දෙහිඅත්තකණ්ඩිය පාසලේ මරාගෙන මැරෙන මෙහෙයුම

1162

නාරම්මල පාසලක දහතුන්වන ශ්‍රේණියේ සිසුවියක් මීට දෙතුන් දිනකට පෙර සිය පන්ති කාමරය තුළදී මරාගෙන මැරෙන මෙහෙයුමක් සිදුකළාය. ඒ කතාව මෙසේය; මෙම සිසුවියට ඇගේ පන්තියේ සිටි වෙනත් සිසුවියන් හයදෙනකු සමග ආරවුලක් තිබිණ. ඒ නිසා එම සිසුවියෝ තම සතුරු සිසුවිය කොන් කරන්නට පටන් ගත්හ. මේ ආරවුලේ අවසානය වන්නේ කොන්වීමට ලක්වූ සිසුවිය විසින් තමන්ට සතුරු වූ සිසුවියන් හයදෙනාගේ වතුර බෝතල්වලට ගෙදරින් ගෙනා වසක් මිශ්‍රකර තමන්ද එම වස පානය කරනු ලැබීමය. අන්තිමේදී සියලු දෙනාම රෝහල්ගත කරන ලදී. සිරුරට වස මුසුවීම නිසා රෝගී වූ සිසුවියන් සියලුම දෙනා මේවන විට සුවපත් වී ගෙවල් බලා ගොස් ඇත. සෙසු අයට වස දුන් සිසුවිය තමාද මැරී තමාට සතුරුකම් කළ සිසුවියන්ද මියයනු දැකීම අපේක්ෂා කළ බව පෙනේ. ඉහත සඳහන් සිසුවිය වස ගැන හරියාකාර දැනුමක් තිබෙන අයකු බව නොපෙනේ. ඇය තමන්ට සතුරුකම් කළ සිසුවියන්ට දීම සඳහා තෝරාගෙන ඇත්තේ ඉතාම ලාභ වර්ගයේ වසක් විය යුතුය. විවිධ වස වර්ගවල නම් කියා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ අදහසක් මේ පුවත්පතට නැත. පෙරකී සිසුවිය කළ ක්‍රියාව අපි කිසිදු ආකාරයකින් අනුමත නොකරමු. එහෙත් මේ සිද්ධිය පිටුපස ඇති සමාජ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු.

පාසල යන සංකල්පයේ මූලික සාධකය ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවය. එම සාධක බොහොමයක් එකතුවීමෙන් පන්ති කාමරය සෑදේ. පන්ති කාමර බොහොමයක් එකතුවීමෙන් පාසලක් සෑදේ. මේ පාසල තුළ සිටින ගුරු මණ්ඩලය පෙරකී සියලු සාධක හසුරුවන component හෙවත් tool ලෙස සැලකිය හැකිය. ළමයා හැදීමටත් ළමයා නැසීමටත් මේ tool වලට පුළුවන. පන්ති කාමරයක් තුළදී කිසියම් ළමයකු හෝ ළමයින් පමණ ඉක්මවා ශාරීරික හෝ මානසික හිංසනයට ලක්වීම bullying යනුවෙන් හඳුන්වනු ලැබේ. පාසල් පද්ධතිය තුළ තිබිය හැකි භයානකම වචනය එය වේ. සාමාන්‍යයෙන් පන්ති කාමරයක ව්‍යුහය මෙසේය. පන්තියේ ඉහළම තැන පන්ති භාර ගුරුවරයා සිටී. ඔහුට පහළින් සිටින්නේ පන්තියේ ප්‍රධාන අධීක්ෂක ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව හෙවත් මොනිටර් ය. එතැනින් පහළට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිටිති. මෙය පන්ති කාමරයක නිල ව්‍යුහයයි. එහෙත් ලෝකයේ සෑම පන්ති කාමරයක් තුළම නිල නොවන ව්‍යුහයක් තිබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කල්ලි සහ එම කල්ලිවල නායකයන් එකී නිල නොවන ව්‍යුහයේ component බවට පත්වේ. මේ කල්ලි නායකයන් අතර සිටින බලවත්ම තැනැත්තා හෝ තැනැත්තිය පන්තියේ ගණන්කාරයා හෝ ගණන්කාරිය ලෙස හඳුනාගත හැකිය. විවිධ ශිෂ්‍ය කල්ලි අතර ගැටුම් පවතින විට ඒ සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කිරීමට ගණන්කාර ශිෂ්‍යාට හෝ ශිෂ්‍යාවට පිළිවන. සමහරවිට එය වාචික තර්ජනයක් විය හැක. තවත් විටෙක එය ශාරීරික පීඩනයක් විය හැකිය. එක් කල්ලියක ශිෂ්‍යයන් ප්‍රතිවාදී කල්ලිවල අය සමග සම්බන්ධකම් පැවැත්වීම නරක තත්ත්වයක් ඇති කරයි. මෙය පන්ති කාමරයෙන් බාහිරව තිබෙන සමාජයේ ක්ෂුද්‍ර ප්‍රක්ෂේපනයක් සේ සැලකිය හැකිය. පිටස්තර සමාජය ආණ්ඩුව මගින් නිල වශයෙන් පාලනය කරනු ලැබේ. එහෙත් ඒ පාලනයේ කනින් රිංගා නිර්මාණය කරගත් ප්‍රචණ්ඩ කල්ලි සහ කල්ලි නායකයන්ගෙන් සමන්විත නිල නොවන සමාජයක්ද ඇත. එකී නිල නොවන සමාජය සාපරාධී සමාජයකි. පාසලේ පන්ති කාමරය තුළද එවැනි සාපරාධී සමාජයක් බිහිවීමෙන් සිදුවිය හැකි හානි බොහෝය. නාරම්මල පාසලේ පාසල් ශිෂ්‍යාවද පන්ති කාමරය තුළ නිර්මාණය වී තිබෙන සුළුතර සාපරාධී සමාජයක ගොදුරක් වී ඇති බව පෙනේ.

School bullying යනුවෙන් හැඳින්වීමක් ලොව පවතී. මෙහිදී සිදුවන්නේ පන්ති කාමරය තුළ සිටින දරුවකු එම පන්තියේම සිටින සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් හෝ ගුරුවරයා විසින් නිරන්තරයෙන්ම වාචික හෝ ශාරීරික පීඩාවට ලක් කිරීමය. මෙය තවදුරටත් විස්තර කළොත් ශාරීරික, මානසික, වාචික, ලිංගික යන කොටස්වලට වෙන්කළ හැකිය. පාසලෙන් පටන්ගන්නා මේ සාපරාධී තත්ත්වය විශ්වවිද්‍යාලයේදී නවක වධය ස්වරූපයෙන් එළියට එයි. මේ හිංසන ක්‍රමයේ අලුත්ම අවස්ථාව cyber bullying යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ වූකලී අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍යය හරහා කරන පීඩාවන් ය. තම දරුවා පාසල තුළදී නිරන්තර හිංසනයට ලක්වේද යන්න දෙමාපියන්ට සොයාගැනීමට හැකිය. තම දරුවාගේ සිරුරෙහි විස්තර කළ නොහැකි තුවාල තිබේ නම්ද එම දරුවා නිරන්තර කාන්සාවකින් හෝ පශ්චාත් ව්‍යාධි අසහනයකින් පෙළෙන්නේ නම් හෝ ඇඳුම් ඉරාගැනීම, ආහාර ගැනීමේ ක්‍රියාවලියෙහි වෙනසක් ඇති කිරීම, හරියාකාරව ඉගෙන නොගැනීම, පාසල් යෑම මගහැරීමට තැත් කිරීම, සිය කැමැත්තෙන් සිරුර තුවාල කරගැනීමට තැත් කිරීම, සියදිවි නසාගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව හැඟවීම යන ලක්ෂණ පෙන්වන්නේ නම් ඒ ගැන මාපියන් නිරන්තර සෙවිල්ලක් කළ යුතුය. නිතර පාසල තුළදී හිංසනයට පත්වන ළමයා බොහෝවිට ක්‍රම දෙකකින් ජීවිතය අවසන් කරගනී. ඉන් පළමුවැන්න සිය දිවි නසාගැනීමය. දෙවැන්න අපරාධකරුවකු බවට පත්වීමය. මේ රටේ දරුවන් ගැන සෙවීමට එම දරුවන්ගේ දෙමාපියන්ට වෙලාවක් නැත. අපි සංකීර්ණ ව්‍යාපාරික සමාජයක් තුළ ජීවත් වෙමින් සිටිමු. මෙහිදී ජීවත් වෙමින් සිටිනවා වෙනුවට මිය යමින් සිටිනවා යන්න යෙදිය හැකි නම් වඩාත් යෝග්‍යය.

advertistmentadvertistment
advertistmentadvertistment