රජයේ රෝහල් රැසක විකිරණ යන්ත්‍ර නවතී

107

රෝගී ජීවිත බේරාගන්න කඩිනමින් පිළිසකර කරන්න – විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමය

රජයේ ප්‍රධාන රෝහල් රැසක සී.ටී. ස්කෑන්, එම්. ආර්. අයි සහ හෘද කැතීටරකරන යන්ත්‍ර කීපයක් කලක් තිස්සේ අකර්මණ්‍යවීම නිසා විකිරණ ප්‍රතිකාර සේවා දැඩි කඩා වැටීමකට ලක්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

කරවනැල්ල රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය අකර්මණ්‍යවීම හේතුවෙන් එම රෝහලේ රෝගීන්, පරීක්‍ෂාවන් සඳහා රත්නපුර මහ රෝහලට සහ කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට විශාල ප්‍රවාහන විදයමක් දැරීමට සිදුව ඇතැයිද එම සංගමය සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ එම්. ආර්. අයි. යන්ත්‍රයත්, කළුතර ශික්ෂණ රෝහලේ සී. ටී. ස්කෑන් යන්ත්‍රයත්, මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටරකරණ යන්ත්‍රයත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ එම්. ආර්. අයි. යන්ත්‍රයත් මෙලෙස කලක පටන් අක්‍රීයව පවතී. මේ නිසා රෝග හඳුනා ගැනීමේ හා ප්‍රතිකාර කටයුතු ප්‍රමාදවීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි රජයේ විකරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සමංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ ට පැවසීය.

මේ අතරින් මහනුවර මහ රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයේ ඇන්ජියෝ කැතීටරකරණ යන්ත්‍රය බිඳ වැටී වසර 04 ක් ගතව ඇති බවත්, එහි තිබෙන අනෙක් යන්ත්‍රය මේ වනවිට ධාරිතාව දරාගත නොහැකි තත්ත්වයක තිබෙන බවත් ඒ හේතුවෙන් දින ලබාදී පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සංඛ්‍යාව 9000 ඉක්මවා ඇති බවත් ඒ මහතා පැවසීය.

බිඳ වැටී ඇති මෙම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර අලුත්වැඩියාවට විශාල මුදලක් අවශ්‍ය නොවුණත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් උදාසීන බවද හෙතෙම පැවසීය.

පොළොන්නරුව ශික්ෂණ රෝහලේ, අපේක්ෂා රෝහලේ සහ හම්බන්තොට රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ සී. ටී. ස්කෑන් යන්ත්‍ර හදිසි අවශ්‍යතාවන් සේ සලකා හෝ කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළහොත් රෝගී ජීවිත රැසක් බේරා ගැනීමට හැකි බවද චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment