නිවසේ පැති අඩුවීම ධනය, නිරෝගීකම, බලය අහිමි කරයි

125

වාස්තුවිද්‍යාවේ මූලික හරය නිවසක විශ්ව ශක්තිය නිසි ආකාරයට බෙදාහරිමින් කළමනාකරණය කිරීමයි. තවදුරටත් විග්‍රහ කළොත් විශ්වය නිර්මාණය වී ඇති පංච මහා ධාතූන්ගේ ශක්තීන් නිවසට ලබාගෙන ඒවා තැන්පත් කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම, කළමනාකරණය කිරීම (නිවැරැදිව) වාස්තු විද්‍යාව මගින් සිදුවන ආකාරයට නිවස ඉදිකිරීමයි.

නිවසක, භූමියක පංච ශක්තීන් නිසි ආකාරයට ඇතුළුවීමට නම් එම භූමිය, නිවස චතුරශ්‍රාකාරයට පැවතීම විය යුතුය. ඉඳගන්නා පුටුවට අවශ්‍ය කකුල් ප්‍රමාණය 4 කි. මේසයට කකුල් 04 කි. මේ මේසයට නැතිනම් පුටුවට කකුල් 03 ක් දැමූ විට එහි සමබරතාවය නිසි ලෙස පවත්වා ගැනීමට නොහැක. ඒ ආකාරයටම ඉදිකරන නිවසක අත්තිවාරමේ කොටස් රහිතව, දිගුකර, කෙටිකර, නිවස ඉදිකිරීම අලංකාරව නිවස ඉදිකිරීමකි. නමුත් අත්තිවාරමෙන් මෙලෙස කොටස් අහිමිවීම හෙවත් ශුන්‍යවීම තුළින් ඒ අහිමි කොටසට ඒ දිශාව අනුව ලැබිය යුතු විශ්ව ශක්තිය නිසි ලෙස නොලැබී යෑම තුළින් වාස්තු දෝෂ හටගැනෙනු ඇත. අප විසින් වාස්තු පරීක්‍ෂාවලදී වැඩිපුරම පරීක්‍ෂණ කටයුතුවලට ලක්ව තිබෙන්නේ මේ ආකාරයට නිවසේ දිශාවන් ශූන්‍යව අත්තිවාරමින් සමහර කොටස් දික්වූ හා සමහර කොටස් කාමර කෙටිවූ නිවාසයි. මෙවැනි නිවාසවල දෝෂ පැවතීම එයට ප්‍රධාන හේතුවයි. සමහර නිවාස එක් එක් හැඩතලවලට ලක්වීම නිසා ද දෝෂයන්ට ලක්ව ඇත. සමහර නිවාස කිසිම දෙයක්, කිසිම දෝෂයක් නිදොස් කිරීමට පවා නොහැකි ලෙස අන්ධ බිත්තිවලට මායිම්ගතව පිහිටා ඇත. කෙසේ නමුත් මෙම අත්තිවාරමෙන් ශූන්‍යවීම්, දික්වීම්, හා කෙටිවීමෙන් දිශා වෙත ලැබිය යුතු ශක්තීන් මඳවීම, අඩුවීම බලපාන ආකාරය පිළිබඳ අද අප කතා කරමු.

උතුරු දිශාව

නිවසක උතුරු දිශාව අනෙකුත් දිශා හා සැසඳීමේදී ප්‍රධානත්වය දරයි. ධනයට අධිපති කුවේර දෙවියන්ගේ දිශාව වන උතුර, නිවසක රැකියාව සම්බන්ධයෙන්, ආදායම සම්බන්ධයෙන් නියෝජනය කරයි. ආපෝ ධාතුවෙන් ප්‍රාණ ශක්තිය නිවසට ළං වේ. යම්කිසි නිවසක උතුරු දිශාව අහිමිවන ආකාරයට අත්තිවාරමෙන් ශූන්‍යවීම හා කෙටිවීම එම නිවසේ නිවැසියන්ට ධනය හා සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇතිකරයි.

රැකියාව, රැකියාවෙන් උසස්වීම් සම්බන්ධව ද උතුරු දිශාව සම්බන්ධයි.

නැඟෙනහිර දිශාව

ඉන්දු දෙවිඳුන්ට අයත් නැඟෙනහිර හෙවත් පූර්ව දිශාව තුළින් ජීව ශක්තිය ලබාදේ. යම්කිසි නිවසක් ඉදිකිරීමේදී නැඟෙනහිර දිශාව අන්තිවාරමෙන් ශූන්‍යවීම කෙටිවීම නිසා එම නිවසේ නිවැසියන්ට සෞඛ්‍යමය ගැටලු, නිවසේ පිරිමි දරුවන්ට අශුභ, ගෘහ හිමියාට නොයෙක් පීඩා කරදරවලට මුහුණදීමට සිදුවේ. නිවසකට අවශ්‍යම වූ රවි හෙවත් ග්‍රහ ලොව පියා සූර්යාගෙන් ලැබෙන්නාවූ ශක්තිය ද අහිමි වනු ඇත. අන්ධක දෝෂය ද හටගනී.

දකුණ

දකුණු දිශාව ඉතා බලවත් දිශාවකි. කුජ ග්‍රහයාට අයිති, සමන් දෙවිඳුගේ දිශාව වන දකුණු දිශාව යම් නිවසක් ඉද්කිරීමේදී අහිමිව, අත්තිවාරමෙන් ශූන්‍යව හෝ පැති අඩුවීම නිසා හෝ එම නිවසේ පදිංචි නිවැසියන්ට බලය, තේජස, කීර්තිය, අහිමි වනු ඇත. කාන්තාවන්ට නොයෙක් පීඩා, විපත්, කරදරවලට මුහුණ දීමට සිදුවේ.

බටහිර දිශාව

බොහෝදෙනකු අකැමැති, බය දිශාව වන්නේ බටහිර දිශාවයි. සූර්යා බස යන දිශාව මෙන්ම සෙනසුරු ග්‍රහයාගේ අධිපති දිශාව වන බස්නාහිර දිශාව වරුණ දෙවියන්ගේ දිශාවයි. ඉතාම බලවත් දිශාවක් වන බටහිර දිශාව යම් නිවසක අත්තිවාරමෙන් ශූන්‍යවීම, කෙටිවීම, බස්නාහිර පැත්ත අඩුවීම නිසා විශාල ධනහානි ඇතිවේ. බලාපොරොත්තු කඩවේ. රෝග බිය ඇතිවේ.

මේ කතා කළේ ප්‍රධාන දිශාවන් 04 පිළිබඳවයි. මෙම ප්‍රධාන දිශාවන්ගෙන් නිවාසවල කොටස් අඩුවීම, අහිමිවීම නිසා නිවසේ සමබරතාවය ගිලිහේ. මීළඟට අනු දිශාවන් අහිමිවීමෙන් නිවසකට ඇතිවන බලපෑම් මොනවාද යන්න බලමු. විශේෂයෙන්ම ප්‍රධාන දිශාවන්ට වඩා ප්‍රබලව අනු දිශාවන් ශූන්‍යවීම තුළින් නිවසට බලපෑම් ඇතිකරයි.

වයඹ දිශාව

වායෝ භූතයට අයත් වයඹ දිශාව යම් නිවසකට අහිමිවීම, පැති අඩුවීම එම නිවසේ වියදම් කෙරෙහි ප්‍රබලව බලපෑම් ඇති කරයි. කොපමණ මුදල් උපැයුවද වියදම එයට වඩා වැඩිවනු ඇත. නිවසේ ස්ත්‍රීන්ට අපල ගෙන දේ. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ගෞරවය කෙරෙහි බලපෑම් අතිකිරීමටත්, නිවසේ ස්ත්‍රීන්ගේ විවාහය කෙරෙහි බලපෑම් ඇතිවීමටත් මෙම වයඹ දිශාව අහිමිවීම ප්‍රබලව බලෑම් ඇති කරවයි.

ඊශාන

උතුරෙන් ලැබෙන ප්‍රාණ ශක්තිය ද නැඟෙනහිරින් ලැබෙන ජීව ශක්තිය ද සමගින් නිවසකට ප්‍රාණ ජීව ශක්තිය ළඟාකර දෙන්නේ. ඊශාන දිශාවෙනි. ඊශාන දිසාව අතහැර වාස්තු විද්‍යාව ගැන කතා කිරීමටවත් නොහැක. ඒ තරමට ඊශාන දිශාව බලවත්, අත්‍යවශ්‍යම දිශාවයි. ශිව දෙවිඳුන්ගේ දිශාව වන ඊශාන දිශාව නිවසකට දේව කිරණ, දිව්‍ය ශක්තිය ලබාදෙන දිශාව වශයෙන් හඳුන්වයි. එසේ පවසන්නේ පෘථිවිය භ්‍රමණයේදී අලංකාරව භ්‍රමණය වෙමින් භ්‍රමණය වන ශක්තීන් අන්තරීය ශක්තිය ලෙසින් නිවසට ලබාදෙන නිසාවෙනි. වාස්තු පුරුෂයාගේ හිස පවතින ස්ථානය මෙම ඊශාන දිසාවයි. යම් නිවසක අත්තිවාරම ශූන්‍යවීම, කෙටිවීම, පැත්ත අහිමිවීම නිසා එම නිවසේ ගෘහ මූලිකයාට දෝෂ ඇතිවේ. කල්පනා ශක්තිය හීනවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුර්වල වේ. ප්‍රතිශක්තිකරණය අහිමි වේ. බෝනොවන රෝගවලට නිවැසියන් ලක්වේ.

ගිණිකොන දිශාව

නිවසක ගිණිකොන දිශාව ඉතාමත්ම වැදගත් අවශ්‍යම කොටසකි. ගිණිකොන දිශාව නිවසින්, නිවසේ අත්තිවාරමෙන් ශූන්‍යවිම, අහිමිවීම, පැති අඩුවීම නිවසේ ධනය කෙරෙහිත්, වියදම කෙරෙහිත් විශාල බලපෑමක් ඇතිකරයි. නිවසක මූල්‍ය ශක්තිය, ආදායම වියදම ගිණිකොණ හෙවත් අග්නි කෝණය තුළින් සිදුවේ. අග්නි දෙවිඳුට අයත් ගිණිකොන දිශාව තේජෝ ධාතුවට අධිපතීත්වය දරයි. ගිණිකොන ශූන්‍යවීම, කෙටිවීම හා පැත්ත අඩුවීම තව ආකාරයකින් නිවසේ බිරිඳට පීඩා කරයි. හෘද රෝග, මානසික පීඩා, පවුල් ජීවිතය බිඳවැටීම, දරුඵල කෙරෙහි ද, බිරිඳට හදිසි මරණ තත්ත්ව කෙරෙහි ද ගිණිකොන දිශාව බලපායි. රහස් සබඳතාවලට හේතු දේ. මූලික වශයෙන් ආර්ථිකය, සෞඛ්‍ය කෙරෙහි සෘජුව බලපෑම් ඇතිකරන අතර, ගිණිකොන දිශාව නිවසේ ගෘහනියගේ දිශාව නියෝජනය කරයි. සිකුරු ග්‍රහයාගේ දිශාව ද ගිණිකොන වේ.

නිරිත දිශාව

නිවසකට නිරිත දිශාව අහිමිවීම, ශූන්‍යවීම, පැති අඩුවීම ගැන සඳහන් කළොත් එය සේප්පුවක් නැති බැංකුවක් හා සමානය. මූල්‍ය ශක්තිය, තැන්පතු, අනාගත පරම්පරාව, යාවත්කාලීන වීම, අඹුසැමි සබඳතා, විවාහය, දරුවන් මේ සියල්ල බලපැවැත්වෙන දිශාව නිරිත දිශාවයි. පුන්න දෙවිඳුගේ දිශාව වන නිරිත දිශාව රාහු ග්‍රහයා නියෝජනය කරයි. නිවසකට ප්‍රධාන නිදන කාමරය සඳහා අවශ්‍යම කොටස නිරිතයි. ඊශාන, නිරිත විශ්ව රේඛාව තුළින් නිවසට අන්තරීය ශක්තිය පැමිණීමෙන් නිවස මධ්‍යයේ ක්‍රියාකර ගබඩාවීමත් නිරිත කාමරයක සිදුවේ. බිරිඳ වැන්දඹුවක කිරීම හා ස්වාමියා වැන්දඹු පුරුෂයකු බවට පත්වීමටත්, විවාහය කැඩී බිඳී විසිරී යෑමටත්, දරුඵල රහිත වීමටත් නිරිත දිශාව නිවසකට බලපවත්වනු ඇත. ඔබගේ නිවස දැනටමත් මෙවැනිම දෝෂයකට ලක්ව ඇත්නම් මෙම තත්ත්වයන් එනම් අත්තිවාරමෙන් ශූන්‍යවීම් හා පැති අඩුවීම් ඔබගේ නිවසේ දිශා 8 න් කුමන ආකාරයකට අඩු වුවද එය පරිපූර්ණ කර දෝෂයන් නිදොස් කිරීමේ හැකියාව වාස්තු විද්‍යාව සතුව ඇති බව මතක් කරමි.

නිවසේ පැති අඩුවීම ධනය, නිරෝගීකම, බලය අහිමි කරයි

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment