කුරුන්දි වෙහෙර ගැන ඉංග්‍රීසියෙන් කියන බොරු

355

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ එක් පසෙකින් දෙමළ ජාතික සන්ධනයේ මන්ත්‍රීවරු ද තවත් පසෙකින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා ද තබා ගෙන ඉතිහාස පන්තියක් පවත්වා ඇත. ජනපතිවරයා චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන්නෙකි. තර්ක කරන්නෙකි. එබැවින් ඔහුගේ ඉතිහාස පන්තිය අනුර මනතුංග මහතාට එක පැහැර තේරුම් ගන්නට බැරි වන්නට ඇතැයි සිතමි. මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි කුරුන්දි විහාරය පිළිබඳ ජනපතිවරයා කරන කතාව ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගත් විට බරපතළ ප්‍රකාශයකි. ලංකාවේ ඉතිහාසය විකෘති කරමින් ද්‍රවිඩ බෞද්ධ විහාරයක් පැවති බවට ඔහු කළ ප්‍රකාශය ඛණ්ඩනය කරන්නට අනුර මනතුංග මහතාට නොහැකි විය. නැතිනම් ජනපතිගේ ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයෙන් ඔහු අසරණ වන්නට ඇත. සාමාන්‍යයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීම අතිශයින් ව්‍යාකූලය. ඔහු එකක් කියමින් තවත් අදහසක් දක්වන්නෙකි. ඛල්ලාටනාග රජු විසින් අනුරාධපුර යුගයේ සාදවන ලද කුරුන්දි විහාරය පසුකාලීනව අග්ගබෝධි තුන්වන මිහිඳු සතරවන උදය වැනි රජවරු විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම විහාරය පසුභාගයේ දී කුරන්දාවශෝක විහාරය ලෙසට හඳුන්වා දී ඇත. කාලිංග මාඝ ගේ බලකොටුවක්ද මෙහි පිහිටා තිබුණු අතර දෙවන පරාක්‍රමබාහු රජු විසින් එය විනාශ කර තිබේ. පෙර කී රජවරු විසින් පිහිටුවූ සෙල් ලිපිවලින් ඉතිහාසය පැහැදිලිව පෙනෙද්දී ද්‍රවිඩ බෞද්ධ විහාරයක් ගැන කියන රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ කරනුයේ දේශපාලන රංගනයකි.

ඉදිරි ජනපතිවරණයකදී හෝ වෙනයම් දේශපාලන ප්‍රතිසංස්කරණයකදී දෙමළ දේශපාලනඥයන් ගේ සහාය රනිල් වික්‍රමසිංහයන්ට අවශ්‍ය වෙයි. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එතැන සිටි සෝමරත්න විදාන පතිරණ ලේකම්වරයා සිය අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත ඉදිරිපත් කරන වාර්තාව මගින් ඒ බැව් සනාථ වෙයි. මෙම දිනයේ පළමු සාකච්ඡාවේ දී පුරාවිද්‍යා ස්ථාන ගැසට් කිරීමට කටයුතු කළ යුතු බව නිලධාරීන් ඉදිරියේදී ප්‍රකාශ කරන ජනපතිවරයා දෙමළ ජාතික සන්ධාන සාකච්ඡාවේ දී අනුර මනතුංගයන් හෑල්ලුවට ලක්කරමින් ඔහුගේ මහාචාර්ය පට්ටමද හෑල්ලුවට ලක්කරමින් කුරුන්දි විහාරය සහ ඉතිහාසය විකෘති කරමින් පුරාවිද්‍යා ස්ථානවල මායම් කණු ගැලවිය යුතු යැයි කියමින් කරන කතාව මේ රටේ දේශපාලනය පිළිබඳ මහා ඛේදවාචකයක් ඉස්මතු කරන්නෙකි.

දෙමල සන්ධානය සහ ඔවුන්ගේ ප්‍රාදේශීය දේශපාලනඥයන් යනු ඉඩම් මංකොල්ලකරුවන්ය. මුලතිව් පිහිටා තිබෙන නාගචෝල රක්ෂිතය 1932 දී හෙක්ටයාර් 6825 ක වපසරියකින් ගැසට් කරන ලද්දකි. එම රක්ෂිතය තුළ අක්කර 78 ක කුරුන්දි විහාර ආරාම සංකීර්ණ රක්ෂිතය පිහිටා තිබේ. පාරක් තොටක් නොමැතිව තිබූ මේ පෙදෙස ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව එළිපෙහෙළි විය. අසල ගම්වල සිටි දෙමළ ජනතාව දේශපාලඥයන්ගේ මෙහෙයවීම පිට මේ රක්ෂිතය එළිකොට කුඹුරු අස්වැද්දූහ. ඒ අනුව හෙක්ටයාර් 1200 ක් පමණ පෙදෙසක් ඔවුන් විසින් විනාශ කර තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දෙශපාලනඥයකු වූ ශෂි කුමාර් විසින් පමණක් අක්කර සියයකට වඩා ඉඩම් ප්‍රමාණයක් අල්වා ගෙන තිබිණ. 2018 න් පසු මේ දේශපාලඥයන් විසින් කුරන්දි විහාර පැරණි පොකුණ විනාශ කර ඩෝසර දමා මහා වැවක් සාදන්නට යෙදිණ.

එසේම 1905 බෙල් වාර්තාවේ දක්වා තිබෙන කුරුඳු නගරය හෙවත් ජනාවාසය විනාශ කොට කුඹුරු අස්වද්දන්ට යෙදිණ. මේ එළිපෙහෙළි කිරීම් සම්බන්ධව නඩු දෙකක් වන සංරක්ෂණ ආඥා පනත යටතේ පවරා තිබේ. 2019 දී ඔවුහු කුරුන්දි විහාර කඳු ගැටය ආසන්නයේ ම පිහිටි පුරාවස්තු සහිත අක්කර පහක පමණ ප්‍රදේශයක් ද ආක්‍රමණය කරමින් එළිපෙහෙළි කිරීම් කළද පෙර කී නඩුව නිසා ඒ ව්‍යායාමය වැළැක්විණ. අනතුරුව 2020 න් පසුව කුරුඳු විහාර රක්ෂිතයේ කළ ගවේශණයකින් පසුව අක්කර 229 ක් පුරා පැතිර පැවති කුරුඳු නගරයේ නටබුන් සොයා ගන්නට යෙදුණි. ඒ වටා මායිම් කණු සිටුවන්නට ද යෙදුණි. මේ සීමාවට පෙර සඳහන් කළ අක්කර පහද ඇතුළත් වී තුබුණි. ජනපතිවරයා ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් පවසන්නේ සියවස් ගණනාවක් තිස්සේ මේ ගොවීන් පෙර කී අක්කර පහේ ගොවිතැන් කළ බවයි. මෙය අමූලික බොරුවකි. ඒ බොරුව පිළිගත් ජනපතිවරයා කවුරුත් නොදන්නා ඉතිහාසයක් දක්වමින් ඉංග්‍රීසියෙන් ශිල්ප දක්වන්නට යෑමෙන් සාකච්ඡා සභාව කෝලම් මඩුවක් බවට පත් වී ඇත.

මේ සියල්ලටම හේතුව ජනපතිවරයා සිය විධායක බලය පිළිබඳ නොවැටහීමෙන් කටයුතු කිරීම යැයි සිතමි. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් කොටස් තුනකට කඩා ඇති කළ දේශපාලන අධිකාරිය තුළ විධායකයට අසීමිත බලයක් නැත. ඔහු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ආණ්ඩුවේ ප්‍රධානියාද වෙයි. එසේම රටේ සන්නද්ධ අංශයේ ප්‍රධානියා ද වෙයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඊ) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධි විධානවලට පටහැනි නොවන්නා වූද ජාත්‍යන්තර නීතිය චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව සියලු ක්‍රියා කිරීමට බලතල ඔහුට ඇත්තේය යනුවෙන් සඳහන්ය. දැන් වත්මන් ජනපතිවරයා මේ ව්‍යවස්ථාමය තත්ත්වය පිළිපදින්නේද නැත. ඔහු වරෙක මහවැලි ඉඩම් දෙමල ජනතාවට බෙදා දීම අරභයා මහවැලි අධිකාරි පනත උල්ලංඝනයට සැරසෙයි. නැතිනම් මහවැති අධිකාරිය විසිරුවා හරින බවට පාරම්බායි. තවත් වරෙක 1985 ඉඩම් පරිහරණ සැලැස්මට යා යුතු බවද අවධාරණය කරයි. 1985 ඉඩම් පරිහරණ සැලැස්ම යනු 1983 දී ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් ඇති කරන ලද ඉඩම් පරිහරණය පිළිබඳ පිහිටුවා ලූ ආයතනයයි. එය තවත් සංවර්ධනය වී 2007 දී නව ඉඩම් පරිහරණ සැලැස්මක් ඇති කරමින් අක්ෂාංශ දේශාංෂ අනුව ඉඩම් නිශ්චිත කිරීම අරඹන ලදී. ජනපතිවරයා කියනුයේ මේ දියුණු සැලැස්ම පැත්තකින් තබා 1985 යන්නටය. එහි රහස නම් ඒ යුගයේ දී පුරාවිද්‍යා රක්ෂිත හඳුනාගෙන තිබුණේ 276 ක් පමණක් වීමයි. නමුත් 2012 න් පසු පුරාවිද්‍යා ස්ථාන 1700 කට වඩා උතුර සහ නැගෙනහිර පළාත්වලින් සොයා ගන්නට යෙදිණ. මේ සියලු ඉඩම්වල විශේෂයෙන්ම බෞද්ධ පුරාවස්තු තිබීම දෙමළ ජාතික සන්ධානයට පමණක් නොව මුස්ලිම් කොන්ග්‍රසයට ද බලවත් හිසරදයකි. දකුණු ඉන්දියාවේ ශිව සේනා නාග සේනා සහ උතුර් සේනා යනුවෙන් දක්වන දේශපාලන සංවිධාන සමග එක්වී උතුර සහ නැගෙනහිර පළාත් වල ආගමික සංහාරයක් කොට ඒවායේ ශිව ලිංග තැන්පත් කරලීම දෙමළ ජාතික සන්ධානය ඇතුළු අන්තවාදීන් ගේ වෑයමයි. රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා උඩගෙඩි දෙන්නේ මේ අන්තවාදයටයි.

කුරුන්දි වෙහෙර ගැන ඉංග්‍රීසියෙන් කියන බොරු
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මානතුංග

ජනපතිවරයා ඉංග්‍රීසියෙන් බොරු කීමට සමතෙකි. ඔහුගේ වාග් විලාශය චතුරය. එයට තාර්කික වශයෙන් ඉංග්‍රීසියෙන් පිළිතුරු දීමට ලෙහෙසි පහසු නැත. ඒ නිසා ඉංග්‍රීසි බසින් ඕනාම බොරුවක් කියන්නට ඔහුට හැකිය. කුරුන්දිය යනු ද්‍රවිඩ බෞද්ධ විහාරයක් යැයිද පොත්තකූට නම් ද්‍රවිඩයෙක් මෙය හැදූ බව කියන්නට ඔහු තනයි. පොත්තකූට යනු සුළු අග්බෝ රජුගේ රාජ සභාවේ සේවය කළ ද්‍රවිඩයෙකි. ඒ යුගයේ ලම්භකර්ණ වංශිකයන් අතර තිබූ බල අරගලයෙන් ප්‍රයෝජනය ගත් පොත්ත කූට රාජ්‍ය පැහැරගෙන දත්ත වල්පිට නම් රාජ වංශිකයකු සිංහාසනයේ තබා රට පාලනය කළේය. සිංහල රජුන් දුර්වල වන විට විදේශික සතුරන් බලවත් වෙයි. පොත්ත කූට රට අල්ලා ගත් පමණින් කුරුඳු විහාරය ද්‍රවිඩයන් සෑදවූවක් බව ඔප්පු කරන්නට නොහැකිය.

එම භූමියෙන් සම්බ වී ඇත්තේ සිංහල ශිලා ලේඛන පමණකි. එබැවින් මේ බොරුවලට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම්වලට සීමාවක් තිබිය යූතු බව අපගේ හැඟීමයි. රනිල් වික්‍රමසිංහගේ සෘජු තර්ජනය නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වී තිබේ. එය බරපතළ වැරදි පූර්වාදර්ශයකි. මෙයට කලින් කළුදියපොකුණ පුරාවිද්‍යා සංකීර්ණය හෝටලයකට දිය යුතු යැයි ආචාර්ය සෙනරත් දිසානායක හිටපු අධ්‍යක්ෂ ජනරාල්ටද තර්ජනය කර තිබෙන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාය. විද්වතුන් ට බලපෑම් කිරීම සහ ආයතනවලට අනිසි ඇඟිලි ගැසීම් නිසා ආයතන පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇත. මෙම ගැටලුවට සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද සෘජුව වගකිව යුතුය. ජනපතිගේ අනිසි බලපෑමට කලින් අමාත්‍යවරයාද කීප විටක්ම මෙලෙස පුරාවිද්‍යා ස්ථාන දෙමළ අන්තවාදීන්ට දිය යුතු බවට බලපෑම් කර තිබේ යැයි දැනගන්නට ඇත. මෙම තත්ත්වය මත මේ රටේ ජාතික උරුමයන් ආරක්ෂා කර ගැනීමට හැකි වෙයිද යන කාරණය අභියෝගයක් වශයෙන් අප ඉදිරියේ පවතී.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment