කෝටි තිස්හතරක බාල බෙහෙත් ඉවත් කරන්න නම් ගෙන්නුවේ මොකටද?

97

කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ඖෂධ කල්ඉකුත් වන්නේ ඇයි

කෝටියකට අධික වටිනාකමින් යුතු නිර්වින්දන ඖෂධ කල්ඉකුත් වෙලා

මාතෘ මරණ අනුපාතය ඉහළට

රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමග ඖෂධවල මිල අහස උසට නැග තිබේ. කොටින්ම කිවහොත් ඖෂධවල මිල රට්ටුන්ට දරාගැනීමට නොහැකිවී ඇත. විවිධ රෝගවලින් පීඩාවිඳින විශ්‍රාමිකයන්ට බෙහෙත් තුන්ඩුවේ ඇති ඖෂධ මිලදී ගැනීම සඳහා සිය මාසික විශ්‍රාම වැටුප පවා ප්‍රමාණවත් නොවේ. රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතවීම නිසා රෝගීන් ගැටලු රැසකට ලක්ව ඇත. ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කිරීම රජයේ වගකීමකි. මක්නිසාද යත් සෞඛ්‍ය සේවාව මිනිසාගේ මූලික අයිතියකි.

ඒ කොයිහැටි වුවද ඖෂධ නොමැතිව ජනතාව පීඩාවට ලක්ව සිටියදී කෝටි ගණන් විටිනා ඖෂධ කල්ඉකුත්වී ඇත්තේය. තත්ත්වයෙන් අසමත් ඖෂධ භාවිතයෙන් ඉවත්කොට තිබේ. ඒ විතරක් නොව ඇතැම් අවස්ථාවලදී කල්ඉකුත්වී ඇති ඖෂධ රෝහල් මගින් රෝගීන් වෙත ලබා දී තිබුණි. ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු විනිවිදභාවයකින් සිදුනොවන අතර සියල්ල කොමිස් කුට්ටිමත තීන්දුවීම නිසා මරුපහරක් එල්ලවී ඇත්තේ රෝගී ජීවිතවලටය. කොටින්ම කිවහොත් අපේ රටේ ඇත්තේ ඖෂධ මාෆියාවකි. ඇතැම් සෞඛ්‍ය පරිපාලකයන් මෙන්ම ඇතැම් වෛද්‍යවරු ඖෂධ ගෙන්වන බහුජාතික සමාගම්වල සුරතලුන් බවට පත්ව ඇත.

රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතුරින් රුපියල් තිස්හතරකෝටි, අනූලක්ෂ, විසිපන්දහස්, හයසිය හතළිස් හතරක් (349,025,664) වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත්වීම මත ඉකුත් වර්ෂයේ දී (2022) භාවිතයෙන් ඉවත්කර තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන්ව තිබුණි. එමෙන්ම ඉකුත් වර්ෂය තුළදී තවත් රුපියල් තුන්කෝටි, දාහත්ලක්ෂ, පනස්එක්දහස් විසිහතරක් වටිනා (31,751,024) වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත්වීම මත තාවකාලිකව භාවිතය අත්හිටුවා ඇත.

වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය මගින් ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම නිසා ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තාවන අවස්ථාව වනවිට එම ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිතාකොට අවසන් බව වර්ෂ ගණනාවක සිට නිරීක්ෂණය වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වර්ෂයේ ද ප්‍රමාණාත්මක අයුරින් එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඖෂධ රෝහල්වලට නිකුත් කිරීමට පෙර තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍යවල කල්ඉකුත්වීම සම්බන්ධයෙන් කරනු ලැබූ නියඳි විගණන පරික්ෂාවේදී රුපියල් මිලියන 77.82ක් වටිනා කල්ඉකුත්වූ තොග වසර 11කට වැඩි කාලයක සිට ගබඩාවල රඳවාගෙන ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

විගණනය මගින් පෙන්වාදෙන ආකාරයට තත්ත්වයෙන් අසමත් ඖෂධ වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අයවිය යුතු මුදල රුපියල් දෙසිය හැටහතර කෝටි, තිස්තුන් ලක්ෂ, හතළිස් දෙදහස්, එකසිය දාහතකි. (2,643,342,117) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් අයවිය යුතු මුදල රුපියල් එක්කෝටි, පනස්තුන්ලක්ෂ, තිස්තුන්දහස් එකසිය හැත්තැහයකි (15,333.176). රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙන් රුපියල් අටකෝටි හතළිස් අටලක්ෂ, හැටහයදහස් හත්සිය පනහක මුදලක් අයවීමට ඇත. (84,866,750) දේශීය සැපයුම්කරුවන් හා දේශීය නිෂ්පාදකයන් ගෙන් අයවිය යුතු මුදල රුපියල් පන්කෝටි හැත්තැහය ලක්ෂ, අනූනමදහස් නමසිය අසූඑකකි. (57,699,981) ඒ අනුව ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට රුපියල් දෙසියඅසූකෝටි, දොළොස්ලක්ෂ, හතළිස් දෙදහස් විසිහතරක මුදලක් (2,801,242,024) අයවිය යුතුව තිබූ අතර මෙම මුදල් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කිරීමට හෝ හෙළිදරව් කිරීමට කටයුතු කර නොතිබුණි. ඒ විතරක් නොව පාඩුවක් හෝ අලාභහානියක් සිදුවූ වහාම එහි ප්‍රමාණය සහ හේතු නිශ්චිත වශයෙන් දැනගත යුතුය. ඒ සඳහා වගකිවයුත්තන් නිශ්චය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ යුතුය. කෙසේ වුවද රුපියල් මිලියන 22.91 ඖෂධ ඌණතා ඇති වී වසර 05ත් 13ක් අතර කාලයක් ගතවී තිබුණි. එමෙන්ම රුපියල් මිලියන 218.04ක ඖෂධ කල්ඉකුත්වී වසර 02ත් 13ත් අතර කාලයක් ගතවී තිබුණි. මේ සම්බන්ධයෙන් මුදල් රේගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

ඇතැම් රෝහල්වල ඖෂධ ගබඩා තුළ සාමාන්‍ය ඖෂධ සමග කල්ඉකුත්වී ඇති ඖෂධ ද ගබඩාකොට තිබූ බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. වෛද්‍ය සැපයුම් අංශය විසින් විධිමත්ව සෙල්සියස් අංශක 25ට අඩු උෂ්ණත්වයක තැබිය යුතු ඖෂධ අයිතම් 17ක් සෙල්සියස් අංශක 30ට වැඩි උෂ්ණත්වයක් සහිත ගබඩාවන්හි තිබූ බව විගණනය මගින් ගම්පහ, අනුරාධපුර, ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශවල හා මීරිගම මූලික රෝහල අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයන්හි සිදුකළ භෞතික විගණන පරීක්ෂණවලදී අනාවරණයවී තිබුණි. එම ඖෂධ අතර ආසාත්මිකතා, අධිරුධිර පීඩන, රෝග සඳහා භාවිතා කරන ඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ පැවති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. ඒ විතරක් නොව කල්ඉකුත් වූ ඖෂධ අයිතම 09ක් වෙනම හඳුනා ගැනීමකින් තොරව අනිකුත් ඖෂධ වර්ග සමග ගබඩාවල වෙනම රඳවා තිබුණි. ගබඩාවල ඇති ඖෂධවල කල්ඉකුත්වීමේ දිනයන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් වේයන්ගොඩ, ඖෂධ ගබඩාව තුළ සහ ගම්පහ ප්‍රාදේශීය සැපයුම් අංශයේ ගබඩාව තුළ හා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ඖෂධ ගබඩාව තුළ මෙම කල්ඉකුත්වී ඇති ඖෂධ රඳවා තිබුණි. මෙසේ කල්ඉකුත්වූ ඖෂධ සාමාන්‍ය ඖෂධ සමග රඳවා තැබීම නිසා එම ඖෂධ රෝගීන් වෙත නිකුත් කිරීමේ අවදානමක් පවතින බව විගණනයේ දී නිරීක්ෂණය වී ඇත.

වෛද්‍ය සැපයුම් අංශය වෙත 2021 ජුනි මස 27 වැනි දින ඒකකයක මිල රුපියල් 98ක් වූ propofol injection Bp නැමති එන්නත් ඒකක 171,875ක් ලැබී තිබුණි. ඉන් එන්නත් ඒකක 131,885ක් 2021 ජුලි මස 06 දින වේයන්ගොඩ ගබඩාව වෙත යවා තිබුණි. එහෙත් මෙකී එන්නත් තොගය 2022 නොවැම්බර් මස 30 දින කල්ඉකුත්වී තිබුණි. කල්ඉකුත්වී ඇති එන්නත් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි විසිනමලක්ෂ විසිහතරදහස් හත්සිය තිහකි. (12,942,730) මිලදී ගත් මුළු තොගයෙන් සියයට 77ක් කල්ඉකුත්ව තිබුණි. මෙය නිර්වින්දන ඖෂධයකි. ඇතැම් රෝහල්වල නිර්වින්දන ඖෂධ නොමැතිවීම හේතුවෙන් රෝහල්කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියදී මේ අයුරින් නිර්වින්දන ඖෂධ කල්ඉකුත්වීමට ඉඩහැරීම ජාතික අපරාධයකි. ඖෂධ සමාගම්වල කොමිස් කුට්ටිවලට වහවැටුණු ඇතැම් සෞඛ්‍ය පරිපාලකයන්ගේ අවශ්‍යතාවයන් අනුව මෙම කටයුතු සිදුකරනවාද යන්න විමර්ශනය කළ යුතුය.

ඒ විතරක් නොව ඉකුත් වසර 11ක කාලය තුළදී වෛද්‍ය සැපයුම් අංශයට අයත් ගබඩාවල සිදුවී ඇති ඖෂධ හානි, හා පාඩු හඳුනාගැනීම, වාර්තා කිරීම අයකර ගැනීමට හෝ කපාහැරීමට විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. මේ හේතුවෙන් සිද්ධීන් 285කට අදාළව රුපියල් මිලියන 452ක් වූ හානි සහ පාඩු විගණිත දිනය වූ 2022 දෙසැම්බර් මස 31 දින වනවිටත් අයකර ගැනීමට හෝ කපාහැරීමට කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. වෛද්‍ය සැපයුම් අංශයට අයත්ව තිබූ කොටිකාවත්ත ගබඩාව 2016 වර්ෂයේ දී ඇති වූ ගංවතුර තත්ත්වය නිසා සිදුවී ඇති හානිය ලෙස රුපියල් මිලියන 405.57ක් ලෙස ගණනය කොට තිබුණි. මෙම හානිය සම්බන්ධයෙන් හිමිවිය යුතු රක්ෂණාවරණය රුපියල් මිලියන 320කි. එහෙත් ලැබී තිබුණේ රුපියල් මිලියන 206.31කි. ඒ අනුව අදාළ රක්ෂණ ආයතනය විසින් රුපියල් මිලියන 113.69ක මුදලක් අයවීමට තිබූ අතර එම මුදල අයකරගෙන නොතිබුණි. එමෙන්ම ඖෂධ තොග රෝහල් සඳහා ක්‍රමවත්ව නිකුත් නොකිරීම නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවී තිබුණි.

ඖෂධ තොග කල්ඉකුත්වීමට පෙර උපරිම වශයෙන් භාවිතා කිරීමට අනුගමනය කළ යුතු පියවරයන් පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයා විසින් අභ්‍යන්තර චක්‍රලේඛ මගින් පෙන්වා දී තිබුණි. එහෙත් වෛද්‍ය සැපයුම් අංශය විසින් එම උපදෙස් අනුව කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ලෝක බැංකු ණය මගින් ක්‍රියාත්මක කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය මගින් 2021 වර්ෂයේ දෙසැම්බර් මස සිට 2022 ජනවාරි මස දක්වා කාලය තුළ පයිසර් එන්නත් මාත්‍රා 13,999,050ක් මිලදීගෙන තිබුණි. මෙකී ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිලදීගෙන වසංගත රෝග ඒකකය වෙත ලබාදී තිබුණි. මෙකී එන්නත් තොගයේ වටිනාකම රුපියල් 16,101,724,809.කි. කෙසේ වුවද මිලදී ගන්නා ලද එන්නත් පිළිබඳ පරීක්ෂා කිරීමට අදාළ වවුචර් ඉන්වොයිස්පත්වල මුල්පිටපත් හා වෙනත් තහවුරු කිරීම් විගණනය සඳහා ඉදිරිපත් කොට නොතිබුණි. කෙසේ වුවද මෙකී එන්නත් තොගයෙන් එන්නත් 7,951,710ක් ඉකුත් වර්ෂයේ 2022 ජුලි 31 දිනට කල්ඉකුත්වී තිබුණි. එය සියයට 57කි. කල්ඉකුත්වී ඇති එන්නත් තොගයේ වටිනාකම රුපියල් 10,736,687,091කි.

රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ඖෂධ, එන්නත් හා ශල්‍ය උපකරණ කල්ඉකුත් වීමෙන් නිසි ප්‍රමිතියෙන් නොමැතිවීම නිසා භාවිතයෙන් ඉවත්කොට තිබේ. එහෙත් සෞඛ්‍ය බලධාරීන් විසින් වසර තුනකට ප්‍රමාණවත් ප්‍රතිජීවක ඖෂධයක් තිබියදී හදිසි මිලදී
ගැනීමක් ලෙස එම ඖෂධය මිලදී ගැනීමට සැලසුම්කොට ඇති බැව් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේය. ප්‍රමාණවත් ඖෂධ තොග පවතින බව දත්ත පද්ධතිය පෙන්නුම් කරද්දී merapanam වැනි ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක් හදිසි මිලදී ගැනීම් සිදු කරන්නේ ඇයිද යන්න පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රශ්න කරයි.

මෙම ප්‍රතිජීවක ඖෂධය වැඩිමිලට මිලදී ගැනීමෙන් එක් වරකට රුපියල් කෝටි අටක අලාභයක් සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වස්ථා දත්ත පද්ධතියට අනුව රට තුළ ප්‍රමාණවත් තරම් මෙරපනම් Merapanum නම් කාණ්ඩයේ ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ පවතින බවට අනාවරණය වී ඇත. එහෙත් එම ඖෂධය හදිසි මිලදී ගැනීම් ලෙස මිලදී ගැනීම නිසා වරකට කෝටි අටකට අධික අලාභයක් රටට සිදුවිය බැවින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ සංජීව මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ඉතා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක් වන මෙම ප්‍රතිජීවක ඖෂධය බොහෝ විට භාවිතා කරනු ලබන්නේ විශේෂ අවස්ථාවන්වලදී පමණක් වන අතර දිවයිනේ ප්‍රධාන පෙළේ ජාතික රෝහල් හා ශික්ෂණ රෝහල් ද ප්‍රධාන මූලික රෝහල් තුළදී පමණක් මෙම ඖෂධ ලබාදීම සිදු කරන බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙම වර්ෂය ඉකුත් වීම සඳහා තවත් මාස දෙකක පමණ කාලයක් තිබියදී 2023 වර්ෂයේ සඳහා හදිසි මිලදී ගැනීම් ලෙස මේ අන්දමට merapanam ඇතුළු තවත් ඖෂධ කාණ්ඩ කිහිපයක් හදිසි මිලදී ගැනීම් සිදු කිරීම ප්‍රශ්න සහගත බවත් එසේ මිලදී ගැනීමේදී රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ අවස්ථාවේදී පැවති අගයන්ට ද වඩා වැඩි මුදලකට ඖෂධ මිලදී ගැනීම බරපතළ අපරාධයක් බව ද චමල් සංජීව මහතා සඳහන් කරන්නේය. රුපියල අවප්‍රමාණය පැවැති පසුගිය වර්ෂයේ දී රුපියල් නවසියයකට ආසන්න ප්‍රමාණයකට මිලදී ගත් එම ඖෂධය රුපියල ශක්තිමත්ව ඇති බව පවසන මෙම අවස්ථාවේදී රුපියල් 2000කට ආසන්න මුදලකට මිලදී ගැනීම ගැන මුදල් අමාත්‍යාංශය විමර්ශනයක් කළ යුතු බවද ඔහු පවසයි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ Liposomal” Parental infusion” Sevoflurant” Teicoplamin, Vancomycin, Methylprednisolone යන ඖෂධ වර්ග හදිසි මිලදී ගැනීමක් ලෙස මිලදී ගන්නා ලෙසට අගෝස්තු මාසයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවට වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂක කපිල වික්‍රමනායක මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දෙමින් ලිපියක් යවා ඇති බවය. එක් බෙහෙත් කුප්පියක් රුපියල් 1895 බැගින් බෙහෙත් කුප්පි ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා වැය කළ මුදල රුපියල් කෝටි අටකට (රු. 852 976 000.00) අධික බව රාජ්‍ය ඖෂධ සංස්ථාව නිකුත් කළ මිලදී ගැනීමේ නියෝගයේ සඳහන් බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේය.

ඒ විතරක් නොව පසුගිය වසරක පමණ කාලසීමාව තුළ දී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ සංවර්ධනය සම්බන්ධව මැන බලන තිරසාර සෞඛ්‍ය දර්ශක අතර ශ්‍රී ලංකාව කැපී පෙනෙන ලෙස අවම ප්‍රගතියක් වාර්තා කර ගනිමින් පවතින බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. මාතෘ මරණ අනුපාතයද ඉති අහිතකර ලෙස වර්ධනය වී ඇත. මෙරට මාතෘ මරණ අනුපාතය 2030 වනවිට සජීවී උපත් ලක්ෂයකට 16වැනි අගයක් පවත්වා ගැනීමට ඉලක්කකොට තිබුණි. එහෙත් 2022 වර්ෂයේ දී මාතෘ මරණ අනුපාතය සජීවී දරු උපත් ලක්ෂයකට 29.5ක් වැනි අගයක් ගෙන තිබුණි. වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී තිබූ අතර තිරසාර සෞඛ්‍ය දර්ශකවලට අනුව මෙම අගය සජීවී උපත් දාහකට 07 වැනි අගයක පවත්වාගැනීම ඉලක්කය විය යුතුය. නව මරණ අනුපාතය 6.8 ක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති අතර සංවර්ධන දර්ශකවලට අනුව එම අගය සජීවී උපත් දාහකට 04ක් ලෙස පවත්වා ගෙන යෑමට ඉලක්ක කොට තිබුණි. ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම සෞඛ්‍ය කාර්යය සාධක වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය ඩෙංගු රෝගය බරවා රෝගී සහ ලාදුරු රෝගය ද කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතී. ජාත්‍යන්තර සෞඛ්‍ය දර්ශකවලට අනුව ජලභීතිකා මරණ සංඛ්‍යාව ශූන්‍ය අගයක පවත්වාගැනීම ඉලක්කය විය යුතු බවත් ලෙස වර්ධනය වී තිබීම ඉතා කනගාටුදායක තත්ත්වයකි..

මේ අතර මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන තනතුරු අතුරින් වෛද්‍ය නිලධාරීන් 1331 දෙනකු, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනකු, හෙදි නිලධාරීන් 1759 දෙනකුගේ සහ උපස්ථායකයින් 2268 දෙනකු හිඟයක් පවතින බැව් විගණනය මගින් අනාවරණය කොට ඇත.

විගණනය සඳහා ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දිනට ලබාදුන් තොරතුරුවලට අනුව රෝහල් 23ක විශේෂඥ වෛද්‍යවරුන් 146ක් අතිරික්තව සිටියදී රෝහල් 38ක විශේෂඥ වෛද්‍යවරුන් 156කගේ හිඟයක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. විශේෂඥ වෛද්‍යවරුන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ 20ක්ද, මහනුවර ජාතික රෝහලේ 15ක්ද, කොළඹ ජාතික රෝහලේ 14ක්ද, කුරුණෑගල ශික්ෂණ රෝහලේ 16ක්ද, අතිරික්තව සේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා අනුමත තනතුරු නොතිබියදී 18 දෙනකු අතිරික්තව සේවයේ යොදවා තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා අනුමත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංඛ්‍යාවට වඩා වෛද්‍ය නිලධාරීන් 61 දෙනකු අතිරික්ත සේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක මට්ටමේ තනතුරු 39කට අදාළව පුරප්පාඩු 1586ක් පවතී.

එමෙන්ම හෙද සොයුරු සොහොයුරියන් 275 දෙනකු, වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥවරු 136, දෙනකු, වෘත්තිය චිකිත්සකවරු 68 දෙනකු, ඖෂධවේදීන් 126 දෙනකු, විකිරණ ශිල්පීන් 270 දෙනකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 37 දෙනකු, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 451 දෙනකුගේ පුරප්පාඩු පවතින බවද මෙම විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 439ක් අස්ථානගත වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන කළමනාකරණය සම්බන්ධයෙන් මීට වසර හතරකට පමණ පෙර ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවට අනුව අමාත්‍යාංශය සතු වාහන 679ක් අස්ථානගතවී ඇති බවට එම වාර්තාවේ සඳහන්ව තිබුණි. මින් වාහන 240ක් හඳුනාගත් බැව් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශ කළද එය තහවුරුකර ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. මෙකී විශේෂ විගණන වාර්තාව නිකුත්කොට වසර 04ක් ගතවී ඇතත් අස්ථානගත වී ඇති වාහන 439 පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකිවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන කළමනාකරණ පරිගණක දත්ත පද්ධතියට අනුව 2023 මාර්තු මස 17 දිනට වාහන 1301ක් පිළිබඳ දත්ත ඇතුළත්කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment