ධනංජය සහ මැතිව්ස් ගෞරවය රකිති – ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය

266

තම 50 වැනි ටෙස්ට් තරගයට සහභාගි වන ධනංජය ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා එක්ව 05 වෙනි කඩුල්ල සඳහා පිහිටුවන ලද ලකුණු 131 සම්බන්ධතාවය හේතුවෙන් පකිස්ථානයට එරෙහිව ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 242 ක් රැස් කර ගෙන සිටියේය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ මෙම ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය 2023 – 2025 ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ සහභාගි වන පළමු තරගය වේ.

දිනය අවසන් වන විටත් නොදැවී සිය කඩුල්ල රැකගෙන සිටි ධනංජය ද සිල්වා එහිදී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94 ක් වේ.

ඒ සඳහා පන්දු 157 කට මුහුණ දුන් ධනංජය හතරේ පහර 10 කින් සහ හයේ පහර 3කින් පකිස්ථාන පන්දු යවන්නන්ට සංග්‍රහ කර තිබුණි.

ඔහු අර්ධ ශතකය ලබා ගත්තේ ද යෝධ හයේ පහරක් සිය ඉනිමට එකතු කර ගනිමිනි.

එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තම 100 වන කඩුල්ලට එක් කඩුල්ලක් මෙපිටින් සිටියදී පන්දුව අතට ගත් ශහීන් ෂා අෆ්රිඩි තම අටවන පන්දුවේදී ම නිශාන් මධුශ්ක ගේ කඩුල්ල දවාගනිමින් ශතක කඩුල්ලට හිමිකම් කීය.

ඉන් නොනැවතුණු ශහීන් කුසල් මෙන්ඩිස් ලකුණු 12කටත් දිමුත් කරුණාරත්න ලකුණු 29 කටත් දවාගනිමින් ශ්‍රී ලංකා පිල අසරණ කිරීමට සමත් විය.

මේ අතරවාරයේ නසීම් ෂා දිනේෂ් චන්දිමාල්ව ද එක ලකුණකට දවා ගත් අතර ඒ අනුව ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 4 ලකුණු 54 ක් තුළ බිඳ දමමින් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වීමට පාකිස්තාන ක්‍රීඩකයෝ උත්සාහ දැරූහ.

එහෙත් මැතිව්ස් සහ ධනංජය ද සිල්වා දෙදෙනා තවත් පන්දු 181 ක් යන තුරු ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිඳ නොවැටීමට වගබලා ගත්හ.

හතරේ පහර 9ක් සමග ලකුණු 64 ක් ලැබූ මැතිව්ස් අබ්‍රාර් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහ්මඩ් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ඊයේ තේ පානයට පෙර යවන ලද අවසන් පන්දු වාරයේදීය.

අනතුරුව ධනංජය ද සිල්වා සමග දිනය අවසන් වන තෙක් පන්දුවට පහර දීමට උත්සාහයක නිරත වූ සධීර සමරවික්‍රම ගේ කඩුල්ල ද ඊයේ අවසන් පන්දු වාරයේදී ශ්‍රී ලංකාවට අහිමිව ගියේය.

සධීර ලකුණු 36 ක් වාර්තා කළ අතර ධනංජය සහ ඔහු අතර ගොඩනැඟුණු සම්බන්ධතාවය ලකුණු 67 කි.

වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවීම මත ඊයේ තරගයේ පන්දුවාර 25 කට ආසන්න සංඛ්‍යාවක් අපතේ ගියේ ය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 242/6 (65.4)

නිශාන් මධුශ්ක 4, දිමුත් කරුණාරත්න 29, කුසල් මෙන්ඩිස් 12, ඇන්ජලෝ මැතිව්ස් 64, ධනංජය ද සිල්වා නොදැවී 94, සධීර සමරවික්‍රම 36.

පන්දු යැවීම

ශහීන් ෂා අෆ්රිඩි 63/3, අගා සල්මන් 18/1, නසීම් ෂා 16/1, අබ්‍රාර් අහමඩ් 59/1.

advertistmentadvertistment
advertistmentadvertistment