රෙදි පිළි හා රසකැවිලි වෙළෙඳාම පසුගිය අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙම අවුරුදු සමයේ සියයට 40කින් පහත වැටිලා

වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයකින් තොරව තිබුණත් ඒවා මිල දී ගැනීමට ජනතාවගේ අතමිට සරු වෙලා නැහැ

රෙදි පිළි මිල අඩුයි, ඒත් ඉල්ලුම නැහැ

උපරිම සිල්ලර මිල සහතික කිරීම අනුගමනය නොකරන ආනයනකරුවන්ට, සමාගම්වලට, එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරියට බැරිවෙලා

පරිප්පු, ලූනූ, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරීම සඳහා මෙම වසරේ මුල් මාස දෙක තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 62.8ක මුදලක් වැය කරලා

රටේ ආර්ථික අර්බුදයක් පැවැතිය ද රට්ටුන් අලුත් අවුරුද්ද සැමරීම සඳහා මේ වනවිට ලකලෑස්ති වෙමින් සිටිති. මක්නිසාද යත් සිංහල අලුත් අවුරුද්ද වූ කලී අපේ රටේ අවුරුදු පතා වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රේෂ්ඨ මංගල්‍යය හතරෙන් එකක් නිසාය. රජ කාලයේ දී පවා අපේ පැරැන්නෝ අවුරුදු සැමරූහ. රට්ටුන්ට තුන්වේල කෑමට තරම් ආර්ථික ශක්තියක් නොමැති වුවද කනකර බඩු උකස්කොට හෝ අලුත් අවුරුද්ද සැමරීමට ඇතමුන් කටයුතු කරති. අලුත් අවුරුද්ද ගැන සඳහන් කරනවිට රසකැවිලි හා රෙදි පිළි ගැන සඳහන් නොකරම බැරිය. ඒ විතරක් නොව, අලුත් අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා ඇත්තේ ද ඉහළ ඉල්ලුමකි. කෙසේ වුවද භාණ්ඩ හා සේවා මත පනවා ඇති එකතු කළ අගය මත (වැට්) බදු මුදල නිසා වෙනදාට වඩා සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් ඇත්තේය. සෑම බදු බරක්ම රට්ටුන් මත පැටවීම නිසා රට වැසියන් ආර්ථික වශයෙන් ගැටලු රැසකට ලක්ව තිබේ. එහෙත් ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් බදු දැලෙන් රිංගා ගොස් තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 1066ක් හෙවත් කෝටි ලක්ෂයක් බදු මුදල් පැහැර හැර තිබෙන්නේ යැයි පාඨලී චම්පික රණවක මහතා ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කොට තිබුණි.

කඩවල බඩු තිබුණට ඒවා ගන්න සල්ලි නෑ!

ඒ කොයිහැටි වුවද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවකට අනුව සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි යන මාස දෙක තුළ වැයකොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 61.6කි. පෙබරවාරි මාසය තුළ පමණක් සීනි සහ රසකැවිලි ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 31.5ක මුදලක් වැයකොට ඇත්තේය. මහ බැංකු වාර්තාවට අනුව 2023 වර්ෂය තුළ පමණක් සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා පමණක් වැයකොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 435.5කි. මහ බැංකුව මගින් නිකුත් කරනු ලබන වාර්තාවන්ට අනුව සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා පමණක් විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවී තිබේ.

සැබැවින්ම රසකැවිලි වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. රසකැවිලි අතුරින් අලුත් අවුරුදු කෑම මේසයේ දී කැවුම් ගෙඩියට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේ ද සිංහල අවුරුදු කාලයටය. මේ කාලයේ දී කෝඳුරුවෝ ද රෑන් පිටින් නිවෙස්වලට ඇදී එති. කෝඳුරුවන් කැවුම්වලට ඇදී ඒම වැළැක්වීම සඳහා සිංහල ගැමි ලියන් කෝඳුරුවන් සඳහා වෙනම කොඳුරු කැවුමක් නිවසේ එල්ලා තබයි. කැවුම් ඉවීම සඳහා තෙල් වළං ළිපේ තියා මුලින්ම සාදනු ලබන කැවුම කෝඳුරු කැවුම ලෙස නම් පටබැඳී තිබේ. අන්තිමට සාදනු ලබන කැවුම හැඳින්වෙන්නේ දියකැවුම යනුවෙනි.

සැබැවින්ම සිංහල කැවිලි වර්ගවලට ඇත්තේ ද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩි වශයෙන්ම දක්නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. ද්‍රවිඩ ආශ්‍රය මෙන්ම පෘතුගීසි, ලන්දේසී සම්බන්ධතා මෙයට හේතු වන්නට ඇත. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග පොලොන්නරු යුගයේ ද තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ.

නා නා මාදිලියේ කැවිලි වර්ග අපේ ගැමි කාන්තාවන් විසින් සාදයි. කැවුම් සෑදීමට යොදා ගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම්, මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි. වලස්මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක් ද ඇත්තේය. එවා හඳුන්වන්නේ මුකුදු යනුවෙනි. නාරං ගෙඩියක් තරමට ගුලියක් තනා ඒ තුළට පැණි පොල් කැවීමෙන් සාදන නිසා නාරං කැවුම් ලෙස නම් පටබැඳී ඇත්තේය. එමෙන්ම අතේ නොවඩා හැන්දෙන්ම තෙලට දමා සදාගනු ලබන කැවුම් හඳුන්වන්නේ හැඳිකැවුම් කියාය. උඩරට පළාතේ අච්චුකැවුම් නමින් කැවිලි වර්ගයක් හැඳින්වෙන අතර ඒවා මුරුක්කු යනුවෙන් ද හැඳින්වේ. කොණ්ඩයක් මෙන් උඩට නෙරාගිය කොටසින් යුතු කැවුම කොණ්ඩ කැවුම්ය. කොණ්ඩයක් නැති කැවුම් අතිරස කැවුම් ලෙස නම් පටබැඳී ඇත්තේය. මුංපිටි යොදා සාදනු ලබන කැවුම් මුංකැවුම්ය. මුං, අතිරහ, මුං අලුවා, මුංගුලි, මුංකැරලි, ආදී නම්වලින් ද මෙම කැවිලි වර්ග හැඳින්වේ. මාතර පළාතේ සව්බොරවා නමින් හැඳින්වෙන කැවිලි වර්ගයක් ඇති අතර එම කැවිලි වර්ගය රත්නපුර පළාතේ හඳුන්වනු ලබන්නේ සව්බර නමිනි.

අලුත් අවුරුද්දට ඉතා දුප්පත් පැල්පතක වුවද කැවුම් ගෙඩියක් ඉදෙන්නේය. ඒ කොයිහැටි වුවද කැවුම් ඇතුළු රසකැවිලි සෑදීමට ගන්නා අමුද්‍රව්‍යවල මිල අහස උසට නැඟ තිබේ. පොල්තෙල්, පිටි, සීනි, මාගරින්, තල, ඇතුළු සෑම අමුද්‍රව්‍යයක් සඳහාම විවිධ වූ බදු පැනවීම නිසා මෙකී අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇත. මේ නිසා කැවුම්, තලකැරලි, කේක්, මස්කට්, දෙදොල්, කිරිටෝෆි ඇතුළු සෑම රසකැවිලි වර්ගයකම පවා මිල පාරිභෝගිකයාට දරාගැනීමට නොහැකි අයුරින් වැඩිවී තිබේ. රසකැවිලි සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන්නේ සීනිය. සීනි ගැන සඳහන් කරනවිට අපේ මතකයට එන්නේ කුප්‍රකට සීනි බදු වංචාවය. සීනි කිලෝවක් සඳහා පැනවූ බදු මුදල අඩු කිරීම සහ වැඩි කිරීම නිසා සීනි බදු වංචාකරුවන් විසින් උපයනු ලැබූ අයුතු ලාභය බිලියන ගණනකි. මේ අයුරින් අයුතු ලෙස උපයාගනු ලබන ලාභය කුප්‍රකට සීනි ආනයනකරුවන්ගෙන් අයකර ගැනීමට පවා තවමත් මුදල් අමාත්‍යාංශයට නොහැකිවී තිබේ. ඒ බරද පැටවී ඇත්තේ රට්ටුන්ගේ කරපිටය. පාන් පිටි මිල ද වැඩිවී තිබේ. මේ අයුරින් අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා වෙළෙඳපොළේ කැවුම් ගෙඩියක මිල රුපියල් 60ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මම කැවුම් හා පැණි වළලු හදනවා. වෙනදා සිංහල අලුත් අවුරුදු කාලයට කැවුම් ඇණවුම් ගොඩක් ලැබෙනවා. මේ වතාවේ වෙනදා වගේ කැවුම් සඳහා ඇණවුම් ලැබුණේ නැහැ. පොල් තෙල් බෝතලයක් රුපියල් 480යි, සීනි කිලෝවක් රුපියල් 280යි, පාන් සහ සහල් පිටි මිලත් වැඩිවෙලා. පාන් පිටි කිලෝවක් රුපියල් 195ක් වෙනවා, උඳු කිලෝවක් රුපියල් 400ක් වෙනවා, ගෑස් මිල පොඩි ගාණකින් නේ අඩු වුණේ. මේ වියහියදම් බැලුවහම කැවුම් ගෙඩියක් රුපියල් 60කට තමයි අලෙවි කරන්න වෙන්නේ. කැවුම් හැදීමේ නිරත කාන්තාවක් වන එච්. ජී. ප්‍රියංගනී මහත්මිය එසේ කීවාය.

මේ වනවිට අලුත් අවුරුදු සමය ආරම්භ වී ඇතත් රසකැවිලි සඳහා ඇති ඉල්ලුම වෙනදාට වඩා පහත වැටී ඇති බව රසකැවිලි නිෂ්පාදකයෝ සඳහන් කරති. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ බිත්තරයක මිල රුපියල් 35ක් දක්වාත්, මාගරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400ක මුදලකට ලබාදිය හැකි බවය. දැනට හොඳ තත්ත්වයේ කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වන බවත් බිත්තරයක් රුපියල් 35කට ලබාදෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දමන බව ද ඔහු සඳහන් කරන්නේය. මාගරින්, කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 900ක බද්ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400කට ලබාදිය හැකි බව ද හෙතෙම සඳහන් කරන්නේය.

කඩවල බඩු තිබුණට ඒවා ගන්න සල්ලි නෑ!

අලුත් අවුරුදු උත්සව කාලයේ දී තමයි රසකැවිලි නිෂ්පාදකයන් කීයක් හරි හොයාගන්නේ. නමුත් ජනතාව ආර්ථික වශයෙන් ගැටලු රැසකට ලක්වෙලා තියෙනවා. මේ නිසා ජනතාව රසකැවිලි මිලදී ගැනීමට වඩා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට තමයි තියෙන මුදල වියදම් කරන්නේ. වැට් බද්ද හා අනිකුත් බදු නිසා රසකැවිලි නිෂ්පාදනය කිරීමට ගන්නා සෑම අමුද්‍රව්‍යයකම මිල ඉහළ ගිහින් තියෙනවා. කැවුම් හදන්න සීනි, පොල් තෙල්, සහල් හා පාන්පිටි, දුරු ආදි දේවල් අවශ්‍ය වෙනවා. මෙම භාණ්ඩ සඳහා බදු පැනවීම තුළින් නිෂ්පාදන වියදම වැඩිවෙලා. කැවුම් ගෙඩියේ මිල පවා ඉහළ ගිහින් තියෙනවා. රසකැවිලි නිෂ්පාදනය කිරීම සඳහා වැඩි වශයෙන් අවශ්‍ය වන්නේ ආනයනික ද්‍රව්‍යය. මෙකී භාණ්ඩ සඳහා බදු පැනවීම නිසා රසකැවිලි මිල ඉහළ ගොස් තියෙනවා. වෙනදා සිංහල අලුත් අවුරුදු කාලයට රසකැවිලි සඳහා ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඇණවුම් විශාල වශයෙන් ලැබෙනවා. නමුත් මේ වතාවේ එහෙම රසකැවිලි සඳහා ඉල්ලුමක් නැහැ. රසකැවිලි වෙළෙඳාම සියයට 50කින් පමණ අඩුවෙලා තියෙනවා. මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන් ගැටලු රැසකට ලක්ව ඇති බව දකුණු පළාත් සුළු හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා සඳහන් කරන්නේය.

දික්වැල්ලේ, වලස්ගල පදිංචි කසුනි ගංගා කුමාරි තලකැරලි නිෂ්පාදනයේ නිරත තැනැත්තියකි. ඇය අපිට කීවේ මෙවැනි කථාවකි.

සිංහල අවුරුදු සමයේ දී තලකැරලි සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ තල මිල විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. තල කිලෝවක් රුපියල් 1150ක් වෙනවා. සීනි හකුරු කිලෝවක් 385ක් වෙනවා. අපි මෙම ව්‍යාපාරය ආරම්භ කරනවිට තල කිලෝවක මිල තිබුණේ රුපියල් 250ට. තල සහ සීනි හකුරුවල මිල විශාල වශයෙන් වැඩිවීම තමයි අපිට දරාගන්න බැරි. නිෂ්පාදන වියදම විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. අමුද්‍රව්‍ය මිල වැඩිවුණාට තල කැරලිවල මිල වැඩි කරන්න බැහැ. එහෙම වුණොත් තලකැරලි සඳහා තියෙන ඉල්ලුම අඩුවෙලා අපේ නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වෙනවා. මේ නිසා තල කැරලි නිෂ්පාදකයන් ගැටලු රැසකට ලක්වෙලා ඉන්නවා. මහන්සියේ හැටියට ආදායම අඩුයි. යාන්තම් වියදම කවර් කරගන්න පුළුවන්. තල මිල අඩුකරලා අපිට යම්කිසි සහනයක් ලබාදෙනවා නම් ගොඩක් වටිනවා යැයි ඇය කීවාය.

චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා ගාල්ලේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු මෙසේ කීවේය. භාණ්ඩ හා සේවා මත පනවා ඇති එකතු කළ අගය මත (වැට්) බදු මුදල රසකැවිලි නිෂ්පාදන වලටත් වදිනවා. සහල්වලට වැට් වදින්නේ නැහැ. නමුත් සහල්වලින් සිදුකරන අතුරු නිෂ්පාදන සඳහා වැට් එක වදිනවා. මගේ ආයතනය වැට් ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති ආයතනයක්. මේ නිසා සුළු පරිමාණ රසකැවිලි නිෂ්පාදකයකුගෙන් රසකැවිලි මිලදී ගෙන අලෙවි කරනවිට වැට් එක වදිනවා. කැවුම් ගෙඩියක් රුපියල් 60කට මිලදී ගත්විට වැට් එක ජාතිය ගොඩනැඟීමේ බද්ද සමග රුපියල් 24ක් අපි රජයට ගෙවන්න ඕනා. යෝගට් එකට පවා වැට් ගෙවිය යුතුයි. මේ නිසා අපිට සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන මිලදී ගන්න බැරිවෙලා තියෙනවා. වැට් සඳහා ලියාපදිංචි වී සිටින නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පමණයි අපි මිලදී ගන්නේ. කැවුම් ගෙඩියට පවා වැට් එක වදිනවා. ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ පමණයි මිලදී ගන්නේ. සුඛෝපභෝගි භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම සියයට 70කින් පමණ අඩුවෙලා යැයිද චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා කීවේය.

රසකැවිලි ගැන සඳහන් කරනවිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන ද සඳහන් නොකරම බැරිය. මෙරටට ආනයනය කරනු ලබන රස කැවිලි (චුයින්ගම් ඇතුළුව) චොකලට්, බිස්කට්, කේක්, සුවඳ සබන්, යන භාණ්ඩ වර්ග 05 දිවයිනට රැගෙන එන අවස්ථාවේ එකී භාණ්ඩවල උපරිම සිල්ලර මිල ලකුණු කළ යුතු බවට නව විධානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත්කොට තිබුණි. එහෙත් මෙකී භාණ්ඩ ආනයනය කරනු ලබන ඇතැම් ආනයනකරුවන් විසින් උපරිම සිල්ලර මිල සහතික කිරීමෙන් තොරව වෙනත් අයුරින් මෙරටට ආනයනය කොට තිබූ මෙකී භාණ්ඩ වෙළෙඳපොළේ විකිණීමට තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් කරනු ලැබූ අධ්‍යයනයකදී හඳුනාගෙන තිබුණි. උපරිම සිල්ලර මිල සහතික කිරීම අනුගමනය නොකරන ආනයනකරුවන්ට, සමාගම්වලට, එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරියට නොහැකිවී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම ආනයනකරුවන් විසින් මෙකී භාණ්ඩ මත සලකුණු කරනු ලබන මිල ගණන්වලට වඩා වැඩි මිලකට වෙළෙඳපොළේ මෙම භාණ්ඩ අලෙවි කොට තිබුණි. සමාගම් විසින් ලකුණු කරනු ලබන ලේබල් ගලවා ඉවත්කර වෙනත් වෙනත් ලේබල් අලවා මෙකී භාණ්ඩ අලෙවිකොට තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

සිංහල අලුත් අවුරුදු කාලයට රෙදිපිළි සඳහා ඇත්තේ ද විශාල ඉල්ලුමකි. කෙසේ වුවද රෙදිපිළි වෙළෙඳුන් පවසන ආකාරයට පසුගිය අලුත් අවුරුදු සමයට සාපේක්ෂව රෙදිපිළි වෙළෙඳාම සියයට හතළිහකින් පමණ පහත වැටී ඇති බව රෙදිපිළි වෙළෙඳුන් පවසති. මහ බැංකු වාර්තාවට අනුව මෙම වර්ෂයේ (2024) ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ මෙරටට රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 470.6ක මුදලක් වැයකොට තිබේ. ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ දී රෙදි පිළි සහ රෙදි පිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 383.4ක මුදලක් වැයකොට තිබුණි.

ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස දෙක තුළ දී රෙදි පිළි සහ රෙදි පිළි උපාංග ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 87.2ක මුදලක් හෙවත් සියයට 22.7ක මුදලක් වැඩිපුර වැය වී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. රෙදි පිළි හා රෙදි පිළි උපාංග ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ පෙබරවාරි මස තුළ පමණක් වැයවී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 246.1කි.

ප්‍රකට රෙදි පිළි ව්‍යාපාරිකයකු මෙන්ම ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති හේමන්ත ගමගේ මහතා රෙදි පිළි වෙළෙඳාම ගැන අපිට කීවේ මෙවැනි කථාවකි.

පසුගිය අලුත් අවුරුදු සමයන්වලට වඩා මෙවර අලුත් අවුරුදු සමයේ දී රෙදි පිළි වෙළෙඳාම අඩුවෙලා තියෙනවා. කොවිඩ් වසංගත සමය පැවැති කාලයේ දී පවා රෙදි පිළි සඳහා හොඳ වෙළෙඳාමක් තිබුණා. නමුත් මෙවර අලුත් අවුරුදු සමයේ දී ඉකුත් වසරටත් වඩා ජනතාවගේ ආර්ථික අපහසුකම් වැඩිවෙලා තියෙනවා. ජනතාවගේ ආදායම අඩුවෙලා, රෙදි පිළි වෙළෙඳසල්වල ජනතාව නම් පිරී ඉන්නවා. නමුත් මිල දී ගනු ලබන ඇඳුම් කෑලි ගණන ඉතා අඩුයි. ගොඩක් අය පවුලේ අයට පමණයි ඇඳුම් මිලදී ගන්නේ. වෙනදා තෑගි භෝග දෙන්න අලුත් ඇඳුම් මිලදී ගන්නවා. නමුත් මේ වතාවේ එහෙම තත්ත්වයක් දක්නට නැහැ. වෙනදා ඇඳුම් පැළඳුම 15ක් මිලදී ගන්න පුද්ගලයා මේ වතාවේ ගන්නේ ඇඳුම් හතරක් පහක් පමණයි. රෙදි පිළි වෙළෙඳාම අඩුවුණාට රෙදි පිළි මිල නම් ගොඩක් අඩුවෙලා තියෙනවා. ගිය අවුරුද්දේ අසාමාන්‍ය ලෙස තමයි රෙදි පිළි මිල වැඩිවුණේ. රුපියල් 6000ට අලෙවි කළ හොඳ තත්ත්වයේ කමිසයක් මෙම අවුරුද්දේ රුපියල් 3000ක් දක්වා පහත වැටිලා තියෙනවා. සරම් මිලත් ගොඩක් අඩුවෙලා තියෙනවා. නමුත් මෙම කමිසයක් විකුණුවේ රුපියල් 2000ක් වගේ මිලකට. වැට් ඇතුළු අනිකුත් බදු නිසා තමයි මිල වැඩිවෙලා තියෙන්නේ. වැට් බද්ද ඇතුළු ආරක්ෂණ බද්ද සියයට 20ක් ගෙවන්න ඕනා. ජනතාව තුළ පවතින ආර්ථික ගැටලු නිසා රෙදි පිළි සඳහා ඇති ඉල්ලුම අඩුවෙලා තියෙනවා. වෙනත් අවුරුදුවල මාර්තු මාසයේ පළමු වැනිදා සිට තමයි රෙදි පිළි සඳහා හොඳ වෙළෙඳාමක් තියෙනවා. නමුත් මේ අවුරුද්දේ රෙදි පිළි සඳහා ඉල්ලුමක් ඇති වුණේ මාර්තු මාසයේ අන්තිම ඉඳලා. මේ අවුරුද්දේ රෙදි පිළි සඳහා හොඳ ඉල්ලුමක් ඇති වේවි කියලා රෙදි පිළි ව්‍යාපාරිකයන් විශාල මුදලක් ආයෝජනය කළා. රෙදි ගෙනැවිත් ගබඩා කළා. නමුත් බලාපොරොත්තු නොවන අයුරින් රෙදිපිළි වෙළෙඳාම පහත වැටී ඇති බවද හේමන්ත ගමගේ මහතා සඳහන් කළේය.

ඒ විතරක් නොව, අලුත් අවුරුදු සමයේ දී ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වන පරිප්පු, ලූනු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ ජනවාරි, පෙබරවාරි මාස දෙක තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 62.8ක මුදලක් වැයකොට ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්වේ. අලුත් අවුරුදු සමයේ දී වෙළෙඳපොළේ හඟයකින් තොරව භාණ්ඩ පැවැතිය ද එකී භාණ්ඩ මිලදී ගැනීම සඳහා රට්ටුන්ගේ අතමිට නම් සරුවී නැත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment