පොලීසියේ විශ්‍රාම වයස වැඩි කොළොත් නරකද?

762

මෙරට තුළ නීතිය හා සාමය පිළිබඳව කෙරෙන කතාබහේදී ශ‍්‍රී ලංකා පොලීසිය පිළිබඳව කතා නොකරම බැරිය. නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් පොලිසියට පැවරී ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. රටක සමාජයක සියලූ අංශ කෙරෙහි පොලිසියේ සේවය මේ වන විට අත්‍යවශ්‍යම කාරණාවක් වී ඇත.

කෙසේ වෙතත් අද වන විට ශ‍්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් වේ. රටක නීතිය හා සාමය ස්ථාපිත කිරීම හා ආරක්ෂා කිරීම, පවත්වාගෙන යාම පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ලෙස හඳුන්වා දුන්නද ඉන් ඔබ්බට ගොස් බොහෝ කටයුතු කිරීමේ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවේ උරමත පැටවී ඇත.

වර්තමානය වන විට පොලිස් නිලධාරීන්ගේ සේවය අකාර්යක්ෂම වන බවට බොහෝ පිරිසක් චෝදනා නගති. රටක නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ අරමුණින් හා මහජන සුබසිද්ධිය උදෙසා පොලිසිය පිහිටුවා තිබුණ ද පොලිස් නිලධාරීන්ගේ සේවාව අකාර්යක්ෂම හා මන්දගාමී බවට ඇතැම් පිරිස් චෝදනා කරති. කෙසේ වෙතත් කොවිඞ් වසංගතයක් සමඟ පොලිසියේ රාජකාරියට තවත් බොහෝ වගකීම් එක්වූ බව කවුරුත් හොඳින් දන්නා කාරණයකි.

තැනින් තැනින් නැගෙන අතෘප්තිකර ප‍්‍රතිචාර පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නියුතු නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප‍්‍රශ්න කළ විට ඔවුන් පැවසුවේ සාමාන්‍ය ජනතාවට නොපෙනෙන වගකීම් රාශියක් පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බව හා එම රාජකාරි එලෙසින්ම ඉටු කිරීමට තරම් ප‍්‍රමාණවත් පොලිස් නිලධාරීන් පිරිසක් දැනට ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සතු නොවන බවයි.

පොලිස් ස්ථාන 548 ක් මෙරට තුළ ස්ථාපිත කර ඇති අතර ඒවායේ රාජකාරි කටයුතු සඳහා 85603 අනුමත භට පිරිස ලෙස නම් කර තිබේ. නමුත් දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරිවල යෙදී සිටින්නේ නිලධාරීන් 79958 ක ප‍්‍රමාණයකි. එම පිරිසෙන් රාජකාරි කරන සකී‍්‍රය පොලිස් නිලධාරීන් සිටින්නේ 75659 පමණි.

ඒ අනුව ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන්, ක‍්‍රියාකාරී කොට්ඨාසවල රාජකාරිවල නියුතු නිලධාරීන්, වෛද්‍ය හේතූන් මත නිල ඇඳුම් නොපළඳින නිලධාරීන්, යුද සමයේ අනතුරට ලක්ව ආබාධිත වූ නිලධාරීන් හා වැඩ තහනමට ලක්වූ නිලධාරීන් හැරුණු විට නිල ඇඳුමෙන් රාජකාරිවල සක‍්‍රිය ලෙස නිරතවන්නේ තුනෙන් එකක් වැනි සුළු ප‍්‍රමාණයක් බව පොලිස් දෙපාර්තමේන්තුව ගණන් බලා ඇත.

සාමාන්‍යයෙන් මූලස්ථාන පොලිස් ස්ථානයක තුන්සියයකට ආසන්න පිරිසක් රාජකාරියේ සිටිය යුතු වුවද අද වන විට එම ස්ථානවල සේවය කරනු ලබන්නේ සියයකටත් අඩු ප‍්‍රමාණයක් නිසා රාජකාරිවල යෙදීමේ දී බොහෝ ගැටලූවලට මුහුණ පෑමට සිදුව ඇති බවට පොලිස් නිලධාරීන් පවසා සිටී.

මහජන පැමිණිලි සටහන් කිරීම හා විභාග කිරීම, අපරාධ මර්දනය, රථවාහන හා මාර්ග බාධක රාජකාරි, ප‍්‍රජා පොලිස් රාජකාරි, මත්ද්‍රව්‍ය වැටලීම්, පරිසර සංරක්ෂණය මෙන්ම කොවිඞ් වසංගතය සම්බන්ධ කාරණාවන් සඳහා ද පොලිස් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්ව තිබේ. නමුත් සේවයේ නියුතු පොලිස් නිලධාරීන් ප‍්‍රමාණවත් නොවීම නිසා මේ වන විට පොලිස් සේවාව අකාර්යක්ෂම හා මන්දගාමී වෙමින් පවතී. එවැනි හේතූන් මත ජනතාව බලාපොරොත්තු වන අන්දමටම උපරිම සේවයක් ලබාදීමට සේවයේ නියුතු පොලිස් නිලධාරීන් මහත් පරිශ‍්‍රමයක් දරයි.

”සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවක ප‍්‍රභූවරයෙක් ආවොත් එතැන රාජකාරි සඳහා අනෙක් පැතිවල නිලධාරීන් සේවයට ගෙන්වා ගන්නවා. එහෙම උනාම අනෙක් හැම අංශයක්ම බලන්න වෙන්නේ සීමිත පොලිස් නිලධාරීන් පිරිසකට. මේ හේතුව නිසා දවසේ රාජකාරි පැය ගණන ඉක්මවලා පැය 12 – 18 එහෙමත් නැත්නම් පැය 24 ම රාජකාරියේ නියුතු නිලධාරීන් අපි අතර ඉන්නවා. මේ තත්ත්වය නිසා ඔවුන්ට රාජකාරිය පවා අතෘප්තිකර වෙනවා.” ලෙස තොරතුරු විමසා සිටි විට එක් නිලධාරියෙක් එසේ පැවසීය. ආයතනික නීතිරීතිවලට ගරු කරමින් ඔවුන්ගේ නම් ගම් හෙළි කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළෙමු.

නම් ගම් හෙළි නොකළ ද මේ නිලධාරීන් පවසන්නේ සැබෑවටම මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම හා ජනතා දෝෂදර්ශනයට ලක් වන ආයතනයක් බවට පත් වෙමින් තිබෙන බවය. එලෙස වීමට ප‍්‍රධානම හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව සක‍්‍රීය රාජකාරියේ නිරත වන නිලධාරීන්ගේ හිඟකමය.

වරින් වර පොලිස් සේවයට ආධුනිකයන් බඳවා ගත්ත ද එම බඳවා ගැනීම්වලට වඩා වැඩි පිරිසක් විශ‍්‍රාම ගැනීම සිදු වන නිසා එම නිලධාරීන් අඩු වීමට විසඳුම් සෙවීම අසීරු ගැටලූවක් වී ඇත. 2021 වර්ෂය සිට 2024 වර්ෂය දක්වා පොලිස් සේවාවේ වයස අවුරුදු 55 ක් සිට 60 දක්වා නිලධාරීන් විසි හය දහසකට ආසන්න පිරිසක් විශ‍්‍රාම යාමට නියමිත අතර ඔවුන්ද විශ‍්‍රාම ගත් විට තව තවත් අර්බුදවලට ලක්වීමට සිදුවන බවට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවසයි.

අඩුම තරමින් අලූතින් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් හෝ බඳවා ගන්නා තුරු දැනට රාජකාරීවල නිරත වන පිරිසේ සේවා කාලය වසර 63 දක්වා දීර්ඝ කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලූවට විසඳුමක් ලෙසය.

මේ වන විට ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල ද සේවකයන් විශ‍්‍රාම යෑමේ වයසෙහි විවිධ වෙනස්කම් සිදුකර තිබෙන නිසා පොලිස් නිලධාරීන්ට ද විශ‍්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ඔවුන් කැමති නම් අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබාදීමෙන් බොහෝ ගැටලූවලට විසඳුම් ලබාගත හැකි බවද පොලීසිය පෙන්වා දෙයි.

අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවසර ලබා දුන්නොත් අත්දැකීම් සහ දැනුමෙන් පරිණත නිලධාරීන් තවදුරටත් සේවයේ යෙදවීමට අවස්ථාව ඇත. විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් රජයට විශාල මුදලක් වැය වන අතර විශ‍්‍රාම නොයවා කැමති නිලධාරීන්ට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දුන්නොත් එම මුදල් සහ විශ‍්‍රාම යන නිලධාරීන්ට රජයෙන් ලබාදිය යුතු මූල්‍ය දීමනා ඉතිරි වීම මඟින් මුදල් සම්බන්ධයෙන් ඇති ගැටලූ තරමක් දුරට හෝ විසඳාගත හැකි වේ. තවමත් කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය වී නොමැති නිසා ආධුනිකයන් බඳවා ගෙන ඔවුන්ට පුහුණු කර සේවයට බඳවා ගැනීමට අවස්ථාවක් නැත. එමෙන්ම ආධුනිකයන් බඳවා ගත්ත ද ඔවුන්ට පුහුණු කර සේවයට යෙදවීමේදී අවුරුදු එකහමාරක් වැනි කාලයක් ගතවේ. එම කාලය තුළ පොලිස් ස්ථාන තුළ ඇතිවන ගැටලූ සහගත තත්ත්වයන් මඟ හරවා ගනිමින් මහජනතාවට බාධාවකින් තොරව නීතියේ රැකවරණය ලැබීමට නම් මේ අවස්ථාවේදී කළ යුතු ඇති හොඳම දෙය පොලිස් නිලධාරින්ගේ විශ‍්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා වැඩිකරමින් ඔවුන්ව සේවයේ යෙදවීම බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට ජනාධිපතිතුමා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධාරණය කරයි.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment