පසුගිය සතිය වන විට ක්‍රිකට් අලකලංචිය පිළිබඳ පාර්ලිමේන්තුවේ සාකච්ඡාව තරමක් දුරට අවසන් විය. ඉන් අනතුරුව පටන් ගත්තේ රාජපක්ෂවරුන්ට හා තවත් කිහිප දෙනකුට එරෙහිව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබූ නඩු තීන්දුව පිළිබඳ කතා බහයි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුව රැස් වූයේ අයවැය ගැන සාකච්ඡා කරන්නට වුවත් මාතෘකාව පසෙක තිබියදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් වැඩිපුර කතා කළේ ඉහත කී මාතෘකා දෙක පිළිබඳවය. ඒ පිළිබඳ විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත් වීම කැපී පෙනුණු සුළු එකක් විය.

මේ රටේ ක්‍රිකට් තහනම් කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය සිදුකර ඇතැයි කියන මැදිහත්වීම විපක්ෂ නායකවරයාගේ දැඩි විවේචනයට ලක්විය. මුළු රටේම ජනතාව ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැදිහත්වීම හා ක්‍රිකට් තහනම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් කතා කළහ. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ගනු ලැබුයේ පොදු ජනතාවගේ ස්ථාවරයයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ යම් යම් පාර්ශ්ව මෙහිදී තරමක් දුරට පරිස්සමින් කටයුතු කරද්දී රටට පෙනෙන්නට වූයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතුවලට ඔවුන්ගේ යම් ආශිර්වාදයක් ද ඇති බවයි. රජයේ ඉහළ නායකයෝ බොහෝ දෙනෙක් ඇමැති රොෂාන් රණසිංහ කෙරෙහි එල්ල කරන ලද විවේචනය සම්බන්ධයෙන්ද ගැටලූ බොහෝමයක් තිබිණි. එම තත්ත්වය තුළ රොෂාන්ගේ ක්‍රීඩා ඇමැතිකම පවා දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනු දක්නට හැකි විය. සමහර දේශපාලන නිරීක්ෂකයෝ විශ්වාස කළේ ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිකම රොෂාන්ගෙන් ගෙන එස්. බී. දිසානායකට හෝ වෙනත් අයෙකුට මේ සිද්ධියෙන් පස්සේ පවරනු ඇතැයි කියාය. මාධ්‍යවල මේ පිළිබඳ යම් යම් ඉඟි බිගි ද පළ වන්නට වූහ.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ විපක්ෂනායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මැදිහත්වීම රටේ බහුතර ජනතාවගේ ප්‍රශංසාවට බඳුන් වූ බව නම් පැහැදිලි විය.

කෙසේ වෙතත් අයවැය විවාද වල දී අය-වැයට අදාළ නොවන වෙනත් කරුණු ගැන කතා කිරීම ගැන හා ඒ සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙත ලබා දෙන වේලාවෙන් වැඩි කොටහක් විපක්ෂ නායකයා වරයා තම කතාව සඳහා වෙන්කර ගැනීම ගැන නම් ලොකු චෝදනාවක් තිබිණි. මේ චෝදනාව ආණ්ඩු පක්ෂය පැත්තෙන් පමණක් නොව, විපක්ෂයේ පැත්තෙන් ද පැමිණ තිබීම විශේෂත්වයක් විය.

“එයා උදෙන්ම ඇවිල්ලා එයාගේ කතාවට පැයකට වැඩි කාලයක් වෙන් කරගෙන කතා කරනකොට ඒ ඒ විෂයයන් ගැන හැදෑරීමක් ඇති විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අයවැය ගැන කතා කරන්න වෙලාවක් නැතිවෙනවා. මේක දැන් එතුමා පුරුද්දකට අරන්. ඒක විශාල කරදරයක්…” කියමින් විපක්ෂයේම කථිකයෝ පාර්ලිමේන්තුවේ තැන් තැන් වල කෙඳිරිගාන්නට පටන් ගෙන තිබිණි. කෙසේවෙතත් සාපේක්ෂව ගත් කල මෙවර අය-වැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හොඳ විවාදයක් ඇති වූයේ යැයි කියානම් කිව නොහැකි විය. අවසානයේ මේ සතියේ අයවැය අස්සෙද පාර්ලිමේන්තුවේදී විපක්ෂය වැඩි අවධානයක් යොමු කර තිබුණේ මේ රටේ ආර්ථිකය බිඳ වැට්ටවූයේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළ රාජපක්ෂවරුන්ට හා සෙසු නිලධාරීන්ට නිසි දඬුවම් පැමිණවිය යුතු බවයි.

● මහින්දගේ සාදයට හදිස්සියේ ආ අමුත්තා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය පසුගිය 18 වැනි සෙනසුරාදා ට යෙදී තිබිණි. තම පියා වෙනුවෙන් විශේෂ උපන්දින සාදයක් සංවිධානය කරන්නට සැලසුම් කළ නාමල් රාජපක්ෂ 17වන සිකුරාදා රාත්‍රියේ මහින්ද රාජපක්ෂටත් ශිරන්ති රාජපක්ෂටත් මලලසේකර මාවත තම නිවසේ නවාතැන් ගන්නට පැමිණෙන මෙන් ආරාධනා කර තිබිණි. ඔහුගේ සැලසුම වූයේ පසුවදාට එනම් සෙනසුරාදා ට හිටපු ජනාධිපති මහින්දවත් පුදුමයට පත් කරවන ලෙස හිටිහැටියේ අමුත්තන් කැඳවා හදිසි උපන්දින සාදයක් පැවැත්වීමටය. ඒ සඳහා ඔහු මහින්දට වඩාත් ගරු කරන, මහින්දත් කැමති පුද්ගලයන් පිරිසකට සෙනසුරාදා උදේ තම නිවසට එන්නැයි ආරාධනා කළේය.

ඒ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ මාලදිවයිනේය. මාලදිවයින් ජනාධිපතිවරයා ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන්නට ඔහු හදිසියේම මාලදිවයිනට ගොස් සිටියේය. සංචාරය නිමාකර නිමාකර ඔහු සෙනසුරාදා උදේ යළි මව්බිමට පැමිණියේය. උදේ පාන්දර කටුනායකින් ගොඩ බැස වහාම ඔහු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට දුරකථන ඇමතුමක් ගෙන උපන්දිනයට සුබ පැතීමයි.

සුබ පතා දුරකථනය විසන්ධි කළ ගමන් ඔහුට නැවත ඇමතුමක් පැමිණියේ නාමල් රාජපක්ෂගෙනි.

“පුළුවන්නම් ඔබතුමා මේ වෙලාවේ අපේ ගෙදරට ගොඩ වැදිලා යන්න. ඔබතුමා ආවොත් තාත්තා වඩාත් සතුටු වෙයි…”

ඒ අනුව ගමන් මාර්ගය වෙනස් කර කර ජනාධිපතිවරයා තම නිවසට යෑමට පෙර කළේ මහින්දගේ සාදයට සහභාගි වන්නට යෑමයි. ජනාධිපතිවරයා එහි එන විට හිටපු ජනාධිපති ගෝඨාභය, බැසිල්, චමල්, ඇතුළු රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙක් මෙන්ම ඔවුන්ට හිතවත් සමීපතමයෝ රාශියක් එම අවස්ථාවට සහභාගි වන්නට පැමිණ සිටියහ.

කෙසේ වෙතත් ගමන් වෙහෙස නිසා ජනාධිපතිවරයා වැඩි වේලාවක් එතන රැඳී සිටියේ නැත. ඔහු හැකි ඉක්මනින් පිටව ගියත් උපන්දින සාදය දිගටම පැවැත්විණි. ඒ අවස්ථාවට සහභාගි වන්නට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මෙන්ම කැබිනට් ඇමැතිවරු ද විශාල පිරිසක් පැමිණ සිටීම විශේෂත්වයක් විය.

උපන් දින සාදයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂත් නාමල් රාජපක්ෂ දෙදෙනාම තංගල්ල බලා පිටත්ව ගියේය. හේතුව මහින්ද මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කසාගල රජමහා විහාරයේ සූදානම් කර තිබූ ආගමික උත්සවයකට සහභාගි වීමයි.

● පොහොට්ටුවේ පිරිසක් අයවැයට විරුද්ධ වෙයි

මෙවර අය-වැය සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු අතරත් ලොකු කතිකාවක් නිර්මාණය වී තිබිණි. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ පිළිගෙන ජනතාව මත තවදුරටත් බදු බර පැටවීම ගැන ආණ්ඩුව ඇතුළේම විසංවාදයක් තිබිණි. නාමල් ප්‍රමුඛ තරුණ මන්ත්‍රීවරු රාශියක් සිටියේ ජනතාව තව තවත් පෙළන මේ ආණ්ඩුවේ අය-වැය ට සහයෝගය දැක්වීම කළ නොහැකිය කියන තැන ය. එහෙත් අයවැය ජයග්‍රහණය කළ යුතුයි කියන ආස්ථානයේ බහුතරයක් සිටියහ. ඇතුළාන්තයේ ඒ ගැන ලොකු සංවාදයක් ඇති විය.

කසාගල විහාරස්ථානයේ උත්සවයට සහභාගි වී විසිවැනි සඳුදා උදේ නාමල් කොළඹට එන විට ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරු රැසක් ඔහුගේ මලලසේකර මාවතේ නිවසට රැස්ව සිටියහ.

“අපිට ගම්වලට යන්න බැහැ. මිනිස්සු බදු බරෙන් බඩු මිලෙන් මිරිකිලා. ලයිට් බිල් වතුර බිල් ගෙවා ගන්න ගන්න බැරුව මිනිස්සු ළතවෙනවා. කිසිම හිතක් පපුවක් නැතුව විදුලිබල මණ්ඩලය ඇවිල්ල ලයිට් කපලා යනවා. මිනිස්සු දුක් විඳින හැටි බල බල අපි කොහොමද අයවැයට අත් උස්සන්නේ. ඔබතුමා මේ ගැන මොකද කියන්නේ…” මන්ත්‍රීවරු නාමල්ගෙන් විමසන්නට වූහ.

“ඒ කතා ඔක්කොම ඇත්ත. ඒ වුණාට මේ තියන සිටුවේශන් එක උඩ අපි ටිකක් කල්පනාකාරීව වැඩ කරන්න ඕන. ජනතාවගේ පැත්තටත් යම් කිසි දෙයක් කෙරෙන විදියට ආණ්ඩුව පොළඹවන්න අපි මේ ලැබෙන සීමිත අවස්ථාව පවා ප්‍රයෝජනයට ගත යුතුයි…” නාමල් කීය.

“එහෙමනම් අපි අයවැයට විරුද්ධව ඡන්දය දෙමුද…”

“ආණ්ඩුවේ තනතුරු අරන්, වගකීම් කරට අරන් ඉන්න කිසිම කෙනෙක් අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න එපා. හැබැයි පුද්ගලිකව මම නම් අයවැයට පක්ෂව ඡන්දෙ දෙන්නෙ නෑ. මම ආණ්ඩුවේ වගකීමක් නොදරන නිසා මට පුළුවන් විරුද්ධව ඡන්දෙ දෙන්න. හැබැයි ඕගොල්ලො ඔය වැඩේ පරිස්සමින් කරන්න…

“මේ වෙලාවේ අපි කළ යුත්තේ අයවැය පරද්දන එකද දිනවන එකද…”

“අයවැය පරද්දන්න ඕන අපි නෙවෙයි. ඒක විපක්ෂයට අයිති වැඩක්. හැබැයි විපක්ෂ නායකතුමා යි අනිත් කට්ටියයි පහුගිය දවස් වල කතා කරපු වාරම් බලනකොට අයවැය ගැන ඒගොල්ලන්ගෙ ඇති සංවේදීතාවක් නෑ වගේ පේන්නේ. ඒ මොකද අයවැය විවාද පුරාම විපක්ෂ නායකතුමා කළේ එක්කෝ ක්‍රිකට් ගැන කෑ ගහන එක. එහෙම නැත්තං රාජපක්ෂවරු අල්ලලා කොටු කරන එක ගැන කතා කරපු එක. ඒගොල්ලො අයවැය දිනවනවද පරද්දනවා ද කියලා හැඟීමක නෑ.”

“ඒක නම් ඇත්ත. විපක්ෂ නායක තුමාට අය වැය ගැන මෙලෝ විවේචනයක් නෑ. එයා තාමත් කතා කරන්නේ ක්‍රිකට් ප්‍රශ්න ගැන…” මන්ත්‍රීවරු කියන්නට වූහ .

“හැබැයි ඉතින් තුන්වැනි වර කියවීමේ දී වත් අයවැය ගැන අපේ යෝජනා ඉදිරිපත් කරන්න වෙනවා. මේ වෙලාවේ වුණත් පඩි වැඩිකිරීම අස්වැසුම වගේ දේවල් ගැන අපි ඉදිරිපත් කරපු අදහස් සැලකිල්ලට අරන් තියෙනවා. ඒක නිසා මේ වතාවේ අපි අයවැය දිහා සංවේදීව බලමු… ”තවත් මන්ත්‍රීවරු පිරිසක් කියද්දී නාමල් අවසාන වරට කීවේ….

“ඔයගොල්ලො හොඳට කල්පනා කරලා හිතලා මතලා වැඩ කරන්න. හැබැයි පුද්ගලිකව මම නම් නම් ඡන්දය දෙන්නේ නෑ…” කියාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳුදා දිනයේ සිට දිගින් දිගටම පාර්ලිමේන්තු ගියේය. පාර්ලිමේන්තුවේ අයවැය වාද විවාද පැවැත්වෙන අවස්ථාවන්හිදී සජීවීව ඒවාට ඇහුම්කන් දීමට ඔහුට අවශ්‍ය විය. ඒ අතර අඟහරුවාදා හවස එක්සත් ජාතික පක්ෂයේ කළමනාකාර කමිටු නියෝජිතයන්ගේ රැස්වීම් රැස්වීමකට සහභාගි වන්නට පක්ෂ නායක රනිල් අමතක කළේ නැත.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති මෙම රැස්වීමේදී අද ජාතික පක්ෂයේ නායකයෝ සාකච්ඡා කළේ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යන ආකාරය ගැනයි…

“ලබන වසර මැතිවරණ පැවැත්වෙන වසරක් විය හැකි නිසා එම මැතිවරණවලට පක්ෂය සූදානම් කිරීම සඳහා දිස්ත්‍රික් රැස්වීම් මාලාවක් පැවැත්වීමට ඉහළ නායකයන් අතර සැලස්මක් තිබිණි. ඔවුන් කතා කළේ ඒවා සැලසුම් කරගෙන යන ආකාරය ගැනයි.

“හරි… ඔව් ගොල්ල දැන් පක්ෂය දිනවන වැඩපිළිවෙල මොකක්ද කියලා කතාබහ කරලා ඉවරද…” නායකයා ඇසීය.

“ලබන වසරේ මැතිවරණ දෙකක්ම පවත්වන්න ඔබතුමා අදහස් කරන බව කියලා තියෙනවනේ. අපි දැන් ඒ සඳහා පක්ෂය දිනවන සැලසුමක් පිළිබඳ දළ වාර්තාවක් හදලා තියෙනවා.. ආසන මට්ටමෙන් පවත්වනු ලොකු වැඩ කොටසක් අපි මෙහෙ යෝජනා කරලා තියෙනවා.” එසේ කියමින් රංගෙබණ්ඩාර වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

“හැමෝටම මොකක් හරි වගකීමක් පැවරෙන විදිහටයි අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුත්තේ…” ජාතික සංවිධායක සාගල රත්නායක කීවෙය.

ජනාධිපතිවරයා ඉන් පසුව ක්‍රිකට් ගැන මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය ගැන ද පක්ෂ නියෝජිතයන් සමග කරුණු සාකච්ඡා කරන්නට විය.

● මහින්ද පක්ෂව නාමල් විරුද්ධව

ජනාධිපතිවරයා 2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය අඟහරුවාදා හවස සිදුවිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද අයවැය අය-වැය සම්බන්ධයෙන් කතාවක් කරන්නට නියමිතව තිබුණි. ඔහු ඒ සඳහා සූදානම් වීමට අඟහරුවාදා උදෙන්ම පාර්ලිමේන්තුවට පැමිණියේය…

අඟහරුවාදා උදේ පාන්දරම පාර්ලිමේන්තුවේ විශාල ගාලගෝට්ටියකි. ඊට හේතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උදේ පාන්දරම වෙනත් කාරණාවක් විවාදයට ගැනීමයි. මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මේ රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම්කර තීන්දුවක් ලබා දීම සම්බන්ධයෙන් ඔහු කතා කරන්නට පටන් ගත්තේය. ආර්ථික අර්බුදය ගැන ඔහු රාජපක්ෂවරුන්ට විරුද්ධව කතා කරන්නට පටන් ගත් විට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ද ඊට ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්හ. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු සභාවේ කලබල කරන්නට වූ අතර එම අවස්ථාවේ සජිත් ප්‍රේමදාසගේ මේසය මත වූ වැදගත් තොරතුරු අඩංගු ලිපි ගොනුවක් ද අස්ථානගත විය. මේ නිසා පාර්ලිමේන්තුවේ එකම ගාලගෝට්ටියකි.

හිටපු ජනාධිපති මහින්ද මේ අවස්ථාවේ සභා ගැබෙන් ඉවත්ව ගොස් සිය කාර්යාලය වී පාර්ලිමේන්තුව දෙස බලා සිටියේය. ඒ අතර සභාගර්භය සන්සුන් වූ පසුව හිටපු ජනාධිපතිවරයා සභා ගැබට පැමිණ ඔහුගේ අයවැය දේශනය නිම කළේය. ඉන් පසුවද ඔහු ආපහු පාර්ලිමේන්තුවේ උඩ තට්ටුවේ තිබුණු කාමරයට ගොස් පාර්ලිමේන්තුව දෙස බලා සිටියේය. ප්‍රසන්න රණතුංග ඇතුළු කීප දෙනෙකු නිල කාමරයට පැමිණියේය.

“ඡන්දෙ තියෙන්නේ හවස 06:00 ට. දැන් වෙලාව 12 පහු වුණා විතරයි. ඕන්නං ගෙදර ගිහිල්ලා ටිකක් විවේක අරගෙන පහමාරට විතර එන්න පුළුවන්.”

“නෑ නෑ… ඔයගොල්ලත් එක්ක මමත් ඉන්නවා. මමත් කැමතියි මේ කාමරේ ඉඳලා හරි පාර්ලිමේන්තුවේ වෙන දේවල් දිහා මේ විදිහට බලන් ඉන්න.. ” මහින්ද කීවේය.

මේ අතර මහින්ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටද කතා කළේය. හවස අයවැයට පක්ෂව ඡන්දය දෙන්න ඒනනැයි ඔහු නාමල්ට කීවේය. ඒ වෙන විට නාමල් සිටියේ සිය ළඟම හිතවතෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙමිනි.

“මේ වෙලාවේ අපි මේ බජට් එකට සපෝර්ට් කරන්න ඕනෑ. ඒ හින්දා මොන වැඩේ තිබුණත් එන්න” මහින්ද නාමල්ට කීවේය.

පැය 05 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටි මහින්ද හවස අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.

“මම මගේ යුතු කම කළා”.

“සර් කොහොමත් ඕනෑම වේලාවේ දී රට වෙනුවෙන් ඉදිරිපත් වෙන බව අපි දන්නවනේ . ඒකනේ කවුරු මොනව කියුවත් රටේ මිනිස්සු ඔබතුමාට ආදරේ” ඇමැති ප්‍රසන්න කීවේය.

කෙසේ වෙතත් දෙවන වර විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේ දී ඡන්දය දෙන්නට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැමිණ සිටියේ නැත… ඒ ගැන මහින්ද සිටියේ කනස්සල්ලෙනි… එය තේරුණු ඇමැති ප්‍රසන්න “නෑ සර්… නාමල් මල්ලිට එන්නම විදිහක් නැතිවෙන්න ඇති. නැත්තම් කීයටවත් නෑවිත් ඉන්නේ නෑ. ඊළඟ එකේදී ඇවිත් ජන්දය දෙයි” කියමින් මහින්දව අස්වැසුවේය…

● පාර්ලිමේන්තු විනය කමකට නැහැයිලු

පසුගිය සතියේ පාර්ලිමේන්තුව ඇතුළාන්තයේ දෙපැත්තේම මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් රටේ ලොකු කතා බහක් ඇති විය. කවුරු හරි ද කවුරු වැරදි ද කියා නැත. වැරදි හා අඩුපාඩු දෙපැත්තේම ඇති බව පසුගිය දිනවල ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් පාර්ලිමේන්තුවේ හැසිරීම ගත් කල කාට කාටත් පැහැදිලි විය. ඇතිවූ ගාලගෝට්ටි අස්සේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ලිපි ගොනුවක් නැතිවීම ගැන ලොකු ගාලගෝට්ටියක් ඇතිවිය.

එම ලිපි ගොනුව පැහැරගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාටය. චෝදනා ඔප්පු වීම සම්බන්ධයෙන් ඔහුට දඬුවමක් ලැබිණි. ඔහුට දින දාහතරක් පාර්ලිමේන්තුව තහනම් විය.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකට එක් වී පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ විනය පිරිහීම ගැන සාකච්ඡා කරන්නට වූහ. නව සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඒ අනුව නලින් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ කාමරයේ සාකච්ඡා කරමින් සිටියේ මෙසේය.

“මේ යන විදිය හරි නෑ. මේ ක්‍රමය දැන්මම වෙනස් නොවුණොත් ඒකනෙ පාර්ලිමේන්තුවේ ගෞරවයට කරන ලොකු හානියක්…” අනුර යාපා කීවේය.

“ඔව් දැන් කථානායකතුමාට වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ හැසිරීම ගැන දෙපැත්තෙම ඉන්න කලබල කාරයොන්ට ටියුෂන් ක්ලාස් එකක් දාන්න.” ලසන්ත අලගියවන්න කීවේය.

ඉන් පසුව සියලුම දෙනා කතා කළේ ජනාධිපතිවරයා පසුගිය දිනක ලබන වසර මැතිවරණ වසරක් ලෙස නම් කිරීම ගැනයි.

“ලබන අවුරුද්දේ මැතිවරණ වලටයි සූදානම. අනුර ලා දැනටමත් සමීක්ෂණයක් කරලාලු…” අමරවීර කීවේය.

“ඔව් ඉතින් ඒගොල්ලො සමීක්ෂණ කරාවි. ඒත් මීට අවුරුද්දකට කලින් රට තිබුන තත්ත්වය ගැන කාටවත් මතක නෑ. ඔය මොන සමීක්ෂණ ප්‍රතිඵල ආවත් රනිල් සජිත් අනුර තුන්දෙනාගෙන් ජනාධිපතිතුමා ඉන්නේ ඉස්සරහින්. ඒකයි යථාර්ථය…” නිමල් ලංසා කීවේ උදාහරණ හා ගණන් හිලව් කීපයක් ගෙන හැර පාමිනි.

“ලන්සාගේ කතාව හරි. විපක්ෂ ලොකු භයක් තියෙනවා ජනාධිපතිතුමා මේ ගේම් එක ස්කෝර් කරන එක ගැන… ජෝන් සෙනවිරත්න කීවේය…

“විපක්ෂය දැන් කාට කාටත් මඩ ගහන්න පටන් අරන්. පොහොට්ටුවේ කට්ටිය නිහඬව හිටියට මඩ ප්‍රහාර වලට අපිවත් උත්තර දෙන්න ඕන.” දුමින්ද දිසානායක කීවේය.

● දයාසිරිගේ ප්‍රශ්නයට මෛත්‍රීගෙන් උත්තර

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් තිබිණි. මෙහිදී පක්ෂ නායකයෝ සාකච්ඡා කළේ මූලික වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිපත්තිය ගැනයි. මේ ප්‍රශ්නය මතු වූයේ අයවැයෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ ක්‍රියා කළ දෙබිඩි පිළිවෙත නිසාය. මෛත්‍රිපාල, දයාසිරි, ශාන් විජේලාල්, දුෂ්මන්ත මිත්‍රපාල ආදීන් ඡන්දය පාවිච්චි කළේ විරුද්ධවය. ඒ අතර නිමල් සිරිපාල, මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න ඡන්දෙ දුන්නෙ අයවැයට පක්ෂවය. පක්ෂය ඇතුළාන්තයේ ලොකු සාකච්ඡාවක් ඇති විය.

“ඇයි අපි එක ප්‍රතිපත්තියක ඉන්නේ නැත්තේ. මේකෙන් වෙන්නේ පක්ෂය විනාශ වෙන එක…” මන්ත්‍රීවරු මෛත්‍රිපාල සිරිසේන නායකතුමාගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නට වූහ…

“දැන් අපිට මේ ගැන තීරණයක් ගන්න වෙලාව ඇවිල්ල. ලබන අවුරුද්දේ මැතිවරණ පැවැත්වෙන බව කියනවා. එතෙන්දි අපි මොකද කරන්නේ. විදිහට දෙකට බෙදිලා පක්ෂය ගැන හිතන්නේ නැතුව එක එක තැන්වල එල්ලිලා ඉන්නවාද, නැත්තං අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා එක ඉදිරියට ගෙන යනවාද. කෙළින්ම මේ ගැන අපි තීන්දුවක් ගන්න ඕන. ජනාධිපතිවරණයක් පැමිණියොත් අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ඔහු ජයග්‍රහණය කරන්න වැඩ කරන්න ඕන” මෛත්‍රීපාල සිරිසේන කීවේය.

“ජනාධිපතිවරණයක් තිව්වොත් ඉතිං කවුද අපේක්ෂකයා… කවුද අපට ශක්තිමත් නායකයෙක් ඉදිරිපත් කරන්න ඉන්නේ…” මන්ත්‍රීවරු ප්‍රශ්න කරද්දී ගාමිණි තිලකසිරි නැගිට මෛත්‍රිපාල සිරිසේනගේ නම යෝජනා කළේය.

“ඔබතුමා තමයි ජ්‍යෙෂ්ඨයා. ඔබතුමා තමයි මේ පාරත් අපේ අපේක්ෂකයා වෙන්න ඕන…” එම අදහසට අන් අයගේ විරුද්ධත්වයක් තිබුණේද නැත.

“පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා වැඩ කරන්න නං එකඟතාවක් තියෙන්න ඕන. ඒ වුණාට අපේ කට්ටියත් ආණ්ඩුවේ. කට්ටියක් මෙතන. ආණ්ඩුවේ ඉන්න අය කණ්ඩායමක් හැටියට රනිල් වික්‍රමසිංහව ඉදිරිපත් කරලා එයාට සපෝට් කරනවා මිස අපට සපෝට් එකක් දෙයිද…” ආණ්ඩුවේ ඇමැතිකම් දරන මන්ත්‍රීවරුන්ට මෙහිදී දැඩි පීඩනයක් ඇතිවිය. එහිදී ඒ වෙනුවෙන් කතා කළේ මහින්ද අමරවීරයි.

“ඡන්දෙ එන්නෙ ලබන මාර්තු වලින් පස්සේ නම් අපි ලබන මාසේ වෙනකොට අපේ තනතුරු වලින් අයින් වෙනවා. ඊට පස්සේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා හා පක්ෂය දිනවන්න මෙතෙන්ට ඇවිල්ල වැඩ කරනවා.” මහින්ද අමරවීර එසේ කියද්දී අත්පොළසන් දී ඔහුගේ කතාව සියලු දෙනා අනුමත කළහ.

මේ අයුරින් සාකච්ඡාව අවසන් වූයේ ශ්‍රීලනිප අනාගතය ගැන තිබුණු ප්‍රශ්න ගණනාවකට උත්තර ලබා ගනිමිනි. මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් කර විසිර යන අතර මාධ්‍යවේදීන් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන වටකරගත්හ. ඔවුන් ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇසුවේ පසුගිය දිනක දයාසිරි ජයසේකර මෛත්‍රිපාල සිරිසේන ඉලක්ක කරගෙන කියූ ප්‍රකාශයක් ගැනය.

“දයාසිරි මන්ත්‍රීතුමා කියනවා හිටපු ජනාධිපතිවරුන්ව බලාගන්න ආණ්ඩුවෙන් මුදල් වියදම් කරන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕන කියලා. ඒක ඔබතුමාගෙන් පළිගන්න කරපු ප්‍රකාශයක්..”

දයාසිරි මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණ සිටියේද නැත. ඊට හේතුව පක්ෂ නායකයා විසින් ඔහුගේ සාමාජිකත්වයක් අත්හිටුවීමයි. අතීතයේ එක් කලක පිය පුතු දෙපලක් මෙන් සිටි මෛත්‍රී දයාසිරි දෙදෙනා අද වන විට වෛරක්කාරයෝ බඳුය.

කෙසේ වෙතත් ප්‍රශ්නයට උත්තර දෙන්නට ගියේ නැත. ඔහු වෙනකක් කියා ප්‍රශ්නය මඟ හැරියේ මෙසේය.

“හිටපු ජනාධිපතිවරු ගොඩක් ඉන්නවනේ. ඒක නිසා කවුරු ඉලක්ක කරගෙන කිව්වද කියල ෂුවර් නෑ. මං හිතන්නේ නෑ මට කිව්වා කියලා…”

ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළාන්තයේ අළු යට ගිනි මෙන් අර්බුද ගණනාවක් ම සැඟවී තිබිණි. ඉන් එකක් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කමින් තිලංගව ඉවත් කරන්නට කීප දෙනකු තුළ තියෙන සැලැස්මයි. එම ලේකම්කම සම්බන්ධයෙන් උසාවියේ කතා කරන නඩුවක් ද තිබේ. ඒ අතර දයාසිරි පැවරූ නඩුවක්ද තිබේ. පක්ෂයේ මහලේකම්කම සම්බන්ධයෙන් එතන ප්‍රශ්නයක් තිබෙනවා සේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කම සම්බන්ධයෙන්ද ප්‍රශ්නයක් ඇත. ශ්‍රී ලංකා නිදහස පක්ෂය අද අබල දුබල වී ඇත්තේද ඔය අරමුණු රාශිය නිසාය.

● රනිල් සජිත් සමගියට රාජිතට යෝජනාවක්

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ අවන් හල තුළ ලංකාවේ ප්‍රකට පුවත්පත් කීපයක මාධ්‍යවේදීන් පිරිසක් රැස්වී සුහද සාකච්ඡාවක යෙදී සිටියහ. ඔවුන් එතැන සාකච්ඡා කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැනයි. දේශපාලන වාර්තාකරුවන් හා තීරු ලිපි රචකයන් කීප දෙනෙක්ම සිටි බැවින් අතීතය හාරා අවුස්සමින් හා අතීත සිද්ධීන් මෙනෙහි කරමින් ඇදීගිය සාකච්ඡාව ඉතා රසවත් එකක් වූහ. ඒ අතර එතැනට සුවිශේෂී අමුත්තෙක් පැමිණියේය. අමුත්තා රාජිත සේනාරත්නයි.

රාජිත සේනාරත්න ද මේ රටේ දේශපාලන කරලියේ අතීත මතක ගබඩාවක් වැනිය. මාධ්‍යවේදීන් එතැන් සිට ඔහු ඔහුගේ මතකය හාර අවුස්සන්න පටන් ගත්හ..

“පේරාදෙණි විශ්වවිද්‍යාල සමයේ ආරම්භ වූ තම දේශපාලන පුරාවත තුළ වූ ඇතැම් සුවිශේෂී සිදුවීම් ඔහු විස්තර කළේ අප නම් වශයෙන් දන්නා දේශපාලකයින් රාශියකගේ එතන සිටි කිසිවෙක් නොදන්නා රසවත් තොරතුරු රාශියක් හෙළිදරව් කරමිනි. ඒ අය අතර රෝහණ විජේවීර, කාලෝ ෆොන්සේකා, මහින්ද විජේසේකර, මහින්ද රාජපක්ෂ, රණසිංහ ප්‍රේමදාස, ප්‍රේමදාස උඩුගම්පොළ, කේ පී සිල්වා, විජය කුමාරතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රිචඩ් ද සොයිසා, කොම්රේඩ් ලයනල් වැනි මේ රටේ දේශපාලන කරළිය තුළ ආන්දෝලනාත්මක චරිත රාශියක් සිටියහ.

“මේ ඔක්කොම විස්තර මම දවසක ලියනව. ඔයාලට පුදුම හිතෙයි ඒ පොත එළියට ආවාම. දැනට ඒක ලියාගෙන යනවා. ළඟදීම දැකගන්න පුළුවන් වෙයි…”

2015 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෙන ආ සටනේ නියමුවා වූයේ ද රාජිතය. මෛත්‍රී රනිල් එක මේසයකට ගේන්නට ඔහු කළ දුෂ්කර ක්‍රියාව විස්තර කළේ රැස්ව සිටියවුන් සිනා සාගරයක ගිල්වමිනි.

අතීත තොරතුරු කතාකරන අතරෙ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ද යම් කතා බහක් ඇති විය. මාධ්‍යවේදියෙක් මේ අය වැය ගැන ප්‍රශ්නයක් ඇසීය…

“මං හිතන්නේ මේ දේශපාලන සන්දර්භය ඇතුළේ මේ සමාජ ආර්ථික වටපිටාව තුළ දෙන්න තියෙන හොඳම අයවැය. වෙන මොනවද කරන්නේ..” ඔහු ඊට උත්තර දුන්නේ ප්‍රශ්නයක් ද අසමිනි.

කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි මාධ්‍යවේදියෙකුද එතැන සිටියේ ය. හේ දිනේෂ් දොඩම්ගොඩ ය. අවසානයේ ඔහු මේ රටේ අනාගතය ගැන ප්‍රශ්න කරමින් රාජිතගේ අවධානය වෙනත් පැත්තකට ගෙන ගියේය.

“ආයෙත් මේ රට ගොඩගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් ඕන. අනාගතයේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න නම් රනිලුයි සජිතුයි එකතු කරන්න ඕන. ඒක කරන්න පුළුවන් ඔබතුමාට විතරයි. ඉතින් ඇයි ඔබතුමා තවමත් ප්‍රමාද…”

ඒ ප්‍රශ්නයට සුපුරුදු සිනහවෙන් උත්තරයක් දුන්නේය. වචනවලින් නොකිව්වට ඒ සිනහව තුළ කුමක්දෝ අනාගත දේශපාලන සැලැස්මක සේයාවක් පෙනෙන්නට විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment