කුඩු අල්ලන්න ගිය නාකොටික් කණ්ඩායම පොලිසිය අල්ලයි…හේතුව අභිරහසක්

2313

මේ රටේ මත් කුඩු ජාවාරම පිළිබඳව කතා කිරීමේදී එය මැඬ පැවත්වීමට සිටින පොලිසියේ ඇතැමුන් ක්‍රියා කරන්නේ ගැටලු සහගත ආකාරයටය. තොටළඟ පොඩ්ඩිලා සහ කුඩු කුමාරි හෙවත් සුද්දි ඇතුළු බොහෝ ජාවාරම් කාරියෝ සහ කරුවෝ අද කුඩු ජාවාරමෙන් කොළඹ නගරය වනසමින් සිටිති.

එහෙත් වැටලීම් කිරීමට සිටින පොලිසියේ ඇතැම්හු නිහඬය. එකී මහාපරිමාණ ජාවාරම් සිදු වෙමින් තිබෙන්නේ රටේ පොලිසියක් නැති ගානටය.

දිනපතා පොලිසිය කුඩු අල්ලති. එහෙත් සිදු වෙමින් තිබෙන්නේ කුඩු ග්‍රෑම් හතර සහ පහ ආදී වශයෙන් සන්තකයේ තබාගෙන සිටින වුන් ඇල්ලීමය. අවම තරමින් ඔවුන් අල්ලා එකී කුඩු ග්‍රෑම් පහ ලබා ගත්තේ කොහෙන්දැයි සොයා බැලීමේ විමර්ශනයක් සිදුවන බවක්වත් පෙනෙන්නට නැත.

ග්‍රෑම් පහේ හයේ කෑලි පොලිසිය අධිකරණයට ගෙන යද්දී සිදුවන එකම දේ බවට පත්ව තිබෙන්නේ බන්ධනාගාර පිරී ඉතිරී යෑමය. තවත් පැත්තකින් එකී කුඩ්ඩන්ට කන්න බොන්න දීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය සිඳී යෑම සිදුවන්නේය. එය සිදු වන්නේද රටම ආර්ථික අර්බුදයක සිරවී තිබියදීය.

තවත් අවස්ථාවල පොලිසිය අල්ලන ලොකු ලොකු කුඩු ජාවාරමුන් අධිකරණවලදී නිදොස් කොට නිදහස්ව යන්නේය. පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන සාක්‍ෂි පරස්පර වීම සහ සටහන් නිවැරදි නොවීම එසේ කුඩු කෙරුමන් නිදහස් වීමට එකම හේතුව බවට පත්ව ඇත.

එසේ වීමේදී අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවරක් ගැනීමද සිදු නොවන්නකි. ඒ අන්දමට වරක් ටෝලර් යාත්‍රාවකින් මෙරටට කුඩු කිලෝ 290 පමණ රැගෙන එන අතරේ ආරක්‍ෂක අංශවලට හසුවූ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පිරිසක්ද නිදහස්ව ගියේය.

පොලිස් පොත්වල තැබූ සටහන් අසත්‍ය බව අධිකරණයේදී තහවුරු වීම හේතුවෙන් කුඩ්ඩන් නිදහස්ව යෑමේ සිද්ධීන්ද දිනෙන් දින වාර්තා වන අතර ඉකුත් සතියේදීද එවැනි සිදුවීමක් සිදුවිය.

මේ අතරේ දැන් වෙනත් වැටලීම් කණ්ඩායම් කුඩු ජාවාරමුන් අල්ලන්නට යෑමේදී පොලිසිය එකී වැටලීම් කණ්ඩායම්වල සිටින රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමද ආරම්භ කර ඇත. එහිදී නීතියේ රැහනින් බේරී යන්නේ මහා පරිමාණ කුඩු ජාවාරමුන්ය.

එයට හොඳම උදාහරණය ඉකුත් සතියේදී කොළඹ බම්බලපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. එය අමුතුම ආකාරයේ කතාවකි.

සුරාබදු දෙපාර්තමේන්තුව යනු මෙරට ඇති පිළිගත් ව්‍යවස්ථාපිත රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. මෙරට මත් පැන් වෙළෙඳාම නියාමනය පිණිස මුලදී එය ආරම්භ කෙරුණද එයට පසුකාලීනව වැටලීම් එකයක්ද ඇතුළත් කෙරිණි. ඒ හොර මැත්පැන් රටේ ව්‍යාප්ත වීමත් සමගය.

පසුව ගංජා කුඩු ආදී වශයෙන් මෙරට මත් ජාවාරම තවදුරටත් ව්‍යාප්ත වෙද්දී සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ මත්ද්‍රව්‍ය නාශක ඒකකයක් ස්ථාපිත විය. එතැන් සිට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ආරක්‍ෂක අංශවලට අමතරව මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමේ වගකීම සහ අදාළ බලයද සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයට හිමිවිය.

මෙසේ ස්ථාපිත කෙරුණු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉකුත් සතියේදී එක්තරා සුවිශේෂී වැටලීමකට සූදානම් විය. සිය ඉහළ නිලධාරීන්ද දැනුවත් කළ ඔවුහු උපක්‍රමශීලීව සම්බන්ධ වූයේ මෙරට මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවකුගේ සගයකුටය.

මෙහිදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ගේ උපක්‍රමය වී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ කතාබහ කර මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් ඔහුව ගෙන්වා අත්අඩංගුවට ගැනීමය. ඔවුන් එසේ ක්‍රියාත්මක වෙද්දී සුරාබදු නිලධාරීන්ගේ රංගනයට රැවටුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කිලෝ ග්‍රෑම් එකක් සහිත කුඩු තොගයකින් මත්කුඩු ග්‍රෑම් එකසිය පනහක ප්‍රමාණයක් වෙන්කර වෙනම අසුරණ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක්ද ඔවුනට පෙන්වනු ලැබීය.

පසුව ගනුදෙනුව තහවුරු කරගත් සුරාබදු නිලධාරීන් කුඩු ටික මිලදී ගෙන එය අවසන් කරන මුවාවෙන් වැල්වත්ත ප්‍රදේශයට ගියේය. එක් පිරිසක් වෑන් රථයක ගමන් කළ අතර ගැනුම්කරුවන් ලෙසින් පෙනී සිටි තවත් සුරාබදු නිලධාරීන් දෙදෙනකු මෝටර් රථයකින් එහි ගියේය. එහෙත් කතා කරගත් පරිදි ජාවාරම්කරු ඉල්ලා සිටි මුදල රැගෙන යෑමක් ඔවුන් සිදු කළේ නැත. එහිදී සුරාබදු නිලධාරීන්ගේ උපක්‍රමය වූයේ කුඩු සමඟ ජාවාරම්කරු පැමිණීමෙන් පසු බලය යොදවා ඔහුව අත්අඩංගුවට ගැනීමය.

නිලධාරීන් පිරිස වැල්ලවත්තට ගිය පසු ඔවුන් සමඟ ගිය ගැනුම් කරුවන් සේ පෙනී සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනා හමුවීමට සුඛෝපභෝගී මෝටර් රථයකින් තිදෙනකු පැමිණියහ.

එසේ පැමිණි තිදෙනා තමන් පසුපස එන ලෙස පවසා රථය ඉදිරියට පදවමින් පැමිණ එය බම්බලපිටිය බෞද්ධලෝක මාවත ආසන්නයේ වූ හෝටලයක් අසල නතර කරනු ලැබීය. එසේ නතර කිරීමෙන් පසු එහි සිටි දෙදෙනකු රථයෙන් බැස බෑගයක්ද රැගෙන ඒ අසල තිබූ වෙසෙල් වර්ගයේ රථයකට නැග ගැනුම්කරුවන් ලෙසින් පෙනී සිටි සුරාබදු නිලධාරීන් සිටි රථය වෙත ගියේය.

ඒ වන විටත් සෙසු සුරාබදු නිලධාරීන්ට සවන් දිය හැකි පරිදි ගැනුම්කරුවන් සේ පෙනී සිටි නිලධාරීන් දෙදෙනා අතරින් එක් අයකු සිටියේ ජංගම දුරකථනයකින් ඇමතුමක් ගෙන එය විසන්ධ නොකරමිනි.

මෙසේ ගැනුම්කරුවන් දෙදෙනා වෙත පැමිණි ජාවාරම්කරුවන් දෙදෙනා ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා කරන්නට විය. ජාවාරම්කරුවන් එහිදී රැගෙන ආ මුදල් පෙන්වන්නට යැයි ගැනුම්කරුවන් සේ සිටි නිලධාරීන් දෙදෙනාට පවසද්දී නිලධාරීන් පවසා සිටියේ රැගෙන ආ කුඩු තොගය පෙන්වන ලෙසය.

වාදය මෙසේ ඇදී යද්දී එක්වරම මුදල් නොපෙන්වන්නේ නම් ගනුදෙනුව නොකෙරෙන බව කී ජාවාරම්කරුවන් එම ස්ථානයට පැමිණි වෙසෙල් රථයේ නැගී යළි පිටව යන්නට සැරසිනි. ඒ සමගම එම ස්ථානයට කඩා වැදුණේ වෑන් රථයේ ගිය නිලධාරීන් පිරිසය. එම ස්ථානයට යෑමට පෙර ජාවාරම්කරුවන් මුලදී පැමිණි හෝටලය ආසන්නයේ නතර කළ සුඛෝපභෝගී රථය අසල නිලධාරීන් දෙදෙනකු රඳවා යන්නට වැටලීම් ප්‍රධානියා ක්‍රියා කළේය.

එසේ පිරිස එම ස්ථානයට යෑමත් සමඟ සාමාන්‍යයෙන් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් දුටුවිට ජාවාරම්කරුවන් පලා යෑමට උත්සාහ නොදැරුවද මෙම ජාවාරම්කරුවන් කළේ එක්වරම වෙසෙල් වර්ගයේ රථය පණගන්වාගෙන පලා යෑමට උත්සාහ කිරීම විය.

ඒ සමඟ වැටලීම් කණ්ඩායමේ සිටි ප්‍රධානියා වෙසෙල් රථයේ රෝද වලට වෙඩි තබා එය නතර කිරීමට උත්සාහ ගත්තද වෙඩි වැදුණු ටයර්ද සහිතව වෙසල් රථය පලා ගියේය. සුරාබදු නිලධාරීහුද ඒ පසුපස පන්නාගෙන යන්නට වූහ.

මේ අතරේ බෞද්ධාලෝක මාවත ආසන්නයේ වූ හෝටලයේ සිටි දෙදෙනකු හෝටලයේ සිට පැමිණ ජාවාරම්කරුවන් මුලින් පැමිණි සුඛෝපභෝගී රථයේ නැගී පැනයන්නට සූදානම් වූ අතර ඒ අවස්ථාවේ එහි සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනා වහා පැන එකී දෙදෙනා අතරින් එක් අයකු සමඟ රථය අත්අඩංගුවට ගනු ලැබීය.

අනෙක් සැකකරුද පලා ගියේය. අත්අඩංගුවට ගත් සැකකරු පරීක්‍ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ජාවාරම්කරුවන් මුලදී වීඩියෝ දර්ශනයක් මගින් පෙන්වන ලද මත්කුඩු ග්‍රෑම් එකසිය පනහ සොයා ගැනීමට නිලධාරීන් දෙදෙනා සමත්වූ අතර ඔවුහු ඒ බව වැටලීම් ප්‍රධානියාට දැන්වූහ.

එම දැනුම්දීමත් සමඟ වැටලීම් ප්‍රධානියා කරනු ලැබුවේ වෙසල් රථය පසුපස යෑම නවතා වහා එම ස්ථානයට පැමිණ කුඩු ග්‍රෑම් එකසිය පනහ සමඟ අත්අඩංගුව ගත් සැකකරු සිය භාරයට ගැනීමය. පසුව ඔහු සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට දැනුම්දීම සඳහා සෙසු නිලධාරීන්ද සමඟ පොලිසිය වෙත යන්නට තීරණය කළද ඒ වන විටත් මාර්ග බාධක යොදා ප්‍රදේශයේ
රැකවල්ලා සිටි පොලිස් නිලධාරීහු පිරිසක් ඔවුන් වටකර අත්අඩගුවට ගත්හ.

එම අත්අඩංගුව ගැනීම සිදු කෙරෙන්නේද තමන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවත් විශේෂ වැටලීමක යෙදී සිටින බවත් සුරාබදු නිලධාරීන් පැහැදිලවම පොලිසියට ප්‍රකාශ කරද්දීය.

දැන් මෙම සිද්ධියේදී පොලිසිය සුරාබදු රාජකාරියට බාධා කළේද යන්න සම්බන්ධයෙන් සොයා බලා සුදුසු පියවර ගැනීම සඳහා පොලිස් නිලධාරීන් හත්දෙනකුගේ නම් නීතිපතිවරයා වෙත යොමු කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.

සැබැවින්ම පොලිසිය මෙහිදී සිදු කරනුයේ නිවැරදි වූවක්ද? අපේ වැටහීමේ හැටියට නම් පොලිසිය කළ යුතුව තිබුණේ සුරාබදු නිලධාරීන්ට බාධා කිරීම නොව පලා ගිය කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුනට සහාය වීමය. එහෙත් පොලිසිය කරනු ලැබුවේ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමය.

පැන ගිය මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බම්බලපිටිය පොලිසියේ ලොකු මහත්වරු රහසේ නඩත්තු කරන නිසා එවැන්නක් සිදුවූයේද? එසේ නැතහොත් ප්‍රදේශය භාර පොලිස් ලොක්කන්ගේ හිතවතකු බවට කුඩු ජාවාරම්කරු පත්ව සිටීම එසේ වන්නට හේතු වූයේද?

මේ අවස්ථාවේ එයට පිළිතුරු දිය යුතුව තිබෙන්නේ පොලිසියමය. සුරාබදු නිලධාරීන් තමන්ව දැනුවත් කිරීමකින් තොරව මෙහෙයුම සිදු කිරීම නිසා මෙවන් තත්ත්වයක් ඇතිවූ බව අත්අඩංගුවට ගත් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කර තිබිණි.

එහිදී මහෙස්ත්‍රාත්වරයා පෙරළා පොලිසියෙන් විමසා තිබුණේ සුරාබදු මෙහෙයුම් සිදු කළ යුත්තේ පොලිසියට පවසාද යන්නය. සුරාබදු නිලධාරීන් පොලිසියට පවසා මෙහෙයුම් සිදු කරන්නට ගියහොත් අපට නම් කියන්නට තිබෙන්නේ මෙහෙයුම් සඳහා යන සුරාබදු නිලධාරීන්ට දෙයියන්ගේම පිහිටයි කියාය.

ගමේ කසිප්පු මුදලාලි ගැන ගැමියකු දෙන ඔත්තුව කසිප්පු මුදලාලිට පවසා ගැමියා පාවා දී ගතමනාවක් ගන්නා පොලිස් මහත්වරු සිටින රටක කුඩු වැටලීමක් පිළිබඳ දැනුම් දී නිලධාරීන් වැටලීමට ගියහොත් කුමක් සිදුවනු ඇතිද? සිදුවන්නේ කුඩු ජාවාරමා එල්ල කරන වෙඩි ප්‍රහාරයකින් ඔලුකටු කුඩු කරගෙන පරලොව යන්නටය. ඉන් එහා සිදුවන දෙයක් නැත.

අප ඒ ටික මෙහිදී සටහන් කරනුයේ පොලිසියේ සිටින ඇතැම් මහත්වරුන්ට නිල ඇඳුමද ඇඳගෙන කණ්ණාඩියක් වෙත ගොස් එම ප්‍රශ්නය තමන්ගෙන්ම විමසා බලන ලෙස ඉල්ලීමක්ද කරමිනි.

එසේ කළ හැකි අවංක නිලධාරීන් පොලිසියේ ඕනෑතරම් සිටින බව අපි වගකීමෙන් සඳහන් කරන්නෙමු. දැන් පොලිස්පතිවරයා හරිනම් කළ යුතුව ඇත්තේ එකී අවංක නිලධාරීන් තෝරා බේරා පසෙකට කර මෙවැනි මරිමෝඩ මඤ්ඤං අත්අඩංගුවට ගැනීම් සිදු කරන පොලිස් නිලධාරීන්ට පශ්චාත් භාගයට සපත්තු පහරක් දී පොලිසියෙන් පන්නා දැමීමය.

රජයේ බලයලත් වැටලීම් නිලධාරීන් පිරිසක් කුඩු ජාවාරමකු අත්අඩංගුවට ගැනීම සඳහා කිසිවකුටත් හානියක් නොවන සේ ගිනි අවිය භාවිත කිරීමේදී ඒ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියේ කිසියම් අයකු කටයුතු කරන්නේ නම් සැබවින්ම ඔහු මඤ්ඤංකාරයෙක් නොවන්නේද?

එවැනි මඤ්ඤං නිලධාරීන් පොලිසියේ සිටීමෙන් සිදුවන්නේ පොදුවේ පොලිසියටත් ශ්‍රී ලංකා රජයටත් හානියක් සිදුවීමය. ඒ ගැන සිතා පොලිස්පතිවරයා ඉහත කී පරිදි ක්‍රියාත්මක වීමට කටයුතු කරන්නේ නම් එය දැන් බම්බලපිටිය පොලිසියෙන්ම ආරම්භ කළ හැකිය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment