ජනපතිගේ තර්ජනවලට අපි සැලෙන්නේ නෑ!

503

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක

දරුවන්ගේ දෙමව්පියන් වගේ මාධ්‍යවලට ප්‍රකාශ දෙන්නේ රජයේ හෙංචයියෝ – ආචාර්ය අනුර කරුණාතිලක

“ජනාධිපතිවරයාගේ තර්ජන ගර්ජන හමුවේ කිසිවිටෙකත් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ලෙස අප සැලෙන්නේ නැහැ” යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි.

යම් හෙයකින් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කරන්නේ නම් එය සිදු කරන්නේ විධායක සභාව රැස්වී ගන්නා තීරණයක් මත පමණක් බව ද හෙතෙම කියා සිටියේය.

ජනතාව ගැන සහ දරුවන් ගැන දුරදිග බලා තීරණ ගැනීමට විද්වතුන් ලෙස අපට වගකීමක් ඇති බව අප ඉතා හොඳින් දන්නා බව ද මහාචාර්ය වරයා ප්‍රකාශ කළේය.

අද දරුවන් ගැන කිඹුල් කඳුළු හෙළන රජයේ ප්‍රධානීන් එදා උසස් පෙළ විභාගය පවතින සමයේ විදුලි කප්පාදුව සිදු කළේ දරුවන් ගැන කල්පනා කරමින් ද යන්න ප්‍රශ්න කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කෙළේය.

රජය තම ඉල්ලීම් කෙරෙහි යම්කිසි හෝ නම්‍යශීලීභාවයක් දක්වන්නේ නම් හෙට සිට හෝ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගි වන බව ද මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පවසා සිටියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (21 දා) පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා ඉහත අදහස් පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්යවරයා මෙසේ ද කීය. අධ්‍යාපන ඇමැතිවරයා ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නම්‍යශීලීව යම්කිසි විසඳුමක් කරා පැමිණීමට උත්සාහ කරන අවස්ථාවේ ජනාධිපතිතුමන් අත්තනෝමතික මැදිහත්ව ආචාර්යවරුන්ට තර්ජනය කිරීම අපි හෙළා දකිනවා. අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සම්බන්ධයෙන් අපේ කිසිදු ගැටලුවක් නෑ. නමුත් අධ්‍යාපනයට අවශ්‍ය කිසිදු පහසුකමක් ලබා නොදී දේශපාලන න්‍යාය පත්‍රයක් මත පමණක්ම ක්‍රියාත්මක වෙමින් මේ ආකාරයෙන් අපට තර්ජනය කිරීම සංගමයක් වශයෙන් කිසිසේත් පිළිගන්නේ නෑ. අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා පුළුවන්නම් අපේ දේපළ රජයට අරගෙන අපි සිරගත කරන්න කියලා. අපේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකොට තාවකාලික විසඳුමක් දෙනවා නම් අපි අදාළ කටයුතු සඳහා ඕනෑ වෙලාවක එක්වීමට සූදානම්. මේ දරුවන් සමග අපේ කිසිදු ගැටලුවක් නෑ. දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තමා අපේ අරමුණ. නමුත් ඊට අකුල් හෙළන්නේ මේ රජයයි. මේ බදු පනත සම්පූර්ණයෙන් අහෝසි කරන්න කියලා අපි කියන්නේ නෑ. සුළු වෙනස්වීම් කීපයක් පමණයි කරන්න කියන්නේ. ඊට අමතරව රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ කිසිදු හෝ අවධානයක් යොමු නොකොට අපිට මේ ආකාරයෙන් තර්ජනය කිරීම කිසිසේත්ම පිළිගන්න බෑ” යනුවෙන් ද හෙතෙම කීය.

මෙහිදී අදහස් පළ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ කාරක සභික ආචාර්ය අනුර කරුණාතිලක කියා සිටියේ මෙම ගැටලුව අවසන් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබියදී අත්තනෝමතික ආකාරයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තර්ජනය කරන බවයි. එය කිසිසේත්ම පිළිනොගන්නා බව ද ඔහු කීවේය. දරුවන්ගේ දෙමව්පියෝ වශයෙන් පෙනී සිටිමින් රජයේ හෙංචයියෝ මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරන බවත් නමුත් රටේ ජනතාව සත්‍ය තත්ත්වය දන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment