යාල කැලේ යාචකයෝ, මංපහරන්නෝ සහ සද්දන්ත ප්‍රහාරකයෝ

1457

මේක සංචාරකයෝ වැඩිපුර අපේ රට හොයාගෙන එන කාලය. ලෝක සිතියමේ අපේ රට තිතක් තරමට කුඩා වුණත් සංචාරක ආකර්ෂණය පැත්තෙන් ගත්තාම ඒ තිත වුණත් සුළුපටු නැහැ. ඒක නිසා ඉස්සර සංචාරකයෝ ලංකාවට පැමිණෙන සීසන් එකේ (නොවැම්බර් – මාර්තු) මාසෙකට ලක්‍ෂයක් දෙකක් එන එක අපිට නම් අරුමයක් වුණේ නෑ.

ඒත් පාස්කු ප‍්‍රහාරයයි, ඒකත් එක්කම කොරේ පිටට මරේ වගේ අපේ රටට බලපාපු කොරෝනා වසංගතයයි නිසා සංචාරකයන්ගේ පැමිණීම බින්දුවටම වැටුණා කිව්වොත් බොරුවක් නොවෙයි.

කාලයත් එක්ක හුඟක් ප‍්‍රශ්නවලට උත්තරත් ලැබෙනවනේ. අන්න ඒ වගේ නරක දශාවකින් පස්සේ ආයෙත් සංචාරක ව්‍යාපාරයට හොඳ කාලයක් උදාවෙන මං සලකුණු පහළ වුණේ 2021 අවසාන කාර්තුවේ. ඒ කිව්වේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල.

ඒ කාලෙ ආයෙත් අපේ රටට සංචාරකයො ඇදෙන්න පටන් ගත්ත. මාසෙකට තිස්දාහ හැටදාහ අනූදාහ වගේ ඇවිත් අන්තිමේ ගිය ජනවාරි මාසෙ වෙනකොට ලක්‍ෂයකට ආසන්න සංචාරකයො පිරිසක් ලංකාවට ආවෙ කොරෝනා නිසා හැම පැත්තකින්ම ඇද වැටිල තිබුණ ඔවුන්ගේ ජීවිතවලට, ඇතුළාන්තයට අවශ්‍ය නිදහස සතුට සැනසීම වින්දනය වගේම දැනුමින් පිරිපුන් අත්දැකීම් සමුදායකුත් ලබන්න.

ඇත්තම කිව්වොත් මම අද මේ කියන්න යන කතාවේ මාතෘකාව සංචාරක කර්මාන්තය ගැන නම් නොවෙයි. ඒත් මේ කතාව ඒකටත් සෘජුව සම්බන්ධයි.

අපේ රටට එන සංචාරකයන් අතරින් වැඩි දෙනෙක් වනසතුන් බලන්න වගේම වනාන්තරවල ඇවිද්න්න දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්. ශීතල කාලෙ හිමෙන් වැහිලම යන ශීත රටවල ගෙවල් දොරවල් යාන වාහන අතහැරල ලංකාව වැනි ඝර්ම කලාපෙයේ රටකට ඇවිත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ හීතල පිරුණු පුරවරයක උණුසුමට ගුළිවන්න නම් නොවෙයි. ස්වාභාවික ගහකොළ වනාන්තර සතා සීපාවා ඉන්න පරිසරයක උණුසුම විඳගන්න ඇවිදින්න.

ඒකට ඉතින් කියාපුම තැන තමයි යාල. අවුරුද්දක් පාසා ලංකාවට එන පළපුරුදුකාර සංචාරකයෝත්, පළමුවරට ලංකාවට විනෝද වන්න පැමිණෙන කෝඩුකාර සංචාරකයොත් දෙගොල්ලම යාල හොයාගෙන එන්නේ අන්න ඒකයි.

හැබැයි ඉතින් එහෙම එන සංචාරකයන්ට ඉඳල හිටල මහ භයානක නුහුරු නුපුරුදු ත‍්‍රාසජනක අත්දැකීම්වලටත් මුහුණපාන්නත් සිදුවෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ පහුගිය සතියේ යාලදී සිදුවුණු ත‍්‍රාසජනක සිද්ධියක් ගැනයි.

යාල කියන්නේ ලංකාවේ තියෙන දෙවන විශාලතම අභයභූමිය. අලිය, කොටියා, වලහ ආදී වන මෘගයන්ගේ පටන් ගෝනා, මුවා, හාවා ආදී වූ අවිහිංසක සිවුපා දෙපා, පක්‍ෂි උරග ආදී වූ සත්ත්ව විශේෂ සිය ගණනක් මේ උiානයේදී පැය කිහිපයක් තුළ දැක ගත හැකි නිසා වන සතුන් ගැන උනන්දු සොබා සෞන්දර්ය පේ‍්‍රමියෝ බහුතරයක් යාලට බොහොම කැමතියි. අපිත් යාලට බොහොම ප‍්‍රිය ඒක නිසානේ.

යාල කැලේ යාචකයෝ, මංපහරන්නෝ සහ සද්දන්ත ප්‍රහාරකයෝ

යාල බලන්න රුහුණට ඇදෙන සිය දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයන්ට යාල වනාන්තරයේ සොබා සොඳුරු රුව වරුණය මෙන්ම වන සතුන්ගේ හැසිරීම් පෙන්වන එකත් සංවිධානාත්මක වෘත්තියක්.

මේ වෘත්තියේ නියැලෙන 800ක පමණ දෙනා යාල ඉන්නවා. ඒ සඳහා සුදුසු පරිදි සකස්කරගත් ජීප් රථ හා ට‍්‍රක් රථ 800ක් පමණ යාල තියෙනවා.

මේ අතරින් එක් අයෙක් තමයි අපේ කථානායකයා වන තිස්සමහාරාමයේ ඉෂාර නුවන් පතිරණ. වැඩි වයසක් නැති වුණත් ඔහුත් මේ වන රියැදුරු රස්සාවේ දීර්ඝ කාලීන අත්දැකීම් බහුල ශක්තිමත් තරුණයෙක්.

පසුගිය පෙබරවාරි 8 වැනිදා හෝටල් තුනකින් ජර්මානු ජාතික සංචාරක ජෝඩු 3ක් රැගෙන යාලට යෑම ඔහුගේ රාජකාරිය වගේම වගකීම වෙලා තිබුණා. ජර්මානුවෝ කියන්නේ හරිම විනෝදකාමීන්. ඒ වගේම සමාජශීලීන්. අත දිග ඇරල වියදම් කරන පිරිසක් නිසා සංචාරක රියැදුරොත් ජර්මානුවන් රැගෙන කැලයට යන්න බොහොම කැමතියි. ඉෂාර මේ තරුණ ජෝඩු තුනත් රැගෙන පලටුපාන ගේට්ටුවෙන් යාල මහ වනයට ඇතුල්වන විට උදේ 10.30 පහුවන්න ඇති.

ඉෂාර පදවාගෙන ගිය ටොයෝටා හයිලැක්ස් වර්ගයේ රථය යාල ප‍්‍රධාන පාර ඔස්සේ ගොස් ඔවුන්ට හිමි ගමන් මඟ ඔස්සේ ඇවිදිමින් ඉදිරියටම ගියේ මගතොටේ හමුවන සතුන් සිවුපාවන් දැක ගන්නටත් ඔවුන්ගේ ඡායාරූප ගන්නටත් සංචාරකයන්ට රිසි පරිදි ඉඩ දෙමින්. ඉන් පස්සේ ප‍්‍රධාන පාරෙන් වාහනය වැල්මල්කෙම පාරට හැරවූ ඉෂාර හිමි හිමිහිට ඉදිරියට ගියේ වන සත්ත්ව නිරීක්‍ෂණයට සංචාරකයන්ට ඇති පමණ කාලය ලබා දෙන ගමන්. ඔය විදියට තව මීටර් 500ක් විතර යන්න ඇති.

ඉෂාර කියන්නේ නම් කැලේ ඇතුළෙන් එක පාරට මතුවුණ සද්ධන්තයෙක් කිසිත් ඉවක් බවක් නැතුව පාරට පැන වාහනයට පහර දෙන්න පටන් ගත් බව.

ඒ වන විට වැල්මල්කෙම පාරේ සංචාරකයන් පටවාගත් තවත් වාහන 5ක් හෝ හයක්. ඒ කිසිවෙකටත් පහර නොදුන් මේ දැවැන්ත දළ සහිත සද්ධන්තයා ඉෂාරගේ වාහනය පමණක් සිය ගොදුර කොට ගෙන පන්න පන්නා පහර දුන්නේ ඇයි.

පහර දුන් දැවැන්තයා නමින් නන්දිමිත‍්‍ර. නන්දිමිත‍්‍ර යාල කැලේ මේ ප‍්‍රදේශයට පුරුදුකාරයෙක් නම් නොවෙයි. ඔහු වෙනද නිතර ඉන්නේ සිතුල්පව්ව පාර පැත්තේ. ඒ පැත්තෙන් යන එන වාහන නතර කරවාගෙන ඒවා ඇතුලේ තියෙන ආහාර හා පලතුරු ඉව අල්ලමින් යමක් ඉල්ලාගෙන හෝ උදුරාගෙන කෑම උගේ විශේෂත්වය වුණා.

ඒත් මෑතක සිට නන්දිමිත‍්‍ර සිය චර්යාව වෙනස් කළා. මීට පෙරත් යාලට පැමිණි ඔහු වාහනයකට පහර දුන්නා. එදා වාහනය නූලෙන් බේරුණා. ඒත් ඉෂාරට නම් කිසිම ගැලවීමක් ලැබුණේ නැහැ. ඔහුගේ වාහනය පාරෙන් පිටට තල්ලූ කර දැමූ නන්දිමිත‍්‍ර තම දළ යුගලයෙන් වාහනයේ බඳට හා ආසනවලට දැඩි අලාභහානි කරමින් පහර දී පෙරළා දමන්නටත් තැත් කළා.

සංචාරකයන් මෙවැනි ත‍්‍රාසජනක අත්දැකීම්වලට කොපමණ කැමැති වුණත් මේ පාර නම් ලැබූ අත්දැකීම ඔවුන්ට ඒ තරම් රසවත් එකක් වන එකක් නෑ.

සමහර සංචාරකයන් වන සතුන් කුපිත කර ඔවුන්ගේ හැසිරීම් ඡායාරූපකරණයට හා වීඩියෝකරණයට කැමැත්තක් දක්වන බව ඇත්ත. ඒත් යාලදී එබඳු කුපිත කිරීමකට යොමුවන්න සංචාරක රියැදුරන්ට නීතියෙන් ඉඩක් නෑ. වාහනය රිවස් කර අලි ඇතුන් ළඟට ගැනීමත් ඔවුන්ට තහනම්.

පසුගිය දිනෙක හබරණ ප‍්‍රදේශයේදී අලියකු කුපිත කරවන සේ වාහනය මුහුණට මුහුණ පැදවූ රියැදුරෙකුට රුපියල් ලක්‍ෂ 2ක දඩයක් නියම කළා අපට මතකයි.

කෙසේ වෙතත් අත්දැකීම් බහුල රියැදුරන්ගේත් නිතිපතා යාලට යන පරිසර හිතකාමී සංචාරකයන්ගේත් මතය වන්නේ නන්දිමිත‍්‍ර දරුණු නෑ. නන්දිමිත‍්‍ර සේම වාහන නවතා කෑම යදින ඇතුන් ගණනාවක්ම ගැන මට කීවේ මා මිත‍්‍ර පරිසර හිතකාමී කුමා මුණවීර. අර්ජුන, ගැමුණු වැනි ඇතුන් වාහන නවතාගෙන කන්නට යමක් දෙනතුරු මඟ අවුරා සිටින දර්ශන රැගත් ඡායාරූප රැසක් ඔහු සතුයි. ලසන්ත මහගෙදරටත් එබඳු අත්දැකීම් රැසක් තිබුණා. ඔවුන්ට අනුව යාල සිටින දරුණුම සෙල්ලක්කාරයා නන්දිමිත‍්‍ර නෙවෙයි, සැන්ඩෝ.

සැන්ඩෝ නිරපරාදේ වාහනවලට හඹා ගොස් පහර දෙන බව දන්නා සංචාරකයන් හෝ මඟ පෙන්වන්නන් කිසිවෙක් සැන්ඩෝ සිටින බව ඉව වැටුණු පාරක යන්නේවත් නෑ. මන්ද ඌ විසින් කඩා බිඳදමන වාහන සාදාගන්නට අලාභ ගෙවන්න කිසිදු රක්‍ෂණයක් නෑ.

කෙසේ වෙතත් ඉෂාර මුහුණපෑ සිද්ධිය සුළුපටු නෑ. සංචාරකයෙකුගේ ජීවිතයකට වුවත් අනතුරක් සිදුවන්න ඒ සිද්ධිය හොඳටෝම ප‍්‍රමාණවත්.

යාල අලි ඇතුන් හා වන සතුන් බැලීම විනෝදයක්, වින්දනයක් වගේම ත‍්‍රාසජනක අත්දැකීමක් ලෙස විඳ ගන්නත් විදේශීය සංචාරකයන් කැමැති බව ඇත්ත. ඒත් ඒක අපේ සංචාරක රියැදුරන්ට නම් හිතන තරම් වින්දනයක් ගෙන දෙන්නේ නෑ. මන්ද සතුන් කුලප්පු වී පහරදෙන කිසිදු වාහනයක වගකීම භාර ගන්නට රක්‍ෂණ සමාගමක් හෝ වාහන හිමිකරුවෙක් කැමති නැති නිසා. අද වන විට එබඳු හිරිහැරයක් වුවහොත් ඒ වාහනය සාදා ගැනීමත් රියැදුරන්ගේම වගකීමක්. මේ හේතුව නිසා සංචාරක රියැදුරන් පත්ව සිටින අසරණ තත්ත්වය යාල වෙනමම කතාවක්. යාල අපි නොදන්නා එබඳු කතා තව කොතෙක් ද?

ජයරුවන් සේනාධීර
ඡායාරූප – ලසන්ත මහගෙදර, කුමා මුණවීර

advertistmentadvertistment
advertistmentadvertistment