මධ්‍යම ඇමරිකාව ථෙරවාදී බුදු දහමින් සුපෝෂණය කරන සිනාසෙන සුදු හාමුදුරුවෝ

81

(පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණෝ ලබන මස 17 වැනි ඉරු දින කෝට්ටේ රජමහා විහාරයේදී අභිනව සංඝනායක පදවියෙන් පුදනු ලබති. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

වර්ෂ 1982 කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ එවකට වැඩ සිටි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීක ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී අපවත් වී වදාළ එවකට කෝට්ටේ රාජමහා විහාරාධිපති වග ශ්‍රී ඥානානන්ද නාහිමිපාණන් යටතේ මහණ දිවියට පිවිස වර්තමානයේ කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් යටතේ උපසම්පදා වී ඉන් අනතුරුව 2000 වර්ෂයේ දී අපවත් වී වදාළ පැවිදි සහෝදර, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ලංකාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමිපාණන්ගේ ආරාධනාවෙන් ඇමෙරිකාවට වැඩමකොට 2003 වර්ෂයේ ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය ආරම්භ කළ පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේගේ චරිත ප්‍රදානය ගැන සිහිපත් කළහොත්, උන්වහන්සේ නිතැතින්ම ජාති ආගම් භේද පසෙකලා බැතිමතුන් සමඟ මෙත් සිතින් හා කරුණාවෙන් යුතුව සිනහමුසු මුහුණින් කටයුතු කරන ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමකි.

පැල්පතටත් රජ මැඳුරටත් දෙකටම සමානාත්මතාවෙන් සලකන උන්වහන්සේ, ඇමෙරිකාවේ වැඩ වාසය කළත් තමන් උපන් මාතෘ භූමිය වෙනුවෙන් නිහඬව සිදු කරනු ලබන සමාජීය, ආගමික හා අධ්‍යාත්මික සේවාව අගය කළ යුතුමය. ඒ කාර්යභාරය අතර ඈත දුෂ්කර ගම්මානවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව වෙනුවෙන් වියළි ආහාර ලබාදීම, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් ලබාදීම, ආබාධිත මිනිසුන් සඳහා රෝද පුටු, ඇස් කණ්ණාඩි ලබාදීම, සෙවණක් නැති අසරණ මිනිසුන් වෙනුවෙන් නිවාස තනාදීම, දුෂ්කර ගම්මාන වල දහම් අධ්‍යාපනය ලබන සාමණේර වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, දුෂ්කර ගම්මානවල වෙහෙර විහාර නවීකරණය කරදීම, මරණයට කැප වූ සතුන් නිදහස් කිරීම ආදී සමාජීය හා ආගමික කටයුතු රැසක් උන්වහන්සේ විසින් සිදු කර ඇති අතර තවත් එවැනි සේවාවන් තවදුරටත් සිදු කරන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි.

කටුමැටි බිත්ති හතරින් වටවූ පුංචි කාමරයක අධ්‍යාපනය ලබමින් සිටි ගම්පොළ කහවත්ත කනිෂ්ට විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් අංගසම්පූර්ණ නවීන පහසුකම් සහිත පාසල් ගොඩනැඟිල්ලක්, පුස්තකාලයක්, පරිගණකාගාරයක් හා සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක් තනවාදුනි.

ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දුනීසියාව, ඉන්දියාව, මැලේසියාව ආදී දේශාන්තරවලටත් වැඩමකර ධර්ම දූත සේවයන් හී නිරත වෙමින් ඒ ඒ රටවල වෙසෙන බැතිමතුන්ටත් රෝද පුටු, ඇස් කණ්ණාඩි ලබාදීම වැනි සේවාවන්වල නිරත විය.

ඇමෙරිකාවේ ඉපැරැණි වටිනාකමින් යුතු පල්ලියක් උන්වහන්සේ වෙනුවෙන් පූජාකළ ඇමෙරිකානු වෛද්‍යවරයකු පිළිබඳ උන්වහන්සේගේ සමාජ මාධ්‍ය තුළින් දැක ගත හැකි විය. ඔහු නමින් වෛද්‍ය ජෝන්ය. පූජ්‍ය දේවානන්ද නාහිමිපාණන් වහන්සේට ඔහුව මුලින්ම හමුවී ඇත්තේද එදිනමය. උන්වහන්සේගේ ක්‍රියා කලාපය දැක පැහැදුණු සිත් ඇති ජෝන් නම් වෛද්‍යතුමා උන්වහන්සේට තම ඉපැරැණි දේවස්ථානය පූජා කරලීමට තමා කැමති බවත්, එය භාර ගන්නා ලෙසටත් ආරාධනා කිරීම මහත් ආශ්චර්යයකි. දවසක් හමු වී එලෙස උන්වහන්සේට තමන්ගේ දේවස්ථානය පූජා කරලීමට තරම් විශ්වාසයක් ඇති වන්නට, උන්වහන්සේ විසින් සිදුකර ඇති සේවාවන් කොතෙක් දැයි අවබෝධ කර ගත හැකිය. එමෙන්ම බුදු දහමින් තම සිත් සතන් සුවපත් කර ගන්න, බණ භාවනා ආදිය සිදු කිරීමට ඇමෙරිකන් ජාතික පින්වතුන් දැඩි ඇල්මක් දක්නට ලැබෙන අතර ඉන්ඩියානා විහාරස්ථානය එයට සුදුසුම තෝතැන්නක්  බවට පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් විසින්  පත් කර ඇත. සුදු ජාතික බැතිමතුන්, ජාති ආගම් භේද පසකෙලා ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයට පැමිණ බුදු දහමේ හරය අධ්‍යයනය කරමින් ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් බණ භාවනා කිරීම මෙන්ම ත්‍රිපිටකය, ධම්මපදය ආදී බෞද්ධ පොත් පත්ද පරිශීලනය කරමින් බුදු දහම පිළිබඳ මහත් දැනුම් සම්භාරයක් ලබා ගන්නා බවත් සිහිපත් කළ යුතුය. එපමණක් නොව ඔවුන් අපගේ බෞද්ධ කලාවට, බෞද්ධ සංස්කෘතියට හා සාර ධර්මයන්ට මහත් ලෙස ගරු බුහුමන් කරන බවද පසක් වන්නේය.

ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ පවත්වනු ලබන වෙසක්, පොසොන්, කඨින පිංකම් වෙනුවෙන් ඔවුන් සුදු පිරුවට ඇඳ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයට පැමිණෙන්නේ මහත් ශ්‍රද්ධාවක් පෙරදැරිවය. සෑම වසරක් පාසාම ඉන්ඩියානා ප්‍රාන්තයේ පවත්වනු ලබන ඔයරුැ ඍසඩැරිසාැ ත්‍ැිඑසඩ්ක හී ශ්‍රී ලාංකික සංස්කෘතික වටිනාකම, සභ්‍යත්වය ඉස්මතු කරමින් විදී සංචාරය කරනු ලබන පෙරහැර ආදීයේ දී ද මුල්තැනක් ගනිමින් කටයුතු සිදු කරන්නේ  ඇමෙරිකානු ජාතික පින්වතුන් වීම විශේෂයෙන් මතක් කළ යුතුය. උඩරට බෙරවාදනයට, ගිනි බෝල සංදර්ශන සඳහා සුදු ජාතික පින්වතුන් මහත් ඇල්මක් දැක්වීමද ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය දී මා දුටු විශේෂත්වයකි. එමෙන්ම  උඩරට නිළමේ ඇඳුමින් සැරසෙන සුදු ජාතික බැතිමතුන්ගේ දසුන් දකින විට පසක් වන්නේ ශ්‍රී ලාංකික සභ්‍යත්වයට බටහිර රටවලදී පවා කෙතරම් අභිමානයකට ළඟා වී ඇත්ද යන්නය. ඒ විතරක් නොව බුදුන් වහන්සේගේ පිළිරුව සුදු ජාතික පින්වතුන් ගේ කරමතින් වැඩම වීම, එකල ඇමෙරිකාවේ යුද කටයුතු සඳහා භාවිතා කළ යුධ රථ තුළ බුදුන් වහන්සේ වැඩ හිඳුවා පෙරහැරවල්වල ගමන් කිරීම, පල්ලියේත් බුදුන් වහන්සේ වැඩ හිඳුවා නමස්කාර කිරීම තුළින් අපේ උරුමයන්, අපේ බෞද්ධ ශිෂ්ටාචාරය, අපේ සංස්කෘතිය, අපේකම මහ මුහුදෙන් එහා දියුණු බටහිර රටවල් වල තවමත් ජීවමානව පැවතීම පිළිබඳ මහත් ආඩම්බරයෙන් කිව හැකිය. අපේ තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ධර්මයට ලැදි සුදු ජාතික පින්වතුන් ආමන්ත්‍රණය කිරීමට ධර්මදාස, කරුණාවති, ජීවක, සංඝමිත්තා, කිනාරා, කිනාරි, ධර්මාශෝක ආදී සිංහල බෞද්ධ නම් හඳුන්වා දී තිබීමත් සිහිපත් කළ යුතුය.

අද වනවිට ඇමෙරිකාවේ ප්‍රථමවතාවට ඉදිවන එළිමහන් කෞතුකාගාරය ද ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ නිර්මාණ වෙමින් පවතින්නේ දේවානන්ද යතිවරයාණන් වහන්සේගේ සංකල්පයක් මතය. මේ එළිමහන් කෞතුකාගාරය නිම වෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර පොලොන්නරුව රාජධානි තුළ පිළිඹිබු වන සංස්කෘතික වටිනාකම ඇමෙරිකාවේත් ඔපනංවමින් මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරලීමට ය. මේ කෞතුකාගාරය නිම වෙන්නේ ද ඇමෙරිකන් ජාතික පින්වතුනගේ පින්වත් දෑතිනි.

මා දකින පරිදි පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් උත්තුංග ගුණදම් ඇති ඕනෑම මනුෂ්‍යයකු සමග මෙත් සිතින් හා සිනහා මුසු මුවින් රට දැය සමය වෙනුවෙන් සුවිශාල සේවයක් කරන සත්පුරුෂ යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ සෑමවිට ම සිනහා මුසු මුහුණින් කටයුතු සිදු කරන නිසා ඇමෙරිකානුවන් විසින් ‘සිනාසෙන හාමුදුරුවෝ’ නමින් ද ආමන්ත්‍රණය කරති. ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේ වරක් කියන පරිදි, “දේවානන්ද හාමුදුරුවෝ ඇමෙරිකන් මනුෂ්‍යයන්ගේ හදවතට ගිහිල්ලා ඇමෙරිකන් මිනිසුන් එක්ක බොහොම හොඳට ඒ අය සමග ආගමික වැඩ කරන බව ආඩම්බරයෙන් යුතුව අගය කළ යුතු බවයි. නිතැතින්ම එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දේවානන්ද හාමුදුරුවෝ එසේ කර ඇති බව ප්‍රත්‍යක්ෂවම අපට දැකගත හැකිය. උන්වහන්සේගේ ඒ උතුම් දූරදර්ශී නායකත්වය නිසා අපවත් වී වදාළ පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමිපාණන් විසින් විහාරාධිපතිත්වය දැරූ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපතිත්වයද පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ට පිරිනමන ලදී.

අද වනවිට ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය, ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හී ලංකාරාම විහාරස්ථානය, ෆාදර් ජෝන් මෛත්‍රී භාවනා මධ්‍යස්ථානය හී විහාරාධිපතිත්වය දරමින් කටයුතු කරන උන්වහන්සේ තමන් වහන්සේ මහන දම් පුරන ලැබූ ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි වහන්සේ ලෙස ද කටයුතු සිදු කරති.

‘චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය’ (බොහෝ දෙනාගේ හිත සුව පිණිස දහම් චාරිකාවේ හැසිරෙන්න) යන උතුම් බුදු වදන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාවට නංවමින් දහම් පිපාසිත ලෝවැසි බැතිමතුන්ට අමා පැන් ඔසුවක් ලෙසත්, සරණක් ඇවැසි මිනිසුන්ට සරණක් වෙමින් මෙත් සිත් පතුරන අපේ පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී

චිර ජීවන සම්පත්තිය ම ලැබේවා. තව තවත් ලෝවැසි ජනයාගේ දුක් ගිනි නිවා අධ්‍යාත්මික සුවය වෙනුවෙන් මහ මෙහෙවරක් ඉටු කරන්න අවැසි ආයු වර්ණ සැප බල ප්‍රඥා දියුණු වේවා.

කුඹුරුගමුවේ සුගුණධම්ම හිමි

advertistmentadvertistment
advertistmentadvertistment