විවාහ යෝජනාව ප‍්‍රතික්ෂේප කළ කතට අංගොඩදී මහ දවල් පිහියෙන් ඇනලා

531

රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීහු පළා යන්න හැදූ සැකකරු අල්ලයි

විවාහ යෝජනාව ප‍්‍රතික්ෂේප කළේ යැයි උරණ වූ පුද්ගලයකු 32 හැවිරිදි විවාහක කතකට පෙරේදා (24 දා) මහ දවාලේ අංගොඩ හන්දියේ දී දෙනෝදාහක් දෙනා බලා සිටියදී පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.

පිහියෙන් ඇනීමෙන් උදරයට බරපතළ තුවාල ලද කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසීය. සිද්ධියෙන් අනතුරුව පළා යෑමට උත්සාහ දැරූ සැකකරු රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු සහ අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඒ මොහොතේම ඇනීමට උපයෝගී කරගත් උල් පිහියත් සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

සැකකරු දොළොස් වසරක් හමුදාවේ සේවයේ යෙදී සිට ඉන් ඉවත්ව අංගොඩ නගරයේ කුලී වැඩවල නිරත වන අයෙක් බව පොලිසිය කියයි. සැකකරුට මෙම කාන්තාව සම්බන්ධයෙන් ආදර හිතක් පහළ වී මාස කිහිපයක සිට ඇයට විවාහ යෝජනා සිදුකර ඇති අතර කාන්තාව තරයේ එය ප‍්‍රතික්ෂේප කර ඇතැයි පොලිසිය කියයි. විවාහක තැනැත්තියක් වන කාන්තාව සිය සැමියාගෙන්ද වෙන්ව ඇත්තේ ඔහු මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි වූ නිසාවෙන් බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුද මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවකු බැවින් ඔහුට කාන්තාව අකමැත්ත ප‍්‍රකාශ කර ඇත්තේ ඒ නිසාවෙන් බව පොලිසිය කියයි බරපතළ තුවාල ලද කාන්තාව අංගොඩ, ගොන්න ගහවිට පදිංචිකාරියකි. 46 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. එස්. සුසන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. මායාදුන්න මහතා පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment