පර්ලිමෙන්තුවේ ප්‍රශ්නය ලිංගික හිංසනය විතරද?

498
ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී ලංකා සම්භවයක් ඇති කැසේන්ඩ්‍ර ප්‍රනාන්දු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ලිංගික හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන අභ්‍යන්තර පරීක්ෂණය අඩපණ කිරීමට ඉහළ නිලධාරීන් කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් රෝහිණි කුමාරි විජයරත්න කළ චෝදනාව රටේ ඉහළම ආයතනයේ සැබෑ ස්වරූපය අවධාරණය කර ඇත.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මුලසුනේ සිටියදී මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම මන්ත්‍රීවරිය තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් එම ප්‍රශ්නය මතු කළ බව සඳහන් කළේය. ඒ අගෝස්තු 08 වන දිනය.

මහජන ගැලරියේ පාසල් සිසු සිසුවියන්ද සිටිය දිනයක රටේ උත්තරීතරම ආයතනය යැයි දේශපාලන පක්ෂ නිරතුරුවම අවධාරණය කරන පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට එම පරිශ්‍රය තුළ ආරක්ෂාවක් නොමැති බවට කළ චෝදනාව නැවත නැවතත් අවධාරණය කරන්නේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවය.

යහපාලන කථානායක කරු ජයසූරිය ලෝකයේ හොඳම පාර්ලිමේන්තු කිහිපයෙන් එකක් යැයි කීවේ මේ පාර්ලිමේන්තුවටය.

මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ එම අභ්‍යන්තර පරීක්ෂණය නියම කළ පාර්ලිමේන්තුවේ මහා ලේකම්වරිය කුෂානි රෝහණධීර ද සභා ගැබ තුළ සිටියේය. මහා ලේකම්වරිය ලෙස ඇය පසුගිය මැයි මාසයේ වැඩ භාරගත් පසුව පාර්ලිමේන්තුව අපකීර්තියට ලක්වූ දෙවන සිද්ධිය මෙය බව ලියුම්කරුගේ අදහසයි.

පළමුවන සිද්ධිය වික්‍රමසිංහ-රාජපක්ෂ රජයත් සමඟ කටයුතු කරන අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් රුපියල් ලක්ෂ 780 ක් වටිනා රත්‍රන් සහ ජංගම දුරකථන මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කර රහසේ පිට කිරීමට උත්සාහයේදී අත්අඩංගුවට පත්වීමයි. පාර්ලිමේන්තුව අදටත් මෙම මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තීරණක් ගෙන නැත.

කාන්තා පාර්ලිමේන්තු සංසදය සමන්විත වන්නේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රෝහිණි කුමාරි විජයරත්න, වෛද්‍ය සීතා අරබේපොල (ජාතික ලැයිස්තුව), පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, තලතා අතුකෝරාල, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය (ජාතික ලැයිස්තුව) සහ ඩයනා ගමගේ (ජාතික ලැයිස්තුව) මහජන නියෝජිතවරියන්ගෙන් ය.

මෙම කණ්ඩායම දින දහයක පමණ නවසීලන්තයේ සංචාරයකින් පසුව නැවත පාර්ලිමේන්තුවට පැමිණි පළමුවන දිනයේදීම මෙවැනි මාතෘකාවක් සාකච්ජාවට භාජන වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ ලැජ්ජා විය යුතුය. නවසීලන්ත සංචාරයට ඩයනා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරිය සහභාගි නොවීය.

(පළමුවරට පාර්ලිමේන්තුවට පත්වූ ගමගේ මන්ත්‍රීවරියගේ පුරවැසිභාවය ඕශල හේරත් නමැති සමාජ ක්‍රියාකාරිකයෙකු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර ඇත. අභියාචනාධිකරණයේ විනිසුරුවන් දෙදෙනකුට ඒ පිළිබඳව එකඟතාවකට ඒමට නොහැකි වූ බැවින් අදාළ තීරණය ගැනීමේ වගකීම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකට පවරා ඇත.)

ඇතිවී ඇති තත්ත්වය පාර්ලිමේන්තුවට කැළලක් බව පැවසූ රෝහිණි කුමාරි විජයරත්න මහජන නියෝජිතවරිය පෙන්වා දුන්නේ ලිංගික හිංසනයක වගකිවයුතු පුද්ගලයන් රෝහණධීර මහලේකම්වරිය පත්කළ තුන් දෙනකුගෙන් සමන්විත කණ්ඩායම ක්‍රියාත්මක කර ඇති පරීක්ෂණය කණපිට හැරවීමට කටයුතු කරන බවයි. ඒ වින්දිතයන්ගෙන් තමන් එවැනි අතවරයකට ලක් නොවූ බවට ලිඛිත ප්‍රකාශ ලබා ගැනීමෙන් බවට ඇය ප්‍රකාශ කළාය.

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෑතකදී කුණු හරුපෙන් පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන්නේ මාතලේ මහජන නියෝජිතවරියට බව සඳහන් කළ යුතුය.

● කාන්ත නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාව

මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රෝහිණි කුමාරි විජයරත්න කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය කිසිසේත්ම ලිංගික හිංසනය පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් නොවේ. එලෙසෙම මන්ත්‍රීවරියන්ගේ සංසදයට සීමාවූ ප්‍රශ්නයක්ද නොවේ. තමන් කළ මෙම චෝදනාව පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට අදාළ නොවන බව මාතලේ මන්ත්‍රීවරිය පැවසීමද විශේෂ සතුටට කරුණක්ද නොවේ.

නමුත් හිටපු ජනාධිපතිවරු දෙදෙනකු සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් සහ ආරක්ෂක අමාත්‍ය ලෙස මෙම පාර්ලිමේන්තුව ‘නියෝජනය‘ කරන අවස්ථාවක පාර්ලිමේන්තුව මෙවැනි පහත් තත්ත්වයකට පත්වීම රටටම කැළලකි. සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයේම කඩා වැටීමකි. හිටපු සහ වර්තමාන ජනාධිපතිවරයාටද හොඳ නැත.

ලෝකය රැවටීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීමට කටයුතු කරන බවට කරන ප්‍රකාශ පුස්සක් බව මෙවැනි සිද්ධීන් ජනතාවට මතක් කර දෙයි. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකිරීම ජාත්‍යන්තර අවශ්‍යතාවකි. නැතහොත් රාජ්‍ය නොවන ආයතනවල අවශ්‍යතාවකි. මෙරටේ ලියාපදිංචි පක්ෂවලට කාන්තා නියෝජනය වැඩිකිරීමට (නාම යෝජනා දීමට සහ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට) භාහිර බලපෑම් අවශ්‍ය නැත. (භාහිර බලපෑම් මත පළාත් පාලන ආයතනවල සාමාජික ගණන 4,000 සිට 8,000 ට යහපාලන ආණ්ඩු කාලය තුළ වැඩිකළ කණ්ඩායම අද නිහඬය. ඒ අවස්ථාවේදීත් කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාව අපූරුවට තම වුවමනාව සපුරා ගැනීමට පාවිච්චි කළේය)

නීතියේ ආධිපත්‍ය සුරැකීම විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ වගකීමයි. එය නිසිලෙස සිදු නොවන විට පාර්ලිමේන්තුව තුළ පවා විය නොහැකි දෙයක් නොමැත. පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තුළින් යටපත් කළ නොහැක. ලිංගික හිංසනය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කර ඇති බව කිවූ සැණින් ජනතාව තුළ සැකයක් නිරායාසයෙන්ම මතුවේ. ඒ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරීක්ෂණවල තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැති බැවිනි.

ජනාධිපති කොමිෂන් සභාවකින් පවා ඉදිරිපත් කරන යෝජනා කුණු කූඩයට දමන රටක යම් කිසි ආයතනයකින් කරනු ලබන අභ්‍යන්තර පරීක්ෂණයක් සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තබා ගත නොහැක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වසර දෙකේ රජය 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ ජනාධිපති කොමිසමේ යෝජනා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සමස්ත ක්‍රියාවලියම හෑල්ලුවට ලක් කළේය. ඉහළ උසාවිය නියෝජනය කරන විනිසුරුවරුන් සහතික කළ වාර්තාවක් පිළිබඳව අධ්‍යනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පත්කිරීම පාර්ලිමේන්තු ‘බලය‘ අවභාවිත කිරීමක් නොවන්නේද?

පාර්ලිමේන්තුවේ සිදුවූ බවට කර ඇති ලිංගික හිංසනය, එය යටපත් කිරීමට දරන උත්සාහය සහ රෝහිණි කුමාරි විජයරත්න මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය කුමන ආකාරයේ බලපෑමක් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එල්ල කරාවිද?

● පාර්ලිමේන්තුව අසමත්වීම

පර්ලිමෙන්තුවේ ප්‍රශ්නය ලිංගික හිංසනය විතරද?
රෝහිණි කුමාරි විජයරත්න මන්ත්‍රීතුමිය

රෝහිණි කුමාරි විජයරත්න ලිංගික හිංසනය සම්බන්ධයෙන් ප්‍රකාශය කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය නොතිබූ බවට ද සැකයක් ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ එදින කිහිපවරක්ම ඝණපූර්ණය නොමැති බව පෙන්වා දෙමින් අවධාරණය කළේ සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයේ අසමත්භාවයයි.

එම දිනයේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම මන්ත්‍රීවරුන් ගණන සභා ගර්භය තුළ නැති බව විරවංශ මන්ත්‍රීවරයා දිගින් දිගටම පෙන්වා දීමට පෙළඹුනේ තම පක්ෂයේ අවශ්‍යතාවක් ඉටුකරගැනීමට බව පැහැදිලිය. නමුත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට නොපැමිණීම අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇත. කාන්තා හිංසනය සම්බන්ධයෙන් රෝහිණි කුමාරි විජයරත්න ප්‍රශ්නය මතුකරන අවස්ථාවේදී මන්ත්‍රීවරියන් ගේ සංසදය සාමාජිකාවන් කී දෙනකු සභා ගර්භය තුළ සිටියාද? තම ජන්දය ප්‍රකාශ කළ යුතුම අවස්ථාවලදී පවා මන්ත්‍රීවරු තම වගකීම ඉටු නොකරන බව රහසක් නොවේ.

අතිශය ආන්දෝලනාත්මක ශ්‍රී ලංකා මහා බැංකු පනත සංශෝධන සහිතව ජුලි 20, 2023 පාර්ලිමේන්තුවේදී සම්මත වූ අවස්ථාවේදී මහජන නියෝජිතයන් කී දෙනකු එම කටයුත්තට දායක වූවාද ? මන්ත්‍රීවරුන් ගත් ස්ථාවරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැත. තම පක්ෂයේ තීරණවලට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන අවස්ථා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ විරල නොවේ. Muslim National Alliance (MNA) පක්ෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වී රත්‍රන් ජාවාරමට අත්අඩංගුවට පත්වූ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා එම සිද්ධියෙන් පසුව පළමුවරට තම ජන්දය පවිච්චි කරන අවස්ථාවේදී රජයට එරෙහිව අත එසවිය. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා තමා වෙනුවෙන් නිසි මැදිහත්වීමක් නොකළ බවට චෝදනා කරමිනි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු දේශපාලනය ඇත්ත වශයෙන්ම විකෘති තත්ත්වයකි.

ශ්‍රී ලංකා මහා බැංකු පනතට පක්ෂව සහ විපක්ෂව ජන්ද පිළිවෙළින් 66 සහ 24 ලැබිණි. මන්ත්‍රීවරු 135 දෙනකු සභා ගර්භය තුළ එදින සිටියේ නැත. මෙම තත්ත්වය විමසා බැලිය යුතුව ඇත්තේ පාර්ලිමේන්තුව රැස් වන්නේ මාසයකට දින 8 ක් පමණ බැවිනි. ඒ මාසයේ පළමුව සහ තුන්වන සතියේ අඟහරුවාදා සිට සිකුරාදා දක්වාය. මන්ත්‍රීවරුන්ගේ පැමිණීම නිල වශයෙන් සටහන් නොවන අතර පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ සහ පිටවීමේ වේලාවන් සටහන් කර ගැනීමක්ද නැත. සාමාන්‍යයෙන් සිකුරාදා දිනවල පැමිණීම අන් දිනවලට සාපේක්ෂව වඩා දුර්වලය.

අවසානයට පැවැත්වූ මහා මැතිවරණයේදී ආසන 145 ලබා ගත් (ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 සමඟ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට/පොහොට්ටු පක්ෂයට හෝ ආසන 54 දිනාගත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට (ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සමඟ ) පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ තිබෙන තත්ත්වය අභියෝගයට ලක්කරයි. මෙම කණ්ඩායම් දෙකේම මන්ත්‍රීවරු ක්‍රියාකරන්නේ ඔවුන්ට වුවමනා ආකාරයට බව අමුතුවෙන් කිව යුතු නැත. එම කණ්ඩායම් දෙකම විසිරී ඇත. වර්ධනය වන්නේ පුද්ගල අවශ්‍යතා පමණි. පාර්ලිමේන්තුවේ සමස්ත ආසන ගණන 225 කි. ඒ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29 ක් ද ඇත. ආසන 225 න 199 මහා මැතිවරණයේදී දිනා ගත්තේ එම පක්ෂ දෙකයි. ඉතිරි ආසන 26 පක්ෂ 15 ක් අතර බෙදී ගියේය. එම පක්ෂ 15 න්, නමයකට හිමිවූයේ එක් ආසනයක් බැගින් පමණි. එජාපය එම පක්ෂ නමය අතර ඇත. එයත් ජාතික ලැයිස්තු ආසනයකි (ගාල්ලෙන් තරග කර පරද වූ වජිර අබේවර්ධන). නමුත් විධායක බලය එම පක්ෂයේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණට පොහොට්ටු පාර්ලිමේන්තු කණ්ඩායම තුළ ඇත්තේ ආසන තුනකි (දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන).

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව/පාර්ලිමේන්තු ක්‍රමය පිරිහීමට ප්‍රධාතම හේතුවක් වී ඇත්තේ යම් මහා මැතිවරණයකින් පසුව මන්ත්‍රීවරුන් තමන්ට රිසි පරිදි ක්‍රියාකිරීමයි. තනිව තරග කර කිසිදු ආකාරයකින් පාර්ලිමේන්තුවට පත්වීමට නොහැකි පුද්ගලයන් /පක්ෂ වෙනත් ලකුණකින් මහමැතිවරණයට ඉදිරිපත් වේ. ඉන්පසුව නොයෙකුත් හේතු මත ස්වාධීන වේ. පාර්ලිමේන්තුව ව්‍යාකූල තත්ත්වයකට පත් වීමට ප්‍රධාන පක්ෂ දෙක සීසීකඩ වීම ප්‍රබල බලපෑමක් කර ඇත.

පාර්ලිමේන්තුවේ අසාර්ථකභාවය හේතුවෙන් බංකොලොත් වූ රට නැවත යථා තත්ත්වයට පත්කිරීමට මූලික අඩිතාලම දැමීමට අවශ්‍ය බවට ආණ්ඩුවම පැවසූ ශ්‍රී ලංකා මහා බැංකු පනතට අවම වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කර ගැනීමට ජන්දය දුන් 133 දෙනාවත් නොදුන්නේ ඇයි ? එජාපයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ජනාධිපති කිරීමට පොහොට්ටු පක්ෂයට තිබූ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහා බැංකු පනත අනුමත කිරීමට එම පක්ෂයට තිබුණේ නැත. ජනාධිපතිවරයා සහ පොහොට්ටු නායකත්වය මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කළ යුතු නොවේද? යම් පනතක් සම්බන්ධයෙන් ජන්දය ප්‍රකාශ කිරීම ව්‍යවස්ථාවෙන් අනිවාර්ය කර නැත. එසේ කිරීමද අනවශ්‍යය. නමුත් සෑම පක්ෂයක්ම තම ව්‍යවස්ථාව තුළ තම සාමාජිකයන් ජන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුමය.

● ඔස්ට්‍රේලියාවෙන් අමුත්තියක්

තවදුරටත් මෙරට ජනතාව සහ ලෝකය රවටමින් මේ පාර්ලිමේන්තුවට කටයුතු කළ නොහැක. පාර්ලිමේන්තු සේවිකාවන් ලිංගික හිංසනයට පත්වී ඇති බවට චෝදනාවක් එල්ල වී ඇති අවස්ථාවක ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරියක කථානායක මහින්ද යාපා හමුවීමද මධ්‍යයේ අවධානයක ලක්විය.

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී ලංකා සම්භවයක් ඇති කැසේන්ඩ්‍ර ප්‍රනාන්දු කථානායකවරයාව ජුලි මාසයේ 24 වන දින මුණ ගැසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වාර්තා කළේ අගෝස්තු 09 වන දිනය. එනම් ලිංගික හිංසනය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ දිනට පසුදිනය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තම වගකීම් සහ රටේ අවශ්‍යතා හඳුනා ගත යුතුය. පාර්ලිමේන්තුව දැනට යෙදී ඇති කටයුතු සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නකාරී බවක් ඇත.

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සම්බන්ධ කරගැනීමේ අරමුණින් දින තුනක වැඩමුළුවක් ජුලි 15, 16 සහ 17 වන දින මහනුවර පැවැත්විය. ඒ තරු තුනේ හෝටලයක් වන ඕක් රේ රීජෙන්සි (Ock Ray Regency) හිදීය. විවෘත පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රචලිත කිරීමට කිරීමට පැවැත්වූ මෙම වැඩසටහනට මුදල් වියදම් කළේ කවුද? බංකොලොත් ආණ්ඩුවකට මහජන මුදල් සත පහක් කාබාසිනියා කළ නොහැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කටයුතුවලට නිසිලෙස සහභාගි නොවන රටක විවෘත පාර්ලිමේන්තුවක් කුමකටද? එම වැඩමුළුවට විවෘත පාර්ලිමේන්තුවක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති මයන්තත දිසානායක ද සහභාගි විය. පොහොට්ටු සහ සජබ මන්ත්‍රීවරුන්ද එම අවස්ථාවට සහභාගි විය.

පාසල්වල පාර්ලිමේන්තු පිහිටුවීමද මොස්තරයක් වී ඇත. තරුණ පාර්ලිමේන්තුව කුමකට යන ප්‍රශ්නයට පිළිතුරක් නැත. යොවුන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පාර්ලිමේන්තු ක්‍රමයට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට කුමක් වූයේද? එයට UNDP අරමුදල් ලැබිණි.

කාන්තා මන්ත්‍රී කණ්ඩායම නවසීලන්තයේ සංචාරයක යෙදීම ආන්දෝලනාත්මක විය. එවැනි කටයුත්තකට මහජන මුදල් රට ඉතාමත්ම අසීරු තත්ත්වයක තිබෙන අවස්ථාවක යෙදවීම ප්‍රශ්නකාරී විය. ඒ අවස්ථාවාදී මහා ලේකම්වරිය අවධාරණය කළේ සමස්ත වියදම ඇමෙරිකාව (USAID) දැරූ බවය. මෙම වැඩසටහන වසර 2 1/2 පුරා ක්‍රියාත්මක වන බවද ඇය පැවසීය.

කරු ජයසූරිය කථානායක ලෙස පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට චීනයේ සංචාරය කිරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කළේය. මන්ත්‍රීවරුන් 225 න් අවම වශයෙන් 180 එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. එම සංචාර හරහා රටට අත්වූ ප්‍රතිලාභ අප දන්නේ නැත. නමුත් එම සංචාර සිදුවූ වසරේ චීනයට හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 කට 99 වසර බද්දකට හිමි විය. විදේශ සංචාරවලට අමතරව මන්ත්‍රීවරුන්ට සහ ඉහළ නිලධාරීන්ට පාර්ලිමේන්තුවේ පාවිච්චිය සඳහා පරිගණක චීනයෙන් ලැබිණි.

ජයසූරිය කථානායකවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් බිලියන 1.92 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 13) මුදලක් 2016 දී ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස යහපාලනය ඇති කිරීමට වියදම් කිරීමට ඇමෙරිකාව එකඟවිය. මෙම ගිවිසුම 2016 අග අත්සන් කරන විය එවකට ආණ්ඩුව යටතේ මහා බැංකුව දෙවරක් මංකොල්ල කා තිබු අතර වසර තුනක ක්‍රියාත්මක වූ එම වැඩසටහන අවසන්වන විට යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ණයට ගෙන රට බංකොලොත් වීමට මාර්ගය ඉඩහැර තිබුනේය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බංකොලොත්භාවය ලබා ගැනීම වේගවත් කළේය. අද රට බංකොලොත් කළ නඩය (ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ) ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස කිසිදු හිරිකිතයක් නැතිව පෙනී සිටිති.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment