අහස් ගැබට පැන සුරඟන ලොවට ගිය විරුවන්

682

මීට මාසයකට පමණ ඉහත දිනකදී ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයට අයත් භූමියේ වූ තැනක පිහිටි ගුවන් හමුදාවට සොඳුරු නවාතැනක රැයක් ගත කරන්නට මට අවස්ථාව ලැබිණි. එය සිදුවූයේ පවුලේ සාමාජිකයන්ද ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදීය.

අප එදා ඒ නවාතැනට ගියේ මධ්‍යම රාත්‍රියටත් ආසන්නව තිබියදීය. එහෙයින් එම පරිසරයේ වූ කිසිවක් දැක ගැනීමට අවස්ථාවක් නොලැබිණි. එහෙත් පසුදාට හිරු උදාවෙමින් තිබූ හිමිදිරියේම නවාතැනෙන් පිටතට පැමිණි මම අවට පරිසයර දෙස බැලුවෙමි.

එය ඉතාම සුන්දර ඉසව්වකි. ඉදිරියෙන් පෙනෙන්නේ චීනවරාය මුහුදය. පසෙකින් කෑලෑ භූමියකි. ඒ කැලයේ සිට නිදහසේ පිටතට පැමිණෙන ලස්සන මුවකු දෙන්නකු කිසිදු බියක් සැකක් නොමැතිව මේ බිමේ ඇවිද යන්නාහ. තවත් පැත්තක පිහිටා ඇත්තේ කඳවුරේ රාජකාරී කරනු ලබන ගුවන් විරු නිල නිවාසය.

ඒවායේ වෙසෙන ඇතැම්හු උදෑසන පාසල් යවන්නට සිය දරුවන් සූදානම් කරන්නාහ. කැලයේ සිට එන මුවෝ එකී නිවාස ආසන්නයටම ඇවිද යන්නාහ. එහෙත් සිතකින්වත් උන්ට හානියක් කරන්නට එහි කිසිවකුත්ම නැත.

සිසිල් සුළඟ, නිහඬබව, නිදහසේ තැන තැන ඇවිදින සතා සීපාවා සමඟ නෙත ගැටෙන ගහකොළ පිරි සොඳුරු පරිසරය. මේ සියල්ල එකවර නෙත ගැටෙද්දී මහා පිං බිමකට පිවිසුනාක් බඳු හැඟීමක් සිතට දැනුනේ මටද නොදැනීමය.

අවසානයේ ඒ සොඳුරු බව දෑසින් විඳිමින්ම අපි එදා ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයෙන් පිටව නිවෙස් බලා පැමිණියෙමු. ගෙවී ගියේ මාසයක පමණ කාලයකි. එකී කෙටි කාලය තුළ රටේ සන්නද්ධ හමුදාවක කඳවුරු බිමක් වුවද පිං බිමක් බඳුව තිබූ එතුළින් මහා ඛේදනීය කතාවක් වාර්තා වනු ඇතැයි නිකමටවත් නොසිතුනි.

එහෙත් ඉකුත් සඳුදා ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධාවන පථයෙන් ඉහළට ගිය පුහුණු ගුවන් යානයක් කඩා වැටීමෙන් රට වෙනුවෙන් සේවයට කැපවූ ගුවන් විරුවන් දෙදෙනකු මරණයට පත්වූ පුවත වාර්තා වූයේ මේ අතරතුරය.

ගුවන් හමුදාව සතු පී. ටී. 06 වර්ගයේ නියමුවන් පුහුණු කරනු ලබන කුඩා ගුවන් යානයක් එසේ කඩා වැටී තිබිණි. එය සිදුව තිබුණේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ යානය යළි පිළිසකර කිරීමෙන් අනතුරුව පරීක්‍ෂණ පියාසැරියක යේදීමට සූදානම් වූ අවස්ථාවේදීය.

කාර්මික දෝෂය නිවැරදි කිරීමෙන් පසු ත්‍රිකුණාමල චීනවරාය ගුවන් හමුදා කඳවුරේ ධාවන පථයෙන් ඉහළට ගිය යානය මීටර් සියයක් පමණ අහසේදී එක්වරම පසෙකට ඇලවී විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ගුවන් ධාවන පථය ආසන්නයට කඩා වැටීමෙන් ගුවන් ඉංජිනේරුවකු සහ නියමු නිලධාරියකු මරණයට පත්වූ බව එම සිද්ධිය පිළිබඳ නිවේදනයක් කරමින් පසුව ගුවන් හමුදාව පැවසීය.

එහිදී දිනපතා ‘දිවයින’ ට ප්‍රකාශයක් කළ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සඳහන් කරනු ලැබුවේ එම සිද්ධියෙන් දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු ගුවන් හමුදාවට අහිමි වූ බවය.

මෙම ඛේදනීය සිදුවීමෙන් නොසිතූ අන්දමට මරණයට පත්ව තිබුණේ ගුවන් ඉංජිනේරු පේශාන් මධුසංඛ වර්ණසූරිය සහ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් යන ගුවන් විරුවන් දෙදෙනා විය.

අවිවාහක තරුණ නිලධාරියකු වූ පේශාන් වර්ණසූරිය අලව්ව, මහරච්චිමුල්ල, දිවුල්ගහකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටියකු වූ අතර වසර හයක පුතණුවකගේ සහ මාස නවයක් වයසැති සිඟිති නිවුන් දියණියන් දෙදෙනකුගේ පියකු වූ තරිඳු හේරත් ඒකල ඉසුරුඋයන නිවාස ක්‍රමයේ පදිංචිව සිටියකු විය.

අවස්ථා දෙකකදී ගුවන් හමුදාවට එක්ව තිබුණද ඔවුන් දෙදෙනාම ඇතුගල්පුර පුරවරයේ ජනප්‍රිය පාසල් දෙකක් වූ කුරුණෑගල ශාන්ත ආනා සහ මලියදේව යන පාසල්වල අධ්‍යාපනය හැදෑරූ පාසල් සමයේදී අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන්ද පාසල බැබලවූ අති දක්‍ෂයෝ දෙදෙනකු වූහ.

පසුවූ වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් ඉකුත් 2006 වසරේදී සාමාන්‍ය ගුවන් නියමු සේවා අංශයේ 49 වැනි ඛාණ්ඩය යටතේ පුහුණු කෙඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට එක්ව තිබූ අතර 38 වැනි වියේ පසුවූ ඔහු මියයන විට ත්‍රිකුණාමලය චීනවරාය කඳවුරේ පිහිටි 01 වැනි ගුවන් නියමු පුහුණු පක්‍ෂාංගයේ පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබිණි.

සිංගප්පූරුව, පකිස්තානය, ඉන්දියාව ආදී වශයෙන් විදේශීය පුහුණුවීම් රාශියකට සහභාගි වී ඇති වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් පූර්ණභූමි, සේවාභිමානි යන පදක්කම්වලින් පිදුම් ලැබූ ගුවන් විරුවකු විය.

ගුවන් හමුදාව සතු මිග් 27 ප්‍රහාරක යානාවක් ධාවනය කරමින් සිටියදී ඉකුත් 2012 වසරේ පෙබරවාරි මාසයේදී දුම්මලසූරිය ප්‍රදේශයේදී යානය පාලනයෙන් ගිලිහෙන බව පාලක මැදිරියට දන්වා යානය අතහැර ඉන් ඉවත් වූ වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් පැරෂුටයක ආධාරයෙන් ජීවිතය බේරා ගැනීමට එදා සමත් වුවද මෙවර ඔහුගේ ජීවිතය මාරයා උදුරාගෙන තිබුණේ කිසිවක් සිතන්නට පවා ඉඩක් නොතබාය.

එහිදී වින්ග් කමාන්ඩර් තරිඳු පැදවූ මිග් ප්‍රහාරක යානය දුම්මලසූරිය ප්‍රදේශයේ ළඳු කැලෑ ප්‍රදේශයකට කඩා වැටුණු අතර අනතුරින් දිවි බේරාගත් තරිඳු කිසිදු බියකින් තොරව එඩිතරව ගුවන් හමුදාවට සේවය කළ බව ඔහුගේ මිතුරකු පැවසීය.

මෙම අනතුරින් මිය ගිය ගුවන් විරු පේශාන් වර්ණසූරිය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ගුවන් ඉංජිනේරුවරයකු ලෙස ගුවන් හමුදාවට එක්ව තිබුණේ ඉකුත් 2017 වසරේදීය. පේශාන්ගේ පියා ව්‍යාපාරිකයකු වන අතර බාල සහෝදරයන් දෙදෙනකු සහ මවත් පියාත් පේශාන්ගේ පවුලේ සෙසු සාමාජිකයෝ වූහ. නොසිතූ මොහොතක් අද ඒ කැදැල්ලෙන් රහසේම පිටව ගියාක් මෙන් නික්ම ගොස් සිටින්නේ පේශාන්ගේ මව්පියන්ට සිටි වැඩිමහල් දරුවාය. බාල සොහොයුරන් දෙදෙනාගේ අයියාය.

ව්‍යාපාරිකයකු වන ගුවන් ඉංජිනේරු පේශාන් වර්ණසූරියගේ පියා සඳහන් කරන අන්දමට කුඩා කල සිටම ගුවන් නියමුවන්ගේ සේයාරූවලට හේ දැඩි ලෙසින් ඇලුම්කර ඇත. ඇතැම්විට ගුවන් යානා සමඟ කටයුතු කිරීමේ සංසාරගත පුරුද්දක් උපතේ සිටම රැගෙන ඒම නිසා කුඩා කාලයේදී පේශාන් වර්ණසූරිය එසේ කළා විය හැකිය.

එහෙත් අවසානයේ සිය සංසාරගත කැමැත්ත විසින්ම තරුණ වියේදීම ඔහුව මේ නවාතැනින් රැගෙන යන්නට දෛවය කටයුතු කරනු ලැබුවේ අකාරුණික ලෙසිනි. කෙසේ හෝ සිදුව ඇත්තේ තවදුරටත් රට වෙනුවෙන් සේවය කිරීමට සිටි විරුවන් දෙදෙනකු මේ මාතෘභූමියට මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවටද අහිමි වීමය.

මරණයට පත්වූ වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් මෙන්ම ගුවන් ඉංජිනේරෙැ පේෂාන් මධුසංඛ වර්ණසූරිය ද ඉතා හිතෛෂීව සිටි නිහතමානී තරුණයන් දෙදෙනකු විය. අද ඒ බව සඳහන් කරනුයේ ඔවුන් දෙදෙනා පිළිබඳ හොඳින් දන්නා ගුවන් හමුදා සෙසු සාමාජිකයන් මෙන්ම ජීවත් වූ ප්‍රදේශයන්හි අසල්වාසීන්ය.

ගුවන් ඉංජිනේරු පේශාන් වර්ණසූරියට සහ වින්ග් කමාන්ඩර් තරිඳු හේරත්ට ජීවිතය අහිමිකරමින් නොසිතූ ලෙසින් කඩා වැටුණු මෙකී පී. ටී. 06 පුහුණු ගුවන් යානාවන් යනු කුමක්ද?

පී. ටී. 06 යනු චීනය විසින් 1958 දී නිෂ්පාදනය කරනු ලැබූ පුහුණු ගුවන් යානයකි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 297 ක් වන අතර මුලින්ම සිය ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා චීනය මෙම ගුවන් යානය නිපදවනු ලබන්නේ සී. ජේ 06 ලෙසිනි.

එම සී. ජේ. 06 යන්න පී. ටී 06 බවට පරිවර්තනය කරනුයේ අපනයනය කිරීම සඳහා කෙරුණු නිෂ්පාදනයේදීය. මේ වන විට මෙම වර්ගයේ ගුවන් යානා 3000 ක් පමණ ලොව පුරා රටවල් රැසක භාවිත වන අතර ඇල්බේනියාව, කාම්බෝජය, උතුරු කොරියාව, බංග්ලාදේශය ඒ අතරින් රටවල් කිහිපයකි. චීනය විසින් මෙම යානා වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම අරඹනු ලබන්නේ 1979 වසරේදීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව මෙවැනි යානා ගණනාවක් පවතින අතර එයින් යානා හයක් මිලදී ගනු ලැබුවේ 2018 වසරේදීය. කෙසේ වෙතත් ගුවන් හමුදාව සතු මෙවැනි යානාවක් ඉකුත් 2020 වසරේදීද කන්තලේ ප්‍රදේශයේදී කඩා වැටුණු අතර එහිදී ගුවන් නියමුවකු ලෙසින් පුහුණු වෙමින් සිටි කෙඩෙට් නිලධාරියකු මරණයට පත්විය.

ඉකුත් සඳුදා ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා කඳවුරේදී හමුදාව සතු පී. ටී. 06 වර්ගයේ ගුවන් යානාවක් කඩාවැටීම එවන් යානාවක් කඩා වැටුණු දෙවැනි අවස්ථාව විය. මෙම සිද්ධියත් සමඟ නිසි පරීෂණයක් තුළින් කරුණු නිවැරදිව අනාවරණය කර ගන්නාතුරු පී. ටී. 06 වර්ගයේ ගුවන් යානා පියාසර කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ක්‍රියා කළේය.

එයින් කියැවෙන්නේ පී. ටී. 06 පුහුණු ගුවන් යානා භාවිතයට නුසුදුසු මාරාන්තික යානා බවට පත්ව තිබෙන්නේ යැයි යන්නද?

මෙම සිද්ධියෙන් පසු එක්තරා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට පැමිණ 1958 නිෂ්පාදනය කර ඇති පී. ටී. හය ගුවන් යානා භාවිතයට නුසුදුසු බැවින් ඒවා තිබිය යුත්තේ ගුවන් හමුදාවේ නොව කෞතුකාගාරයේ යැයි සඳහන් කරනු අපි දුටුවෙමු. මන්ත්‍රීවරයා එකී ප්‍රකාශය කුමන අවබෝධයකින් කළේ දැයි අපි නොදන්නෙමු. එහෙත් මේ රටේ දේශපාලනය තුළ නම් කෞතුකාගාරවල තැබිය යුතු හොඳ කඳන් ඇති බව අපි දැන සිටින්නෙමු.

භෞතික භාණ්ඩයක් වන ගුවන් යානයක් කුමන වර්ෂයේ නිෂ්පාදනය කරනු ලැබුවද එය නැවත නිෂ්පාදනය වන්නේ යාවත්කාලීන කෙරෙමිනි. ඒ නව නිෂ්පාදන ලෙසය. එනිසා 1958 නිෂ්පාදනය කළ පී. ටී. 06 ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව නැත. මන්ත්‍රීවරයා අවබෝධ කරගත යුත්තේ එය ය. ගුවන් හමුදාව සතුව තිබෙන්නේ අලුතින්ම නිෂ්පාදනය කරනු ලැබූ පී. ටී. 06 ගුවන් යානාවන්ය.

මෙරට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 1956 මුද්‍රණය කළ ජාතික හැඳුනුම්පත වැන්නක් අද දවසේ රටේ පුරවැසියන්ට නොදෙන්නේය. අද දෙන්නේ නවතම එකකි. අප ඒ බව මෙහි සටහන් කරන්නේ පාර්ලිමේන්තුවට ගොස් කටට එන දේ බ්‍රේක් නැතිවාක් මෙන් පැවසීමට පෙර ඉදිරියේදී යමක් සඳහන් කිරීමේදී කරුණු කාරණා අවබෝධ කරගෙන කියන දෙයක් කීම යහපත් යැයි මන්ත්‍රීවරයාට වටහා ගනු පිණිසය.

රට වෙනුවෙන් සේවයට කැපවූ වටිනා විරු ජීවිත දෙකක් රටට අහිමි වෙද්දී අපේ දේශපාලනඥයන්ගේ හැසිරීම තිබෙන්නේ එවැනි තැනක නම් එය රටේ අවාසනාවකි. ඒ පිළිබඳව ඉන් එහා කියන්නට දෙයක් නැත.

ගුවන් යානාවක් යනු සරලව සඳහන් කළහොත් එන්ජිමක් සහිත යන්ත්‍රයකි. අප සාමාන්‍යයෙන් භාවිත කරන මෝටර් රථයක කාර්මික දෝෂ ඇති වන්නාක් මෙන් ගුවන් යානයකද කාර්මික දෝෂ ඇතිවිය හැකිය. එය සාමාන්‍ය තත්ත්වයකි.

එහෙත් මෝටර් රථයක් ධාවනය කෙරෙන්නාක් මෙන් යතුර ගත්තා ගියා න්‍යායෙන් ගුවන් යානයක් ගුවන්ගත කෙරෙන්නේ නැත. සාමාන්‍යයෙන් ගුවන් යානයක් ගුවන්ගත කෙරෙනුයේ ගුවන් ඉංජිනේරුවන් ඇතුළු පූර්ණ කාර්ය මණ්ඩලයක දැඩි පරීක්‍ෂාවකින් පසුවය.

එහිදී ගුවන් පථයේ ධාවනය කිරීම මෙන්ම පරීක්‍ෂණ පියාසැරියන් පවා සිදු කෙරෙන අවස්ථා ඇත. ගුවන් හමුදාව සතු පී. ටී. 06 වර්ගයේ මෙම යානය ත්‍රිකුණාමලයේදී කඩා වැටෙන්නේද එවැනි පරීක්‍ෂණ පියාසැරියකට සූදානම් වූ අවස්ථාවේදීය. එය අනපේක්‍ෂිතව සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් මිස ගුවන් හමුදාව පැරණි යානා නියමුවන් පුහුණුවට යොදා ගැනීම හෝ වෙනත් බාහිර ක්‍රියාවක් නිසා සිදු නොවූවකි.

එනිසා අප මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ කඩා වැටුණු ගුවන් යානය ගෙන එය ආණ්ඩුවට පහර දීමේ දේශපාලන මෙවලමක් බවට පත්කර ගැනීම නොව එකී යකඩ ගොඩ පසෙක තබා මේ මව්බිමට අහිමි වූ ඒ මිල කළ නොහැකි ගුවන් විරුවන්ගේ ජීවිත කල්පනා කිරීමය. ඔවුන්ගේ මතු භවය වෙනුවෙන් යමක් කිරීමය.

උපන් බිමට ණය නැති ගුවන් ඉංජිනේරු ප්‍රශාන් මධුසංඛ වර්ණසූරිය හා වින්ග් කමාන්ඩර් තරිඳු හේරත් විරුවනි, මතු මේ සංසාර ගමනේදී කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී සසර කෙළවර උතුම් අමාමහ නිවනින් සැනසෙන්නට ගෙවී ගිය කෙටි ජීවිත කාලය තුළ මේ මාතෘභූමිය වෙනුවෙන් ඔබ දෙදෙනා සිදු කළ මෙහෙවරම හේතු වාසනා වේවායි අපි මේ මොහොතේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

එසේම මේ විරුවන් දෙදෙනා රටට දායාද කළ දෙමාපියන්ටත් ගුවන් ඉංජිනේරු පේශාන් වර්ණසූරියගේ සොහොයුරන් දෙදෙනාටත් වින්ග් කමාන්ඩර් තරිඳු හේරත්ගේ බිරිඳ ඇතුළු දරු තිදෙනාටත් මාධ්‍යයක් ලෙසින් අපි අපේ සාතිශය කනගාටුව ප්‍රකාශ කරන්නෙමු.

ඉතින් විරු සොයුරනි නැවත දිනෙක මේ සසරේ කොතැනකදී හෝ යළි මුණ ගැසෙන තෙක් ඔබට සුබ ගමන්.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment