වැස්ස නමැති ප්‍රාග්ධනය සහ ඔළුවටම වැදුණු එළවළු මිල

578

වර්ෂාව යනු ප්‍රාග්ධනයක් බවට මතයක් ආසියාතික අර්ථශාස්ත්‍රඥයන් හා ආර්ථික විද්‍යාඥයන් අතර තිබේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය නමැති ප්‍රධාන නිෂ්පාදන සාධකවලදී භූමියට බදු කුලියත්, වැඩ කුලියත් ශ්‍රමයට වැටුපත්, ප්‍රාග්ධනයට පොලියත් ව්‍යවසායට ලාභයත් හිමිවිය යුතුය. එහෙත් වර්ෂාව නමැති ප්‍රාග්ධනයට කිසිදු පොලියක් ගෙවිය යුතු නැත. වැස්සොත් වැව් අමුණු පිරේ. කෙත් වතු සරු වේ. කුසගින්න නැති වේ. වැස්ස යනු ප්‍රාග්ධනයක් ලෙස ඇතැම් ආර්ථික විද්‍යාඥයන් දකින්නේ මේ කරුණු සලකාය. එහෙත් පසුගිය මාස හතර පහ තුළ අහසට සහ පොළොවට කිසිම විවේකයක් නොදී වසින දබ වරුසාව මරාන්තික ප්‍රාග්ධනයකි. ඒ නිසා මේ ප්‍රාග්ධනය දැනට හොඳටම ප්‍රමාණවත් බව අපි වැස්සවලාහක දෙවියන්ට දන්වමු. පසුගිය දිනවල විශාල ඕටී ප්‍රමාණයක් වැඩ කරමින් උන්වහන්සේ වැසි වස්සා දෙන ලද සපෝට් එක අපි කිසිසේත්ම අමතක නොකරමු. හැබැයි දෙවියනේ දැන් ඉතින් හොඳටම ඇති.

මේ වනවිට පෑලියගොඩ මැනිං මාර්කට් එකේ අමු මිරිස් කිලෝවක් රුපියල් 1300 කි. මේ අනුව සාමාන්‍යයෙන් අමු මිරිස් කරලක් රු. 15ක් පමණ වේ. ඊයේ කැරට් කිලෝව රු. 900කි. ගෝවා කිලෝව රු.600කි. ලීක්ස් කිලෝව රු. 700කි. වට්ටක්කා පමණක් රු. 190කි. මේ වූ කලී වැස්ස වලාහක දෙවියන් විසින් ඉවක් බවක් නොබලා අප වෙත දෙන ලද සපෝට් එකේ ප්‍රතිඵලය වේ. පසුගිය මාස කිහිපයේ හටගත් මහා වර්ෂාව හේතුවෙන් සියලුම වගාවන් විනාශයට පත්ව ඇත. එකපාරක් නොව දහපාරක් වැට් ගැහුවත් අමු මිරිස් කිලෝවක් මේ තරමට මිල ඉහළ යන්නේ නැත. ලංකා ඉතිහාසයේ “ඉංග්‍රීසි එළවළු” ලෙස හැඳින්වෙන එළවළු වර්ගවල මිල මෙතරම් ඉහළ ගිය පළමු වතාව මෙය වේ. මෙහිදී ඉංග්‍රීසි එළවළු මොනවා දැයි පාඨකයාට ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබේ. සුද්දන් ලංකාවට පැමිණි පසු ඔවුන්ට කෑමට සිදුවූයේ අල, බතල, කරකොළ, තුඹ කරවිල හා මස් වර්ග පමණි. අවුරුදු කිහිපයක් මේවා දිගටම කනවිට ඔවුන්ට යටත් විජිතවාදය පමණක් නොව ජීවිතය ද එපා විය. මේ නිසා එංගලන්තයේදී තමන් අනුභව කළ කැරට්, බීට්, ගෝවා, රාබු, බෝංචි යන එළවළු වර්ග එංගලන්තයෙන් මෙහි ගෙනවුත් නුවරඑළියේ වගා කිරීමට ඔවුහු තීරණය කළහ. ඉංග්‍රීසිකාරයන් විසින් මෙරටට හඳුන්වා දෙන ලද නිසා මෙම එළවළු ඉංග්‍රීසි එළවළු ලෙස හඳුන්වනු ලැබේ. මේ එළවළුවලට ලංකාව තුළ අවුරුදු 250කට වැඩි ඉතිහාසයක් නැත. අර්තාපල් ගෙන්වන ලද්දේ ද එංගලන්තයෙනි. මේ දිනවල අර්තාපල් කිලෝව රු. 180 දක්වා මිල බැස තිබේ. එයට හේතුව ඒවා පාකිස්තානයෙන් හෝ ඉන්දියාවෙන් ගෙන්වනු ලැබීමය. පසුගියදා රූපවාහිනියේ පෙනී සිටි ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ අල කිලෝව රු. 180ක් නිසා අනෙක් එළවළු අමතක කර අලවලට යොමුවන ලෙසය. මේ නිලධාරියාගේ කතාවෙහි වැදගත් තේරුමක් ඇත. අල කිරට ඉවීමට පුළුවන. තීරු කපා බැඳීමට පුළුවන. පෙති කපා බැඳීමටත් පුළුවන. තෙල් දැමීමට ද පුළුවන. තම්බා පොඩිකර කෑමට ද පුළුවන. එබැවින් දවස් හතට ක්‍රම හතකට අල උයා කෑවොත් එළවළු මිලෙන් ගුටි නොකා සිටීමට මේ රටේ සාමාන්‍ය ජනයාට හැකි වනු ඇතැයි පෙර කී නිලධාරියා කල්පනා කරන්නට ඇති. ඒ තමයි උගතුන් හිතන විධිය. රු. 2500කින් පුරා මාසයක් ජීවත් විය හැකි බව බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා වතාවක් පැවසීය.

වැස්ස නිසා වගා විනාශ වීමත් එහි ඊළඟ ප්‍රතිඵලය ලෙස එළවළු මිල ඉහළ යෑමත් ආණ්ඩුවේ පාලනයෙන් තොරය. ආණ්ඩුවට බනින ඇතැම් විපක්‍ෂ දේශපාලනඥයෝ එළවළු මිලේ වරදද ආණ්ඩුවේ එකවුන්ට් එකට දමමින් ගොං කතා කියති. අපගේ වැටහීම නම් රජය මේ වෙලාවේදී කොහෙන් හෝ මුදලක් හොයාගෙන වගා හානියට පත්වූ ගොවි ජනතාවට වන්දියක් ලබාදිය යුතු බවයි. ලංකාවේ ජනතාව ප්‍රශ්න විසඳන්නේ කඹවලිනි. එනම් කිසියම් තැවුලක් හටගත් වහාම ඔවුහු එල්ලී මියයති. සාමාන්‍යයෙන් ගොවියන් කරන්නේ මැහි තෙල් බීමය. මේ දිනවල මැහි තෙල් ගන්නටවත් ඔවුන්ට මුදල් නැත. එබැවින් ගොවියන් කිහිප දෙනෙක් ගෙල වැලලාගෙන වගා හානි සම්බන්ධයෙන් ජීවිතවලින් වන්දි ගෙව්වොත් එය විශාල කැළලක් වනවා ඇත. අප ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මෙය සිහියට ගන්නා ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment