පූජා භූමියෙන් හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට විරෝධය පා මිහින්තලේ නාහිමියෝ පොසොන් කමිටු රැස්වීමෙන් පිටව යති

86

අසරණ වූ දිසාපති රැස්වීම නතර කරයි

මොන දේ ඉවත් කළත් මිහින්තලයෙන් බුදු දහම ඉවත් කරන්න බැහැ – වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

රාජ්‍ය ආයතන හැටියට අපට පැවරිලා තියෙන යම් යම් වගකීම් තිබෙනවා – කමිටු සභාපති අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී ඊයේ (02දා) උදෑසන පැවති 2024 ප්‍රථම පොසොන් කමිටු රැස්වීම ආරම්භයේදී මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන නාහිමියන් රැස්වීම් භූමියෙන් නැගිට යෑමත් සමග පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර මහතාට එම රැස්වීම නතර කර දැමීමට සිදු වීමෙන් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් සියලු‍ දෙනා රැස්වීම් භූමියෙන් පිටව ගියහ.

මෙහිදී උන්වහන්සේ පැවසුවේ අක්කර දහස් ගණනක රජමහා විහාරස්ථාන භූමියේ සුද්ද පවිත්‍ර කිරීම් කටයුතු සිදුකළ සිවිල් ආරක්ෂක බලකාය, විහාරස්ථානයේ තේවාව සිදුකළ, මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වූ යුද හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට රජය ගත් තීරණය සහ යළි එම ආරක්ෂක අංශ සාමාජිකයන් මිහින්තලාවට ලබාදෙන ලෙසට මහ නායක හිමිවරු රජයෙන් කළ ඉල්ලීමට පිළිතුරක් නොදැක්වීම හේතුවෙන්, පොසොන් උත්සවයට රජය මගින් ලබාදෙන ලක්ෂ 50ක මුදලද අවශ්‍ය නොවන බවය.

මිහිඳු පෙරහරට, විදුලි ආලෝක පූජාවට සහ සති පිරිතට හෝ රජය මගින් ලබා දෙන මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ආලෝක පූජාවට පමණක් රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය වන බවත් පැවසූ උන්වහන්සේ කියා සිටියේ පසුගිය වසරේ මෙන් පිණ්ඩපාතයේ වැඩම කර හෝ දායක දායිකාවන් ලබාදෙන ශත පනහ, රුපියල එකතු කර මිහිඳු මහ රහතන් වහන්සේට කෘත ගුණ සැලකීමක් ලෙස මෙවර පොසොන් උත්සවය සාර්ථකව පවත්වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූඋන්වහන්සේ මෙසේද පැවසූහ.

මේ භූමියේ අක්කර දහස් ගානකට වැඩියි. ශුද්ධ පවිත්‍ර කිරීම් සියලු‍ දේ කළේ සිවිල් ආරක්ෂක බලකායේ මගින්, තේවාව, ශබ්ද පූජාව සිදු කළේ ආරක්ෂක අංශ සාමාජිකයන්, මේ වන විට මහා සෑයේ සුදු පිරියම් කරන්න පටන් ගන්න ඕන. පසුගිය කාලයේ එම කටයුතු කළේ ගුවන් හමුදාවෙන්, මේ වෙනකොට එහෙම තත්වයක් නැහැ. රටේ ජනතාවට මම කියනවා පුළුවන් කමක් තියෙනවා නම් මිහිඳු මහ රහතන් වහන්සේට කෘත ගුණ සැමරීමක් හැටියට පොසොන් පෝයට සුදු හුණු ටිකක් පිරියම් කිරීමට ශ්‍රම දායකත්වය ලබාදෙන්න කියලා.

ඊයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කතා කරලා කිව්වා මෙවර පොසොන් උත්සවයට ලක්ෂ පනහක් ලබා දෙනවා කියලා. දැන්මේ ලක්ෂ 50 නෙවෙයි ප්‍රශ්නය. මේ ආණ්ඩුව මුලින්ම කළේ, මුලින්ම මේ භූමියේ හිටපු ආරක්ෂක අංශ ඉවත් කරපු එක. ආණ්ඩුවට අපි කියනවා මොන දේ ඉවත් කළත් මේ මිහින්තලයෙන් බුදු දහම ඉවත් කරන්න බැහැ. සංස්කෘතිය ඉවත් කරන්න බැහැ කියලා. එය අපේ ඇට, ඉස් මස්, ලේවලට, ජානවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. පාලකයෝ මොනව කළත් මහින්දාගමනය මිනිස්සුන්ට අමතක කරන්න බැහැ.

පූජා භූමියෙන් හමුදා සාමාජිකයන් ඉවත් කිරීමට විරෝධය පා මිහින්තලේ නාහිමියෝ පොසොන් කමිටු රැස්වීමෙන් පිටව යති

දහසකුත් වැඩ අතරේ පොසොන් කමිටුවට සහභාගි වුණ මේ නිලධාරීන්ට මම කියනවා, කාලය වැය කරලා මෙතෙන්ට ආවට බොහොම ස්තූතියි කියල. මේ කටයුතු ගිය පාරත් අපි අතිසාර්ථකව සිද්ධ කළා. කළමනාකරණය හොඳටම සිද්ධ කළා. අති ගෞරවනීය මහා නායක හිමිපාණන් වහන්සේලා ජනාධිපතිවරයාට ලිපියක් යවනවා ලෝක උරුම මිහින්තලාවෙන් හමුදාව ඉවත් කිරීම සම්බන්ධව නැවත හමුදාව යොදවන එක ගැන සොයා බලන්න කියලා. ඒ ගැන කිසිම කතාවක් නැහැ තවම.

පොසොන් උත්සවය සම්බන්ධයෙන් කිසිම ගැටලු‍වක් නැහැ. මේ පාත්තරේ තියෙනවා. තුන් සිවුර තියෙනවා. ලංකාවාසී ලෝකවාසී සියලු‍ම දෙනාගෙන් ආධාර ලබාගෙන ආලෝක පූජාව, සති පිරිත, මිහිඳු පෙරහර සාර්ථකව සිදු කරනවා.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් නායක බණ්ඩාර මහතා

උන්වහන්සේගේ නැගිට යෑමත් සමග මෙම පොසොන් සමිටුවේ ඉදිරි කටයුතු පවත්වා ගෙන යෑමේ ගැටලු‍වක් මතුව තිබෙනවා. ඉහළ බලධාරීන් සාකච්ඡා කරලා තීන්දුවක් දෙනතුරු කමිටුව මින් ඉදිරියට පවත්වා ගෙනයන්න එපා කියන එක තමයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ. නමුත් රාජ්‍ය නිලධාරීන් හැටියට අපිට පැවරිච්ච කාර්යභාරයක් තිබෙනවා. අපි හැමදාම පොසොන් උත්සවය වෙනුවෙන් කරන කාර්ය සියලු‍ම දෙනා කරගෙන යමු කියන එක මම ඉල්ලා සිටිනවා.

පොසොන් කමිටුවේ සභාපති, අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර මහතා

අපිට කමිටුව ඉදිරියට පවත්වා ගෙන යෑමේ ගැටලු‍වක් මතුව තිබෙනවා. නමුත් රාජ්‍ය ආයතන හැටියට අපට එක් එක් ආයතන මගින් පැවරිලා තියෙන යම් යම් වගකීම් තිබෙනවා. පසුගිය පොසොන් කමිටුවලදිත් ඒ ගත්ත ඒ තීන්දු තීරණ දිහා බලලා ඒ කටයුතු සිද්ධ කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා කියූ ආකාරයට කටයුතු කරන්න කියන කාරණය මම සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment