ශ්‍රී ලංකා – නවසීලන්ත අද තරගයට වැස්සත් එකතු වන ලකුණු

382

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදියරයට පෙර එක් එක් කණ්ඩායම් මූලික වටයේ සහභාගී වන අවසන් තරග ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බෙංගලූරු හිදී අද (09 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.

තරගාවලියේ මූලික අදියර යටතේ සෑම කණ්ඩායමක්ම තරග 9 කට මුහුණ දීමට නියමිත අතර එංගලන්තය සහ නෙදර්ලන්තය අතර ඊයේ (08 වැනිදා) පැවති තරගයෙන් පසුව සියලු කණ්ඩායම් තරග 8 බැගින් ක්‍රීඩා කර තිබුණි.

ඒ අනුව ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව ඒ වන විටත් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගෙන තිබුණු අතර ඉතිරිව තිබූ අනෙක් එක් ස්ථානය සඳහා නවසීලන්තය, ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය තරග කරමින් සිටී.

ඒ අනුව අද සිට ආරම්භ වන තරග මෙම තරගාවලිය යටතේ වඩාත් වැදගත් වන්නේ ඉහත රටවල් තුන සඳහා වුවද 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම පිණිස ශ්‍රී ලංකාව, එංගලන්තය, නෙදර්ලන්තය සහ බංග්ලාදේශයට ද මේ ඉදිරි තරග වැදගත් වේ.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට නම් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 8 අතර සිටිය යුතු අතර ශ්‍රී ලංකාව දැනට එහි 8 වෙනි ස්ථානයේ පසු වේ.

ඒ අනුව අද නවසීලන්තයට එරෙහි තරගය ජය ගැනීම අභිමානය වෙනුවෙන් කරන සටනකට එහා ගිය අරමුණකින් යුතුව දියත් කළ යුතු තරගයකි.

ශ්‍රී ලංකාව මේ වන විට සහභාගි වූ තරග 8 න් ජයග්‍රහණය කළේ තරග දෙකක් පමණක් වන අතර හිමි ව තිබෙන්නේ ප්‍රසාද ලකුණු 4 ක් පමණි.

ඊයේ තරගයට පෙර නෙදර්ලන්තය සහ බංග්ලාදේශය ද ප්‍රසාද ලකුණු 4 බැගින් හිමි කර ගෙන සිටි අතර එංගලන්තය ප්‍රසාද ලකුණු 2 ක් පමණක් හිමිකර ගෙන ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු විය.

නවසීලන්තය සමග මෙතෙක් ලෝක කුසලාන තරග 11කට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතර ඉන් තරග හයක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර තරග පහක් නවසීලන්තය ජය ගෙන තිබේ.

නවසීලන්ත පිතිකරු බලඇණිය මෙවර තරගාවලිය පුරාවට ඉහළ ලකුණු සංඛ්‍යාවන් කරා තම කණ්ඩායම රැගෙන ගොස් තිබෙන අතර පකිස්ථානයට එරෙහිව පැවති අවසාන තරගයේ දී ද ඔවුහු ලකුණු 399 ක් ලබා ගත් හ.

ශ්‍රී ලංකා පන්දු යැවීම දෙස සලකා බලද්දී වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුෂංක මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස ඉහළ දස්කම් දක්වා තිබීම මානසිකව ද ශ්‍රී ලංකාවට ශක්තියකි.

කෙසේ වෙතත් පසුගිය දින කීපය පුරාම බෙංගලූරු වෙත අධික ලෙස වැසි පතිත වෙමින් ඇති අතර අද දිනයේද වැසි ලැබීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා අංශ අනාවැකි පළකර තිබේ.

එහෙත් වැසි වතුර ඉවත් කිරීම සඳහා චින්නස්වාමි ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති වැසි ජලය ඉවත් කිරීමේ විශේෂ යාන්ත්‍රික ක්‍රියාවලිය තරගය පැවැත්වීම සඳහා සුබදායක පණිවිඩයක් වන අතර ක්‍රීඩාංගණයේ ඇති වතුර විනාඩි 5 ක් තුළ ඉවත් කිරීමට එම යාන්ත්‍රණයට හැකියාව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුෂංක

නවසීලන්තය

කේන් විලියම්සන් (නායක) ටොම් ලේතම්, ඩෙවොන් කොන්වේ, විල් යංග්, රචින් රවින්ද්‍ර, ඩැරල් මිචෙල්, ග්ලේන් පිලිප්ස්, මාක් චැප්මන්, ජේම්ස් නීෂම්, මිචෙල් සැන්ට්නර්, මැට් හෙන්රි, ට්‍රනේට් බෝල්ට්, ලොකී ෆර්ගසන්, ඉෂ් සෝධි සහ ටිම් සවුති
කුෂාන් සුබසිංහ ඉන්දියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment