෙන් ගොඩ එන මග වෙන කවරකුත් නොව, ඒ විනාශය වෙනුවෙන් රටට ලැබිය යුතු වන්දියම වේ.

එසේ හෙයින් රට දැන් බලාපොරොත්තුව සිටින්නේ රජයේ අදාළ පාර්ශ්ව මගින් අදාළ නැව් සමාගම හෝ ඊට අදාළ රක්ෂණ සමාගම වෙත විනාශයේ තරම වාර්තා කර ඊට අදාළ වන්දිය ලබාගන්නා දෙසය.

නමුත් නෞකාවෙන් මතුව ඇති තෙල් පල්ලම් මෙන් කාලයත් සමග උඩ, යට යන තීන්දු, තීරණ, ක‍්‍රියාමාර්ග හේතුවෙන් රටට ලැබිය යුතු නියම වන්දි මුදල ලබාගන්නට නොහැකිවේදැයි හෝ නෞකාවෙන් ඇත්තටම අපගේ පරිසරයට, සාගර ජීවීන්ට, ධීවර හෝ සංචාරක ක්ෂේත‍්‍රයට සිදුව ඇති විනාශය යට ගසන්නට ක‍්‍රියාකරන්නේදැයි කුකුසක් රජයට කෙසේ වෙතත් දැන් රටවැසියාට ඇතිව තිබේ. ඉකුත්දා මීගමුව, පමුණුගම, සරක්කුව මුහුදු තීරයේදී ඇති වූ විරෝධතාව ඊට නිදසුනකි.

”රාජ්‍ය ආයතන ජනතාව වෙනුවෙන්ද, නැව් සමාගම වෙනුවෙන්ද….?”, ”වෙච්ච විනාශය පෙන්වීම වැරදිද…..?”, ”වෙරළ පවිත‍්‍ර කිරීම බාගෙටද…?”, ”ප්‍රෝඩා එපා… විනාශය බරපතලයි…”, ”විනාශය තක්සේරුව මන්ද පමා…” වැනි විරෝධතා පුවරු රැගත් සමාජ ක‍්‍රියාකාරීන් සහ ප‍්‍රදේශයේ ධීවර ජනයා එහිදී රජයට තම විරෝධතාව ප‍්‍රකාශ කළහ.

මෙහිදී ප‍්‍රධාන ලෙසම කතා බහට ලක්වූවේ නැවේ අනතුරෙන් බරපතල ලෙස වෙරළ දූෂණයකට ලක්වූ සරක්කුව වෙරළේ පිරිසිදු කිරීම් සම්බන්ධව කටයුතු කළ නව නිර්මාණකරුවකු සහ ඔහු විසින් නිෂ්පාදනය කර වෙරළ පිරිසිදු කිරීම් සඳහා භාවිතයට ගෙන තිබූ යන්ත‍්‍රයේ කටයුතු නවතා දමන්නට රාජ්‍ය බලධාරීන් ගෙන තිබුණේ යයි කියන තීන්දුවක් පිළිබඳවය. නැවෙන් සිදුව ඇති දූෂණය වැළක්වීම, වෙරළ හා සාගර පරිසරය ප‍්‍රකෘතිමත් කිරීම, නැවට (නැව් සමාගම හෝ රක්ෂණ සමාගම ඇතුළු අදාළ අනෙකුත් පාර්ශ්ව) එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම, වන්දි මුදල් අයකරගැනීම වැනි කටයුතු සඳහා රජයේ පාර්ශ්වයෙන් සෘජුවම මැදිහත්වන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (මීපා), සහ නීතිපති දෙපාර්තමේන්තුවයි. මේ අනුව මීපා ආයතනය විසින් වෙරළ ප‍්‍රකෘතිමත් කිරීමට කටයුතු කිරීමේදී නව නිපයුම්කරුවකු වන චින්තක වේරගොඩ යන අය සඳහා තමා විසින් නිර්මාණය කරන ලද යන්ත‍්‍රයක් ආධාරයෙන් වෙරළ පිරිසිදු කිරීම සඳහා අවසර ලබා දී ඇත්තේ ඔහු සමග ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කරමිනි. එම ගිවිසුමට අනුව, දිනකට ඇමරිකානු ඩොලර් 3750 ක් බැගින් ඔහුගේ කටයුතු වෙනුවෙන් ගෙවීමට මීපා ආයතනය එකඟ වී ඇත. ඒ දිනකට වෙරළේ වැලි වර්ග කියුබ් මීටර් 80 ක් පිරිසිදු කිරීමේ එකඟතාව මතය.

පර්ල් එක්ස්ප්‍රස් නැවේ වන්දි යට ගහන කුමන්ත්‍රණය ඇත්තක්ද?

කෙසේ හෝ ඔහු විසින් තම යන්ත‍්‍රය ආධාරයෙන් මේ වන විට දින 60 ක කාලයක් මේ වෙනුවෙන් සම්පූර්ණ කර ඇත. මෙහිදී වඩාත්ම වැදගත් කාරණය වන්නේ ඔහුගේ මෙම යන්ත‍්‍රය මගින් ස්ථර 7 ක පමණ දූෂක කාරක වෙන්කර ගැනීමට ලැබී ඇති හැකියාවය. එනම්, බහුල වශයෙන් පරිප්පු පියළි තරමේ ප්ලාස්ටික් පෙලට්ස් (ඇට) වෙන් කරගෙන ඇති වේරගොඩ නම් මෙම නිපැයුම්කරු තම යන්ත‍්‍රය ආධාරයෙන් වෙරළේ සැඟව තිබුණු ඝන ප්ලාස්ටික් හෝ රසායනික මිශ‍්‍ර කැබිලිති, මයික්‍රෝ ප්ලාස්ටික්, ඇසිඞ් හා දූෂක කාරක සහිත ද්‍රව වර්ග යනාදී වශයෙන් අධියර කිහිපයක දූෂක වෙන්කිරීම සිදුකරනු ලබයි. සත්‍ය වශයෙන්ම වෙරළේ හෝ සාගරයේ විසිරී පවතින, ගිනිගත් නැවේ දූෂක කාරක එක තැනක, එකතුවක් ලෙස දැකගන්නට හැක්කේ ඔහුගේ මෙම යන්ත‍්‍රය අසලදීය. බැකෝ යන්ත‍්‍ර මගින් රැගෙනවිත් යන්ත‍්‍රය තුළට දමන දූෂිත වැලිවලින් මෙම අපද්‍රව්‍ය පෙරාගත් පසුව, පිරිසිදු කරන ලද වැලි නැවත තිබුණු ස්ථානයටම ගෙන ගොස් දමනු ලබන්නේ මීපා ආයතනයේද අධීක්ෂණය යටතේය.

කෙසේ හෝ මෙසේ වෙන්කරගන්නා ලද අපද්‍රව්‍ය නොහොත් දූෂක කාරක මගින් ගිනි ගත් නැවෙන් සිදු වූ විනාශයේ තරම නැව් සමාගම වෙත හෝ නැවේ රක්ෂණ සමාගම වෙත පෙන්වා දෙන්නට රජයට කදිම අවස්ථාවක් උදාවී ඇත. මෙම ද්‍රව්‍ය කාර්මික තාක්ෂණ ආයතන, නාරා වැනි ආයතන තුළ තවදුරටත් ලැබ් (පරීක්ෂණාගාර) ටෙස්ට් සිදුකර රක්ෂණ වන්දි ආවරණය සඳහා යොදා ගැනීමේ හැකියාව ලැබී ඇති මොහොතක වේරගොඩ මහතාගේ යන්ත‍්‍රයේ කටයුතු නවතා දමන්නට මීපා ආයතනයෙන් ලිඛිත දැන්වීමක් ලැබී තිබීම මෙසේ සරක්කුව වෙරළේ ජනතා විරෝධතාවකට හේතු විය.

මේ පිළිබඳව කරුණු දක්වන වෙරළ පිරිසිදු කිරීමේ යන්ත‍්‍රය නිර්මාණය කළ චින්තක වේරගොඩ මහතා සඳහන් කරන්නේ තම යන්ත‍්‍රය මගින් මේ වන විට ප්ලාස්ටික් පැලට් ටොන් 10 ක්, අර්ධ දහනයට ලක්වූ ඝන කැබලිති ටොන් 4-5ක් හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂිත තෙල් හා දියර අපද්‍රව්‍ය ලීටර් එක්ලක්ෂ දසදහසක් පමණ එකතු කර දී ඇති නමුත් රජය විසින් එකඟවූ පරිදි තමන්ට මේ දක්වා සත පහකවත් මුදලක් ලබා දී නොමැති බවයි.

තමන් මේ කටයුතු කරමින් සිටින්නේ තම නිවස පවා උකස් කරමින් බව පවසන වේරගොඩ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ අතර තමන්ගේ කටයුතු නවතා දමන්නට රජය මගින් ලිඛිත නියෝගක් ලබා දී ඇති බවයි. පරිසරයට මිශ‍්‍රව ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් හා දූෂිත ද්‍රව වර්ග සියල්ලකම පාහේ තම යන්ත‍්‍රය මගින් හෙළිදරව් වන නිසා මෙසේ සිදුවන බව තමන් විශ්වාස කරන බවද පවසන වේරගොඩ මහතා පවසන්නේ තම කටයුතු නවතා දමන ලෙස විදේශිකයින් පිරිසක් මීපා ආයතනයේ නිලධාරීන් ඉදිරියේදී තමන්ට මරණ තර්ජනය කළ බවයි.

පර්ල් එක්ස්ප්‍රස් නැවේ වන්දි යට ගහන කුමන්ත්‍රණය ඇත්තක්ද?

”මේ වන විට නෞකාවේ සිද්ධියෙන් නැව ලියාපදිංචි සමාගම හා නැවේ ප‍්‍රවාහන කටයුතු කළ සමාගම සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටිනවා. පී ඇන්ඞ් අයි (P&I) නමැති මීට අදාළ රක්ෂණ සමාගම සමග ගනුදෙනු භාරව කටයුතු කරන්නේ ”අයිටොෆ්” (ITOPF – International Tank Owner Pollution Fedaration) නමැති සංවිධානය පමණයි.

ඔවුන් තමන්ට ඕන විදිහට තමයි ලංකාවට ඇවිත් කටයුතු කරන්නේ. සරක්කුව වෙරළට මිශ‍්‍රව තිබුණු ප්ලාස්ටික් ඇතුළු දූෂක කාරක එකතුකිරීම සඳහා ශ‍්‍රී ලාංකිකයකු විසින් නිපදවා ක‍්‍රියාත්මක කරමින් සිටි යන්ත‍්‍රයෙන් නැවෙන් සිදුව ඇති සැබෑ විනාශය හෙළිදරව් වෙමින් පවතින නිසා මෙම සංවිධානයේ උවමනාව පරිදි අදාළ පිරිසිදු කිරීමේ කටයුතු අත්හිටුවීමට මේ වන විට නියෝගයක් ලැබී ඇති බව අපි විශ්වාස කරනවා. මෙහි අරමුණ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශය අඩු තක්සේරුවකින් පෙන්වා ශ‍්‍රී ලංකාවට ලැබිය යුතු වන්දි මුදල අවම කිරීමයි.” මේ පිළිබඳව සරක්කුව වෙරළේ පැවති මහජන විරෝධතාවේදී අදහස් දැක්වූ ”ෆ්‍රෙන්ඞ්ස් ඔෆ් ද අර්ත්” ජාත්‍යන්තර සංගමයේ සභාපති හේමන්ත විතානගේ මහතා ප‍්‍රකාශ කළේය. ”නැවෙන් සිදු වූ සැබෑ හානිය යටගසන්නට මෙම සංවිධානය හිතාමතාම කටයුතු කරමින් සිටින බව පැහැදිලියි” ඔහු පවසයි.

මේ පිළිබඳව අප මීපා, එසේත් නැතිනම් අයිටොෆ් ආයතනයත් සමග සෘජුව ගනුදෙනු සිදුකරන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශණී ලහඳුපුර මහත්මිය ගෙන් විමසූ විට ඇය කියා සිටින්නේ මෙවන් කතාවකි.

”නැවෙන් සිදුව ඇති හානිය යටගහන්න අපට හෝ කාටවත් වුවමනාවක් නැහැ. එහෙම වෙන්න අපි ඉඩදෙන්නෙත් නැහැ. මේ වනවිට ඉතා හොඳින් නැවෙන් සිදුව ඇති හානිපූර්ණය සඳහා කටයුතු කරමින් පවතිනවා. ඒ සඳහා අධ්‍යයනයට විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. මේ කමිටුවේ 40 ක් විතර පිරිසක් කටයුතු කරනවා විවිධ විෂයයන් යටතේ. කොහොම හරි නොවැම්බර් 30 වන විට අපි රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා ඉල්ලූම් කළ යුතුයි. ඊට අදාළ කටයුතු අපි සිදුකරමින් පවතිනවා.

අනික වේරගොඩ මහතා ඔය කටයුතු කරන්න සම්බන්ධ කරගත්තේ මීපා එකෙන්මයි. ඔහු නව නිර්මාණකරුවෙක් විදිහට හා ඔහුගේ යන්ත‍්‍රය මගින් සිදුකෙරෙන කාර්යක්ෂම සේවය නිසයි අපි ඔහුව සම්බන්ධ කරගත්තේ. ඔහුගේ ගෙවීම් සඳහා අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් අපි රක්ෂණ සමාගමට යවා තිබෙනවා. ඒ සඳහා ගෙවීම් සිදුකෙරෙනවා. මොකද එයාට ගෙවන්නෙ රජයේ මුදල් නෙමෙයි, රක්ෂණ මුදල්.” සභාපතිනිය පවසන්නීය.

ඇය කියන පරිදි ”අයිටොෆ්” සංවිධානය හෝ ”පී ඇන්ඞ් අයි” රක්ෂණ සමාගම යන ආයතන නැවේ වන්දිය යට ගසන්නට කටයුතු කරන්නේ නැත. වේරගොඩ මහතා කටයුතු කරන්නේ අත්තනෝමතික ලෙස තමන්ට වැඩි ලාභ අපේක්ෂාවෙනි. නමුත් මෙම නෞකා සිද්ධියේදී මීපා ආයතනය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ පාර්ශ්වය හැකි උපරිම වන්දි මුදල ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කටයුතු කරයි. නොවැම්බර් අග වන විට එම වන්දි මුදල කොපමණ ප‍්‍රමාණයක්ද යන්න පිළිබඳව විද්වත් කමිටුව මගින් ප‍්‍රකාශ කරනු ඇති බවද ඇය පවසන්නීය.

කෙසේ වෙතත් ගිනි ගෙන විනාශ වූ රසායනික කර්මාන්තශාලාවක් බඳු වූ එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ විනාශය නිසා සරක්කුව වැල්ලට සිදු වූ ප්ලාස්ටික් හා රසායනික දූෂක සොයන කටයුතු දැන් වේරගොඩගේ මැෂිමෙන් ප‍්‍රදේශයේ ධීවර කාන්තාවන් විසින් හොල්ල හොල්ලා හලන සල්ලඩයට (රයිසි) මාරුවී ඇත. නොවැම්බර් 30 වන විට මේ සල්ලඩ කිරීමෙන් නම් අලූත් දෙයක් නැවේ රක්ෂණ සමාගම වෙත දෙන්නට අපට නොහැකි වනු ඇත.

ජගත් කණහැරආරච්චි
පින්තුර – නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment